Sunday 17th of January 2021

English Tamil
Advertiesment


විපක්ෂයේ සර්-ෆේල් Campaign එක ආණ්ඩුවට දේශපලන සුනාමියක් වෙලා


2020-11-24 5498

ආණ්ඩුව අනා ගනියි-විපක්ෂය ගොඩයි 

 

ඇත්තටම "Sir Fail" වුණු හැටි චින්තන ධර්මදාස පහදයි 

 

"විපක්ෂයේ ඇම ආණ්ඩුව ගිල්ලා"

 

කාලයකයට පසු විපක්ෂයෙන් හොඳ Campaign එකක් 

 

ජනපතිගේ සමත්-අසමත්කම ගැන ගාමිණී වියන්ගොඩගෙන් ලොකු විග්‍රහයක්

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ක්‍රියාත්මක කර තිබෙන "Sir Fail" දේශපාලන සටන් ව්‍යාපාරය (Political Campaign) සාර්ථක ලෙස සමාජ ගත වෙමින් පවතින බව දේශපාලන, සමාජ, සිවිල් සහ දැන්වීම්කරණ විශාරදයෝ පෙන්වා දෙති.

"Sir Fail" යන ප්‍රවාදය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට "දේශපාලන සුනාමියක්" ලෙස පැතිර යන අතර සිය පළමු ධූර කාලය ඇතුළත දී මෙවැනි විරෝධයකයට, විවේචනයකට සහ චෝදනාවකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි බව ද ඔවුහූ පෙන්වා දෙති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම "Sir Fail" දේශපාලන සටන් ව්‍යාපාරය (Political Campaign) මෙහෙය වූයේ සමගි ජන බලබෙගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ප්‍රචාරක සහ සන්නිවේදන ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන තරුණ තරුණියන් කණ්ඩායමක් වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රධාන නායකයින් රැසක් හරීන් ප්‍රනාන්දු මහතා වෙත මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර සිටියහ.

"Sir Fail" යන ප්‍රවාදය දේශපාලන සුනාමියක් ලෙස මෙසේ සමාජ ගතවීම සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රවීණ දේශපාලන, සමාජ, කලා සහ සාහිත්‍ය විචාරකයෙකු පමණක් නොව ගත් කතුවරයෙකු සහ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන චින්තන ධර්මදාස මහතා මෙසේ පැවසීය.

"ජනාධිපතිවරයා කෙරෙහි මිනිස්සු තැබූ බලාපොරොත්තු සියල්ල එකින් එක ක්‍රමානුකුලව බිඳ වැටෙමින් පැවැති අතර අවසානයේ දී කිසිවෙකුටවත් සිතා ගත නොහැකි පරිදි ඒ සියල්ල විනාශ වුණා. විශේෂයෙන් සිංහල-බෞද්ධ බලාපොරොත්තු...ඒ එක්ක "Sir Fail" කියන "Concept" එක විපක්ෂය "Campaign" එකක් ලෙස ඉස්සුවා. ඇත්තටම එක Eye Catching Line එකක්. විපක්ෂය පැත්තෙන් මේ "Campaign" එක අවාට ඒක මේ තරම් ඉස්සුනේ "Sir Fail" නැහැ කියලා ආණ්ඩුව මැද්දට පැනලා කිව්ව නිසයි. උඹ "Fail" කියලා අපිට කවුරු හරි කිව්වාම, "අපි Fail නැහැ ඩෝ..." කියලා කවුරු හරි කිව්වාම හරි යන්නේ නැහැ නේ..! ඒ අනුව එළියට එන්නේ "Fail" කියන එක තමයි. ඒ කියන්නේ විපක්ෂයේ මේ "Sir Fail" කියන "Campaign" එක සාර්ථක වුණේ "Sir Fail" නැහැ කියලා ආණ්ඩුවම කිව්ව නිසයි.

ඇත්තටම කාලයකට පස්සේ විපක්ෂය පැත්තෙන් මතු වුණු හොඳ "Campaign" එකක් ලෙස "Sir Fail" කියන එක හඳුන්වන්න පුළුවන්...මෙච්චර කාලයක් නම් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඇත්තටම විපක්ෂය දැම්ම ඇම ආණ්ඩුව ගිල්ලා..."

මේ අතර ප්‍රවීණ දේශපාලන, සමාජ සහ සාහිත්‍ය විචාරක ගාමිණී වියන්ගොඩ මහතා අවධාරණය කර සිටින්නේ, "Fail" යන වචනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය අරභයා ව්‍යවහාර වන ජනප්‍රිය වචනයක් බවට පත් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය ආගමනයත් සමග බවයයි.

ජනපති ඇත්තටම Fail ද - Pass ද..? යන ශීර්ෂය යටතේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් "අනිද්දා" පුවත්පත වෙත ගාමිණී වියන්ගොඩ මහතා සම්පාදනය කර ඇති ලිපියක සාරාංශ ගත කොටසක් මෙසේය.

"ෆේල්" යන වචනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය අරභයා ව්‍යවහාර වන ජනප්‍රිය "සිංහල"  වචනයක් බවට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය ආගමනයත් සමගයි. ඒ ඇයි..? මීට පෙර රාජ්‍ය පාලනය හොබවා ඇති නායකයන් විශේෂ සාර්ථකත්වයක් පෙන්වා නැති බව අපි හොඳින් දනිමු. එසේ නම්, ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වය පමණක්, දවස තිස්සේම "ෆේල්-ෆේල්" කියා ගැර හීමට තරම් කාරණයක් වන්නේ මන්ද යන ප්‍රශ්නය මතු වෙයි. උත්තරය ඉතා සරලයි. 

නිදහසෙන් පසු බලයට පත් කිසි නායකයෙකු ගෝඨාභය රාජපක්ෂ තරම් "වැඩකාරයෙකු" යන නාමය කරේ තියා ගෙන බලයට පත්ව නැත. ඔහුම මේ මෑතකදී පවා කී පරිදි, "ත්‍රස්තවාදය පරාජය කරපු මට කෝවිඩ් මොන කජ්ජක්ද" යන්න, ඔහුගේ සමස්ත රූපකාය සමාජ ගතව තිබූ ආකාරයයි.
 
බැරෝමීටරයක්..! කෙසේ වෙතත්, කොරෝනා වසංගතය ආවේය. එම වසංගතය ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම අර්බුදයට යවා ඇත්තේ පෙර නොවූ විරූ හෙනයක් ලෙසය. එහෙත් එවැන්නක් දෙපැත්ත කැපෙන අරුත් ගෙන දිය හැකි බැරෝමීටරයක් බවත් මතක තබා ගත යුතුය. පාලකයෙකුගේ අසාර්ථකත්වයන් වසා ගැනීමේ කඩතුරාවක් වශයෙන් එම තත්ත්වය පාවිච්චි කළ හැකි අතරම, පාලකයාගේ අසාර්ථකත්වය ඒ වසංගතය නිසාම හෙළිදරව් වීමේ විශාල ඉඩකඩකුත් තිබේ.  
 
ජනකාන්ත දේශපාලනය කියා දෙයක් ඇත. ඊට, ජනප්‍රිය සහ ලාභ දේශපාලනය කියාද කියති.උදාහරණයක් වශයෙන්, රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා සැපයීම, සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව තව ලක්ෂ ගණනකින් වැඩි කිරීම, කෘෂි කර්මය සඳහා නොමිලයේ පොහොර සැපයීම වැනි කරුණු අයත් වන්නේ, ඒ ජන කාන්ත දේශපාලනයටයි. 
 
මෙමගින් මා අදහස් කරන්නේ, උපාධිධාරීන්ට රැකියා නොදී ගෙදරට වී සිටීමට හැරීමවත්, නැති බැරි සමෘද්ධි ලාභීන්ට අතහිත දීමට එපා කීමවත්, කෘෂි කර්මය නඟා සිටුවීමට විරුද්ධ වීමවත් නොවේ. මගේ අදහස වන්නේ, අපේ ආර්ථීකයේ ව්‍යුහාත්මක පරිවර්තනයකින් තොරව, මෙකී විසඳුම් ගඟට කැපූ ඉණි‚ බවට පත් වන බවයි. "ව්‍යුහාත්මක" යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද යන ප්‍රශ්නය, මේ ලිපිය කිය වන බොහෝ දෙනාගේ හිතේ ඇති විය හැකි ප්‍රශ්නයකි.
 
සරල උදාහරණයකින් එම තත්ත්වය විස්තර කළොත් මෙසේය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ අඩුම නිෂ්පාදන ඵලදායීතාව සහිත අංශය වන්නේ රාජ්‍ය අංශයයි. එසේ තිබියදීත්, 2005 දී 700,000 ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව 2014 වන විට 1,400,000 දක්වා වැඩි වී තිබුණි. 1960 ගණන්වල සිට  ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය දේශපාලඥයන් විසින් භාවිතයට ගැනුණේ රැකියා පැක්ටේරියක් වශයෙනි. 
 
රාජ්‍ය ව්‍යවසාය යනුවෙන් තවත් අංශයක් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය වැනි ව්‍යාපාර ඊට අයත් වෙයි. මේ සියලු ව්‍යාපාර අවුරුදු පතා බිලියන ගණනින් පාඩු ලබයි. උක්ත  උපාධිධාරීන් රාජ්‍ය අංශයට උකහා ගැනීමේ ඇති "ව්‍යුහාත්මක" නොගැළපීම යන්නෙන් මා අදහස් කෙළේ ඒ තත්ත්වයයි. 
 
ගෝඨාභය රාජපක්ෂ යනු, ඉහත කී ජනකාන්ත දේශපාලනය වෙනස් ආකාරයකින් අනුගමනය කිරීමට යන කෙනෙකු හෙවත් අලුත් බෝතලයක පරණ වයින්ම බව, ඔහු බලයට පත්වීම සඳහා කළ කී දෑවලින් ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය විය. කොරේ පිටට මරේ කීවා සේ, මෙසේ අමතර වියදමක් දරා ගෙන රාජ්‍ය අංශයට තවත් ලක්ෂ ගණනක් උරා ගැනීමට යන අතරේම, අනිත් පැත්තෙන්, රජයේ ආදායමත් බාල්දු කර ගැනීමේ ආර්ථීක න්‍යායක්ද ඔහු බලයට පත්වූ වහාම ක්‍රියාවට නැංවීය.
 
ඉහත කී රාජ්‍ය ව්‍යවසායයන්ගෙන්ද ලාභ නොලැඛෙන තත්ත්වයක් මත ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදුය. 2019 වසරේ රජයේ බදු ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 ක් විය. එනම්, රටේ මුළු නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 100 නම් එමගින් රුපියල් 13 ක් ආණ්ඩුව බදු වශයෙන් අය කර ගත් බවයි. 

ගෝඨාභය රාජපක්ෂගේ අලුත් බදු ප්‍රතිපත්තිය නිසා මේ වසරේ එම ප්‍රමාණය සියයට 9 දක්වා පහළ වැටී ඇති බව දැනට ගණන් බලා තිබේ. තවත් විදිහකින් කිව හොත්, මේ වසරේ පළමු මාස 7 දී, ඊට කලින් අවුරුද්දේ පළමු මාස 7 ට සාපේක්ෂව, ආණ්ඩුවේ බදු ආදායම රුපියල් බිලියන 274 ක් පහළ වැටී තිබේ. මේ තත්ත්වය, කෝවිඩ් වසංගතයට කිසි සම්බන්ධයක් නැති, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රාරම්භක ආර්ථීක ප්‍රතිපත්තිය විසින් පමණක්ම ඇති කරන ලද පීලී පැනීමකි. 
 
ඔහු බලයට පත් වුණේ ගිය වසරේ නොවැම්බරයේ ය. මේ වසරේ පළමු මාස තුන ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථීකය සියයට 1.6 කින් බාල්දු විය. එම තත්ත්වය ද, කෝවිඩ් වසංගතයට කිසි සම්බන්ධයක් නැති පරිහානියකි. මේ සියල්ලේ ප්‍රතිඵලය වනු ඇතැයි දැන් ගණන් බලා ඇති ආකාරයට අනුව, මේ වසරේ රටේ ආර්ථීක වර්ධනය සෘණ 4.3 කි. සමහර ඇස්තමේන්තුවලට අනුව එම ගණන් හිලව් ඊටත් වැඩියි. ඒ අසාර්ථකත්වයෙන් යම් කොටසක් කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇති වූවක් බවත් අප පිළි ගත යුතුය. 
 
ඊට අමතරව අනෙකුත් අංශවල ඔහුගේ ප්‍රගතිය මීටත් වඩා අසතුටුදායකයි. ඔහු ගැන ජනතාව වඩාත් බලාපොරොත්තු තබා සිටි එක් කාරණයක් වුණේ, "එක රටක්-එක නීතියක්" යන සංකල්පයයි. එහෙත් දිවුරුම් දුන් ගමන්ම ඔහු ඊට පිටු පෑවේය. එනම්, 
 
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු වී, ආණ්ඩුවේ කිසි තානාන්තරයක් හෙබවීම තහනම් කොට සිටි පී. බී. ජයසුන්දරව ඔහු සිය ලේකම්වරයා වශයෙන් පත් කර ගත්තේය. කුරුණෑගල නගරාධිපතිගේ සිද්ධියේදී නීතිය වල්වැදීමට ඔහු ඉඩ හැරියේය. එල්ලුම් ගහට නියම වූ පුද්ගලයෙකුට සිය පක්ෂයෙන් නාම යෝජනා දී පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තේය. සිර අඩස්සියේ සිටින ඉන්න පිල්ලෙයාන්ව රාජ්‍ය තනතුරුවලට පත් කිරීමෙන් සහ රාජ්‍ය උත්සවවලට සහභාගි කර ගැනීමෙන්, එක පැත්තකින් ඔහු නීතියට සමච්චල් කෙළේය. අනිත් පැත්තෙන්, පිළි ගත් ශිෂ්ට සම්මතයන්ට තමන් හිස නොනමන බව පෙන්නුම් කෙළේය.
 
මෙවැනි සිදුවීම් රාශියක් මේ වසර තුළ රට අත්දැක්කේය. තමන් බලයට පත්වූ පසු ඥාති සංග්‍රහය නතර කරන බවට දුන් පොරොන්දුව යහපත් එකකි. එහෙත් ඔහුගේ තුන් වැනියා වන කතානායකගේ කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් පත්කර ගනිද්දී ඒ ගැන ඔහු කටක් ඇරියේ නැත. 
 
කෝවිඩ් වසංගත තත්වයට මුහුණ දුන් ආකාරය, මේ රජයේ නොහැකියාව වඩාත් පෙන්නුම් කරමින් පවතින අවස්ථාවයි. පළමු කෝවිඩ් රැල්ලේදී නාවුක හමුදාව ආරක්ෂා කර ගැනීමට බැරි වීම අපට තේරුම් ගත හැකිය. ඒ අපට ඒ පිළිබඳ අත්දැකීම් නොතිබුණු නිසාය. 
 
එහෙත් දෙවැනි රැල්ල තුළ පොලීසිය වැනි ආරක්ෂක සේවා මර්මස්ථාන පමණක් නොව, වරාය වැනි ආර්ථීක සේවා මර්මස්ථාන පවා ආරක්ෂා කර ගැනීමට රජය අසමත් විය. මේ ගැන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඒ චෝදනාවට උත්තර දුන්නේ, 14,000ක්  රෝගීන් අතරින් 11,000ක් රෝගීන් සුවය ලබා ගෙදර යැවීමට හැකි වීම අසාර්ථකත්වයක් වන්නේ කෙසේද යන ප්‍රශ්නය පෙරළා මතු කරමිනි. දෙවැනි රැල්ලේදී ආණ්ඩුවේ සාර්ථකත්වය මැනෙන්නේ, සුවය ලබා ගෙදර යැවෙන සංඛ්‍යාවෙන් නොව, අලුතෙන් රෝගී තත්වයට පත්වූ සංඛ්‍යාවෙනි.
 
පළමු රැල්ලේ අත්දැකීම් තිබියදීත්, ඊටත් වඩා, ශ්‍රී ලංකාව දූපතක්ව තිබියදීත්, දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට නොහැකි වීමම ආණ්ඩුවේ අසාර්ථකත්වයකි. කෝවිඩ් වසංගතය පැමිණ මාස නවයක් ගතවී තිබියදීත්, මැද පෙරදිග සේවයේ නියුතුව සිටි දස දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් රටට ගෙන්වා ගැනීමට නොහැකි වීමම ආණ්ඩුවේ අසාර්ථකත්වයකි.වසංගතය මේ තරම් දුරදිග ගියේ, එම වසංගතය පාලනය කිරීමේ සුක්කානම වෛද්‍ය සහ වසංගත විද්‍යා අංශවලට භාර නොදී ආරක්ෂක අංශවලට පැවරීම බව අද පොදුවේ පිළිගැනේ." 

 

Advertiesment