Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


ජනපති ඇත්තටම Fail ද - Pass ද..? 


2020-11-21 1370

(ගාමිණි වියන්ගොඩ)

 

පසුගිය 18දා රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. 
 
ඒ පහළ යාමේ ප්‍රවණතාව පටන්ගෙන තිබුණේ 2013 වසරේ (රාජපක්ෂ කාලයේ) සිට බවත්, අද වන විට එය සෘණ අගයකට යමින් තිඛෙන බවත් ඔහු කීවේ නැත. ඊළඟට, ඔහුගේ කතාවේ අඩුවෙන්ම කාලය වෙන් වුණේ, තම අසමත්භාවය පාරේ මැරී වැටෙන මිනිසාට පවා දැනෙන මට්ටමට ස්පර්ශනීය වී තිඛෙන කෝවිඩ්  'සාර්ථකත්වය'  සම්බන්ධයෙන් වීමත් විශේෂ ලක්ෂණයකි. මේ මොහොතේ රටම බලාපොරොත්තු වුණේ, ඒ විෂය ගැන ඔහු වැඩියෙන්ම කතා කරයි කියා ය.
    
"ෆේල්" යන වචනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය අරභයා ව්‍යවහාර වන ජනප්‍රිය "සිංහල"  වචනයක් බවට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය ආගමනයත් සමගයි. 

ඒ ඇයි..? මීට පෙර රාජ්‍ය පාලනය හොබවා ඇති නායකයන් විශේෂ සාර්ථකත්වයක් පෙන්වා නැති බව අපි හොඳින් දනිමු. එසේ නම්, ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වය පමණක්, දවස තිස්සේම "ෆේල්, ෆේල්" කියා ගැරහීමට තරම් කාරණයක් වන්නේ මන්ද යන ප්‍රශ්නය මතු වෙයි. උත්තරය, ඉතා සරලයි. 

නිදහසෙන් පසු බලයට පත් කිසි නායකයෙකු ගෝඨාභය රාජපක්ෂ තරම් "වැඩකාරයෙකු" යන නාමය කරේ තියාගෙන බලයට පත්ව නැත. ඔහුම මේ මෑතකදී පවා කී පරිදි, "ත්‍රස්තවාදය පරාජය කරපු මට කෝවිඩ් මොන කජ්ජක්ද" යන්න, ඔහුගේ සමස්ත රූපකාය සමාජගතව තිබූ ආකාරයයි.
 
බැරෝමීටරයක් ! කෙසේ වෙතත්, කොරෝනා වසංගතය ආවේය. එය ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම අර්බුදයට යවා ඇති, පෙර නොවූ විරූ හෙනයකි. එහෙත් එය දෙපැත්ත කැපෙන අරුත් ගෙනදිය හැකි බැරෝමීටරයක් බවත් මතක තබාගත යුතුය.පාලකයෙකුගේ අසාර්ථකත්වයන් වසාගැනීමේ කඩතුරාවක් වශයෙන් එය පාවිච්චි කළ හැකි අතරම, පාලකයාගේ අසාර්ථකත්වය ඒ වසංගතය නිසාම හෙළිදරව් වීමේ විශාල ඉඩකඩකුත් තිබේ.  
 
ජනකාන්ත දේශපාලනය කියා දෙයක් ඇත. ඊට, ජනප්‍රිය/ලාභ දේශපාලනය කියාද කියති.උදාහරණයක් වශයෙන්, රැකියා විරහිත සියලූ උපාධිධාරීන්ට රජයේ රැකියා සැපයීම, සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව තව ලක්ෂ ගණනකින් වැඩි කිරීම, කෘෂිකර්මය සඳහා නොමිලේ පොහොර සැපයීම වැනි කරුණු අයත් වන්නේ, ඒ ජනකාන්ත දේශපාලනයටයි. 
 
දැන් මෙයින් මා අදහස් කරන්නේ, උපාධිධාරීන්ට රැකියා නොදී ගෙදරට වී සිටීමට හැරීමවත්, නැතිබැරි සමෘද්ධිලාභීන්ට අතහිත දීමට එපා කීමවත්, කෘෂිකර්මය නඟා සිටුවීමට විරුද්ධ වීමවත් නොවේ. මගේ අදහස වන්නේ, අපේ ආර්ථීකයේ ව්‍යුහාත්මක පරිවර්තනයකින් තොරව, මෙකී විසඳුම් ගඟට කැපූ ඉණි‚ බවට පත්වෙන බවයි. "ව්‍යුහාත්මක" යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද යන ප්‍රශ්නය, මෙය කියවන බොහෝ දෙනාගේ හිතේ ඇති විය හැකි ප්‍රශ්නයකි.
 
සරල උදාහරණයකින් එය විස්තර කළොත් මෙසේය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ අඩුම නිෂ්පාදන ඵලදායීතාව සහිත අංශය වන්නේ රාජ්‍ය අංශයයි. එසේ තිබියදීත්, 2005 දී 700,000 ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව 2014 වන විට 1,400,000 දක්වා වැඩි වී තිබුණි. 1960 ගණන්වල සිට  ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය දේශපාලඥයන් විසින් භාවිතයට ගැනුණේ රැකියා පැක්ටේරියක් වශයෙනි. 
 
රාජ්‍ය ව්‍යවසාය යනුවෙන් තවත් අංශයක් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය වැනි ව්‍යාපාර ඊට අයත් වෙයි. මේ සියලූ ව්‍යාපාර අවුරුදු පතා බිලියන ගණනින් පාඩු ලබයි. උක්ත  උපාධිධාරීන් රාජ්‍ය අංශයට උකහා ගැනීමේ ඇති 'ව්‍යුහාත්මක' නොගැලපීම යන්නෙන් මා අදහස් කෙළේ එයයි.
 
ගෝඨාභය රාජපක්ෂ යනු, ඉහත කී ජනකාන්ත දේශපාලනය වෙනස් ආකාරයකින් අනුගමනය කිරීමට යන කෙනෙකු හෙවත් අලුත් බෝතලයක පරණ වයින්ම බව, ඔහු බලයට පත්වීම සඳහා කළ කී දෑවලින් ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය විය. කොරේ පිටට මරේ කීවා සේ, මෙසේ අමතර වියදමක් දරාගෙන රාජ්‍ය අංශයට තවත් ලක්ෂ ගණනක් උරාගැනීමට යන අතරේම, අනිත් පැත්තෙන්, රජයේ ආදායමත් බාල්දු කර ගැනීමේ ආර්ථීක න්‍යායක්ද ඔහු බලයට පත්වූ වහාම ක්‍රියාවට නැංවීය.
 
ඉහත කී රාජ්‍ය ව්‍යවසායයන්ගෙන්ද ලාභ නොලැඛෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ය. 2019 වසරේ රජයේ බදු ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 ක් විය. එනම්, රටේ මුළු නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 100 නම් එයින් රුපියල් 13 ක් ආණ්ඩුව බදු වශයෙන් අය කරගත් බවයි. ගෝඨාභය රාජපක්ෂගේ අලුත් බදු ප්‍රතිපත්තිය නිසා මේ වසරේ එම ප්‍රමාණය සියයට 9 දක්වා පහළ වැටී ඇති බව දැනට ගණන් බලා තිබේ. තවත් විදිහකින් කිවහොත්, මේ වසරේ පළමු මාස 7 තුළ, ඊට කලින් අවුරුද්දේ පළමු මාස 7 ට සාපේක්ෂව, ආණ්ඩුවේ බදු ආදායම රුපියල් බිලියන 274 ක් පහළ වැටී තිබේ. මේ තත්ත්වය, කෝවිඩ් වසංගතයට කිසි සම්බන්ධයක් නැති, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රාරම්භක ආර්ථීක ප්‍රතිපත්තිය විසින් පමණක්ම ඇති කරන ලද පීලී පැනීමකි. 
 
ඔහු බලයට පත්වුණේ ගිය වසරේ නොවැම්බරයේ ය. මේ වසරේ පළමු මාස තුන තුළ ලංකාවේ ආර්ථීකය සියයට 1.6 කින් බාල්දු විය. එයද, කෝවිඩ් වසංගතයට කිසි සම්බන්ධයක් නැති පරිහානියකි. (18 දා රෑ කතාවේදී ඒ ගැන ඔහු කිසිවක් කීවේ නැත). මේ සියල්ලේ ප්‍රතිඵලය වනු ඇතැයි දැන් ගණන් බලා ඇති ආකාරයට අනුව, මේ වසරේ රටේ ආර්ථීක වර්ධනය සෘණ 4.3 කි. (ඒ  ගැන කිසි කතාවකුත් 18 දා කතාවේදී  රෑ නෑසුණි). සමහර ඇස්තමේන්තුවලට අනුව එය ඊටත් වැඩියි. (ඒ අසාර්ථකත්වයෙන් යම් කොටසක් කොරෝනා වසංගත තත්වය නිසා ඇති වූවක් බවත් අප පිළිගත යුතුය). 
 
 
වෙනත් අංශවල ඔහුගේ ප්‍රගතිය මීටත් වඩා අසතුටුදායකයි. ඔහු ගැන ජනතාව වඩාත් බලාපොරොත්තු තබා සිටි එක් කාරණයක් වුණේ, "එක රටක්-එක නීතියක"' යන සංකල්පයයි. එහෙත් දිවුරුම් දුන් ගමන්ම ඔහු ඊට පිටුපෑවේය.ඔහු ගැන ජනතාව වඩාත් බලාපොරොත්තු තබා සිටි එක් කාරණයක් වුණේ, "එක රටක්-එක නීතියක්" යන සංකල්පයයි. එහෙත් දිවුරුම් දුන් ගමන්ම ඔහු ඊට පිටුපෑවේය. එනම්, 
 
# ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු වී, ආණ්ඩුවේ කිසි තානාන්තරයක් හෙබවීම තහනම් කොට සිටි පී. බී. ජයසුන්දරව ඔහු තම ලේකම්වරයා වශයෙන් පත්කර ගත්තේය.

# කුරුණෑගල නගරාධිපති සිද්ධියේදී නීතිය වල්වැදීමට ඔහු ඉඩ හැරියේය. 

# එල්ලූම්ගහට නියම වූ පුද්ගලයෙකුට තම පක්ෂයෙන් නාමයෝජනා දී පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තේය. 

# හිරේ ඉන්න පිල්ලෙයාන්ව රාජ්‍ය තනතුරුවලට පත්කිරීමෙන් සහ රාජ්‍ය උත්සවවලට සහභාගි කරගැනීමෙන්, එක පැත්තකින් ඔහු නීතියට සමච්චල් කෙළේය. 

# අනිත් පැත්තෙන්, පිළිගත් ශිෂ්ට සම්මතයන්ට තමන් හිස නොනමන බව පෙන්නුම් කෙළේය.
 
 
මෙවැනි සිදුවීම් රාශියක් මේ වසර තුළ රට අත්දැක්කේය. තමන් බලයට පත්වූ පසු ඥාති සංග්‍රහය නතර කරන බවට දුන් පොරොන්දුව යහපත් එකකි. එහෙත් ඔහුගේ තුන්වැනියා වන කතානායකගේ කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් පත්කර ගනිද්දී ඒ ගැන ඔහු කටක් ඇරියේ නැත. 
 
කෝවිඩ් වසංගත තත්වයට මුහුණදුන් ආකාරය, මේ රජයේ නොහැකියාව වඩාත් පෙන්නුම් කරමින් පවතින අවස්ථාවයි. පළමු කෝවිඩ් රැල්ලේදී නාවුක හමුදාව ආරක්ෂා කර ගැනීමට බැරිවීම අපට තේරුම්ගත හැකිය. ඒ අපට ඒ පිළිබඳ අත්දැකීම් නොතිබුණි. 
 
එහෙත් දෙවැනි රැල්ල තුළ පොලීසිය වැනි ආරක්ෂක සේවා මර්මස්ථාන පමණක් නොව, වරාය වැනි ආර්ථීක සේවා මර්මස්ථාන පවා ආරක්ෂා කරගැනීමට රජය අසමත් විය. මේ ගැන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඒ චෝදනාවට උත්තර දුන්නේ, 14 දාහක් රෝගීන් අතරින් 11 දාහක් රෝගීන් සුවය ලබා ගෙදර යැවීමට හැකි වීම අසාර්ථකත්වයක් වන්නේ කෙසේද යන ප්‍රශ්නය පෙරලා මතු කරමිනි. දෙවැනි රැල්ලේදී ආණ්ඩුවේ සාර්ථකත්වය මැනෙන්නේ, සුවය ලබා ගෙදර යැවෙන සංඛ්‍යාවෙන් නොව, අලූතෙන් රෝගී තත්වයට පත්වූ සංඛ්‍යාවෙනි.
 
පළමු රැල්ලේ අත්දැකීම් තිබියදීත්, ඊටත් වඩා, ශ්‍රී ලංකාව දූපතක්ව තිබියදීත්, දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට නොහැකි වීමම ආණ්ඩුවේ අසාර්ථකත්වයකි. කෝවිඩ් වසංගතය පැමිණ මාස නවයක් ගතවී තිබියදීත්, මැද පෙරදිග සේවයේ නියුතුව සිටි දසදහස් ගණන් ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වීමම ආණ්ඩුවේ අසාර්ථකත්වයකි.වසංගතය මේ තරම් දුරදිග ගියේ, එය පාලනය කිරීමේ සුක්කානම වෛද්‍ය සහ වසංගත විද්‍යා අංශවලට බාර නොදී ආරක්ෂක අංශවලට පැවරීම බව අද පොදුවේ පිළිගැනේ. 

 

 


 
පසුගිය දා හමුදාපතිවරයා කියා සිටි පරිදි, මේ දක්වා කෝවිඩ් වසංගතයෙන් ලංකාවේ මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණක්ලූ. ඔහුගේ ඒ අපූරු නිර්ණායකයම යුරෝපා සහ ඇමරිකාව ආදී රටවලට ආදේශ කළොත්, එම රටවල්වලත් කෙලින්ම කෝවිඩ්වලින් මියගොස් ඇති සංඛ්‍යාව හත්අට දෙනෙකුට වැඩි නොවනු ඇත. මන්ද යත්, ඒ කවුරුත් පාහේ මියගොස් ඇත්තේ, වෙනත් රෝගී තත්වයන් නිසා කෝවිඩ් වෛරසයට මුහුණදීමට නොහැකි වීමෙන් වන බැවිනි. ඔහුගේ ඒ කතාව දෙවැනි වන්නේ, සෞඛ්‍ය ඇමතිනිය පිරිත් පැන් කළයක් ගඟට වීසී කිරීමට පමණි.  
 
මට හෙට කෝවිඩ් වැලඳුනොත් එය 'මගේ වරදක්' වශයෙන් ගැනීමට වැඩි ඉඩක් තිබේ. මා රස්තියාදුවේ ගොස් රෝගය බෝ කරගෙන ආවේ යැයි පවුලේ අය වුවත් කියනු ඇත. ජනාධිපතිවරයා පසුගිය දා දෙවැනි රැල්ලේ වගකීම මහජනතාවට පැටෙව්වේ ඒ තර්කය මත පදනම් වෙමිනි. එහෙත්, හිරේ ඉන්න හිරකාරයෙකුටත් එය බෝ වේ නම් ඔබ කියන්නේ කුමක්ද..? මේ වන විටත්, වෙනත් සිරගෙවල්වලින් ගෙන ගිය 800 ක් සිරකරුවෝ බෝගම්බර හිරගෙදර නිරෝධායනය වෙමින් සිටිත්. සිරකාරයා සිටියේ රස්තියාදුවේ යාමට අවසරයක් නැති, තාප්පවලින් වට කළ, මුරකාවල් දැමූ පරිශ්‍රයකයි. එවැනි බලකොටුවක් ආරක්ෂා කරගැනීමටත් නොහැකි වීම හිරකාරයාගේ වරදක්ද..? පාලකයාගේ වරදක්ද..? 

ශ්‍රී ලංකාව නමැති මුහුදෙන් වට වූ දූපත, කෝවිඩ් වසංගතයට අදාළව සංකේතමය වශයෙන් ගත් විට, එවැනි සිරගෙයකට සමාන කළ හැක. වැලිකඩ නමැති හිරගෙය ආරක්ෂා කරගැනීමට බැරි වූයේ යම් සේද, ශ්‍රී ලංකාව නමැති දූපත ආරක්ෂා කර ගැනීමටත් පාලකයන්ට නොහැකි වූයේ ඒ ආකාරයෙන්ම ය.  


 
 
තායිවානය සමග සංසන්දනයක්


 
ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක් වන තායිවානයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 36,000 කි. ජනගහනය මිලියන 23 කි. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,000 කි. ජනගහනය මිලියන 22 කි.  එනම්, තායිවානයේ ජනගහන ඝනත්වය (වර්ග කිලෝමීටරයට මිනිසුන් 673), අපට (වර්ග කිලෝමීටරයට මිනිසුන් 326) වඩා දෙගුණයකි. ඉතිං, අපට වඩා දෙගුණයකින් මේ ප්‍රශ්නය ඔවුන්ට උග්‍ර වීමට තිබුණි. එහෙත් මෙය ලියන මොහොත (නොවැම්බර් 19) වන විට, තායිවානයේ ආසාදිත සංඛ්‍යාව 607 කි. සුවය ලැබූ ප්‍රමාණය 541 කි. මරණ සංඛ්‍යාව 7 කි. එතකොට අපේ රටේ ආසාදිත සංඛ්‍යාව 18,402 කි. සුවය ලැබූ සංඛ්‍යාව 12,587 කි. මරණ සංඛ්‍යාව 69 කි. මෙය හැඳින්විය යුත්තේ සාර්ථකත්වයක් වශයෙන්ද..?     
 
කෝවිඩ් වසංගතය පැත්තකින් තියා, ගෝඨාභය රාජපක්ෂගේ "ෆේල්" වීම යන දේශපාලනික ප්‍රශ්නයේ හරයට අප ගියොත්, ඔහුගේ අසාර්ථකත්වයේ මූලය වන්නේ ඔහු බලයට ගෙනා සමාජ බලවේගයන්ම බව අපට පෙනෙනු ඇත.ඊයේ මට ලැබුණු කෙටි විද්‍යුත් පණිවිඩයක මෙසේ දැක්වෙයි. එම විද්‍යුත් පණිවිඩයේ ඇතුළත් එකිනෙක කාරණය ඉදිරියෙන් දක්වා තිබූ ඊට අදාළ පුද්ගල නාම මෙහිදී මම සඳහන් නොකරමි. කරුණු පමණක් දක්වමි:
 
 
ශ්‍රී ලංකාවේ ලොකුම නයිට් ක්ලබ්කාරයා පොහොට්ටුවේ ය. 

ශ්‍රී ලංකාවේ ලොකුම කැසිනෝකාරයා පොහොට්ටුවේ ය. 

ශ්‍රී ලංකාවේ ලොකුම රේස් බුකිකාරයා පොහොට්ටුවේ ය.

ශ්‍රී ලංකාවේ ලොකුම එතනෝල් බිස්නස්කාරයා පොහොට්ටුවේ ය.

ශ්‍රී ලංකාවේ ලොකුම කුඩු බිස්නස්කාරයන් දෙන්නා පොහොට්ටුවේ ය.

ශ්‍රී ලංකාවේ එකම හොර රහතන්වහන්සේ පොහොට්ටුවේ ය.

ඊට අමතරව, කරුණා සහ පිල්ලෙයාන්ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ය.''
 
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා 69 ලක්ෂයට ඉහත කී අකුසල කර්ම ඉවරයක් කිරීමේ හෝ අඩපන කිරීමේ අවශ්‍යතාවක් තිඛෙන්ට ඇති. එහෙත් රාජ්‍ය පාලනයේ ඉහළ මට්ටමේ බලපෑම් කොට්ඨාශයක් වශයෙන් ඉහත කී සමාජ බලවේග ගොඩනඟාගෙන ඇති සම්බන්ධතා ජාලය තුළ ඊට ඉඩක් නොලැඛෙනු ඇත. බලය ලබාගැනීම සඳහා එම බලවේග පාවිච්චි කළත්, බලය ලබාගැනීමෙන් පසු තමන් සිතන පරිදි රටේ අනාගතයට වැඩදායක වේ යැයි සිතන මාර්ගයක යාමට නායකයෙකුට බැරිකමක් නැත. එහෙත් එසේ කළ හැකි වන්නේ යථාවාදී අනාගත දැක්මක් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පමණි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුත් නොවන, දේශපාලනඥයෙකුත් නොවන ගෝඨාභය රාජපක්ෂගේ අනාගත දැක්ම වුණේ, ඒකා-අධිපති පාලන තන්ත්‍රයක් ඇති කරගැනීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යා හැකිය යන යල්පැනගිය දැක්මයි. 
 
කොරෝනා වසංගතය මැද්දේ පවා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ඔහු වෙහෙසුණේ එබැවිනි. ගත වූ වසර තුළ ඔහුගේ ඉහළම සාර්ථකත්වය දැකිය හැක්කේ එකී අංශයෙනි. 
 
# මීට පසු ස්වාධීන අධිකරණයක් අපට නැත. 
 
# ස්වාධීන පොලීසියක් අපට නැත. 
 
# ස්වාධීන රාජ්‍ය සේවයක් අපට නැත. 
 
# ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් අපට නැත. 
 
# කොටින්ම, ස්වාධීන පාර්ලිමේන්තුවක් පවා අපට නැත. 
 
අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ අති සාර්ථකත්වයක් ඒ අංශයන්ගෙන් ලබාගෙන ඇත. දෙවැනුව, 2005 සිට 2015 දක්වා කාලය තුළ රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ අක්‍රමිකතා සහ විවිධ අපරාධවලට සම්බන්ධ සියලූ පුද්ගලයන් ඒ චෝදනාවන්ගෙන් නිදහස් කොට නිදොස් කිරීමේ ක්‍රියාවලියක්ද, අලූත් අධිකරණ සහ පොලිස් ක්‍රියාදාමය යටතේත්, විශේෂයෙන් පිහිටුවා ගත් ජනාධිපති කොමිෂන් සභාවක් යටතේත් මේ වන විට ක්‍රියාවේ යෙදැවෙමින් තිබේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට අභියාචනාධිකරණයෙන් නිදහස් කොට ඇත. එහි පළමු පියවරක් වශයෙන්, පුද්ගලයන් (දරුවන් තුන් දෙනෙකුද ඇතුළුව) අට දෙනෙකු ඝාතනය කොට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එල්ලූම්ගහට තීන්දු වී සිටි පුද්ගලයෙකු, අනාගතයට සපයන ආදර්ශයක් වශයෙන්, ජනාධිපතිවරයා පසුගියදා නිදහස් කෙළේය.
 
මේ දැන් (19 වැනිදා උදෑසන 11 ට) ලැබුණු ආරංචියක් අනුව, මහජන මුදල් රුපියල් කෝටි 60 ක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ සිල් රෙදි  ඛෙදා දීම සඳහා අයථා භාවිතයට ගැනීම ගැන කොළඹ මහාධිකරණයෙන් වරදකරුවන් වී සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට අභියාචනාධිකරණයෙන් නිදහස් කොට ඇත.
 
ඉතිං ජනාධිපතිවරයා "ෆේල්" කියන්නේ කවුද...?  ඇත්තෙන්ම, ඔහු විශිෂ්ඨ සාමර්ථ සහිතව පාස් වී සිටී. ෆේල් වී ඇත්තේ, 69 ලක්ෂයක, පැහැදිලි මුහුණුවරක් නැති නාඳුනන පිරිසකි. ඔවුන්ද සමග, සමස්ත ප්‍රජාතන්ත්‍රීය ශිෂ්ටාචාරයකි.
 
 

 

 


 
-ගාමිණි වියන්ගොඩ-
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක

 
 
අනිද්දා පුවත්පත

Advertiesment