Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ජනපති විතරක් නොව අධිකරණය සහ රටට ද Fail ය..!


2020-12-04 3477

ශනි අබේසේකරට එරෙහිව නඩු පැවරීම නීතියට අනුකූල ද..?

 

ශානි අබේසේකර කියන්නේ කවුද-මෙන්න මෙන්න ඇත්ත..!

 

දේශපාලන බලයට යටත් නම් අධිකරණය අසමත්ය 

 

ඒ සමග රටම අසමත් වනු ඇත 

 

අසමත්වීම පරිපූර්ණවීම

 

ඇත්ත තේරුම් ගනු-මඟ නොහැර කිය වනු-මෙන්න කතාව..!

 

 
(වික්ටර් අයිවන්)

 

පොදුවේ ගත් විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍යයද, විශේෂ වශයෙන් ගත් විට ඒ රාජ්‍ය සකස් වී තිබෙන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන බලමණ්ඩල තුනද තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණවීම සහ බෙලහීන වීම නිසා ක්‍රියාකාරීත්වය පරිපූර්ණ වශයෙන් බිඳ වැටුණු තත්ත්වයක වන අතර ඒ අනුව සමස්ත රාජ්‍යය තිබෙන්නේ ප්‍රතිනිර්මාණය කර ගැනීමකින් තොරව සරල ප්‍රතිසංස්කරණවලින් ක්‍රියාකාරී තත්ත්වයකට පත් කළ නොහැකි තත්ත්වයකය. 

ගෝඨාභය රාජපක්ෂ අසමත් වී තිබෙන්නේ ඔහුගේ අසමත්කම නිසා පමණක් නොව, ඔහුට ලැබී තිබෙන රාජ්‍යයද පණ ගැන්විය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අසමත් රාජ්‍යයක් වී තිබෙන නිසාය. ඒ නිසා රියදුරා වෙනස් කිරීම පමණක් ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන්නේ යාන්ත්‍රණය තිබෙන අයුරින්ම ක්‍රියාත්මක කිරීමට දන්නා රියදුරකුට වඩා මුළුමනින් ක්‍රියා විරහිත තත්ත්වයකට පත්ව තිබෙන යාන්ත්‍රණය ප්‍රතිනිර්මාණය කිරීමට දන්නා ප්‍රතිනිර්මාණ කරුවෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාව පමණක් නොව, දේශපාලන පක්ෂ පවා ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය තේරුම් ගෙන තිබෙන්නේ ප්‍රතිනිර්මාණකරුවකු නැතිකමේ ප්‍රශ්නයක් වෙනුවට හොඳ රියදුරකු නැතිකමේ ප්‍රශ්නයක් ලෙසය.

 
චින්තනයේ දුප්පත්කම

 

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක යහපත් පැවැත්ම සඳහා එම ක්‍රමය නිරන්තර පරීක්ෂාවට සහ සෝදිසියට ලක් විය යුතුය. සොක්‍රටීස් තමා සලකන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති කම්මැලි උතුම් අශ්වයාට ඉඳහිට හෝ දෂ්ඨ කොට ඌ අවදි කිරීම සඳහා උගේ ඇඟේ ජීවත්වීමට මවන ලද ඇට මැස්සෙකු ලෙසය. සොක්‍රටීස්ගේ කාලයට වඩා නූතන ප්‍රජාතන්ත්‍රවාදය සංකීර්ණය. එම ප්‍රජාතන්ත්‍රවාදය පරීක්ෂාවට ලක් විය යුතු තරමද අති විශාලය. දෝෂ ඇති වන විට ඒවා හඳුනාගෙන ප්‍රමාද නොකොට ඒ දෝෂ නිවැරදි කළ යුතුය. 

හොඳ නඩත්තුවක් ඇති විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සිය වස් ගණනක් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් නිසි නඩත්තු කිරීමක් නැති විට දශක කිහිපයකින් වුවද එම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ විය හැකිය. ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන්නේද ඒ තත්ත්වයය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් මහා ජනයාගේ දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහා ජනයාටය. එම බලය මහා ජනයාට අහිමි කළ නොහැකි බලයකි. මහා ජනයා විසින් තෝරා පත් කර ගන්නා සහ පාර්ලිමේන්තුව හොබ වන ව්‍යවස්ථාදායක බලයද, මහා ජනයා විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා පාවිච්චි කරන විධායක බලයද, නීතියෙන් පිහිටුවා තිබෙන අධිකරණ ආයතන පාවිච්චි කරන අධිකරණ බලයද, මහා ජනයාගේ පරමාධිපත්‍යය බලයෙන් ලැබී තිබෙන බල විශේෂ තුනක් ලෙස සැලකිය හැකිය.

මේ තත්ත්වය මහා ජන ක්‍රමයක් වන නිසාම ක්‍රමයට තිබෙන බැඳීම සේම ක්‍රමය ගැන තිබෙන මහා ජන දැක්මද ක්‍රමයේ යහපැවැත්ම කෙරෙහි බලපායි. එහෙත් මේ ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනයා සටන් කොට දිනා ගත් ක්‍රමයක් නොවේ. බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබුණු දායාදායකි. එහෙත් එම දියුණු ක්‍රමය ප්‍රශස්ත ලෙස පවත්වා ගෙන යෑමට අවශ්‍ය කරන තරමේ දියුණු චින්තනයක් ශ්‍රී ලංකාවේ සමාජයට නොතිබුණි.

 
ලිබරල්වාදය

 

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ප්‍රශස්ත ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය දැනුම ලබාදීමේ හැකියාව තිබෙන්නේ ඒ ක්‍රමය නිර්මාණය කළ ලිබරල් චින්තනයටය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන චින්තනය ලිබරල් චින්තනයෙන් හොඳින් පෝෂණය වූ චින්තනයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ දේශපාලන චින්තනය පෝෂණය කිරීමෙහිලා ලිබරල්වාදය බලපෑ ප්‍රමාණය අති විශාලය. එම ලිබරල් වාදය ඉන්දියානු නිදහස් චින්තනය හැඩගැසීමෙහිලා බලපෑ ප්‍රධානතම චින්තන විශේෂය ලෙස සැලකිය හැකිය. "ටයි-කෝට්" ඇඳ ගත් ජීවිතයක් වෙනුවට අඩ නිරුවත් ජීවිතයක් පවත්වා ගෙන ගිය මහත්මා ගාන්ධි සැලකිය හැක්කේද සමහර සීමිතකම් තිබියදීත් ලිබරල්වාදයේ ඉන්දියානු අනුවාදය නිර්මාණය කළ පුද්ගලයා ලෙසය.

ලිබරල් විෂයේදී ශ්‍රී ලංකාව සැලකිය හැක්කේ කාන්තාර දේශයක් ලෙසය. අපේ රටේ දේශපාලනඥයන් අතර ලිබරල් ගණයට වැටෙන දේශපාලන නායකයන් සිටියේම නැති තරම්ය. ශ්‍රී ලංකාවේ නූතන දේශපාලනයේ ආරම්භක කාලයේදී "බර්ගර්" නායකයන් අතර ලිබරල්වාදින් සිටියද, සිංහල, දෙමළ සහ මුස්ලිම් නායකයන් අතර ලිබරල්වාදීහු නොසිටියහ. ලෝකයේ ලිබරල්වාදය ගැන පළවී තිබෙන පොත්වල සංඛ්‍යාව අති විශාල වුවත් ඒ ගැන ලියැවී තිබෙන වැදගත් එකම පොතක්වත් සිංහල භාෂාවෙන් පළවී නැත. එහෙත් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇති මාක්ස්වාදී පොත් සංඛ්‍යාව 100කටත් වැඩි විය හැකිය. ශ්‍රී ලංකාවේ 56 තරුණ පරපුර රුසියන් විප්ලවය, චීන විප්ලවය සහ කියුබන් විප්ලවය කට පාඩමින් විස්තර කරන්නට දැන සිටියේය. එහෙත් ඔවුහු එංගලන්ත, ඇමරිකන් සහ ප්‍රංශ විප්ලවය ගැන දැන නොසිටියහ.

ශ්‍රී ලංකාවේ චින්තනය කෙරෙහි බලපෑ දේශීය චින්තකයන් ලෙස සැලකිය හැක්කේ සිංහල බෞද්ධයන් සඳහා අනගාරික ධර්මපාලද, දෙමළ-හින්දුන් සඳහා ආරුමුගම් නාවලර්ද වේ. ජවිපෙ චින්තනය මාක්ස්වාදයේ සහ ධර්මපාලගේ චින්තනයේ සමහර අංග එකට එකතු කොට තනා ගත් චින්තනයක් ලෙස සැලකිය හැකි අතර, එල්ටීටීඊ චින්තනයද මාක්ස්වාදය සහ නාවලර්ගේ චින්තනයේ එන සමහර අංග එකට එකතු කොට තනා ගත් චින්තනයක් ලෙස සැලකිය හැකිය. මෙම චින්තන විශේෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලට තිබෙන පිළිගැනීම දුර්වල කළ චින්තන ධාරා දෙකක් ලෙස සැලකිය හැකිය. 

 
ව්‍යවස්ථා උල්ලංඝනය

 

දේශපාලන ක්‍රමයට එම ක්‍රමය විසින් නියම කර තිබුණ ආකාරයට "සර්විස්" කිරීමෙන් සහ නඩත්තු කිරීමෙන් තොරව පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය කඩා බිඳ වැටීම කෙරෙහි බලපෑ ප්‍රධානම සාධකය ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ප්‍රධාන අත්තිවාරම ලෙස සැලකිය හැකි අතර ව්‍යවස්ථාවට ගරු නොකරන එම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන දේශපාලන සංස්කෘතියක් ඇතිවූ විට දේශපාලන ක්‍රමය ජරාජීර්ණ භාවයට පත්වී එහි බිඳ වැටීමක් ඇති විය හැකිය.

ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථා ගණන අති විශාලය. ඒ මගින් සිදකර තිබෙන කෙලෙසීම්වල ප්‍රමාණයද අති විශාල වන අතර සිදු කර තිබෙන ඒ කිසිදු කෙලෙසීමක් පසුව විධිමත් ලෙස නිවැරදි කිරීමක්ද කර නැත. ඉන්දියාව ඉන්දිරා ගාන්ධිගේ පාලන කාලයේදී එක වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. ඊට එරෙහිව අධිකරණය, නීතිඥ ප්‍රජාව සහ නීති විෂයට අදාළ ශාස්ත්‍රාලයීය උගත්තු බලවත් ලෙස නැගී සිටියද ඒ සියලු විරෝධතා යට පත් කොට ගෙන සිය දුෂ්ඨ අරමුණු සපුරා ගැනීමට ඉන්දිරා ගාන්ධි සමත් වූවාය. 

එහෙත් ඇගේ මැතිවරණ පරාජයෙන් පසු 1978දී ඇගේ අතින් ඇතිවූ කෙලෙසීම් නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් (43 සහ 44 වැනි සංශෝධනය) ඉදිරිපත් කරන ලද අතර, නැවත වරක් බල ලෝභී අරමුණු වෙනුවෙන් දේශපාලකයන්ට වැඩි බලය මත ව්‍යවස්ථාව විකෘති කිරීමට තිබෙන හැකියාව සීමා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථා සංශෝධන සඳහා මූලික ව්‍යුහය පිළිබඳ නීති සිද්ධාන්තයක්ද ඇති කළේය.

 
අපේ අශීලාචාරකම

 

එහෙත් ශ්‍රී ලංකාවේ පාලකයන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා රාශියක් අතුරෙන් ව්‍යවස්ථාවේ ආරක්ෂාව සඳහා අධිකරණය බලවත් ලෙස පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදී පමණය. අන් බොහෝ අවස්ථාවලදී අධිකරණය කර තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පාලකයන් සමග ඍජු ලෙස හෝ අනියම් ලෙස එකට කල්ලි ගැසී එම ව්‍යවස්ථා උල්ලංඝනයන්ට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. 

එම වරද එක දිගට අවුරුදු 70ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට සිදුවී ඇතත් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුව හෝ විධායකය කිසිදු උත්සාහයක් දරා නැත. එම අවලස්සන තත්ත්වයේ වෙනසක් සඳහා නීතිඥ සංගම් ව්‍යාපාරය සේම නීතියට සම්බන්ධ ශාස්ත්‍රාලයීය උගතුන්ද කිසිදු බලවත් උත්සාහයක නිරත වී නැත. අග විනිසුරුවරයා ඇතුළු අධිකරණයේ විනිසුරුවරුන්ද ඒ සඳහා වන කිසිදු වැදගත් උත්සාහයක නිරත වූ බවක් පෙනෙන්නට නැත.

2003 පෙබරවාරි 6 වැනිදා අපූරු සිද්ධියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදු විය. කම්කරු නඩුවකට සම්බන්ධ ගුරුවරයකු ඒ නඩුවට සම්බන්ධ වාර්තා ලබා ගැනීමට දරන ලද උත්සාහයන් අසාර්ථකවීමෙන් පසු ඒ ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. අධිකරණ සේවා කොමිසමෙන්ද ඊට සාධාරණ පිළිතුරක් නොලැබුණු විට ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති සහ අග විනිසුරු ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 

පෙත්සම්කරුගෙන් එල්ල වූ විරෝධය නොසලකා එම පෙත්සම විභාගයට ගත්තේ අග විනිසුරුද ඇතුළත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. පෙත්සම විභාග කරනවා වෙනුවට අග විනිසුරුවරයා පෙත්සම්කරුට බරපතළ වැඩ ඇතිව එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව, ඔහු බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අතින් බිහිසුණු පහරදීමකට ද ලක් විය. 

මේ සිද්ධිය ජාත්‍යන්තරයේද බලවත් අවධානයට යොමුවූ සිද්ධියක් ලෙස ක්‍රියා කළේය.බන්ධනාගාරයේදී බිහිසුණු පහරදීමකට ලක්වී රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි එම පුද්ගලයා බලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාර ප්‍රධාන නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම්කුමාරස්වාමි ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු ශ්‍රී ලංකාවෙන් යන්නට පෙර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම දුර්දාන්ත අග විනිසුරුවරයාට එරෙහිව නැගී සිටින ලෙස ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවගෙන්ද ඉල්ලා සිටියේය.

 
ගොළු බිහිරි පාර්ලිමේන්තුව

 

එහෙත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කවර මට්ටමකින්වත් එම සාහසික සිද්ධිය ගැන සොයා බලන තැනකට ගියේ නැත. රටේ සිදුවූ බරපතළ ගණයෙහිලා සැලකිය හැකි අන් සියලු දේ ගැන පාර්ලිමේන්තුව අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තියද ඊට සමානය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය ඇතිව රජය සමග ව්‍යාපාර කිරීම ශ්‍රී ලංකාවේ සමස්ත ආයතන ක්‍රමය කුණු කිරීමට සහ රජයට ලැබෙන ආදායම් මාර්ග හීන කිරීමට හේතුවී තිබෙන බලවත් හේතුවක් ලෙස සැලකිය හැකිය. 

එම තත්ත්වය පාර්ලිමේන්තුව දූෂිත කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව, පාර්ලිමේන්තුවට තිබෙන සුජාතභාවයද අහිමි කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය ඉතාමත් ප්‍රකට කරුණක් වී තිබියදීත් පාර්ලිමේන්තුවේ ඒ ගැන පරීක්ෂණයක් තබා වාදයක්වත් සිදුවී නැත. ඒ ගැන සොයා බැලීමේ යුතුකමක් සහ වගකීමක් කතානායකට ඇතත්, කිසිම කතානායකවරයෙකු ඒ ගැන සොයා බලන තැනකට ගොස් නැත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය. එවැනි තත්ත්වයක් රටේ තිබෙන්නේද..? අප දන්නා කාලයේ තිබුණේද..? නීතියට අදාළ දේවල් සිදු වන්නේ ව්‍යවස්ථාවේ එන දර්ශනයට අනුකූලව නම් ශානි අබේසේකර වැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වසංගත තත්ත්වයක් තිබෙන විශේෂ කාලයක මේ තරම් දීර්ඝ කාලයක් රිමාන්ඞ් භාරයේ තබා ගන්නෙ කෙසේද..? හිජාස් හිස්බුල්ලා වැනි මානව හිමිකම් නීතිවේදියකු කිසිම සාධාරණ හේතුවක් නැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ මේ තරම් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පුළුවන් වී තිබෙන්නේ කෙසේද..?

 
ශානි අබේසේකර

 

ශානි අබේසේකර නම ගිය අපරාධ පරීක්ෂකයෙකු බවට පත් වූයේ යහපාලන ආණ්ඩු කාලයේ කරන ලද පරීක්ෂණ නිසා නොවේ. ඊට පෙර පවත්වා තිබුණු ලොකු වැදගත්කමක් හිමි කර ගත් අපරාධ පරීක්ෂණ නිසාය. ඔහු ඒ කාලයේ, දේශපාලන අර්ථයෙන් විවාදයට ලක්වූ පුද්ගලයෙක් නොවීය. ඒ නිසා ඔහු දේශපාලන භේදයකින් තොරව සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. ඔහු ඒ කාලේ හිමි කර ගෙන තිබුණ ප්‍රශංසාවල තරම ද විශාලය. 

අපරාධ පරීක්ෂණ විෂයෙහි ඔහුගේ කැපවීම, අපක්ෂපාතිත්වය සහ වෘත්තිමයභාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඔහුව විවෘත්ත අධිකරණයේදී ප්‍රශංසාවට ලක් කළේය. පූර්වගාමී නීතිපතිවරුන්ද සිව් වතාවක් ඔහුගේ දක්ෂතා ප්‍රශංසාවට ලක් කරමින් ඔහුට සහතික ලබාදී තිබෙන අතර පූර්වගාමී පොලිස්පතිවරුන්ද අවස්ථා දොළහකදී ඔහුට විශේෂ ප්‍රශංසා පිරි නමා තිබේ. ඔහු යහපාලන කාලයේදී කරන ලද දේශපාලන පසුබිමක් ඇති බව පෙනෙන, අපරාධ පරීක්ෂණද ඇත්තටම ඒ කාලයේ රටේ සිදුවූ අපරාධ වශයෙන් විනා නිර්මාණය කරන ලද අපරාධ ලෙස සැලකිය නොහැකිය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් ඔහුට බිහිසුණු ලෙස පහරදීමේ සිද්ධිය බොරුවක් නොවේ. කප්පම් ලබා ගැනීම සඳහා තරුණයින් එකළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියද බොරුවක් නොවේ. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සේම ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියද බොරුවක් නොවේ. 

ඒ සියලු අපරාධ ඒ කාලයේදී රටේ සිදුවී තිබුණ සාහසික අපරාධ ලෙස සැලකිය හැකිය. ඒවා ගැන සොයා බැලීමේ වගකීම ශානි අබේසේකර තමා වෙත හිතුවක්කාරී ලෙස පවරා ගත් වගකීමක් ලෙසද සැලකිය නොහැකිය. ඒ සියලු වගකීම් ඔහු වෙත නීතියට අනුකූලව පවරා දෙන ලද වගකීම් වන අතර ඒ ගැන පරීක්ෂණ සිදු කර තිබෙන්නේද නීතිපතිගේ සහ අධිකරණයේ මග පෙන්වීම් සහ අධීක්ෂණයන්ට යටත්වය. ඔහු නඩු පවරා තිබෙන්නේ එම අපරාධවලට වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව නම් මෙම අපරාධ පරීක්ෂකයාගේ සේවය තහනම් කොට නඩු පවරන ප්‍රතිපත්තියක් සාධාරණ සහ නීතියට අනුකූල විය හැක්කේ කෙසේද..?

 
රටේ අසමත්කම

 

රටේ වසංගත තත්ත්වයක් තිබෙන අවස්ථාවක පරණ ක්‍රමයට උසාවියට ඉදිරිපත් කරන මෙවැනි පුද්ගලයින් රිමාන්ඞ් කරන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද..? අත්අඩංගුවේ තබා ගැනීම සඳහා කෙනෙකු රිමාන්ඞ් කිරීමම අවශ්‍යද..? පොලිස් පරීක්ෂාව යටතේ නිවාස අඩස්සියේ තැබිය නොහැකිද..? ශානි අබේසේකර වැනි අය සම්බන්ධයෙන් රටේ වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනුගමනය කළ යුත්තේ එවැනි ප්‍රතිපත්තියක් නොවේද..?

යහපාලන කාලයේ දී පවරා තිබෙන මේ සියලු නඩු නිෂ්ප්‍රභ කරවා ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් බව තේරුම් ගැනීම අමාරු නැත. එහෙත් ආණ්ඩුවේ ඒ අරමුණ සපුරාදීම දීම සඳහා ක්‍රියා කිරීම අධිකරණය විසින් නොකළ යුතුව තිබුණ ක්‍රියාවකි. ආණ්ඩු විපර්යාසය අධිකරණය වැදගත් කොට සැලකිය යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකිය. දේශපාලන බලපෑමෙන් තොරව නීතියට අනුකූලව යුක්තිය පසිඳලීමේ හැකියාවක් අධිකරණයට නැති නම් ඒ මොහොතේ සිට අධිකරණය අසමත් අධිකරණයක් බවට පත් වන්නේය. ඒ සමග රටේ අසමත්කමද පරිපූර්ණ වෙන්නේය.

 

Advertiesment