Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


20න් තහවුරු කළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කළ යුතුයි 


2020-12-14 6744

ස්වාධීන කොමිෂන් දේශපාලනීකරණය කිරීමට එරෙහිව මහා සංරත්නය නැගී සිටිති

 

කොමිෂන් සභා සඳහා කළ පත් කිරීම් ගැන ජනපති යළි සලකා බැලිය යුතුයි 

 

ආණ්ඩුව ජාති වාදයයි-ආගම් වාදයයි අවුස්සනවා 

 

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට භික්ෂූන්ට පවා අයිතියක් නැහැ 

 

පරිසර විනාශය-පුරා වස්තු සංහාරය නවතනු 

 

දේශපාලන පළි ගැනීම් නවතනු

 

සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂූ "කතිකාව" මෙන්න..!

 

(සුජිත් මංගල ද සිල්වා)

 

සියයෝජනා මත ව්‍යවස්ථාපිත කොමිෂන් සභා සමාජිකයන් ලෙස පාර්ලිමේන්තු සභාව මඟින් නිර්දේශ කර ඇති ඇතැම් සාමාජිකයන් පිළිබඳව පැන නැගී ඇති බරපතළ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ස්වාධීන කොමිෂන් සභා සඳහා සිදු කර ඇති පත් කිරීම් නැවත සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය අවධාරණය කර සිටියි. 

සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය මේ බව අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති අභියෝග සහ ඒ සඳහා වගකීම් සහගත කණ්ඩායම් හී මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබදව ඉරිදා (13) කොළඹ දී පැවැති විශේෂ භික්ෂු "කතිකාවේ" දී වන අතර ඊට සංඝ සමාජය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ භික්ෂුන් වහන්සේලා පිරිසක්ව සිටියහ. 

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් මේ සාකච්ඡාවට එක්ව සිටී ත්‍රෛනිකායටම අයත් ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා විසි පස් නමකට ආසන්න පිරිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වන සංශෝධනය පිළිබදව බලවත් විරෝධය පළ කරමින් පෙන්වා දුන්නේ, 20 හේතුවෙන් තහවුරු වන ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කළ යුතු බවය.

ඊට අමතරව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් අද වන විට දක්නට ලැබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිරීහීම පිළිබදවද  උන්වහන්සේලාගේ අවධානය යොමු වූ අතර එම තත්ත්වය නොපමාව මඟ හැරවීමේ පූර්ණ වගකීම කතානායකවරයාට සහ පක්ෂ නායකත්වයන්ට පැවරී ඇති බවද සිහිපත් කළහ. 

එමෙන්ම අද වන විට මේ රටේ භික්ෂූන් වහන්සේලාට නිදහසේ සිය අදහස් පළ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පෙන්වා දුන් එම භික්ෂූන් වහන්සේලා ආණ්ඩුවේ ඇතැම් තීරණ පිළිබදව ප්‍රශ්න කරන භික්ෂූන් වහන්සේලා පසු පස රහස් පොලීසිය යොදවමින් සිටීම පිළිබදවද සිය බලවත් අප්‍රසාදය පළ කර සිටියහ.

වර්තමානයේ දී මේ රටේ දේශපාලන බලය පවත්වා ගෙන යාම උදෙසා ආණ්ඩුව ජාති වාදය සහ ආගම් වාදය යොදා ගනිමින් සිටීම හේතුවෙන් සමාජයට සිදු වන බරපතළ අනතුර පිළිබඳව ද සිය බලවත් අවධානය යොමු කළ උන්වහන්සේලා ඒ පිළිබදව ද දැඩි අප්‍රසාදය පළ කළ අතර රටේ සෑම පුරවැසියෙකුටම හිමි විය යුතු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ අදහස් පළ කිරීමට ඇති අයිතිය භික්ෂූන් වහන්සේලාටද ඇති බව අවධාරණය කළහ.

ඊට අමතරව මේ වන විට රට පුරා මහා පරිමාණයෙන් සිදු කරන දැවන්ත පරිසර විනාශය සහ පුරාවස්තු සංහාරය පිළිබදවද රටේ සමස්ත ජනතාවගේ අවධානය යොමු විය යුතුය ඇතැයි සදහන් කළ උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වමින් සිටින අනුග්‍රහශීලි පිළිවෙත ද තරයේම හෙළා දුටූහ.

එමෙන්ම මේ රටේ විශිෂ්ඨ රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස ඇගයීමට ලක්ව සිටි ශානී අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන පළි ගැනීම් මහත් පිළිකුලක් දනවන බව පෙන්වා දුන් සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය නියෝජනය කරන එම භික්ෂූන් වහන්සේලා, එම තත්ත්වය වහාම තුරන් කිරීම සඳහා ආණ්ඩුව මැදිහත්විය යුතු බවද වැඩි දුරටත් අවධාරණය කර සිටියහ. 

කොළඹ ඉරිදා (13) පැවැති මෙම භික්ෂු "කතිකාවේ" මූලාසන මණ්ඩලය හෙබ වූයේ, වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්දත්ත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනු නායක මාදම්පාගම අස්සජී සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල යන නා හිමිපාණන් වහන්සේලාය.  

ඊට අමතරව එම අවස්ථාවට සතර කෝරල මහදිසාවේ උප ප්‍රධාන සංඝ නායක,රත්විත රජමහා විහාරාධිපති පූජ්‍ය මහගල්කඩවල පුණ්‍යසාර ස්වාමින්ද්‍රයානන් වහන්සේ, කළුතර නව තොටුමුනේ ප්‍රධාන සංඝ නායක වාද්දුව සමුද්‍රාරාමාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය ලැගුම්දෙනියේ පියරතන නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන ලේඛකාධිකාරී හෙට්ටිපොල විමලෝදය පරිවෙනාධිපති පූජ්‍ය කරකොලේ පියදස්සී නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනු නායක කොළඹ ඉසිපතනාරාම මහා විහාරාධිපති පූජ්‍ය මාදම්පාගම අස්සජී නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ඛිත මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ දේවමැදි හත් පත්තුවේ ප්‍රධාන සංඝ නායක උස්ගල රජමහා විහාරාධිපති පූජ්‍ය නිකවැරටියේ මංගලනායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, නාරාහේන්පිට ධර්මායතනාධිපති කොළඹ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින්ද්‍රයානන් වහන්සේ, වතුපන ශ්‍රී ශෛලගිරි රජ මහා විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය දැලිවේ නාරද ස්වාමින්ද්‍රයානන් වහන්සේ, වේරහැර සිද්ධත්තාරාම මහා විහාරාධිපති පූජ්‍ය ඇලබඩගම සීලක්ඛන්ධ ස්වාමින්ද්‍රයානන් වහන්සේ සහ පොල්පිතිගම කුසිනාරාම මහා විහාරාධිපති පූජ්‍ය කොත්මලේ ධර්මප්‍රිය ස්වාමින්ද්‍රයානන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව සිටියහ.  

ඊට අමතරව මෙම "භික්ෂූ කතිකාව" සඳහා මහා සංඝ රත්නයේ විශේෂ ආරාධනය ඇතිව හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චමිපික රණවක, තිස්ස අත්තනායක සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් ද, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයන් ගණනාවක්ද සහභාගිවී සිටියහ.

 

Advertiesment