Saturday 28th of November 2020

English Tamil
Advertiesment


ජනපතියි-ආණ්ඩුවයි 20න් සිය දිවි නසා ගත්තා


2020-11-14 1850

ශානි අබේසේකරගෙන් කළ  දේශපාලන පළි ගැනීමේ තරම මෙන්න 


රනිල්ටයි-සජිත්ටයි නැති ජයවයක් කරූට ඇති බව ඔප්පු වෙයි

 

ගෝඨාට එරෙහිව රනිල්-සජිත් මුණිවත රකිද්දී කරූ කට අරියි

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනනය සම්මත කර ගනිමින් ජනාධිපතිවරයා ප්‍රධාන රජය දේශපාලන වශයෙන් සිය දිවි නසා ගත්තේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රධාන දේශපාලන නායකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය විවේචනය නොකර ඔහු සමග දේශපාලන වශයෙන් කුප්‍රකට ගනුදෙනු කරමින් හුරතල් වෙවී සිටිද්දී, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා බිය-සැක නොමැතිව මේ අදහස් පළ කළේ කොළඹ දී සිකුරාදා (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වන අතර එහිදී ඔහු මෙසේද කීය.
 
අපි මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පවත්වන්නේ බලවත් සිත් වේදනාවෙන්. අසරණ ජනතාව ආරෝග්‍යා ශාලාවල, නිවාසවල මිය යන විට, ආහාර වේලක් ලබා ගැනීම ජීවනෝපායක් කර ගැනීමට අවස්ථා නැති වන විට මේ ජනතාවගේ දුක දකින මේ අපිට දැඩි ශෝකයක් ඇති වනවා. 

අපට කිසිදු පටු අරමුණක් නැත. ඒ නිසා අප මේ අ දහස් පළ කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනි. මේ රටේ ජනතාව යම් නිශ්චිත කාලයකට අදාළ ගරු ජනාධිපතිතුමාටත් වර්තමාන ආණ්ඩුවටත් පැහැදිළි  ජන වරමක් ලබාදී තිබෙනවා. ඒඅනුව මේ රටේ ජනතාව  අපේක්ෂා කරන්නේද එකී ජනවරම අනුව ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ප්‍රධාන වර්තමාන ආණ්ඩුවත් ජනතාවගේ අපේක්ෂා මූලික කර ගෙන කටයුතු කරනු ඇති බවයි. 

එතනදී අප කිසිසේත්ම කුහක වන්නේ නැහැ. ඒ වගේම අද බරපතළ ව්‍යසනයක්ව පවතින කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා යම් උත්සහයක නිරතව සිටින බව පෙනෙනවා. ඊට අප  අපගේ පූර්ණ ආශිර්වාදය පළ කරනවා. එමෙන්ම එම කටයුත්තේදී මේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය මණ්ඩල සාමාජිකයන්ටත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය සේවයට අයත් සෑම කෙනෙක්ම දක්වන අසීමිත කැපවීමට අපගේ ගෞරවය සහ ප්‍රාණාමය පුද කරනවා. 

සමහරුන් හැට නම ලක්ෂයක ජනවරමක් ගැන කාලයක්ම කතා කළා. ඒ අයම ඊට පස්සේ 3/2 ක ජන වරමක ඇති අවශ්‍යතාවය ගැන කතා කළා. පසුව අපේ ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ඉදිරිපත්කර සම්මත කර ගත්තා. වචන විදිහට ගත හොත් අද වන විට ඒ සියල්ලම හිස් වචන බව පැහැදිලළිව පෙනෙන්නට තිබෙනවා. මොකද ඒ වචනවලට සැබෑ අර්ථයක් ලබා දුන්නා නම් අද වන විට මේ රට මීට වඩා යහපත් වෙන්න තිබුණා. 20 වන සංශෝධනය ගෙ නආ මොහොතේ සිටම ඒ ගැන මේ රටේ විශාල සංවාදයක් ඇති වුණා. මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික බුද්ධිමත් ජනතාව 20 වැනි සංශෝධනය අනුමත කළේ නැහැ. එමෙන්ම ඊට අදාළව මේ රටේ සිදු කර ඇති බොහෝ ජන මත සමීක්ෂණ අනුව පෙනී යන්නේත් අද පවා මේ රටේ ජනතාව 20 වන සංශෝධනයට ගරු නොකරන බවයි. 

ඉතා පැහැදිළි ලෙස ජනතාව 20 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ "සාධාරණ සමාජ දර්ශනය" අනුගමනය කරන කණ්ඩායමක් වශයෙන් අපේ අදහස් කෙලින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය මැතිවරණයෙන් පසු අපි දිගින් දිගටම බලධාරීන්ට ආයාචනය කළේ 20 වැනි සංශෝධනය ගෙන ඒම වෙනුවට රට එක්සත් කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසටයි.  රජය ඒ හඬට කන් දුන්නේ නැ. අයුතු ලෙස 3/2 බලය ලබා ගත්තා.  ඒ සඳහා අනුගමන කළ ප්‍රතිපත්ති යුක්ති ගරුක, සාධාරණ සහ පිරිසිදු නොවුවත් ආණ්ඩුවට අද 3/2ක බලයක් ඇති බව අප පිළි ගන්නවා. ඒ ගැන අපට විවාදයක් නැහැ. නමුත් කණගාටුවෙන් වුවත් මේ 20 වැනි සංශෝධනය ගැන හඬ නැගූ බුද්ධිමතුන්ගෙන් අපට ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. 

මේ ලෝකයේ වෙන කොහේවත් දක්නට නැති අසීමිත බලතළ ලබා ගත් රජයට අද  පාලන මිලට හාල් දෙන්න පුළුවන්ද..? පොල් ගෙඩියක් දෙන්න පුළුන්ද..?  සීනි දෙන්න පුළුවන්ද..? සැමන්, බී ළුණු, පරිප්පු දෙන්න පුලුවන් ද..? 20 වන සංශෝධනය ගෙන ඒම මඟින් ආණ්ඩුව සිය දිවි නසා ගැනීමේ පළමු පියවර තබන බව අප එදා පෙන්වා දුන්නා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එසේ කීවේ එසේ වේවා යන ප්‍රාර්ථනයෙන් නොවේ. 20 වැනි සංශෝධනය මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නොවන බව අපට හොදටම වැටහුණ නිසයි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මැතිවරණ සමයේ උපයා ගත් කීර්ති නාමයට 20 වන සංශෝධනය නිසා බරපතළ හානියක් සිදු වුණා. මේ මොහොතේ පවා අප එම ප්‍රශ්නය පෙන්වා දෙන්නේ අහිතකින් නොවේ. ඉතාමත්ම සද්භාවයකින් බව කිව යුතුයි. ඇත්තටම මේ වන විට රට මුහුණ දී ඇති තත්ත්වය කුමක් ද..? අද වන විට බලාත්මකව පවතින ගැසට් නිවේදන ගණනාවක් දෙස අවධානය යොමු කළ හොත් ඒ බව තේරුම් ගන්නට පුළුවනි. 

2020 මාර්තු 17 දින 2167/9 දරන ගැසට් නිවේදනය දෙස බලන්න. එහි සඳහන්ව තිබෙන ආකාරයට පරිප්පු 1 Kg රු.65.00ක් විය යුතුයි. නමුත් අද මිළ කීයද..?  අද වෙළඳ පොළේ පරිප්පු  1 Kg රු.156.00 කට වැඩීයි. ගැසට් නිවේදනයට අනුව ලොකු සැමන් රු.100.00 යි. 400g ලොකු සැමන් රු.100.00යි. නමුත් වර්තමාන මිළ රු. 340යි. බී ළූණු 1 Kg රු.150.00යි. වර්තමාන මිළ ඊට බොහෝ වැඩියි. ඒකත් දවසින් දවසම මිල වැඩි වෙනවා. 2020 අප්‍රේල් 21 දින 2172/05 දරන ගැසට් නිවේදනය අනුව කහ කුඩු 1 Kg රු.750.00 උපරිම මිලකට නියම කර ඇතත් වෙළඳ පොළේ නියම කහ කිලෝවක් රු.10,000ට වත් නැහැ. 2020 සැප්තැම්බර් 25 දින 2194/73 දරන ගැසට් නිවේදනය අනුව පොල්, රවුම අඟල් 13ට වැඩි රු.70 යි. රවුම 12-13 අතර රු.65 යි. රවුම අඟල් 12ට අඩු රු.60 යි. ඒ ගැසට් එකේ එහෙම තිබුණට අද ඕනෑම පොල් ගෙඩියක මිළ රු.100යි.  2020 නොවැම්බර් 04 දින 22000/3 දරන ගැසට් නිවේදනය අනුව සම්බා 1 Kg රු.94 යි. වර්තමාන මිල රු 118යි. නාඩු 1 Kg රු.92 යි. වර්තමාන මිල රු 100යි. 2020 නොවැම්බර් 10 දින 2201/8 දරන ගැසට් නිවේදනය අනුව පැකට් කරන ලද සීනි 1 Kg රු.90 යි. එහෙත් අද වන විට සීනි 1 Kg එම මිලට ගත හැකි දැයි මේ රටේ ජනතාව හොදින්ම දන්නවා.

අපි මේ කරුණු සඳහන් කළේ  බලයෙන් කොතරම් මත් වුවද ඉවක් බවක් නොමැතිව නීති රීති පැනවීමෙන් ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවන බව පෙන්වා දීමටයි. මිල පාලනය කිරීමේ දී අප තේරුම් ගත යුතු එක් ලෝක සත්‍යයක් තිබෙනවා. එනම්, ඕනෑම බඩු බාහිරාදියක මිල අවසානයේ තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම අනුවයි. මෙම කරුණු වටහා නොගෙන ගන්නා තීරණ අසාර්ථක වෙනවා. මෙම යතාර්ථය අතිගරු ජනාධිපතිතුමා දැනුම්වත් නොකර එතුමන් අහසුතාවයට පත් කිරීම ගැන මේ වියතුන් දැන් කියන්නේ කුමක්ද..? සාධාරණත්වය උඩු යටිකුරු කරමින් ඒකාධිපති ව්‍යවස්ථාවක් බිහි කර ගැනීමෙන් ජනතාවට කිසිදු යහපතක් නොලැබෙන බව පැහැදිලියි. 

ඇත්ත වශයෙන්ම ඒ සියල්ලෙන්ම සිදුවී ඇත්තේ මුළු රටම අවුල්වීමයි. මේ කළ විනාශයෙන් රට බේරා ගත හැකිද..? වර්තමානය දෙස පමණක් සලකා බලමින් නොව නූපන් අනාගත පරපුර පිළිබඳව කල්පනා කරමින් එම ප්‍රශ්යනට අප විසදුම් සොයා ගත යුතුව තිබෙනවා. අප රටක් වශයෙන් තුවාල කර ගෙන අවසානයි.  අප තවදුරටත් දේශපාලන පළි ගැනීම, මොහය පෙරට තබා ගෙන වැන සෙනවාද..? එසේ නොමැති නම් රජය පොරොන්දු වී ඇති ආකාරයට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීමේදී හෝ පිරිසිදු සිතින් එම ක්‍රියාදාමය ක්‍රියාත්ම ක කර සෞභාග්‍යමත් දේශයක් බිහි කරනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ තීරණය ඇත්තේ ආණ්ඩුවේ බලධාරීන් අතයි.

අද පුවත්පතක් අරන් බැලුවොත් මාධ්‍ය නිවේදනවලට කන් යොමු කළොත් අපිට ඇසෙන්නේ රජයට විරුද්ධ  මතධාරීන් දඩයම් කිරීමේ උත්සාහය යි. මෙවැනි අවස්ථා අතීතයේද විවිධ අවස්ථාවල දැක තිබෙනවා. අප මේ මර්දනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මෙම දුෂ්‍ඨ දේශපාලන සංස්කෘතිය මෙරටින් තුරන් කළ යුතුයි. දේශපාලකයින්ට අමතරව විවිධ රාජ්‍ය සේවකයින් දේශපාලන පළි ගැනීම්වලට ලක්වී තිබෙනවා. දක්ෂ අවංක ලේකම්වරු සහ ජේෂ්ඨ නිළධාරීන් ඊට ඇතුළත්ව සිටිනවා. විශේෂයෙන්ම ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරීන්ට කරන අකටයුතුකම් ගැන ගෞරවනීය ආගමික නායකවරුන් වහන්සේලා බොහෝ දෙනෙක් අපගේ අවධානය යොමු කර තිබෙනවා. 

ඔහුගේ බිරිඳ විසින් සිය සැමියාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිතුමාට ආයාචනා කර තිබෙනවා. සමාජයේ මෙවැනි මත ඇතිවීම රජයේ කීර්ති නාමයට හානි කරයි. ශානි අබේසේකර දක්ෂ නිලධාරියෙක් වශයෙන් බොහෝ දෙනාගේ පිළි ගැනීමට ලක්ව තිබෙනවා. ළඟකදි සිට පිට වෙන සමහර පුවත්පත් වාර්තා දකින විට විවිධ මාදිලියේ නව මාර්තෘකා අවුරුදු බොහෝ ගණනකට පසුව එක්වෙනවා. බුද්ධිමත් ජනතාවට මේවා ගැටලු සහිතයි.  එමෙන්ම ඔහුගේ ලේ ඉල්ලන බලගතු කණ්ඩායමක් සිටින බවට තොරතුරු දැන් එළිවෙමින් පවතිනවා. මෙම අතිශය රහස් තොරතුරු අප හෙළිදරව් කරන්නේ රටේ කීර්ති නාමයට හානි වන, පොලීසියේ ගෞරවයට හානි වන සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතබන ලෙස රජයෙන් ඉල්ලීමටයි. 

අපගේ අදහස් වරදවා තේරුම් ගන්න එපා. ඒ වගේම මේ දිනවල රාජ්‍ය ටෙන්ඩර්වලින් සිදු වන අක්‍රමිකතා ගැන වාර්තා වෙනවා. මේවාහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම හේතුවෙන් රටට බිලියන ට්‍රිලියන ගණන් මුදල් පිල්ලි ඇරිය හැකි සහ විනාශ කළ හැකි අවස්ථා ඇති කර දී තිබෙනවා.  අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ප්‍රසම්පාදන කමිටුව අවුරුදු 4 ½ක කාලයක් ඇතුළත කරපු කිසිදෙයක් නොමැති බවයි. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒ බව කණගාටුවෙන් වුවත් කිව යුතුමයි. අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින විටත් එම කමිටුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වී තිබුණේ නැහැ. 

විවිධ දෙපාර්තමේන්තුවල හිරවී නීතිපතිතුමාගේ එකඟත්වය ප්‍රසම්පාදන කොමිසමට ලැබී තිබුණත්  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආසන්නව එම කමිටුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වුණේ නැහැ. එම නිසා ද්වේශ සහගතව කරුණු කියමින් ජනතා සුභ සිද්ධියට සහ රටේ යහපතට යොදවා ගත හැකි ආයතනයක් විනාශ කිරීම ගැන කිසිසේත්ම සමාව දිය නොහැකියි. මේ වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවේ දී අප ගත් දැඩි උත්සාහය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක වශයෙන් සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් හොඳින් දන්නවා. එහි ඇති වටිනාකම අප එතුමාට පැහැදිළි කර තිබෙනවා. මෙම ආයතනය නියමිත ලෙස ක්‍රියාත්මක වූයේ නම්, මේ දිනවල ඇසෙන ටෙන්ඩර් මගඩි ඇති වන්නේ නෑ. ප්‍රසම්පාදන කමිටු වෙනුවෙන් අප නැගී සිටිනවා. 
    
මේ සාකච්ඡාව අවසාන කිරීමට පෙර වැදගත් කරුණක් පැහැදිළි කිරීමට අදහස් කරනවා. අප මේ කතා කරන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින දේශමාමක පුරවැසියන්ගෙන් සැදුම්ලත් වගකීමකින් යුක්ත සංවිධානයක් ලෙසට යි. අපට දේශපාලන අරමුණු නැහැ. එම නිසා අපව සතුරන් ලෙස සළකන්න එපා.

 

Advertiesment