Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


සසුනඹර පොබ කළ නාපානේ පේමසිරි මාහිම්ගේ අපවත්වීම කරූට දැනෙන හැටි..!


2020-11-18 1271

නිහතමානීත්වයේ ප්‍රතිමූර්තිය වන ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නා හිමියන් යනු ධර්ම විනයෙහි අග තැන්පත්ව මුළු ජීවිත කාලයම සම්මා සතියෙන් යුතුව වැඩ වාසය කරමින් බලයට සහ නිලයට යට නොවී සැමට එක සේ සැළකූ භාෂා ශාස්ත්‍රයේ හසළ දැණුමක් ඇති ප්‍රතිපත්ති ගරුක උත්තම සහ වියත් පඬි රුවනක් යැයි ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නා හිමියන් සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් සහ උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමින් කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ. 

අනු බුදු මිහිදු මහ රහතන් වහන්සේ විසින් ප්‍රතිස්ඨාපනය කරන ලද බොදු සංස්කෘතිය අද දක්වා අප දේශයේ සුරැකී පැවතෙන්නේ යුගයෙන් යුගයට බිහි වූ ධර්මධර, විනයධර මහ තෙරුන් වහන්සේලා ස්වකීය දිවි දෙවැනි කොට බුදු සසුන සුරක්ෂිත කළ බැවිනි.

එම මඟ මූර්තිමත් කළ ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ 13 වන මහා නායක ධුරන්දර මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර මහා පරිවේණාධිපතිව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ කණගාටුදායක පුවත සැළවීමෙන් මා ඉමහත් සංවේගයට පත්වීමි.

ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ ස්වර්ණමය යුගයක් වශයෙන් නිකායේ 12 වන මහා නායක පදවිය හෙබවූ මීරිගම "ශාසන වර්ධන මහ පිරිවෙනේ" පරිවේණාධිපතිව වැඩ විසූ ශාසන ශිරෝමණී වේවැල් දෙණියේ මේධාලංකාර මහා නාහිමිපාණන් වහන්සේගේ යුගය සැළකිය හැක. 8000 කට අධික රාමාඥ්ඥ මහා නිකායික භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායට සංඝ මූලස්ථානයක් ඉදිකර දීම සඳහා පුරෝගාමී වීම උන් වහන්සේගේ යුගයේ සිදු වූ සුවිශේෂී මෙහෙවරකි.

උන් වහන්සේගේ ඇවෑමෙන් මහා නායක පදවිප්‍රාප්ත වූ වදාළ අතිගරු නාපාන පේමසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිකාය මූලස්ථානයේ අභියෝගය ස්වකීය උර මතට ගත්හ. අප්‍රතිහත ධෛර්යයෙන් හා ශක්තියෙන් යුතුව නායකත්වය දෙමින් අනුශාසනා කළ උන්වහන්සේගේ කැපවීම මත සංඝ මූලස්ථානයේ කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබිණි. උන් වහන්සේ ඉන් අප්‍රමාණ සතුටක් හා ප්‍රමෝදයක් ලැබූ අන්දම මා ඉතා හොඳින් දනිමි. 

ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකාය සඳහා අංගසම්පූර්ණ මූලස්ථානයක් ලබා දීමේ ගෞරවය අපගේ, අපවත් වී වදාළ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා දෙපළ වෙත පිළි ගැන්වීම නිකායාරක්ෂක සභාවේ සභාපති වශයෙන් මාගේ යුතුකමක් කොට සළකමි. විහාරස්ථාන 2100කට අධික ප්‍රමාණයක් සහ 8000කට අධික මහා සංඝරත්නයක් නියෝජනය කරමින් එකම මහානායක මා හිමිපාණන් වහන්සේ නමකගේ නායකත්වය යටතේ පාලනය වන ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකාය අද්විතීය ලෝ සසුන් මෙහෙවරක නිරත වේ.

එහි දී ස්වකීය ජීවිතයේ අවසන් නිමේශය දක්වාම සම්මා සතියෙන් යුතුව වැඩ වෙසෙමින් සියලුම නිකායික මහා සංඝයා වහන්සේ සමඟ සංඝ සාමග්‍රිය ඇති කර ගනිමින්, ස්ව නිකායේ ප්‍රගමණය වෙනුවෙන් අපවත් වී වදාළ මහා නායක හිමිපාණන් වහන්සේ දැක් වූ දායකත්වය අපමණය. උන් වහන්සේ භාෂා ශාස්ත්‍රයේ හසළ දැණුමක් ඇති ධර්ම විනයෙහි අග තැන්පත් වියත් පඬි රුවනකි. නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියකි. බලයට සහ නිලයට යට නොවී සැමට එක සේ සැළකූ ප්‍රතිපත්ති ගරුක උත්තම යතිවරයාණන් වහන්සේ නමකි.

එවන් උත්තුංග ගතිගුණවලින් පෝෂණය වූ යතිවරයාණන් වහන්සේලා අවැසි මෙවැනි යුගයක අතිගරු මහා නායක හිමිපාණන් වහන්සේගේ අපවත් වීම සමස්ත ලෝ වැසි බෞද්ධ ප්‍රජාවට මෙන්ම මුළු මහත් සමාජයටම පිරිමැසිය නොහැකි පාඩුවකි. කෙසේ නමුත් පොදු ධර්මතාවයට හිස නමා වසර 98ක් ආයු වළඳා අපවත් වී වදාළ අති ගරු නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ බෙහෙවින් සමීපව සිටි උතුම් වූ නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ නිකායාරක්ෂක සභාවෙහි සභාපති වශයෙන් මාගේ සහ සමස්ත නිකායාරක්ෂක කමිටුවේද ශෝකය ප්‍රකාශ කර සිටිමි.


 

Advertiesment