Thursday 25th of April 2024

English Tamil
Advertiesment


චම්පික රණවක නූතන වාදී නායකයෙකු නොව පටු ගෝත්‍ර වාදියෙකි 


2020-12-18 7797

රට ඉල්ලන්නේ නූතන වාදී නායකයෙකි 

 

ගෝඨා පමණක් නොව රටේ සියලු නායකයින් "Fail" ය 

 

යුගයක් අවසන් වී ඇති බව චම්පික තේරුම් ගෙන නොමැත

 

රට වැනසූ නායකයින්ට ස්වභාව ධර්මය හෝ දඬුවම් දෙනු ඇත 

 

ගංගොඩවිල සෝම හිමිගේ අපවත් වීම කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වා රට ගිනි තැබූ හැටි 

 

සියලුදෙනා අසමත් නම් කළ හැක්කේ කුමක්ද..?

 

 
(වික්ටර් අයිවන්)

 

රට අසමත් රටක් බවටත්, රටේ සියලු නායකයන් අසමත් නායකයන් බවටත් රටේ සියලු පක්ෂ අසමත් පක්ෂ බවටත් රටේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ  අධිකරණය අසමත් ආයතන බවටත් පත්වී ඇත්නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය ජය ගත යුතුව තිබෙන්නේ කෙසේද..?

රටේ ඇතිවී තිබෙන මෙම අසමත් භාවයේ තරම ඒ කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු සහ ඊට තමන් විසින් ලබාදී තිබෙන දායකත්වයේ තරම තවමත් රටේ දේශපාලන නායකයන් හොඳින් තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ "Fail" වෙන තරමට තමන්ට "Pass" වීමට තිබෙන හැකියාව වර්ධනය වන බවය. 

එහෙත් "Fail" වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණක් නොවේ. රටේ අන් සියලු නායකයන්ද "Fail" ය. රට ප්‍රතිනිර්මාණය කිරීමට හේතු වන ව්‍යුහමය වෙනස්කම් ඇති කරන මහජන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීමකින් තොරව පවත් වන මැතිවරණයක් ගැන සිහින දැකිය හැක්කේ මෙම අර්බුදය ගැන කිසිදු අවබෝධයක් නැති මෝඩ නායකයන්ට පමණය.

මේ රටට සහ ජනතාවට තමන් විසින් සිදු කර තිබෙන මහා විපත ගැන ඔවුන්ගේ ඇස්වල කඳුළු නැති නම් ඒ විනාශයට තමන් ලබාදී තිබෙන දායකත්වය ගැන අවංක කණගාටුවක් ඇති කර ගැනීමේ හැකියාව නැති නම්, තව තවත් කල්පනා කරන්නේ රොඞ්ඩක් බවට පත් කර තිබෙන මේ රටේ සාරය තවදුරටත් උරා බීමට නම් මහා ජනයා නොවේ නම් ස්වභාවය ධර්මය හෝ ඔවුන්ට දඬුවම් කරනු ඇත. ඇත්ත වශයෙන් ඔවුන් මේ රටට සිදු කර තිබෙන විනාශය මොහමඩ් සහරාන් රටට කර තිබෙන විනාශයට වඩා දහස් ගුණයක් විශාලය.

 
චම්පික රණවක

 

විකල්ප නායකයකු වන චම්පික රණවක ජාතික හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත් වන අවස්ථාවේදී කරන ලද උද්වේගකර කතාව ඇසූ විට මට රටේ අනාගතය ගැන ඇති වූයේ බලාපොරොත්තුවක් නොව විශාල බියකි. මම චම්පික රණවක දන්නෙමි. දෙවැනි කැරැල්ලේදී ඔහුගේ ජීවිතය බේරා ගත් පුද්ගලයාද මා විය හැකිය. 

ගල්කිස්ස, පරණ ගල්වල පාරේ තිබෙන පුංචි නිවසක "රාවය" සඟරාව කරන කාලයේදී විටින් විට "රාවය" කාර්යාලයට ඔහු ආව ගියේය. ඒ වන විට ඔහු ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයකු විය. දෙවැනි කැරැල්ලේදී ආරක්ෂක හමුදාව ඔහු පැහැර ගෙන ගොස් තිබූ අවස්ථාවකදී ඔහුගේ ආරක්ෂාව සඳහා මා දන්නා හමුදා නිලධාරියකුට කතා කොට චම්පික රණවක ගැන ඔහුට කියා ඔහුගේ අත්වල ලේ තැවරී නැති නිසා ඔහුට කරදරයක් වන්නට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටියෙමි.

පුදුමයට මෙන් චම්පික රණවක පැහැර ගෙන ගොස් රඳවා ගෙන තබා ගෙන තිබෙන්නේ මා කතා කළ නිලධාරියාගේ කඳවුරේය. එම හමුදා නිලධාරියා ඒ බව මට කීවේ නැත. කිසියම් කලකට පසුව ඉහත හමුදා නිලධාරියා ඇස් බඳින ලද චම්පික රණවකව දමා ගොස් තිබුණේ "රාවය" කාර්යාලයේ මිදුලේය. ඒ සිද්ධිය රාත්‍රියකම සිදුවූ සිද්ධියක් විය. ඒ කාලයේ මා රෑ නිදා ගන්නේද එම කාර්යාලයේම මට තිබුණු පුංචි කාමරයකය. චම්පික රණවකට දිග කොණ්ඩයක් සහ දිග රැවුලක් ලැබී තිබුණු අතර ගෙදර යන්නට පෙර රැවුල කපා ගත්තේද "රාවය" කාර්යාලයෙනි.

 
දෙවැනි කැරැල්ල

 

දෙවැනි කැරැල්ලක් ළඟ ළඟම එන බව දයා පතිරණ ඝාතනයට පෙර සිටම මම දැන සිටියෙමි. එහි සුවඳ මට දැනී තිබේ. ඒ ගැන මම හෙක්ටර් අබේවර්ධන, කාලෝ ෆොන්සේකා සහ තිස්ස විතාරණ සමගද කතා කර තිබුණි. කැරැල්ලේ උච්ඡතම අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ සමග ගොඩ නැගී තිබුණු දේශපාලන සන්ධානය සමග සාකච්ඡා කරන තැනකට ගොස් තිබුණි. 

1988 ජනාධිපතිවරණයට සිරිමා බණ්ඩාරනායක තරඟ නොකරන තැනකට ගෙන කැරැල්ල ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙන යෑම ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගික අරමුණ වී තිබුණු බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි. එහෙත් සිරිමා බණ්ඩාරනායක ඒ ගැටේට අසු වූයේ නැත. ඇගේ එම දැඩි ස්ථාවරය කෙරෙහි මාගේ අදහස්ද බලපෑවේය. කෙතරම් තර්ජන එල්ල වුවද මැතිවරණ රැස්වීම් පවත්වා ගෙන යන ලෙසත්, ඒ මගින් මහා ජනයා අතර ඇති කර තිබෙන බිය තුනී කරන ලෙසත් මම කියා සිටියෙමි. අම්බලන්ගොඩ රැස්වීමක් පවත්වන්නට දරන උත්සාහයක්, ආසන සංවිධායකයාගෙන් එල්ල වූ විරෝධය නිසා අසාර්ථක වූ බව මට දැන ගන්නට ලැබුණු අතර, ඒ වෙනුවට ගාල්ලේ නගර ශාලාව ඉදිරියේ රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු පසුබිමේ සිට සිදු කර දුන්නෙමි.

සිරිමා බණ්ඩාරනායක සිය උගුලට හසු කර ගන්නට බැරි වූ තැන ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයන්ට සම්බන්ධ අයද ඝාතනය කරන තැනකට ගියේය. ජනතා විමුක්ති පෙරමුණ, ජනාධිපතිවරණය තහනම් කොට ඊට වැඩ කිරීම හෝ ඡන්දය පාවිච්චි කිරීම මරණ දඬුවම ලැබෙන වරදක් බවට ප්‍රකාශයට පත් කළේය.

මම ඔවුන්ගේ එම නියෝගයට එරෙහිව කතු වැකියක් ලීවෙමි. නොබියව ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටියෙමි. මාගේ දේශපාලන විග්‍රහය වෙන් කළේ ආණ්ඩු මාරුවක් ඇති නොවන ලෙස ජනාධිපතිවරණයට අවහිර කළ හොත් ජනතා විමුක්ති පෙරමුණට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදු වන බව පෙන්නුම් කිරීම සඳහාය. මා සඟරාවේ පිටකවරය සකස් කළේ වතුර වෙනුවට ලේ ගලා යන ගංගාවක ඡායාරූපයකිනි.

ඇත්තටම අවසානයේ සිදු වූයේද එයයි. කැරැල්ල අවසන් වන විට රට ලොකු සොහොන් බිමක් බවට පත්ව තිබුණි. දෙපාර්ශ්වයම උපරිම ක්‍රෑරත්වයක් සමාජය මත මුදා හැර තිබුණි. සිංහල සමාජයේ ලොකු තරුණ පිරිසක් මරණයට පත්ව තිබූ අතර ජීවත් වූ සියලු දෙනාද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්ව සිටියේය.1988 ජනාධිපතිවරණයට අවහිර නොකොට ආණ්ඩු මාරුවකට ඉඩ දුන්නේ නම් සමහරවිට රට මේ තරම්ම කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.

 
කැරැල්ලෙන් පසු 

 

කැරැල්ල අවසන්වීමෙන් පසු චම්පික රණවක සිය දේශපාලන හිතමිතුරන් සමග විටින් විට "රාවය" කාර්යාලයට ආවේය. ඔවුන් අතර කුමාරතුංග මුණිදාසගේ මුණුබුරෙකු වන ගෙවිඳු කුමාරතුංගද සිටියේය. ශ්‍රීලනිපයට හෝ එජාපයට එකතු වී එම පක්ෂවලටද යහපත් දැක්මක් ලබාදෙමින් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයකට එකතු වන ලෙස මම චම්පික රණවකගෙන් ඉල්ලා සිටියෙමි. ශ්‍රීලනිපයට එකතුවීමට කැමති බව කියා සිරිමා බණ්ඩාරනායක මැතිනිය හමුවී සාකච්ඡාවක් කිරීමට කටයුතු සූදානම් කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය.

මා අනුරුද්ධ රත්වත්ත සමගත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමගත් චම්පික රණවක ගැන කතා කළෙමි. චම්පික රණවක සහ ඔහුගේ හිතවතුන්ට සාකච්ඡාවක් ලබාදීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය කැමති වූ අතර, එම සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් සිරිමා බන්ඩාරනායක මැතිනියද, පක්ෂ ලේකම් සූරියප්පෙරුම, අනුරුද්ධ රත්වත්ත සහ මහින්ද රාජපක්ෂද සහභාගි වූහ. මම චම්පික රණවක සමග තවත් හතර දෙනකු හෝ පස් දෙනකු සහභාගි වූ අතර ඒ අතර ගෙවිඳු කුමාරතුංගද සිටියේය. 

එහිදී දෙපක්ෂය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවතුණද චම්පික රණවක ශ්‍රීලනිපයට එකතු වූයේ නැත. ඔහු තමන්ගේම ගමනක් ගියේය. අවසානයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින ඉතා බලවත් ජාතික නායකයකු බවට පත් වූයේය. දැන් ඔහුගේ අභිලාෂය රටේ ඊළඟ නායකයා වීම විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන දේශපාලන ව්‍යාපෘතියේ ඔහු කොටස්කරුවකු නොවුණද එම දේශපාලන ප්‍රතිඵලය සඳහා වන සමාජ දේශපාලන වට පිටාව හැදීමට ඔහුද බලවත් ලෙස දායක විය.

ඔහු අත තිබූ සිංහල බෞද්ධ ධජය දැන් තිබෙන්නේ රාජපක්ෂවරුන් අතේය. ගෝඨාභය රාජපක්ෂ "Fail" වන විට එම ජනතාව ඒ වෙනුවට තමාව භාර ගනු ඇතැයි චම්පික රණවක සිතනවා විය යුතුය. ඉන් පෙනෙන්නේ කොතරම් උගත් වුවත් යුගයක් අවසන් වී ඇති බව ඔහු තවමත් තේරුම් ගෙන නැති බවය. 

 
අනාගතය කොතැනටද..?

 

මෙම කතාවේදී චම්පික රණවක සිංහල බෞද්ධයන් වෙනුවෙන් තමන් අතින් සිදු වූ සේවාව විස්තර කර තිබුණේ මහත් උජාරුවකින් යුතුවය. සිංහල බෞද්ධයන්ගේ උන්නතිය පිණිස සුළු ජන වර්ග පීඩාවට පත් කිරීමට සහ බිහිසුණු ගැටුම් ඇති කිරීමට බලපෑ සියලු ක්‍රියාමාර්ග ඔහු සිය කතාවෙන් අනුමත කර තිබුණි.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන කතා කර තිබුණද, 83 කළු ජූලිය ගැන කිසිවක් කතා කර නොතිබුණි. ගංගොඩවිල සෝම හිමියන් ගැන කතා කර තිබුණද, ඒ හිමියන්ගේ අපවත්වීමේ සිද්ධිය ඝාතන කුමන්ත්‍රණයක් ලෙස පෙන්නුම් කොට ඉන් ලබා ගත් අයුතු දේශපාලන වාසි ගැන කතා කර නොතිබුණි. එම ආරවුල දුර දිග ගියේ නම් විය හැකිව තිබුණ විනාශය සුළුපටු නැත. මා එම  සටකපට මෙහෙයුම ගැන "පන්සලේ විප්ලවය" නමින් පොතක්ද ලියා පළ කර තිබේ. වේළුපිල්ලේ ප්‍රභාකරන් යුද්ධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරකු මවා පෑම සඳහා සමාජ ගත කෙරුණ වඳ බෙහෙත් කතා ගැන කිසිවක් කතා කර නැත.

සුළු ජනවර්ග පීඩාවට පත් කරමින් හෝ ක්‍රියාවට නගන ලද අන්තවාදී වැඩසටහන් අර්ථවත්, සාර්ථක සහ ප්‍රායෝගික නම් සිංහල බෞද්ධයන් රටේ විශාල බහුතරයක් වන තත්ත්වයක් මත දේශය සේම ශ්‍රී ලංකාවේ රාජ්‍යයද එහි ආයතන ක්‍රමද සිංහල බෞද්ධ ජනයාද ශාසනයද ඉහළම දියුණුවක් පෙන්නුම් කළ යුතුව තිබුණි. එහෙත් ඒ සියල්ල තිබෙන්නේ දිව්‍යලෝකයක නොව අවීචි මහා නරකාදියකය. රට ඉල්ලා සිටින්නේ ගෝත්‍රික නායකයෙකු නොව නූතන වටිනාකම්වලට ගරු කරන නූතනවාදී නායකයෙකි. චම්පික රණවක උගත් වුවත් ඔහු සැලකිය හැක්කේ පටු ගෝත්‍රවාදී නායකයකු ලෙසය.

 

Advertiesment