Wednesday 27th of January 2021

English Tamil
Advertiesment


කොවිඩ් අසධිතයින් ඝාතනය කර වසංගතයට විසඳුම් සොයනු බැහැ 


2020-12-03 4476

අසධිතයින් ඝාතනය කර වසංගතය මර්දනය කරන රටක් ගැන කරුගෙන් හෙළිදරව්වක් 

 

ජනතාව වගේම නීතියත් අන්ත අසරණ වෙලා 

 

වසංගතය අස්සේ සෞඛ්‍ය ප්‍රතිපාදන රු.බිලියන 20කින් කපලා 

 

ඉතිං වසංගතය මර්දනය කරන්නේ කෙසේද..?

 

(සුජිත් මන්ගලඩ් සිල්වා) 

 

ශ්‍රී ලංකාව හැරුණු කොට, මාරාන්තික COVID-19 අසධිතයින්ට වෙඩි තබා එම අසාධිතයින් අමු අමුවේ ඝාතනය කරමින් වසංගතයට විසම්දුම් සොයන ලෝකයේ තවත් රටවල් තිබෙන්නේ දැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපරයයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රශ්න කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ජනතාව වගේම නීතිය ද අනත අසරණ වී සිටින බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා, ජනතාවගේ නිහඬතාවය නිවටකමක් ලෙස සිතා ගෙන ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ලෙසට ද රජය අනතුරු අඟවා සිටියි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ බ්‍රහස්පතින්දා (03) සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.

කොරෝනා වෛරසය හේතුවෙන් අද මුළු සමාජයම දරුණු පීඩනයකට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ තත්ත්වය දරුණු වෙමින් පවතිනවා. රටත් ජනතාවත් අසරණ වී සිටිනවා. කොරෝනා මර්දනය උදෙසා කටයුතු කරන ප්‍රමුඛ රාජ්‍ය නිළධාරියෙකුට අනුව අද සමස්ත ශ්‍රී ලංකාවම අවදානම් කලාපයක් බවට පත්ව තිබෙනවා.

කොවිඩ් මාරයාට ජාතියක් නැත. ආගමක් නැත. දේශපාලන නැඹුරුවීමක් නැත. එහෙයින් සෑම පුරවැසියෙක්ම ජීවත්වන්නේ බියෙනි. චකිතයෙනි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගෙවුණු සති කිහිපයේදීම මේ කරුණු පිළිබඳව දීර්ඝ අධ්‍යයනයට ලක් කළා. අපේ මතය වන්නේ රටේ සියලු දෙනාට ආපසු හැරී බැලිය යුතු කාලය පැමිණ ඇති බවයි. 

මුලදි ගත් තීරණ හරිද..? අපි ඉක්මන් වුණාද..? අපි ජාතිය, ආගම, බෞද්ධ සිද්ධස්තාන පවා මේ රටේ ජනතාව මුලා කිරීම සඳහා යොදා ගත්තාද..? ආණ්ඩුව, විපක්‍ෂය සහ සිවිල් සමාජය නිවැරදි තීන්දු තීරණ ගත්තාද..? අපි රැවටුණාද..? රැවැට්ටුවාද..? හදවතට අත තබා මේ ප්‍රශ්න තමාගෙන්ම ඇසිම ඉතා වැදගත් බව අපගේ හැඟීමයි. 

ජනතාවට සේවය කිරිම සඳහා විශේෂ බලතළ අවශ්‍ය බවත්, ඒ සඳහා 2/3 ක බලයක් ලබා දෙන ලෙසත් රජය ඉල්ලීමක් කළා. ජනතාව එම ශක්තිය ලබා දුන්නා. ඊට පසුව ඒ ලබා දුන් බලයටත් එහා ගිය බලයක් ඉල්ලා සිටියේ ජනතාවට සේවය කිරීමටයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම බලයත් ලැබුණා. අප්‍රිකාවේ අත්තනෝමතික පාලනයන් සහිත රටවල් කිහිපයක හැර මේ තරම් සාතිශය බලසම්පන්න ජනාධිපති පදවියක් අප ලෝකයේ කිසිදු රටක දැකලා නැහැ. මෙතරම් බලතළ තිබියදීත් ජනතාවගේ අවශ්‍යතා සැපයීමට රජය සමත් වී තිබෙනවාද..?

මේ වන විට රටේ සහතික මිලට හාල් ලබා ගත නොහැකියි. පොල්, සීනි, පරිප්පු, ළුණු, කහ ලබා ගත නොහැකියි. එසේ නම් රට කළඹා ලබා ගත් මේ අසිමිත බලතලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? පුරවැසියන් වශයෙන් අපි මේ සඳහා හේතු සොයා ගත යුතුයි. ඉතිහාසයේ රජයයන් මගින් ගැසට් කෙරුණු පාලන මිල මේ ආකාරයට අමු අමුවේ උල්ලංඝනය කළ අවස්ථා වාර්තා වී නැනැහැ. මේ තත්ත්වය භයානක ප්‍රවණතාවයක් සේම රජයට ද දැඩි අපහාසයක් බව කිව යුතුයි. 

20 වැනි සංශෝධනය ගෙන ඒම හේතුවෙන් මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් සේම සිවිල් සමාජයේ ද විශාල විරෝධයක් මතුව තිබෙන අතර එම විරෝධය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. පාර්ලිමේන්තුව හරහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ක්‍රමවේදයට එරෙහිව දැඩි සමාජ මතයක් ඇති වී තිබෙනවා. 20 වැනි සංශෝධනය නිසා ශ්‍රී ලංකා ජන සමාජයේ බෙදිමක් ඇතිවූ බව බහුතර මතයයි. මුල සිටම අපි 20 වන සංශෝධනය ගෙන ඒමට විරුද්ධ වූයේ මෙම ප්‍රවණතාවය දුටු නිසයි.‍

අපි දකින ආකාරයට ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙනවා. රජෙයේත්, විපක්‍ෂෙයේත්, පොදුවේ ජන සමාජයේත් යුතුකම වනුයේ ජනතාව රැක ගැනිමයි. ජීවත් කරවීමයි.

කොවිඩ් පාලනය කළ හැකි අලුත් එන්නතක් ගැන කිය වෙන විට අපි විශාල බලාපොරොත්තු ඇතිව ඒ සඳහා බලා සිටිනවා. රටවල් හා සමාගම් බොහෝ ගණනක් අත්හදාබැලීම් කර ගෙන යන බවට වාර්තා වී තිබෙනවා. ඒ කෙසේ නමුත් එම ඖෂධ නිෂ්පාදනය කරන ඇතැම් රටවල ජනතාවට පවා එම එන්නත ලබාදීම ආරම්භ කරන්නේ මෙම මස මැද භාගයේ සිටයි. ඒ අතර නිෂ්පාදනය කරන මෙම එන්නත් අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා ගැනීමේදී යම් අභියෝගයන්ද ජය ගත යුතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා.

එහෙත් මෙහිදී අප අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කරුණු ගණනාවක්ද තිබෙනවා. එළඹෙන 2021 අප්‍රේල් මාසය වන විට හෝ අපට එම එන්නත් ලබා ගත හැකි තත්ත්වයක් ලැබෙන්නේ නම් ඒවා රට පුරා ජනතාවට කඩිනමින් ලබා දිමට හැකි සංවිධාන ව්‍යූහයක් අප සකස් කර තිබෙනවාද..? අවම වශයෙන් ඒ ගැන කල්පනා කර හෝ තිබෙනවාද..? එමෙන්ම ශ්‍රී ලංකාවට සුදුසු කොව්ඩ් 19 එන්නත් ලබා ගත හැකි විශ්වාසදායකම මාර්ගය වන ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ අප මේ පිළිබදව සාකච්ජා කර අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවාද..?

කොව්ඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම රටක්ම සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් වෙන් කරන විට ශ්‍රී ලංකාව ඒ සඳහා අයවැයෙන් මුදල් අඩු කර තිබෙනවා. තවමත් විසදුමක් දක්නට නැති වසංගත තත්ත්වයකට මුහුණ දී ඇති රටක් ලෙස ශ්‍රි ලංකාව රජයේ සෞඛ්‍ය සේවාව කෙරෙහි මේ ආකාරයට අඩු අවධානයක් යොමු කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයක් බව කිව යුතුයි.

මෙම වසංගත තත්ත්වයක් පිළිබද කිසිදු අනතුරක් නොදුටු 2019 වර්ෂය සදහා අප රටේ සෞඛ්‍ය සේවාවට අරමුදල් වෙන් කරන අවස්ථාවේදී අප මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට රුපියල් බිලියන 178ක් වෙන් කළා. නමුත් මෙවර අයවැය මඟින් ඉදිරි වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 159.57ක් පමණයි. ඒ කියන්නේ 2019 ට සාපේක්ෂව ඉදිරි වසර සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 20 කින් පමණ කපා හැරලා තිබෙනවා.

අපගේ සිහිනය ජනතාවගේ ජීවිත රැකදීමයි. ඒ සඳහා අප කැපවීම් කළ යුතුයි. අපේ ජනතාවට කාපට් පාරවල් නොමැතිව, සුඛෝපභෝගී යාන වාහන ගොඩනැගිලි නොමැතිව ජිවත් විය හැකියි. එහෙත් කොතරම් කැපවීමක් කර හෝ ජීවත්වීම සඳහා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තිබිය යුතුයි. ජීවිත රැක දිය යුතුයි. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපගේ විශ්වාසයයි. රජය ඒ පිළිබදව ප්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

මේ සියල්ල අතර කොරෝනා වසංගතය හේතුවෙන් බලවත් පීඩාවකට ලක්ව ඇති මේ රටේ ජන ජීවිතය අතරින් මතු වන විවිධාකාර වු අසහනකාරී තත්ත්වයන් වර්ධනය නොකිරීමටද රජය වග බලා ගත යුතුයි. කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු කිරීමේදී සිදු වන වියදම දැරීමට නොහැකි පුද්ගලයන් පිළිබද රජය සානුකම්පිතව සලකා බලා කටයුතු කළ යුතුව තිබෙනවා. 

එමෙන්ම රෝග ව්‍යාප්තිය හේතුවෙන් අසහනයට සහ බියට පත් ජන කොටස් සහ සමාජ කණ්ඩායම් කෙරෙහිද රජය වඩා සානුකම්පිතව සේම යාථාර්තවාදීව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. පසුගිය දා රාගම බන්ධනාගාරයේ සිදු වූ ඛේදජනක සිද්ධිය ඊට එක් උදාහරණයක් බව කිව යුතුයි. අද වන විට බන්ධනාගාරවල කොරෝනා රෝගය වේගයෙන් පැතිර යන බවක් අසන්නට ලැබෙනවා. ඒ අනුව බන්ධනාගාරවල අද පවත්නා අධික තදබදය අඩු කරලීම සදහා යොදා ගත හැකි ප්‍රායෝගික විසදුම් පිළිබදව සේම රැදවියන්ගේ සුභ සාධනය පිළිබදවද අප වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. 

ඒ වෙනුවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම මඟින් කිසිදු ගැටලුවකට විසදුම් සොයා ගත නොහැකියි. පසුගිය දා රාගම බන්ධනාගාරයේදී සිදුවූ අවාසනාවන්ත තත්ත්වයේදී තුවාල ලබා රෝහල් ගතව සිටින සිරකරුවන් බොහෝ දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වුවන් බව අද වන විට හෙළි වී තිබෙනවා. එම තත්ත්වයෙන් පෙනෙන්නේ කුමක්ද..? කොවිඩ් ආසදිතයන්ට වෙඩි තබා විසදුම් සෙවූ වෙනත් රටක් පිළිබදව ඔබ අසා තිබෙනවාද..? 

අනෙක් අතට රටේ පොදු සමාජය අතර මතු වන කම්පනයන් කෙරෙහිද අප මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ජනතාව බලාපොරොත්තු වූ ස්වාධීන කොමිෂන් සභා සඳහා උග්‍ර දේශපාලන සගයින් පත් කිරීම හේතුවෙන් ඒ ආයතන කෙරෙහි මහා ජන විශ්වාසය බිඳවැ ටෙමින් පවතිනවා. එක් රටක්, එක් නීතියක් යනුවෙන් විශාල ප්‍රචාරයක් කළත් කුරුණෑගල බුවනෙකබාහු මණ්ඩපය විනාශ කිරිමට උපදෙස් දුන් දේශපාලඥයා තවමත් නිදැල්ලේ සිටිනවා. ඔහුගේ මයිලකටවත් අත තැබිමට ඉඩ නොදෙන බවට තර්ජනය කළ දේශපාලකයා ඒ අභියෝගය කළේ රටේ නීතියටයි. එම තනි සිද්ධියෙන් පවා පැහැදිලිව ප්‍රදර්ශනය කළ දේ කුමක්ද..? අද මේ රටේ නීතිය ජනතාව වගේම අසරණ වී ඇති බව නොවේද..?

රටට ආදරය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ කරුණු සඳහන් කරන්නේ සත්භාවයෙනි. නමුත් දැඩි වේදනාවකිනි. අද වන විට මේ රටේ ජනතාව නිහඩව මේ සියල්ල දෙස බලා සිටින බව සැබෑවකි. නමුත් ඒ නිහඩත්වය නිවටකමක් විදියට, වැරදි ලෙස තේරුම් නොගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේ සිද්ධින් ජනතාවගේ බුද්ධියට කරන නිගාවක් බව කිව යුතුයි. අප සඳහන් කළ කරුණු ගැන රජය අවධානයට යොමු කොට රට වෙනුවෙන් අවශ්‍ය පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා. ජනතාව අවධියෙන් සිටින බවත් අප සිහි තබා ගත යුතුයි.

Advertiesment