Thursday 28th of January 2021

English Tamil
Advertiesment


ආර්ථිකය වැටුණේ කෝටි 60,000ක ගජ මිතුරු බදු සහනයෙන්


2020-11-24 6486

COVID-19න් ආර්ථිකය අමුතුවෙන් වැටුණේ නැහැ 

 

ඒකාධිපති පාලකයින් සිටින රටවලට ආයෝජකයින් එන්නේ නැහැ

 

නියෝගවලින් රටක් පාලනය කරනු බැහැ-සංවාදය අවශ්‍යයි

 

හමුදා පාලන සාර්ථක නැහැ-ඉම්රාන් ඛාන් ඒ ගැන කිව්වා 

 


(සුජිත් මංගල ද සිල්වා) 

රට ආර්ථික වශයෙන් කඩා වැටී ජනතාව අනාථ වුණේ COVID-19 වසංගතය නිසා නොව රජය බලයට පත් වූ වහාම සිය ගජ මිතුරන්ට රුපියල් කෝටි 60,000ක බදු සහන ලබා දෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගත් නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධයක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.

ඒ මුදල් සම්භාරය තිබුණා නම් වසංගතයෙන් දුක් පීඩා විඳිමින් අන්ත අසරණ වී සිටින ජනතාවට සහන සැලසීමට තිබූ බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ  ස්වාධිනව කටයුතු කළ යුතු ආයතන සියල්ල මේ වන විට ජනාධිපතිවරයාගේ සපත්තුවට යට වී තිබෙන බවට ද චෝදනා කළේය.

පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ  ස්වාධිනව කටයුතු කළ යුතු ආයතන සියල්ල මේ වන විට ජනාධිපතිවරයාගේ සපත්තුවට යට වෙලා තිබෙනවා.

කොවිඞ් හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති ප‍්‍රදේශවල ජනතාවට රුපියල් 5000 ක අධාරයක් නැවත වරක් ලබා දෙන්න රජය ක්‍රියා කළ යුතුයි. මහනුවර දිස්ති‍්‍රක්කයේ පාසල් 60ක් සඳහා PHI මහත්වරු ඉන්නේ එක් අයෙකු පමණයි. තාවකාලිකව හෝ PHI මහත්වරුන් ප‍්‍රමාණය වැඩි කරන්න.

ඒ වගේම එකාධිපති පාලකයන් ඉන්න රටකට අයෝජකයන් එන්නේ නැ. ගරු කතානායකතුමනි.., මහනුවර කඩුගන්නාව නගර මධ්‍යයේ තිබ්බ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා විසින් ඉදි කළ ඔරලෝසු කණුව නගර සභාව විසින් එක රැයකින් ගලවලා ඉවත් කරලා. රට පුරා ඔරලෝසු කණු ගැලවිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. අපි ඒක හෙළා දකිනවා. 

ඒ වගේම පාසල් යළි විවෘත්ත කළ දවසේ  කරන මහනුවර ධර්ම රාජ විදුහලේ ළමුන් 4000 කින් පාසල් ආවේ 75 යි. අද ඇවිත් තියෙන්නේ. මහනුවර දිස්ති‍්‍රක්කයේම ගත්තොත් 5%ක් වගේ ළමුන් ප‍්‍රමාණයක් තමයි පාසල් ගිහිල්ලා තියෙන්නේ. මහනුවර දිස්ති‍්‍රක්කයේ PHI මහත්වරුන් ඉන්නේ පාසැල් 60 කට එක්කෙනයි. ඒ නිසා තාවකාලික නිලධාරින් හෝ බඳවා ගෙන මේ ප‍්‍රමාණය වැඩි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොවිඞ් හේතුවෙන් "Lock Down" කරලා තියෙන ප‍්‍රදේශවල ජනතාවට නැවත වරක් රුපියල් 5000 ක දීමනාව ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒ ජනතාව ඉතා අසිරු තත්වයකට පත්ව සිටිනවා. රැකියාවක් කර ගන්න බෑ.  ඒ ජනතාවට අද ජිවත් වෙන්න මාර්ගයක් නැ. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණයට, රාජ්‍ය සේවා කොමිසමට, අධිකරණ සේවා කොමිසමට, ජාතික පොලිස් කොමිසමට සහ  අල්ලස් හෝ දුෂණ කොමිසමට වැනි ආයතන සියල්ලටම ස්වාධිනත්වයක් තිබුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිතුමා නමක් යෝජනා කළාම ව්‍යවස්ථාදායක සභාවට ඒ නම පිළි ගන්නත්, නොපිළිගන්නත් හැකියාව තිබුණා. නමුත් අද ජනාධිපතිතුමා නමක් යෝජනා කළාම ඒ නම නියත ලෙසම පිළිගන්න  ඕනේ. කණගාටුයි කියන්න අද මේ ආයතන සියල්ල ජනාධිපතිතුමාගේ සපත්තුවට යට වෙලා.

ව්‍යවස්ථාවේ ප‍්‍රධානම අංගය තමයි බලතල බෙදා හැරිම. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ස්වාධින ආයතනවලට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න  ඕනේ. නමුත් 20 වැනි සංශෝධනයෙන් පස්සේ අධිකරණයට ස්වාධිනව කටයුතු කිරිමේ හැකියාව අහිමි වෙලා තියෙනවා. ව්‍යවස්ථාදායකයේ බලය අහිමි වෙලා තියෙනවා. බලතල බෙදා හැරිම අහිමි කිරිම ඇත්ත වශයෙන්ම අපිට ප්‍රෙහෙලිකාවක්. 

ගරු කතානායකතුමනි.., ව්‍යවස්ථාවට අනුව රටේ ප‍්‍රධාන තනතුරු 75 ක් පමණ පත් කිරිමට තිබෙනවා. නමුත් මේ පත්කිරිම් 75 ම කිසි කෙනෙකුගෙන් අහන්නේ නැතිව තනි කැමැත්තට පත් කරන්න පුළුවන්. මේ ක‍්‍රමය හරිද..? මේ කරුණු ගැන විපක්‍ෂය සමග, වෘත්තිකයන් සමග, සිවිල් කි‍්‍රයාකාරින් සමග කිසිම සංවාදයක් නෑ. 

සජිත් පේ‍්‍රමදාස මැතිතුමා කොවිඞ් ගැන මේ කවුරුවත් හිතන්නවත් කලින් 2020 ජනවාරි මාසේ 24 වෙනිදා කිව්වා ගුවන් තොටුපොළ වහන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ වසර 25-30 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ නායකයන් ඉන්නවා. නමුත් මේ කවුරුත් මේ ගැන කතා කළේ නෑ. ගුවන් තොටුපොළ වහන්න කියලා 2020 ජනවාරි විතරක් නෙවේ පෙබරවාරි මාසෙත් කිව්වා. නමුත් මේ රජය ඇහුම්කන් දුන්නේ නැ. 

ගරු කතානායකතුමනි.., ඔබතුමා බලන්න තායිවානය කියන රට චිනයට ආසන්න රටක්. නමුත් අද සාමාන්‍ය තත්ත්වයෙන් රට ඉදිරියට යනවා. හේතුව තමයි තායිවානය 2020 ජනවාරි මාසයේදිම ගුවන් තොටුපොළ වැහුවා. ඒ නිසයි තායිවානයට රෝගයට එරෙහිව සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබුණේ. නමුත් අපේ රටේ මොකද වුණේ..? අපේ ගුවන් තොටුපොළත් ජනවාරි මාසයේදි වැහුවා නම් අද මේ තත්ත්වයට පත් වෙන්නේ නෑ. මාර්තු මාසයේ මැතිවරණයට නාම යෝජනා භාර ගත්තාට පස්සේ තමයි ගුවන් තොටුපොළ වැහුවේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂය සමග කිසිම සංවාදයක් තිබ්බේ නෑ. සභානායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවලා, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සාකච්ඡා කිරිම වැළැක්වූවා. ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සාකච්ඡා නොකරයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ. 

පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් කියලා තිබුණා මිල්ටරි අයට රටක් පාලනය කරන්න බෑ කියලා. මිල්ටරි පාලකයන්ට සංවාදයක් නෑ, සාකච්ඡාවක් නෑ. නමුත් ප‍්‍රජාතත්ත‍්‍රවාදි පාලනයකට සංවාද සහ සාකච්ඡා අවශ්‍යයි. නියෝගවලින් පමණක් රටක් පාලනය කරන්න බෑ. අද අවාසනාවකට රටේ සංවාදයක් නෑ. සංවාදයක් නොමැතිකම නිසා අපි දවසෙන් දවස ප‍්‍රපාතයට ඇද වැටෙනවා.

ව්‍යවස්ථාදායක සභාව ඉස්සෙල්ලම රටට හදුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියයි. එදා වයඹ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ පොලිසිය සහ රජයේ ඉහළ නිලධාරින් ආණ්ඩුවේ මර්නදයට ලක් වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමයි එදා ව්‍යවස්ථාදායක සභාව ඇති කරලා උසස් නිලතල එම සභාව මගින් අනුමත කළ යුතු යැයි යෝජනාවක් ගෙනාවේ. 

එදා එම යෝජනාවට පාර්ලිමේන්තුවේ 3/2 ක කැමැත්ත ලැබුණා. පසු කාලීනව 18 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව අහෝසි කළා. ඊට පස්සේ 19 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව ඇති කළා. දැන් 20 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා තියෙනවා. අපිට හැමදාම ප‍්‍රතිපත්තියක් තිබ්බා. අපි හැමදාම ව්‍යවස්ථාදායක සභාව ඇති කරන්න ඡන්දය දුන්නා. නමුත් වත්මන් ආණ්ඩු පක්‍ෂයේ අයට ප‍්‍රතිපත්තියක් නෑ. මේ අය ඇති කරන්නත්, නැති කරන්නත් ඡන්දය දෙනවා. 

ඒකාධිපති පාලකයෝ ඉන්න රටකට ආයෝජකයෝ එන්නේ නෑ. අධිකරණයට ස්වාධීනත්වයක් නැති නම් ආයෝජකයන් රටට එන්නේ නෑ. ගරු කතානායකතුමනි.., ඔබතුමාට මතක ඇති ඒ කාලයේ මැතිවරණය කියන්නේ යුද්ධයක්. නමුත් පසු කාලීනව මැතිවරණ කොමිසමට ස්වාධීනත්වය ලබා දුන්නට පස්සේ ජනතාවට බරක් නැතිව යුරෝපීය රටවල වගේ අද මැතිවරණ කි‍්‍රයාත්මක වෙනවා.

අපේ රජය කාලයේ සියලු රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීම් කෙරුවා. පඩි වැඩි කිරිමේ ඉල්ලීම් සියල්ල ඉටු කෙරුවා. ඒ වගේම විශ‍්‍රාමිකයන්ට 2020 ජනවාරි මාසයේ පඩි වැඩි කිරීමක් සිදු කරලා තිබුණා. නමුත් වත්මන් රජය එම පඩි වැඩි කිරීම නැවැත්තුවා. ආණ්ඩුව අද මූල්‍ය අමාරුවකට ලක් වුණේ කොවිඩ් නිසා නොවෙයි. ආණ්ඩුව විසින්ම ආණ්ඩුවේ බදු ආදායම නැති කර ගත්ත හින්දයි. කෝටි 60,000 ක් රජයේ බදු ආදායම නැති කර ගත්තා. ඒ නිසයි අද රජයට ජනතාවට සහන ලබාදෙන්න බැරි.

ගරු කථානායකතුමනි.., අද රටේ භාණ්ඩ මිල පාලනයක් නෑ. ගැසට් ගැහුවට මිල පාලනය වෙලා නෑ. අපේ රජය කාලයේ හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සමාගමක් හැදුවා "ශක්ති" කියලා. අපි හාල් තොග තියා ගත්තා. සහල් මිල ඉහළ යන අවස්ථාවල අපේ තොග වෙළෙඳ පොළට නිකුත් කළා.  ඒ විධියට අපි හාල් මිල පාලනය කරන්න කටයුතු කළා. නමුත් වත්මන් ආණ්ඩුව ආ විගස "ශක්ති" සමාගම වහළා දැම්මා. අද පොලොන්නරුව සහල් මාෆියාවට අවශ්‍ය ආකාරයට සහල් මිල පාලනය කරන්න ඉඩ දීලා තියෙනවා.

අනික් කාරණාව තමයි නවීන ලෝකයේ හුදකලාව ජීවත් වෙන්න බෑ. අපේ කාලයේ අපි ජාත්‍යන්තරය සමග ඉතා හොදින් කටයුතු කළා. දේශීයත්වය යැයි කිය කියා හුදලකාවේ ජීවත් වෙන්න බෑ. එක්සත් ජාතීන්ගේ සංගමය ඇතුළු ලෝක සංවිධාන සමග අප ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අද වන විට යුරෝපා හවුල අනතුරු අගවලා තියෙනවා. අපේ රටේ ආනයනය බොහෝ දුරට අඩු කරලා. යුරෝපා හවුල කිව්වේ ආනයනය, අපනයනය දෙපැත්තටම වෙන්න  ඕන කියලයි. මම රජයට කියනවා රටක් වශයෙන් ජාත්‍යන්තරය සමග අමනාප වෙන්න නරකයි."

මේ අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් පාලක මණ්ඩලය ඡන්දයෙන් තොරා ගත් ක‍්‍රමය වෙනස් කරලා. සම්මුඛ පරික්‍ෂණ කැදවලා තම තමන්ට  ඕන අයට ලකුණු ලබා දී ලා උපකුලපතිවරුන් බවට පත් කරනවා. මේ ක‍්‍රමය සම්පුර්ණයෙන් වැරදියි.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ඉදලා විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු පත් වුණේ විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ ඡන්දයෙන්. පාලක මණ්ඩලය නම් 03 ක් ඡන්දෙන් තෝරා ගෙන ජනාධිපතිතුමාට යොමු කරනවා . ජනාධිපතිතුමාට බලය තියෙනවා ඒ යවන නම් 3 න් එක් අයෙකු පත් කරන්න. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ඉදලා යහපාලන රජය දක්වා එහෙමයි වුණේ. 

නමුත් මේ ක‍්‍රමය පැත්තකට දාලා. පාලක මණ්ඩලයේ ඡන්දයෙන් තෝරා ගත් ක‍්‍රමය වෙනස් කරලා සම්මුඛ පරික්‍ෂණ කැදවලා තම තමන්ට  ඕන අයට ලකුණු ලබා දිලා උපකුලපති බවට පත් කරනවා. මේ ක‍්‍රමය සම්පුර්ණයෙන් වැරදියි. විශ්ව විද්‍යාලවලට දේශපාලන හස්තය යොමු කිරිම වැරදියි.

Advertiesment