Thursday 30th of November 2023

English Tamil
Advertiesment


රනිල්ට සිදු වූයේ කුමක්ද..?


2020-11-27 7682

දේශපාලන ව්‍යාපාරයක් ලෙස එජාපය අවසන්

 

පක්ෂයේ දුෂණයට තිත නොතැබූ රනිල් රටේ දුෂණය පිටු දකින්නේ කෙසේද..? 

 

පක්ෂයට ඒකාධිපති-රටට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දෙබිද්ඩ්ඩා

 

හැමෝටම උගුල් ඇටවූ රනිල් අසුවූ උගුල 

 

අරක්කු වෙළෙඳාමෙන් සල්ලි උපාය ප්‍රභූන් වූ එජාපයේ පවුල් සමාගම  

 

 
(වික්ටර් අයිවන්)

 

මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට සහ එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ශ්‍රී ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට  ඇතුළත් දෙයක් ලෙස සැලකිය  හැකි අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය.

එක්සත් තික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහට එම  තත්ත්වය  උදා  කිරීමට දායක වූ සමගි ජන බලවේගය යම් තරමක පාර්ලිමේන්තු නියෝජනයක් හිමි කර ගැනීමට සමත්ව ඇතත්, බලවත් විකල්ප බලවේගයක් ලෙස ස්ථාපිතවීමට සමත් වී නැත.  ඒ  අර්ථයෙන්  සිදුවූ  බව පෙනෙන්නේ  සංකේතාත්මක අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවය.

 
පවුල් බලය

 

එක්සත් ජාතික පක්ෂය පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට  පමණය. නිදහසින්  පසු  ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැත හොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ  රට හිමි කර ගෙන තිබෙන පරාජයන් සහ ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හරි හරියට වග කිව යුතුය. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

දේශපාලනයේ පවුල් බලය ගැන කතා කරන විට දැන් වැඩි වශයෙන් කතා  කෙරෙන්නේ "රාජපක්ෂ" පවුල ගැනය. එහෙත් එක්සත් ජාතික පක්ෂය ද ඥාතිකමෙන් එකට බැඳුණු  ඉතා බලවත් "පවුල් කාටලයක්" මත ගොඩ නගා  පවත්වා ගෙන ගිය පක්ෂයක්  ලෙස සැලකිය හැකිය.  එම "පවුල්  කාටලයේ" ප්‍රබලයන් බ්‍රිතාන්‍ය පාලන කාලයේදී  අරක්කු වෙළෙඳාමද ඇතුළු  විවිධ  වාණිජ  ව්‍යාපාර  මගින්  ධනවත්  බවට  පත්වූ සහ ඒ  මගින්  ප්‍රභූ  තත්ත්වයක්  හිමි කර ගත් පවුල් කණ්ඩායමක්  ලෙස සැලකිය හැකිය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කෙරුණු කාලයේදී පවා එම ආණ්ඩු සැලකුණේ   "මාමලාගේ-බෑනලාගේ" ආණ්ඩු සහ පක්ෂය වශයෙනි.

එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක එම පක්ෂය අත හැර ගියේ තමාට කොතරම් සුදුසුකම් තිබුණත් එම පක්ෂයේ නායකයාවීමට ඉඩක් නැතැයි කියන විශ්වාසය නිසාය. එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ඔහුගේ වැන්දඹු  බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   ගොඩ  නගන  ලද්දේ  එම  පවුලට  හිමි  බූදලයක්  ලෙස  සලකාය.  1977  මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අගමැතිනි  සිරිමා බණ්ඩාරනායකගේ පවුල හඳුන්වන ලදදේ පවුල් ගසක් ලෙසය. ඒ සඳහා කාටූන් පොතක්ද පළ කර තිබුණි.

රාජපක්ෂවරුන් දේශපාලනයේදී පවුල්  බලයට ලැබෙන වැදගත්කම ඉගෙන  ගන්නට ඇත්තේ සේනානායකවරුන්ගෙන්, ජයවර්ධනවරුන්ගෙන් සහ සිරිමා  බණ්ඩාරනායකගෙනි. අවසානයේ එම විෂයෙහි කෙළ පැමිණි අය බවට පත් වූයේ ද රාජපක්ෂවරුන්ය.

ජේ.ආර්. ජයවර්ධන

 

තමන්ට රකින්නට  කුමාර කුමාරිකාවන් නැති  බව 1977 මැතිවරණ කාලයේදී ජේ.ආර්. ජයවර්ධන  කීවද, ඔහුද පවුලේ  බලය ගැන ලොකු  සංවේදීතාවක් පෙන්නුම් කළ නායකයෙකි. 1977දී  අනාගත  නායකයන්  සඳහා පෝලිම සකස්  කිරීමේදී  ඒ වන විට ඉතාමත් තරුණ වියේ පසුවූ  තම  පවුලේ වැදගත් පුරුකක්  වූ  රනිල්  වික්‍රමසිංහ පෝලිමේ වැදගත් තැනක තබන්නට ඔහු අමතක නොකළේය.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහට විදේශ නියෝජ්‍ය  ඇමතිකම  දී, ඉන්පසු  පළමු  කැබිනට් මණ්ඩල සංශෝධනයේදීම කැබිනට් ඇමති ධූරයකට ඔහු පත්  කරන ලදි. පවුලේ  උරුමය  අනුව  තමන්ගෙන්  පසුව පක්ෂ  නායකත්වය රනිල් වික්‍රමසිංහට ලැබිය යුතු යැයි ජනාධිපති  ජේ.ආර් ජයවර්ධනගේ  අපේක්ෂාව  වූවා  විය හැකිය.  

ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස,  ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී  දිසානායක  ඝාතනයට ලක්වීමෙන් පසුව බලවත් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වය  හිමි කර ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත්  විය.  ජේ.ආර් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන නායකයන්  දෙදෙනාම  පක්ෂය පාලනය  කළේ  ගණන්කාර නායකයන් සිය කණ්ඩායම පාලනය කරන ආකාරයටය. එමගින් පක්ෂ නායකයා කෙරෙහි වන උපරිම බය පක්ෂපාතීත්වයක් පක්ෂය අභ්‍යන්තරයේ පවත්වා ගෙන යාමට එම නායකයෝ දෙපළ සමත් වූහ.

 
රනිල්ගේ සීමිතකම්

 

එහෙත්  පූර්වගාමී  නායකයන්  දෙදෙනාට  තිබූ  ගණන්කාර  උරුමය  රනිල් වික්‍රමසිංහට තිබුණේ  නැත. රනිල් වික්‍රමසිංහ වැනි  නායකයකු එම  තත්ත්වය  ලබා ගත  යුතුව තිබුණේ  පක්ෂයේ  වැඩවසම්  ස්වරූපය  වෙනස්  කොට ප්‍රජාතන්ත්‍රවාදී  කිරීමෙනි.  ඒ සඳහා  අවශ්‍ය  කරන  දැනුම  ඕනෑවටත් වඩා ඔහුට තිබුණද, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී  කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස  ස්ථාපිත වීමට රනිල් වික්‍රමසිංහ කැමැත්තක් දැක්වූයේ  නැත. ඒ වෙනුවට ඔහු පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කර ගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වෙමින් රටට ප්‍රජාතන්ත්‍රවාදී  නායකයෙක්  වීමට උත්සාහ කෙළේය.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන අතින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමක්  සිදු වූවා සේම පක්ෂය උපරිම මට්ටමකට දූෂිත කිරීමක්ද සිද විය. පක්ෂ අරමුදල් සහ මැතිවරණ අරමුදල් සඳහා රටේ තිබුණු නීති අහෝසි කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය ද කළු සල්ලිවලින් යැපෙන පක්ෂයක් බවට  පත්ව  තිබුණි.  

මන්ත්‍රීවරුන්  සඳහා  පැවති  රටේ  නීතියටත්,  ලෝකයේ පැවති පිළිගත් සදාචාරයටත් පටහැනි ලෙස මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්නට ඉඩදීම නිසා පක්ෂය පමණක් නොව, පාර්ලිමේන්තුව සහ මුළු දේශපාලන ක්‍රමයම දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණි. ඒ අනුව ජනාධිපති ජේ.ආර්  ජයවර්ධන  විසින්  වස්තු  කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කොට තිබුණි.

මෙම දූෂණය  ශ්‍රී ලංකාව  විනාශය  කරා  යන  ගමන  කෙරෙහි  බලපෑ  ප්‍රධාන  ලක්ෂණයක්  ලෙස  සැලකිය  හැකිය. රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාව  මුදා  ගැනීමට අවංක  වුවමනාවක්  වී නම්  දූෂණයෙන්  රට  මුදා  ගන්නට  පෙර දූෂණයෙන් පක්ෂය මුදා ගත යුතුව තිබුණි. මොන හේතුවක් නිසා හෝ ඒ සඳහා වන අභිලාෂයක් රනිල් වික්‍රමසිංහට නොතිබුණි.  ඒ  මගින් රනිල් වික්‍රමසිංහ අවශ්‍ය තරම් දැනුම තිබියදී ශ්‍රී ලංකාව සඳහා වන අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හැකියාව අහිමි කර ගත්තේය. 

ඔහු 2001 පාර්ලිමේන්තු බලය ලබා ගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙළා ගෙන තිබුණු බව හොඳටම දැන සිටියේය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය තිබුණත්, රනිල් වික්‍රමසිංහ විසින් ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියා මිස ඊට එරෙහිව ඵලදායී කිසිවක් නොකළේය.

 

උගුලට අසුවීම

 

නූතන අර්ථයෙන් ශ්‍රී ලංකාව පරිණත දේශපාලන නායකයන් බිහි කළ රටක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ සම කාලීන දේශපාලකයන් අතර සිටි වැඩිම දැනුමක් සහ පළපුරුද්දක් තිබූ නායකයා ලෙස සැලකිය හැකිය. ඔහු සැලකෙන්නේ  දේශපාලනයේදී හොඳ උගුල් අටවන්නෙකු ලෙසය.  

අවසානයේදී  ඔහු දේශපාලන වශයෙන් නැති භංග වූයේද ඔහුට එරෙහිව අට වන ලද උගුලකට හසුවීමෙනි. මම යහා පාලන  වැඩ සටහන එහි  ආරම්භයේ සිටම  දැක්කේ  මහින්ද  රාජපක්ෂ  පමණක්  නොව  රනිල්  වික්‍රමසිංහද  පරාජය  කොට  තුන් වැනි පිරිසක්  තමන්  වෙත අනියම් ලෙස බලය ලබා ගැනීමේ අරමුණින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ  නාමයද යොදා ගෙන ක්‍රියාවට නගමින් තිබුණු සටකපට වැඩ සටහනක් ලෙසය. මා ඒ ගැන ඒ කාලයේ ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා සේම ලියාද ඇත්තෙමි.

පොදු අපේක්ෂකයකු අවශ්‍ය යැයි කියන තර්කය යොදා ගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ වැනි බලවත් නායකයකු, පරාජය  කිරීමේ  ශක්තිය රනිල් වික්‍රමසිංහට නැතැයි  කියන තර්කය සනාථ කිරීම සඳහාය. එහෙත්  2005 දී  මහින්ද රාජපක්ෂ සමග තරග කොට රනිල් වික්‍රමසිංහ පරාජය වූයේ  වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මැතිවරණ වර්ජනය නිසාය. එක්සත් ජාතික පක්ෂයට සිටින සුදුසුම  අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවේ නම් සුදුසු අපේක්ෂකයකු සොයා ගත යුතුව තිබුණේ එම පක්ෂයෙන් මිස පිටස්තරින් නොවේ. 

එම පක්ෂයේ  ජන  බලයෙන්  පිටස්තරයකු  බලයට ගෙනා විට බරපතළ අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට  එම ක්‍රියාව එම පක්ෂයට කරන ලොකු  අසාධාරණයක්ද  වන්නේය. එමෙන්ම පිටස්තරින් බලයට ගෙන එන පුද්ගලයා තමන්ට ලැබෙන අති විශාල බලය වැරදි ලෙස යොදා ගත හොත් එම තත්ත්වය පාලනය කිරීමට ක්‍රමයක් තිබිය යුතු වුවත් එවැන්නක් එම වැසටහනට ඇතුළත්ව තිබුණේ නැත. එම සූත්‍රය සමග ඉදිරිපත් කර තිබූ ප්‍රතිසංස්කරණ වැඩ සටහනද  රටට අවශ්‍ය වී තිබූ  සැබෑ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නොසලකා සකස් කරන ලද බොරු ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ලෙසද සැලකිය හැකිය.

මා මෙම වැඩ සටහනේ  භයානකත්වය ගැන මා දරන අදහස්  රනිල් වික්‍රමසිංහ සමග  කතා  කළෙමි. ඒ වන විට පොදු අපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල  සිරිසේන තෝරා ගෙන නොතිබුණි. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ හැකි නම් එවිට පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනය බිඳ වැටි එකසත් ජාතික පක්ෂයට තරග කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් මුලදී සුළු සුළු ප්‍රශ්න ඇති විය හැකි වුවත් පසුව  සියලුම මහින්ද රාජපක්ෂ විරෝධීන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය දෙනු ඇති බවත් මම කීවෙමි. රනිල් වික්‍රමසිංහ මගේ ඒ අදහස්වලට සවන් දුන්නා පමණක් නොව ඒවා පිළිගන්නා බවද කීවේය.

ඉන්පසු මම කරු ජයසූරිය මහතාද හමුවී පොදු අපේක්ෂකයෙකු පිළිබඳ වැඩ සටහනේ පංගුකාරයෙකු වීම ගැනඔහුට දොස්  කියමින්ම එම සංකල්පය මගින් ඇති  කළ  හැකි  බිහිසුණු  ප්‍රතිඵල  ගැන  කරුණු  පැහැදිළි  කිරීමක්ද  කළේය. ඉන්පසු මම මාදුළුවාවේ සෝභිත හිමියන්ද  හමුවී ඒ ගැන කතා කළෙමි. උන්වහන්සේ හමුවන්ට ගිය ගමනට මනෝ  තිත්තවැල්ල සහ සුමතිපාල කාරියවසම්ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් ඒ ක්‍රියාදාමය විධිමත් ක්‍රමයකට මිස, අවිධිමත් ක්‍රමයකට කරන්නට යාමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව මම කීවෙමි.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට කැමති වූයේ ඔහු වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග දෙන ලද  සහතිකය නිසාය. චන්ද්‍රිකා කුමාරතුංගගේ අනුග්‍රහය නිසා යහපාලන වැඩ සටහන පිටු පස සිටින රනිල් වික්‍රමසිංහ විරෝධීන්ට මෛත්‍රීපාල සිරිසේන සමග ලොකු ගනුදෙනුවකට යන්නට ඉඩ නොලැබෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ විශ්වාස කළේය. අවසානයේ රනිල් වික්‍රමසිංහ යහපාලන උගුලේ ගැළවිය නොහැකි හිරකාරයෙකු බවට පත්විය.

2015 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් ඔහු ජය ගන්නට ඉඩ තිබුණි. ඒ නිසා රටට ලොකු විමුක්තියක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැතත්, එසේ වී නම් රට විනාශය කරා යන ගමන මේ තරම් වේගවත් නොවන්නට ඉඩ තිබුණි.

 

රනිල්ට වැරදුණේ කොතැනද

 

එසේම දැන් ඇතිවී තිබෙන මහා විනාශයට වර්තමාන පාලකයින්  පමණක් නොව පෙර පාලකයින් ද හරිහරියට වග කිව යුතුය. යහා පාලනයට සම්බන්ධ සියලු නායකයින් දැන හෝ නොදැන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන්ට වංචා  කළේය. එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සකස් වී තිබුණේ මෝඩ ලෙස වුවත් අවශ්‍ය වෙනස්කම් දිනා ගැනීමට දරන උත්සහයන් නිසා ජීවිත පූජා කළ දස දහස් ගණනකගේ ලේවලින් සහ ඒ වෙනුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දහදිය සහ කඳුළුවලිනි.

බොහොමයක් ප්‍රතිසංස්කරණ  ආපසු  හරවා තිබෙනුයේ පුංචි සවලකින් ගළවා වීසි කෙරෙන ආකාරයටය. ඒවා ශක්තිමත් අතිවාරමක් නැතිව දඩි බිඩියේ වැල්ලේ තනන ලද ප්‍රතිසංස්කරණ බව පැහැදිළිව පෙනේ. අධිකරණය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ තත්ත්වයකය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන කිසිම නිවැරදි දැක්මක් එම ආණ්ඩුවට නොතිබුණු අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය විසින් අධිකරණය පිරිසිදු කර දෙනු ඇතැයි  මෝඩ ලෙස විශ්වාස  කළේය.  

රනිල් වික්‍රමසිංහ  අගමැති  ධූරයෙන් පහ කිරීම වළකන අධිකරණ තීන්දුව සලකන ලද්දේ අධිකරණය හිමි කර ගෙන තිබුණ ප්‍රගතියේ අති විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන වැදගත් මාපකයක් වශයෙනි. එවැනි තීන්දුවක් ලැබුණේ පොදුවේ අධිකරණය දියුණු තත්ත්වයක තිබුණ නිසා නොව විශ්‍රාම යාමට සිටි අගවිනිසුරුවරයාට  ඊට පෙර එම විෂයෙහි යුක්තිය ඉටු කිරීමේ බලවත් අධ්‍යාසයක් තුබුණ නිසාය. ඉන් පසුත් අධිකරණ පද්ධතිය අභ්‍යන්තරයේ සිදු නොවිය යුතු බොහෝ දේවල් සිදු විය. ඒවා ගැන කිසිදු  සොයා  බැලීමක්  සිදු නොවීය. දැන් ශ්‍රී ලංකාව එම විෂයේදී සිටින්නේ අගාධයේ පතුළටම ගිය තත්ත්වයකය.

 


 

Advertiesment