Saturday 28th of November 2020

English Tamil
Advertiesment


බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මහනුවර අනතුරේ..!


2020-11-17 1522

වසංගතය ගැන ජනතාවට දෙස් තැබූ එකම නායකයා ලෙස ජනපති ඉතිහාස ගත වුණා

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

මහනුවර නගර මධ්‍යයේ ඇති බෝගම්බර සිර ගෙදර පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථානය මහනුවර නගරයට පමණක් නොව මුළු දිස්ත්‍රික්කයටම විශාල අනතුරක් සහ තර්ජනයක් වී ඇති හෙයින් ජනතාවගේ ජීවිත ගැන සිතා එම නීරෝධායන මධ්‍යස්ථානය එම ස්ථානයෙන් වහාම ඉවත් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

මාරාන්තික කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය රට වැසියාට දෝෂාරෝපණය කළ ලෝකයේ සිටින එකම රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගත වී ඇතැයි ද ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කර සිටියි. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිලල්ල මහතා මෙසේද කීය.
 
යහ පාලන රජය කාලයේ මහනුවර බෝගම්බර ඓතිහාසික සිර ගෙදර සහ එම අක්කර 5 ක භූමියේ සංවර්ධනය ආරම්භ කළා.එහි සිටි සිරකරුවන් වෙනත් සිර ගෙදරකට මාරු කරලා එම භූමිය හිස් කර විශාල සංවර්ධනයක් එහි ආරම්භ කරන්න සැළසුම් කෙරුවා. 

නමුත් වත්මන් රජය මේ සියල්ල අමතක කරලා එම ස්ථානය අද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙනවා. මුලදි සිරකරුවන් 100 කින් පමණ ආරම්භ කෙරුවත් අද සිරකරුවන් 800 ක් පමණ එම ස්ථානයේ ඉන්නවා. අපිට ලැබෙන තොරතුරු අනුව COVID-19 ආසාධිතයන් 150 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්නවා. 

එත කොට මේ ස්ථානය තියෙන්නේ මහනුවර නගරය මැද. මෙහි සේවය කරන අය දිනපතා තම ආහාර අවශ්‍යතා සදහා මහනුවර නගරයට එනවා. බෝගම්බර සිර ගෙදර ඇතුලත ආරම්භ කරපු මේ නීරෝධායන මධ්‍යස්ථානය මුළු නගරයටම සහ දිස්ති‍්‍රක්කයටම විශාල තර්ජනයක් වී ඇති බව කිව යුතුයි. එම නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ නීරෝධායන මධ්‍යස්ථානය වහාම වෙනත් ස්ථානයකට රැගෙන යන්න කියලා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් පවත්වලා නෑ. හිතුවක්කාර ලෙස සිරකරුවන් 800 ක් පමණ මේ මධ්‍යස්ථානයට ඇතුළු කරලා මුළු නගරයටම සහ දිස්ත්‍රික්කයටම COVID-19 වෛරසය ව්‍යාප්තවීමට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා.

පසුගිය කාලයේ අපි බලාපොරොත්තු වුණේ මෙම ස්ථානය සංවර්ධනය කරලා එළිමහන් රංග පීඨය සහ උඩරට හස්ත කර්මාන්තය සදහා එහි ඉඩ පහසුකම් ලබාදී ඒ හරහා නව රැකියා අවස්ථා 5000 ක් පමණ ඇති කිරීමට අප සැලසුම් කර තිබුණා. නමුත් වත්මන් රජය ඒ සියලු වැඩ කටයුතු අත්හිටුවා අද එම ස්ථානය නීරෝධයට මධ්‍යස්ථානයක් බවට පත් කරලා මුළු නගරයම අනතුරකට ලක් කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා වහාම මෙම නීරෝධායන මධ්‍යස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන්න කියලා.

පසුගිය අවුරුද්ද පුරාවටම වත්මන් රජය කාලය ගත කළේ කොරෝනා පාලනය කරනවාට වඩා ඡන්දය ජයග‍්‍රහණය කරන්න සහ  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සඳහායි. කොරෝනා පාලනයට දුන්නේ 3 වැනි ස්ථානයයි. දැන් බලන්න තායිවානය කියන දූපත, චීනයට ආසන්න රටක් වන අතර ශ්‍රී ලංකාවට ආසන්න ජනගහණයක් ඉන්න රටක්. 

ඒත් ඒ රටේ ජනවාරි මාසයේ සිට අද දක්වාම ගත්තාම කොරෝනා රෝගීන් ඉන්නේ 602 ක් සහ සිදුවී ඇති මරණ ගණන 7 යි. ඒ වගේම පසුගිය දින 200 පුරාවටම එක කොරෝනා රෝගියෙක්වත් වාර්ථා වෙලා නෑ. මේ අනුව තායිවාන් දූපත සම්පූර්ණ සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ. ඊට ප්‍රධාන හේතුව තමයි මේ අය ජනවාරි මාසයේදීම සිය ගුවන් තොටුපොළ වසා දැමීමයි. ඒ නිසයි සාර්ථකව රෝගය පාලනය කර ගත්තේ. 

2020 ජනවාරි 22 කට ආසන්න දිනයක අපි රජයට කිව්වා ගුවන් තොටුපොළ වහන්න කියලා. නමුත් ගණන් ගත්තේ නෑ. රජයට අවශ්‍ය වුණේ නාම යෝජනා කැඳවලා ඒ කටයුතු කරන්න. අද රජය හිතුවක්කාර ලෙස වැඩ කරලා ජනතාවට බනිනවා. කියන්න කණගාටුයි ලෝකයේ කිසිම රටක නායකයෙකු කොරෝනා ගැටලුව සම්බන්ධයෙන් සිය රටේ ජනතාවට දොස් කියලා නෑ.  

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිය රට වැසියාට දෝෂාරෝපණය කළ ලෝකයේ සිටින එකම රාජ්‍ය නායකයා ලෙස අපේ රටේ නායකයා ඉතිහාසගත වෙනවා. නමුත් මම ඒ අයට මතක් කරන්න කැමතියි COVID-19 පළමු රැල්ල එක්තරා මට්ටමකට පාලනය කෙරුවාම ඒ ගෞරවය ආණ්ඩුව ගත්තා. දෙවෙනි රැල්ල අසාර්ථක වුණාම ජනතාවගේ වැරැද්ද කිව්වා.  පරණ කතාවක් තියෙනවා, "දින්නාම අපි-පැරදුණාම තොපි කියලා.." කියලා. 1972 මට මතකයි සමගි පෙරමුණ ආණ්ඩුව පැරදුණාම එවකට ඇමතිවරයෙකුට දොස් පැවරුවා. ඒ ඇමතිවරයා තමයි කිව්වේ, "දින්නාම අපි-පැරදුණාම තොපි" කියලා. එදා ඒ ප‍්‍රතිපත්තිය තමා අද මේ රජය කි‍්‍රයාත්මක කරන්නේ. අපි කණගාටු වෙනවා 69 ලක්ෂයක් ඡන්දය දුන් ආණ්ඩුව ජනතාවට දොස් පැවරීම ගැන.

 


 

Advertiesment