Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


සෝභිත හිමියන්ගේ සටනට එදා වගේම අදත් මාධ්‍යයෙන් සහයක් නැහැ


2020-12-17 8404

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මධ්‍යයේ සහය නොදෙන්නේ ඇයි?

 

"කිනම් බාධක මධ්‍යයේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය දිගටම ගෙන යනවා"   

 

20න් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කළා 

 

පාර්ලිමේන්තුව මේ තරම් හෑල්ලු කරන්නේ ඇයි?

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රට-ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නා හිමියන් ආරම්භ කළ සටන කිනම් බාධක සහ අභියෝග මධ්‍යයේ වුව ද, අඛණ්ඩවම ඉදිරියට ගෙන යන නමුත් එදා වගේම අදත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ඊට කිසිදු සහයක් ලබා දෙන්නේ දෙන්නේ නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය මහතා චෝදනා කර සිටියි.

කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, කොළඹ, "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (17) පැවැති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 

අපි හඬ නඟන්නේ 19 වැනි සංශෝධනයෙන් බල ගැන්වූ 20 වැනි සංශෝධනයෙන් විනාශ වුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහායි.ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් උතුම් පරමාර්ථ ඇතිව ආරම්භ කළ මේ වැඩ පිළිවෙළ කවර බාධක ආවත් අප හෙට දවසේත් රට වෙනුවෙන් ක්‍රියාවට නගනවා. නමුත් එහිදී මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය අපට නොලැබෙන බව පෙනී යනවා. 


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ රටේ සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්ථික කරුණු පිළිබදව අවධානය යොමු කරන්නේ රටේත් මහා ජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා අප විසින් සිදු කළ යුතුව ඇති ජාතික වගකීමකට උරදීමටයි. සංවිධානයක් ලෙස අපට බලය සදහා වන දේශපාලනික අරමුණු කිසිවක් නැහැ. එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානයක් ලෙස එදත්, අදත් එමෙන්ම හෙට දවසේත් පෙනී සිටින්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් බව කිව යුතුයි. 

අද අප මේ කරුණු ඔබ හමුවේ තබන්නේද එකී වගකීම පෙරදැරිවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක මහා ජනතාවගේ සැබෑ නියෝජනය පිළිබිඹු කරන්නේ මහජන මන්ත්‍රණ සභාවකින් බව අප කවුරුත් දන්නවා. නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පාර්ලිමේන්තුව මඟින් මූර්තිමත් කරන්නේ එකී මහජන නියෝජිතත්වයයි. පාර්ලිමේන්තු ක්‍රමය ගොඩනැගෙන්නේ සර්ව බලධාරී ආධිපත්‍යන්ගේ මහිමයෙන් නොවේ. ජන පීඩක, අත්තනෝමතික රාජාණ්ඩු වාදයට එරෙහිව දැනුවත් පුරවැසියන් ගෙන ගිය අනවරත අරගලයන්හි ප්‍රතිඵල ලෙසටයි.

එම ආයතනයෙන් මුර්තිමත් වන්නේද නියෝජනය වන්නේද ජනතාවගේ අභිලාෂයන්. ජනතා අභිලාෂයන් මත ගොඩනැගුණු රාජ්‍යයේ ස්වභාවයද එමඟින් පිළිඹිබු වනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක පාර්ලිමේන්තුව යනු ජනතාව නියෝජනය කරන්නා වූ උත්තරීතරම ආයතනය ලෙස සලකන්නේ එබැවිනුයි.

අත්තනෝමතික පාලකයන්, ඒකාධිපතිවාදීන්, රාජාණ්ඩුවාදීන්, පැසිස්ට්වාදින් වශයෙන් ලොව කලින් කල බිහි වන ජන හතුරු බලවේග පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට වෛර කරන්නේද, එම සම්ප්‍රදාය යටපත් කරමින් තම අත්තනෝමතික බලය තහවුරු කර ගන්නට විටින් විට උත්සහකර ඇත්තේ ද ඒ නිසායි. ඒ සෑම උත්සහයක්ම ඉතිහාසයේ දී පරාජය කර ඇත්තේ ජනතා කැප කිරීම් මතයි. ඒ වගකීම අදටත් අප සතු වනවා.

අප රටේ දේශපාලන විකාශය සැලකීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සංකේතවත් කරන්නේද මහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදි ස්වභාවයයි. අපේ පාර්ලිමේන්තුවට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි පාලන සම්ප්‍රදායන් පෝෂණය කළ කිර්තිමත් දේශපාලඥයන් පිළිබදව මෙන්ම අපගේ පාර්ලිමේන්තු ක්‍රමය සමස්ත ලෝකයේම ගෞරවයටද අවධානයටද පාත්‍ර වී තිබෙනවා. අපට ඇත්තේ එවැනි ඉතිහාසයක්.

එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවට ඇති පිළිගැනීම හා වටිනාකම කුමක්ද..? අප මීට පෙර කියූ පරිදිම 20 වැනි සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත් කරමින් හෑල්ලුවට ලක් කර තිබෙනවා. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමත් සමග මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත්, පාර්ලිමේන්තුවේ උත්තරිතර භාවයට හානි සිදු කරන බවත්, මේ රටේ මහා සංඝ රත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ද ඇතුළු දැනුවත් ප්‍රජාව එදා පෙන්වා දුන්නා. එමෙන්ම මිලියන 21 ක ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් තනි පුද්ගලයෙකුට පැවරීම තුළ බිය හා සන්තාපයන් රටම වෙළා ගත හැකි බවට අප අනතුරු ඇඟෙව්වා. අද රටේ තත්වය එයයි.

මෑත යුගයේදී පාර්ලිමේන්තුවට කරන ලද බරපතළම හානිය හා අපහාසය වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයකින් බිහි කළ මහජන උපයෝගීතා කොමිෂම අක්‍රිය කිරීම සදහා බාහිර පුද්ගලයන් විසින් උත්සහ කිරිමයි. ජනාධිපති ලේකම්ගේ උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එම කොමිසම අහෝසි කිරීමට තැත් කිරිමයි. එමෙන්ම එම කොමිෂමේ ගරු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එකී උදවිය බල කර සිටීමයි. එවැනි උත්සහයන් දරුණු, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වනවා පමණක් නොව විධායකයේ බලය පාර්ලිමේන්තුව වෙත අනිසි ලෙස යෙදවීමක්ද වෙනවා. 

මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපනය කරන ලද පනත වෙනස් කිරිමට රජයට අවශ්‍යතාවයක් තිබුණේනම් එය කළ යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුව හරහා විධිමත් ආකාරයටයි. එහෙත් අද සිදු වෙමින් පවතින්නේ කුමක්ද..? මෙවැනි නොහොබිනා ක්‍රියා සිදු වන විට පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් ලෙස අපට ඇති වන්නේ කණගාටුවක්. ඒ වගේම ලැජ්ජාවක්. 

පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිළිකුල් සහගතයි. මේ ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් ගරු මන්ත්‍රීතුමන්ලා අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ගරු කතානායකතුමා ඒ පිළිබදව වන එතුමාගේ ස්ථාවරය පැහැදිළි කළ යුතුව ඇතැයි ද අප විශ්වාස කරනවා.

මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරන්නේ 2002 වසරේදී ගෙන එනු ලැබූ පනතක් මඟිනුයි. එම පනත ගෙන එනු ලැබුවේ ජනතාව වෙනුවෙනුයි. අසාධාරණ ලෙස මිල වැඩි කරමින් ජනතාව පෙළීමට ඇති ඉඩකඩ වළක්වාලීමටයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම අයුතු ලෙස මිල ගණන් ගෙවා විදුලිය මිලදී ගැනීම් මඟින් රජයට සිදු කරන අලාභයන් වළක්වාලීමටයි. 

පසුගිය අවුරුදු  19 තුළ මෙම ආයතනය සිය රාජකාරිය ඉටු කළා. රටේ පිළිගත්, බුද්ධිමත් පුද්ගලයින් මේ සඳහා පත් කර තිබුණා. පසුගියදා එම කොමිසමෙන් ඉවත් වුණු සාමාජිකයන්ද එවැනි ගෞරවණීය කණ්ඩායමක්. එසේ හෙයින් මෙතරම් ඵලදායි ආයතනයක් විනාශ කිරිමට හේතු මොනවා ද..? එම ක්‍රියාව දුෂ්ඨ සිතකින් සිදු වූවක් ලෙස සමාජය දකිනවා.

ඉල්ලා අස් වුණු සාමාජිකයන් වෙනුවට නව පත්වීම් කිරීමට විධායකය බලාපොරොත්තු වන බව වාර්තා වුණා. එවැනි ක්‍රියාදාමයක් සිදු වන්නේ නම් රටේ ජනතාව මෙන්ම අපද පූර්ණ වශයෙන් ඊට විරුද්ධ වෙනවා. මේ තත්ත්වය අමු අමුවේ ජනතාව රැවටීමක්. ළඟදී පත් කළ කොමිෂන් සභාවලට මෙන්ම මේ සඳහාද ඔවුන් තම තමන්ගේ දේශපාලන මිත්‍රයින් පත් කර ගනීවි. ඒ සඳහායි මේ උත්සහය.

20 වැනි සංශෝධනය අනුව පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් පත් කළ පුද්ගයින් අතර පවතින ආණ්ඩුව වෙනුවෙන් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූ හා නිරත වන පුද්ගලයින්ද බොහෝ දෙනෙක් සිටි නබව මහජනතාව හොඳින් දන්නා කරුණක්. මේ  පත්විම් ගැන ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති බව රජයේ බලධාරීන් තේරුම් ගත යුතුයි. 

පාර්ලිමේන්තු සභාව හිතුවක්කාර ලෙස විපක්‍ෂයේ සාමාජිකයින්ගේද විරෝධය නොතකා පක්‍ෂග්‍රාහි දේශපාලන පත්විම් කරන්නේ නම් ඔවුන්ට තවදුරටත් සදාචාරාත්මක ලෙස එහි සාමාජිකයන් වශයෙන් රැඳී සිටිමට හැකිද යන්න ගැනත් ජනතාව අතර මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. 18 වැනි සංශෝධනය මඟිනුත් මෙවැනි ඒකාධිකාර පත්විම් කරන විට එදා සිටි මන්ත්‍රී සාමාජිකයන් දෙදෙනෙකු එම සභාවෙන් ඉවත් වූ බවත් අපට සිහිවෙනවා. 

සමාජයේ පොදු මතයත්, සංවිධානයක් ලෙස අපේ මතයත් වනුයේ පැවැති මහජන උපයෝගීතා කොමිෂම හා එහි හිටපු සාමාජිකයන්ගේ කිසිම වෙනසක් සිදු නොවිය යුතු බවයි. මෙම කරුණ පාර්ලිමේන්තු සභාවේ ගරු සාමාජිකයන්ගේ අවධානයට යොමු කිරිමට කැමතියි. මෙහිදි ඔවුන් සිය හෘද සාක්ෂියට අනුව එඩිතරව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.

මීට කලිනුත් සඳහන් කළ ආකාරයට මහජනතාව අවදියෙන් සිටින බව රජය තේරුම් ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.ජනතාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස අප නැවත නැවතත් බලධාරීන්ට කියනවා. අපි ස්වාධීන ආයතනයක්. අපි හඬ නඟන්නේ 19 වැනි සංශෝධනයෙන් බල ගැන්වූ 20 වැනි සංශෝධනයෙන් විනාශ වුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහායි.ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් උතුම් පරමාර්ථ ඇතිව ආරම්භ කළ මේ වැඩ පිළිවෙළ කවර බාධක ආවත් අප හෙට දවසේත් රට වෙනුවෙන් ක්‍රියාවට නගනවා. නමුත් එහිදී මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය අපට නොලැබෙන බව පෙනී යනවා. 

ඒ ගැන විශේෂයෙන්ම මේ රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දැනුවත් ප්‍රජාව අපගෙන් විමසනවා. අප ඒ ගැන විමසීමේදී මාධ්‍යවේදීන් අපට කියන්නේ ඉහළ තීන්දු තීරණ පිළිබදව වගකීමක් ඔවුන්ට ගත නොහැකි බවයි. ඒ කෙසේ නමුත් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සතු වගකීම රට වෙනුවෙන් අප ඉටු කරනවා.

Advertiesment