Monday 19th of April 2021

English Tamil
Advertiesment


ජාතික ආරක්ෂාව නොතැකු රුවන් එජාප නායකයා කළ හැකිදැයි ප්‍රශ්න කරති 


2020-12-07 7330

රුවන්ගේ රැස්වීම් වර්ජනය කරන සංවිධායකයින්ට රනිල්ගෙන් තර්ජන

 

කෑගල්ල රැස්වීම වර්ජනය කළ ලිලාන් අමරකෝන්ට ආසනය අහිමි වන ලකුණු

 

ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස රුවන් ආරක්ෂක කවුන්සිලය හය මසක් මඟ හැරලා 

 


(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රට පුරා ආසන මට්ටමින් මේ දිනවල පවත්වමින් සිටින රැස්වීම් වර්ජනය කරන ආසන සංවිධායකවරුන්ට, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරමින් සිටියි.

මෙම ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙසේ රුවන් විජයවර්ධන මහතාගේ මේ රැස්වීම් වර්ජනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වයට ඔහු පත් කර ගනිමින් පක්ෂයේ බලය තව දුරටත් රදළ, වළව් සහ පවුල් වාදයේ අතකොළුවක් ලෙස ග්‍රහණය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහයට එරෙහිවය.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් නායක සහ දැදිගම ප්‍රධාන සංවිධායක සන්දිත් සමරසිංහ මහතා ඉරිදා (06) උදෑසන රන්දෙනිය සිය නිවසේ සංවිධානය කර තිබූ රැස්වීම එම පක්ෂයේ කෑගල්ල ආසන සංවිධායක නීතීඥ ලිලාන් අමරකෝන් මහතා ඇතුළු පිරිසක් වර්ජනය කර තිබිණ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ ලිලාන් අමරකෝන් මහතා ඇතුළු පිරිසට දෝෂාරෝපණය කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ල,එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඔහු ඉවත් කරන බව සිය පෞද්ගලික සමීපතමයින් පිරිසක් සමග කියා ඇති අතර ඒ පිරිස මාර්ගයෙන් ලිලාන් අමරකෝන් මහතාට ද එම පණිවුඩය උපක්‍රම ශීලී ලෙස යවා ඇත.

කෙසේ නමුත් මෙම ආසන සංවිධායකවරුන්ගේ ද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ද, පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ද, සන්නිවේදන බලකායේ ද, එකසත් ජාතික භික්ෂූ පෙරමුණේ පමණක් නොව එක්සත් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද බහුතරය අවධාරණය කර සිටින්නේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් යහ පාලන රජය සමයේ, 2018 ඔක්තෝබර් සිට 2019 අප්‍රේල් දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් හය මසක් මුළුල්ලේ මඟ හරිමින් රටේ ජාතික ආරක්ෂාව නොතකා වගකීමකින් සහ වගවීමකින් තොරව ක්‍රියා කළ රුවන් විජයවර්ධන වැනි පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂය වැනි වග කිව යුතු දේශපාලන පක්ෂයක නායකත්වය භාර දිය නොහැකි බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් රුවන් විජයවර්ධන මහතා, යහ පාලන රජය සමයේ, 2018 ඔක්තෝබර් සිට 2019 අප්‍රේල් දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට හය මසක් මුළුල්ලේ සහභාගී වීම මඟ හැර ඇති බව හෙළිදරව් වී තිබුණේ, පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිෂම හමුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ලබා දී තිබෙන සාක්කිය අනුවය.

2018 ඔක්තෝබර් සිට 2019 අප්‍රේල් දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගී නොවූ බව මෙම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂම හමුවේ සාක්කි ලබා දෙමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා තහවුරු කර සිටී බව "The Island" පුවත්පත 2020.09.16 වැනිදා වාර්තා කර තිබිණ.  
 

Advertiesment