Saturday 20th of April 2024

English Tamil
Advertiesment


අභිනව රාමඤ්ඤ මහා නා හිමි වෙත නවීන්ගේ නමස්කාරය..! 


2020-11-23 7716

"සසුනඹර පොබ කිරීමට තව තවත් දිරිය ලැබේවා"

 

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායකව වැඩ වාසය කළ නාපනේ පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් ප්‍රප්පාඩු වූ එම භාර ධූර මහා නායක ධූරය සඳහා අභිනවයෙන් පත්ව සිටින්නේ මීරිගම මණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, සරණංකරෝප සේන වංශාලංකාර, ශාසන සෝභන, ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිටක විශාරද, ශ්‍රාස්ත්‍රපති සහ අග්ග මහා පණ්ඩිත මකුලෑවේ විමල මහා නායක හිමිපාණන් වහන්සේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරන්දර මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නා හිමිපානන් වහන්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ 1948 අගෝස්තු මස 25 වැනිදා උපත ලබා තිබේ. 1959 වසරේ මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ 1960 මාර්තු මස 24 වැනිදා ලෝලුවාගොඩ මහේන්ද්‍රරාමාධිපතිව වැඩ විසූ දිසා පාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් යුතුව උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත්ව ඇති උන්වහන්සේ 1969 ජුලි 22 වන දා කොළඹ, තොටළග කල්‍යාණී නදී උදකුක්බේප සීමාමාලකයේ දී උපසම්පදාව ලබා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධියත්, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධියත්,පරියන්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබා ගත් විමල මහා නායක හිමිපාණන් වහන්සේ, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත්  වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමි කර ගෙන කැළණිය සරසවියට ඇතුළත් ව ඇත. එසේම 1982 දී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය සහ 1990 වසරේ සරසවියේ දී පශ්චාත් උපාධි ආයතනයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගෙන ඇත.

මීරිගම මණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, සරණංකරෝප සේන වංශාලංකාර, ශාසන සෝභන, ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිටක විශාරද, ශ්‍රාස්ත්‍රපති සහ අග්ග මහා පණ්ඩිත මකුලෑවේ විමල මහා නායක හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරයට මෙසේ තේරී පත් වන්නේ එම මහා නිකායේ 14 වැනි මහා නා හිමියන් ලෙසය. 

-නවීන් දිසානායක-
ජාතික සංවිධායක 
එක්සත් ජාතික පක්ෂය
 
Advertiesment