Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


බෝගම්බර COVID කාල බෝම්බයක් ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්


2020-11-18 1748

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර අනතුරේ 

 

කොවිඩ් ආසාධිතයෙකු බෝගම්බරින් පැන ගිහින්..!

 

අයෙකු මරුට-තවත් අයෙකු රෝහලේ 

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

මහනුවර බෝගම්බර සිර ගෙදර නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබීම මුළු මහනුවර දිස්ත්‍රික්කයටම අනතුරුදායක වන අතර එම අනතුර තහවුරු කරමින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටී අයෙකු අඟහරුවාදා (17) රාත්‍රියේ පැන ගොස් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (18) හෙළිදරව් කළේය.

රජය මෙසේ දුරදිග නොබලා අත්තනෝමතිකව ක්‍රියා කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර නගරය අවධානමකට ලක් කිරීම පිළිබදව බෞද්ධයන් වශයෙන් කම්පා වන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය. 

"මහනුවර බෝගම්බර සිර ගෙදර අපේ රජය කාලයේ හිස් කෙරුවා. හිස් කරලා එම භූමිය සංවර්ධනය කරන්න සැළසුම් සකස් කෙරුවා. කඩ සාප්පු, එළිමහන් රංග පීඨ,  සිනමා ශාලා සහ හස්ථ කර්මාන්ත සදහා කුටි එහි ඇති කරමින් ජනතාවට නිදහසේ දවසක් ගත කළ හැකි ආකාරයෙන් සංවර්ධනය කරන්න සැළසුම් සකස් කෙරුවා. 

නමුත් මේ බෝගම්බර සිර ගෙදර වහලා තිබුණු නිසා නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කරලා. මම සඳුදා (16) මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා කිව්වා මේ නීරෝධායන මධ්‍යස්ථානය කාල බෝම්බයක් කියලා. මොකද මහනුවර නගරය මැද, එක පැත්තකින් මධ්‍යම වෙළ`දපොළ,  තව පැත්තකින් බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථානය නිසා. 

මේ බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින COVID-19 ආසාධිතයින් පිරිසක් අඟහරුවාදා (17) රාත්‍රියේ එම හිර ගෙදරින් පැන යන්න උත්සාහ කරලා. එසේ උත්සහ කළ එක් අයකු මිය ගිහිල්ලා. තවත් අයකු රෝහල් ගත වෙලා. අනෙක් පුද්ගලයා හිර ගෙදරින් පැනලා ගිහිල්ලා. ගරු කථානායකතුමනි.., මේ ස්ථානය නීරෝධායන මධ්‍යස්ථානයකට කොහෙත්ම සුදුසු නෑ. වහාම මේ නීරෝධායන මධ්‍යස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන්න. 

ඒ වගේම සිර ගෙදර වැඩ කරන නිලධාරින් 50 ක් පමණ ඉන්නවා. ඒ අය දිනපතා නගරයට එනවා සිය ආහාර ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීම සදහා. මේ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වෙලා. කැබිනට් මණ්ඩලයේදීවත් කතා කරලා මේ ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න. ඒ මන්ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර නගරය මෙලෙස අනතුරට පත් කිරීම පිළිබද බෞද්ධයන් වශයෙන් අපි කම්පා වෙනවා."

 


 

Advertiesment