Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


සිංහරාජය පුළුල් කිරීමට මෛත්‍රී ගත් පියවර කරූ අගය කරයි 


2020-11-17 1303

 

පරිසරය වෙනුවෙන් මෛත්‍රී නිකුත් කළ ඉතිරි ගැසට් 65 ද ප්‍රකාශයට පත් කරනු

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

ශ්‍රි ලංකාව සතුව පවතින වටිනාම ස්වභාවික සම්පත් අතර ඉහළම ස්ථානයකලා සැලකිය හැකි සිංහරාජ වනාන්තර භූමියේ විශාලත්වය පුළුල් කරමින් එහි  ආරක්ෂාව සහ යහ පැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති පියවර අතිශයින් අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂාව සඳහා ඔහු බලයේ සිටියදී අත්සන් කර ඇති තවත් ගැසට් නිවේදන 65ක් මේ දක්වාම ප්‍රකාශයට කර නොමැති බව කියන අතර එම ගැසට් නිවේදන ද ප්‍රකාශයට පත් කර පරිසරය රැක ගැනීමට වහාම ක්‍රියා කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

ශ්‍රි ලංකාව සතුව පවතින වටිනාම ස්වභාවික සම්පත් අතර ඉහළම ස්ථානයකලා සැලකිය හැකි සිංහරාජ වනාන්තර භූමියේ ආරක්ෂාව හා යහපැවැත්ම උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති සුවිශේෂි පියවරක් පිළිබදව අප සංවිධානයේ බලවත් ප්‍රශංසාව පළ කරන්නෙමු. 

සිංහරාජ වනාන්තරය සැලකෙන්නේ ලොව වටිනාම සදාහරිත තෙත් කලාපීය වනාන්තරයක් ලෙසටය. එහෙත් මෑත භාගය වන විට එය හෙක්ටයාර් 11,000ට පමණ සීමා වී පැවතිණ. පසුගිය පාලන සමයේ පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම බිම් ප්‍රමාණය හෙක්ටයාර් 36,474.93 දක්වා තවත් විශාල බිම් ප්‍රමාණයකින් වැඩි කරමින් ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබීම පරිසරයට ආදරය කරන සියල්ලන්ගේම සොම්නසට හේතු වන කරුණකි. 

එමෙන්ම සිංහරාජ වනාන්තරයට මේ ආකාරයෙන් තවත් විශාල භුමි භාගයක් එක් කිරීම තුළ එමඟින් යම් ජන පිරිසකගේ ජීවනෝපායන් හා නිවාස වැනි සම්පත් කෙරෙහි කුමන හෝ බලපෑමක් සිදු වන්නේ නම් ඒ සියල්ලන්ටම සාධාරණත්වය ඉටු කරමින් පරිසරයේ මෙන්ම ඒ ආශ්‍රිත ජන ජීවිතයෙහිද යහ පැවැත්ම කෙරෙහි රජයේ ඇති වගකීම තහවරු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරන්නෙමු. මේ සඳහා විදේශ ආධාර ලබා ගත හැකි බව අපගේ විශ්වාසය යි.

ඒ සමගම හිටපු ජනාධිපතිතුමා මෙම ගැසට් නිවේදනය පිළිබදව අදහස් දක්වමින් පළ කර ඇති විශේෂ කරුණක් පිළිබදවද සමාජයේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය. එනම් ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂාව සඳහා එතුමා බලයේ සිටියදී අත්සන් කර ඇතැයි කියන තවත් ගැසට් නිවේදන 65ක් මේ දක්වාම ප්‍රකාශයට පත්නොවී තිබීමය. වර්තමාන පරිසර අමාත්‍යවරයාද මේ ගැන අතිශයින් උනන්දුවෙන් ක්‍රියා කර ඇති හෙයින් ඉතිරි ගැසට් නිවේදන ද ප්‍රකාශයට පත් කර පරිසරය රැක ගැනීමට වහාම ක්‍රියාත්මක වනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු.  

Advertiesment