Thursday 25th of April 2024

English Tamil
Advertiesment


රනිල් එජාප මිනී පෙට්ටියේ අන්තිම ඇණයත් ගැසුවා..!


2020-12-01 7721

විද්වත්හූ චෝදනා කරති-පාක්ෂිකයෝ ශාප කරති 

 

"එජාපයයි-පාක්ෂිකයායි ගැන රනිල්ට තිබෙන්නේ වෛරයක්"

 

"රනිල් මානසික රෝගියෙකු" දැයි සැකයි -සරසවි ප්‍රජාව-

 

"ඔහු දේශපාලන නායකයෙකු නොව තැරැව්කාරයෙක්"

 

රනිල් දේශපාලනයෙන් සමු ගන්නේ ද්‍රෝහියෙකු ලෙසයි -පාක්ෂිකයින්-

 

එජාප ජ්‍යෙෂ්ඨයින් කළ යුතු දේ..! 

 

අලුත් දේශපාලන ව්‍යාපාරයකට රටේ තිබෙන අවකාශය 

 

"එජාපය අවසානයි" -වික්ටර් අයිවන්-

 

රනිල් එක්කම කුණු වී විනාශ වන එජාපය ගැන විද්වත් මතය මෙන්න..!

 

 

(සුජිත් මංගල ද සිල්වා)


එක්සත් ජාතික පාක්ෂිකය සහ පක්ෂය විනාශ කරමින් එම පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ද, ගසා පක්ෂය වළපල්ලටම ඇද දැමූ ද්‍රෝහීයෙකු ලෙස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස ගත වනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුළු විද්වත්හූ අවධාරණය කර සිටිති.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත එකසත් භික්ෂූ පෙරමුනෙ භික්ෂූන් වහන්සේලා බහුතරය ද, සන්නිවේදන බලකායේ සහ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් ද "lankanewsweek" සමග අවධාරණය කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට සිය දේශපාලන ජීවිතයට කවදා හෝ සමු දෙනු ඇත්තේ, සර්ව ජාතීන් සහ සර්ව ආගමිකයින් එකට ඒකරාශී කරමින් මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතා නිර්මාණය කළ රටේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය බිමටම සමතලා කළ ද්‍රෝහීම, අවස්ථාවදීම සහ ආත්මාර්මීථකාමී දේශපලන නායකයා ලෙස වන අතර එම සාතිශය අපරාධය වෙනුවෙන් සමස්ත ජාතියම ඔහුට ශාප කරනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයට සහ එම දේශපාලන පක්ෂයේ අනාගත ඉරණමට අදාළව මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, කළමනාකරණ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගෙන් "lankanewsweek" කළ විමසුමක දී ඔහු මෙසේ පැවැසීය.

"මිනිස්සු කියන කතාව ඇත්ත...උගතුන්ට වඩා සාමාන්‍ය ජනතාවට මේ ප්‍රශ්නය තේරෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට කාලයක් මුළුල්ලේ එක දිගට ඇණ ගොඩක් ගහ ගෙන ඇවිත් මේ වන විට එම පෙට්ටියේ අන්තිම ඇණයත් ගහලා ඉවරයි. මට නම් සිතෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් සහ එම පාක්ෂිකයින්ගෙන් පළි ගැනීමේ චේතනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බවයි. තමා කවදා හෝ මිය යන විට එක්සත් ජාතික පක්ෂයත්, එම පාක්ෂිකයිනුත් මිය යන්න ඔනෑ වැනි හැගීමක් ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙනවා ද කියා ඇත්තටම අප දන්නේ නැහැ.

මේ සියලු දේශපාලන කරුණු කාරණා, තත්ත්වයන් සහ ක්‍රියාකාරකම් අනුව බලන විට ඔහු යම් කිසි මානසික අබාධයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි අතර දේශපාලනයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් දේශපාලන නායකයෙකු ලෙස ක්‍රියා කර නැහැ. ඔහු ඇත්තටම දේශපාලන නායකයෙකු නොව දේශපාලන තැරැව්කාරයෙකු බව කිව යුතුයි. ඔහු කළේ දේශපාලනය නොවෙයි..."Broker" වැඩ. 

රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වූ අවස්ථාවේ දී, ඩී. බී විජේතුංග මහතා ජනාධිපති කරවීමට අදාළ සියලු තැරැව්කාරකම් තිරය පිටු පස සිටිමින් කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. 1999 සහ 2005 යන වර්ෂවලදී හැරුණු කොට මේ දක්වා ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී නැහැ. ඒ හැරුණාම සෑම ජනාධිපතිවරණයකදීම ඔහු කළේ, දේශපාලන තැරැව්කාරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතික අපේක්ෂකකම වෙන්දේසියේ විකුණමින් ඊට සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමයි.

සැබෑ නායකයෙකු නම් රනිල් වික්‍රමසිංහ මහතා, පරාජය වීමට හෝ වේවා ජය ගැනීමට හෝ හෝ වේවා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒ ඒ ජනාධිපතිවරණ සඳහා තරඟ කිරීමට ක්‍රියා කළ යුතුව තිබුණා. ඔහු පරදින්න පුළුවන්...ඒහෙත් දේශපාලන වශයෙන් කූට තැරැව්කාර වැඩ නොකර සබැ, ශක්තිමත් සහ බියගුළු නොමැති නායකයෙකු ලෙස ඔහු ඒ ඒ ජනාධිපතිවරණවලට තරඟ කළා නම් එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට සියතින්ම මෙම අන්තිම ඇණය ගැසීමට ඔහුට සිදු වන්නේ නැහැ. 2020 ජනාධිපතිවරණයේ දී සැබෑ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ "Broker" වැඩ නොකර ඍජුව, විනිවිදභාවයෙන් යුතුව, සැකයෙන් සහ බියෙන් තොරව නිවැරදි තීරණය ගත්තා නම් සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමටත් කරන්න කිසිවක් නොමැති වනවා. අවසානයේ දී සජිත් ප්‍රේමදාස ප්‍රධාන කණ්ඩායම පවා එක්සත් ජාතික පක්ෂය අත හැර ගියේ, රනිල් වික්‍රමසිංහ හැමදාමත් දේශපාලන තැරැව්කාරයෙකු ලෙස ක්‍රියා කරනවා විනා අභීත සහ සැබෑ දේශපාලන නායකයෙකු ලෙස ක්‍රියා නොකරන නිසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජතික පක්ෂ නායකත්වය අත නොහැර තව දුරටත් එහිම එල්ලී සිටිනවා නම් ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මේ මොහොතේ කළ යුත්තේ කිනම් හෝ සංවිධානයක් යටතේ එකට ඒකරාශී වී සියලු පාක්ෂිකයින් බලමුළු ගන්වමින් රට පුරා ඒකාබද්ධ සටන් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු අතර ඊට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම ද එකතු කර ගැනීමයි. 

රට-ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රබල දේශපාලන පක්ෂයි. ජනාධිපතිවරයා කවුරුන්ද යන කාරණය ඒ අයට අදාළ නැහැ. කුඩා කුඩා දේශපාලන පක්ෂවලින් රටට-ජනතාවට පළක් නැහැ. බරපතළ දේශපාලන පක්ෂ ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනා එකට ඒකරාශී වී එවැනි බරපතළ සහ නව්‍ය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගනවා නම් රටේ මහා ජනතාවගෙන් බහුතරය සේම වත්මන් ආණ්ඩුවේ "වියත් මඟ" නියෝජනය කරන විශාල පිරිසකුත් ඊට එක් වේවි. ඒ සඳහා රටේ අවකාශයක් තිබෙනවා. අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට මේ කාලය ඉතා හොඳයි.

ඇත්තටම අනාගත නායකයෙකු නොමැති ප්‍රශ්නයක් රටේ තිබෙනවා. සජිත් ප්‍රේමදාස නායකයෙකු ලෙස පිළි ගැනීමට බහුතරයක් සූදානම් නැහැ. රනිල් වික්‍රමසිංහව කවුරුවත් පිළි ගන්නෙත් නැහැ. රුවන් විජයවර්ධන ගැනත් මිනිස්සුන්ට මහා ලොකු පැහැදීමක් නැහැ. ඒ අනුව අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඔස්සේ යම් කිසි බලවේගයක් ඉදිරියට එන්නේ නම් ඒ ඔස්සේ රට සහ ජනතාව ඉල්ලා සිටින අලුත්, සැබෑ සහ අභීත නායකයෙකු බිහි වේවි."

මේ අතර "රාවය" ප්‍රධාන කර්තෘ සහ ප්‍රවීණ දේශපාලන විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා, "රනිල්ට සිදු වූයේ කුමක්ද" යන ශීර්ෂය සිය නිල "Facebook" පිටුවේ විශේෂ සඳහනක් තබමින් අවධාරණය කර සිටින්නේ, එක්සත් ජාතික පක්ෂ දේශපාලන ව්‍යාපාරය සංඛේතාත්මක ලෙස අවසන් වී ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයේ පැවැති වැඩවසම් ස්වරූපය වෙනුවට පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔහුට ඕනෑවටත් වඩා තිබුණද, ඔහු කළේ, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී  කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ස්ථාපිත වීම ඒ වෙනුවට පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කර ගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වී රට හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස පෙනී සිටීමට යැයි ද වික්ටර් අයිවන් මහතා චෝදනා කර සිටියි. 

රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාව මුදා ගැනීමට අවංක වුවමනාවක් වී නම් දූෂණයෙන් රට මුදා ගන්නට පෙර දූෂණයෙන් පක්ෂය මුදා ගැනීමට ඔහු ක්‍රියා කළ යුතුව තිබූ අතර කිසිම හේතුවක් නිසා හෝ ඔහුට ඒ සඳහා වන අභිලාෂයක් නොතිබුණා පමණක් නොව ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට පෙනී සිටීමට තිබූ අවස්ථාව රනිල් වික්‍රමසිංහ අහිමි කර ගත් බවට ද ඔහු චෝදනා කර සිටියි. 

2001 දී පාර්ලිමේන්තු බලය ලබා ගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙළා ගෙන තිබුණු බව ඔහු හොඳටම දැන ගෙන සිටී අතර ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය ඔහුට තිබුණත් ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ කළේ ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටීම විනා ඊට එරෙහිව ඵලදායී කිසිවක් කිරීම නොවන බව ද වික්ටර් අයිවන් මහතා සිය "Facebook" පිටුවේ තබා ඇති සටහන ඔස්සේ වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී ඇති මෙම තත්ත්වය සම්බධයෙන් "lankaneswesweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක, තිස්සව රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී ගෞරව සහ ශාස්ත්‍රපති පණ්ඩිත මුගුණුවටවන සිද්ධත්ත නා හිමියෝ මෙසේ අවධාරණය කළහ.

"එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රධාන රටේ සමස්ත ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ සහ දැඩිව ප්‍රතික්ශේෂ කර තිබිය දී ඔහු තව දුරටත් එක්සත් ජාතික පක්ෂය නායකත්වයේ රැදී සිටින්නේ කෙසේද..? ඔහු පක්ෂ නායකත්වයේ තව දුරටත් සිටිය යුතු බව වජිර අබේවර්ධන මහතා කියා සිටින්නේ කෙසේද..? එසේ කියන්න ඔහු කවුද..? ඔහුට තිබෙන පදනම කුමක්ද..? 

මේ මහා මැතිවරණයේ දී එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක්වත් දිනා ගත නොහැකි ආකාරයට ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කරමින් දේශපාලන පාලන කුණු කූඩයට එම පක්ෂය වීසි කර දැමීමට ජනතාව ක්‍රියා කළේ මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව නොවේද..?

සිය ආසනයවත් බේරා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නොහැකි දේශපාලන නායකයෙකුගෙන් ඇති ඵලය කුමක්ද..? ජනතාව තමා ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ තමාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඒ ජන මතයට හිස නමා ලෝකයේ කොතෙකුත් රටවල ඕනෑම තරම් දේශපාලන නායකයින් සිය තනතුරු සහ වගකීම්වලින් ඉල්ලා අස් වන බව අප දැක තිබෙනවා.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පමණක් එසේ එම ජන මතයට ගරු කර නොකර ජනතාව මතය නොතකා ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේම එල්ලී සිටින්නේ ඇයි..? මහා මැතිවරණයෙන් ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පවා මෙතෙක් නිශ්චිත තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වී තිබෙනවා. මේ මහා විගඩම කුමක්ද..? මේ තත්ත්වය ඇත්තටම විහිළුවක්..! ඇත්තටම එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපවත් වෙලා."    

Advertiesment