Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවට විරුද්ධව බ්‍රිතාන්‍යයෙන් යෝජනාවක්..!


2020-11-26 8243

ලක්ෂමන් කිරිඅල්ලගෙන් හෙළිදරව්වක්

 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාව සම්මත කරයි

 

ජාත්‍යන්තර බලපෑම් යළි හිස ඔස වන ලකුණු..? 

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

ශී‍්‍ර ලංකාව සිය අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස් කර ගත් නිසා 2021 මාර්තු මාසයේ දී ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බදාදා (25) විශේෂ යෝජනාවක් සම්මත කර ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

"කුඹුරු අක්කරයකට ලබා දෙන පොහොර 2018 හා සසැදීමේදී හරි අඩකින් අඩු කරලා. පොහොර ගැටලුව පිළිබදව මම මහනුවර හසලක ප‍්‍රදේශයේ ගොවි මහත්වරුන් සමග සාකච්ඡා කළා. 2018 වසර වන විට කුඹුරු අක්කරයකට NOP වර්ගයේ කුඩු පොහොර 41 kgක් ද, PSP  වර්ගයේ පොහොර 50 Kgක් සහ යූරියා වර්ගයේ පොහොර 150 Kg ලබා දුන්නා. 

නමුත් කණගාටුයි කියන්න මේ වන විට කුඹුරු අක්කරයකට ලබා දෙන්නේ NOP වර්ගයේ කුඩු පොහොර 10 Kgක්, PSP වර්ගයේ පොහොර 21 Kg සහ  යූරියා වර්ගයේ පොහොර 81 Kgක් පමණයි. ඒ කියන්නේ ගොවියන්ට ලබා දෙන පොහොර ප‍්‍රමාණය 2018 වර්ෂයට සාපේක්ෂව හරි අඩකින් අඩු කරලා තිබෙනවා. මේ පිළිබද වහාම අවධානය යොමු කරන්න.

ගරු කථානායකතුමනි.., විදේශ කටයුතු අමාත්‍යාංශයේ  විවාදය අවස්ථාවේදී මා මතක්කර සිටියා මහින්ද රාජපක්‍ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් මහත්මයා සමග පොරොන්දු වූ ගිවිසුම අනුව අභ්‍යන්තර පරික්‍ෂණයකට එදා එකඟ වුනූ බව. මහින්ද රාජපක්‍ෂ මහත්මයා එම පොරොන්දුව ඉටු නොකළ නිසා අපේ ආණ්ඩුව කාලයේ අපි අභ්‍යන්තර පරික්‍ෂණයකට එකඟ වුණා. 

පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වී එම එකඟතාවය ඉල්ලා අස් කර ගත්තා. මම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී බදාදා (25) අනතුරු ඇගවීමක් කළා. ඒ වගේම ශ්‍රී ලංකාව සිය අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස් කර ගත් නිසා 2021 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගැනීමට අදාළව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වන විට යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

මේ පසුබිම යටතේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව ජාත්‍යන්තරයෙන් යෝජනාවක් ආවොත් ඒ තත්ත්වය රටට අති විශාල ගැටලුවක් වනවා. 2015 ට පෙර අප රට තිබූ තත්ත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත වුණා. 2015 අපේ රට පැවැතියේ  ජාත්‍යන්තර ආර්ථික සම්බාධක අභියසයි. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න."
 

Advertiesment