Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය එළි දකී  


2021-01-07 5754

සරසවි ප්‍රජාව සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය පළ කරති 

 

සරසවි ඇඳුරෝ විශාල පිරිසක් සමගි බලය වටා රෝද බඳිති 

 

සමගි බලය යටතේ බුද්ධි මණ්ඩලයක් පිහිටුවයි

 

විපක්ෂ නායකයාගේ බුද්ධි මණ්ඩලය ජනපතිගේ වියත් මඟ පරයා යයි  

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රටේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය වන අයුරින් එම විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් එකට එක්ව ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය නමින් නව පුළුල් බලවේගයක් බිහි කරනු ලැබ තිබේ. 

වඩාත් ප්‍රශස්ත, නවීන සහ යාවත්කාලීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජයග්‍රාහී දේශපාලන ගමනක යෙදී සිටින සමගි ජන බලවේගය තව තවත් බල ගන්වා ශක්තිමත් කරන අතර එම පක්ෂය මුල් කර ගෙන ඉදිරියේදී බිහි කරන නව ජනතා වාදී රාජ්‍ය පාලනයේ දී උපයෝගී කර ගත යුතු පාලන ක්‍රමවේදය සහ රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ආකාරය සම්බන්ධයෙන් අදහස්, යෝජනා, සංකල්ප සේම ක්‍රියාමාර්ග යෝජනා කරන බුද්ධි මණ්ඩලයක් ලෙස මෙම ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය බිහි කර තිබෙන්නේ සමගි ජන බලවේගය යටතේය.  

ඒ අනුව දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වගේම ආණ්ඩුවට එරෙහි දේශපාලන සටනේ දී ඊට අදාළව උපාය උපක්‍රම යෝජනා කිරීම ඇතුළු බුද්ධිමය සක්‍රීය කාර්‍යභාරයන් රැසක් ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදයට පවරා තිබේ.

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී කළ යෝජනාවකට අනුව මෙම ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය බිහි කිරීමට පියවර ගැනුණු අතර එම සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සහ ලේකම්වරයා ලෙස ආචාර්ය එස් බාසකරන් යන මහත්වරුන් පත් කර ගනු ලැබිණ.

මේ අවස්ථාවට මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය බරණ ජයවර්ධන, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ, මහාචාර්ය සිසිර පින්නවල, මහාචාර්ය උපුල් අබේරත්න, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ආචාර්ය අනූප ජයවර්ධන, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය විශාකා සූරියබණ්ඩාර, ආචාර්ය දේශප්‍රිය රත්නායක, අචාර්ය ආර් රමේෂ්, ආචාර්ය සම්පත් රාජපක්ෂ, ආචාර්ය ඩී ආර් ප්‍රභාත් ඒකනායක, ආචාර්ය ඒ ජයන්ත, ආචාර්ය අයි ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත මුදලිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Advertiesment