Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


යුගයක අවසානය


2020-11-15 1464

(වික්ටර් අයිවන්)


ප්‍රමාණවත් තරමේ අවධානයකට යොමුවී නැතත් ලංකාවේ එක යුගයක් එනම් 1948 නිදහසින් ආරම්භ වන යුගය 2020න් අවසන් වී තිබෙන්නේය යන්න මා දරන මතය බව කිවයුතුය. එහි සරල තේරුම වනුයේ දීර්ඝ යටත් විජිත පාලනයකින් පසුව නිදහසත් සමග බි්‍රතාන්‍යයන් අපට උරුම කර දී ගිය රාජ්‍යය හා ඊට අදාළ සමාජ දේශපාලන ක්‍රමය මුලුමනින් බිදවැටී ඒ ක්‍රමයේ පැවැත්ම අවසන් වී ඇති බවය.


අපේ සීමිතකම්

 

අපට නිදහස දී ලංකාව හැර යන විට ලංකාවට බි්‍රතාන්‍යයන් උරුම කර දී තිබුන ක්‍රමයේ අඩු පාඩුකම් තිබුණා විය හැකි වුවද එය ඊට පෙර අපට තිබුණ වැඩවසම් ක්‍රමයට වඩා ලිබරල් දාර්ශනික පදනමක පිහිටා ගොඩනගන ලද ඉතා නවීන හා යහපත් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව අපට වෙනස්ව බි්‍රතාන්‍යයන් ගෙන් ලැබුණ ක්‍රමය නිදහසේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කර ගත්තේය. එසේ කළේද එම යාන්ත්‍රණයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයට ය.


ලංකාව තමන්ට ලැබුණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඇති කරගන්නා තැනකට ගියේ නිදහස ලැබී අවුරුදු විසිහතරකට පසුවය. එහිදී ප්‍රතිසංස්කරණ ඇති කළේද ඉන්දියාව මෙන් ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයට නොව දුර්වල කිරීමට හේතුවන ආකාරයටය. ලිබරල් ගල්වඩුවන් අතින් බිහිවූ නිර්මාණයක් මාර්ක්ස්වාදී ,ධර්මපාල වාදි හෝ කිසිම චින්තනයක් නැති ගල්වඩුවන් අතින් ප්‍රතිසන්ස්කරණය වූ විට එම නිර්මාණයට සිදුවන හානිය සුලු පටු විය නොහැකිය.


ඇත්ත වශයෙන්ම නිදහස ලැබෙන විට සාර්ථක ස්වයං පාලනයක් පවත්වාගෙන යාම සදහා තිබිය යුතු තරමේ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් හෝ ශික්ෂණයක් අපට නොතිබුනේය. ඒ සදහා වන දැක්මක් හා හික්මීමක් ඉන්දියාවට තිබුණි. නිදහස් අරගලය ඉන්දියාවට අවශ්‍ය පරිණත නායකයින් තනාදෙන විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියා කළේය. අප නිදහස සටන් කොට දිනාගත් දෙයක් නොව තෑගි වශයෙන් ලබාගත් දෙයකි. ඒ නිසා පරිණත නායකයින් බිහි කරගැනිමේ අවස්ථාවක් අපට නොතිබුණි.


ශ්‍රේෂ්ඨාධිකරණය


ඉන්දියාව සිය රාජ්‍යය හා සමාජ -දේශපාලන ක්‍රමය ගොඩනගා ගෙන තිබුනේ එම සමස්ත ක්‍රමය හා එය පාදක කරගත් ව්‍යවස්ථාව. ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණයට බාරවන අකාරයකටය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම වගකීම. අකුරටම ඉටුකළේය .ඉන්දියානු දේශපාලකයින්ට පටුවුවමනාවන් සදහා දේශපාලන ක්‍රමය විකෘති කිරීමට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක එය පවත්වාගෙන ගියේය.


සෝල්බරි ව්‍යවස්ථාවෙන්ද දේශපාලන ක්‍රමය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම ලබා දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එහෙත් නිදහසත් සමග අධිකරණ සේවයේ නිරත යුරෝපීන් හා බර්ගර්වරුන් එම සේවයෙන් ඉවත් වීමෙන් පසු ඉතිරිවූ ස්වදේශීිය අධිකරණ නිලධාරීන්ගේ සංකල්පීය දැනුම දියුණු තත්ත්වයක නොතිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය 1948දී අගමැති ඩී.එස් සේනානායකටද 1956 දී අගමැති බණ්ඩාරනායකටද ව්‍යවස්ථා උල්ලංඝණය කරන්නට ඉඩ දුන්නේය. ඉන්පසු 1972දී අධිකරණයට තිබුණ විමර්ශන බලය ඉවත් කරන ලද අතර ඉන්පසු 1978දී, අධිකරණය .විමර්ශන බලය ඉතා පටුරාමුවකට සිරකරන ලදී.


රාජ්‍යය හා එහි සමාජ-දේශපාලන ක්‍රමය විකෘති කිරීමෙහිලා විටින් විට බලයට පැමිණි පාලක පක්ෂ. ඉටුකර තිබෙන කාර්යයාරය සුවිශාලය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එම තත්ත්වය වැලකීම සදහා බලවත් ලෙස ක්‍රියා කර තිබෙනවා වෙනුවට වැඩි වශයෙන් කර ඇත්තේ එම විකෘති කිරීම් වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.


වර්ගය,කුලය හා ආගම

 


වර්ගය, කුලය හා ආගම මත පදනම්වු බේද හා ඒවා මහා පරිමාණයෙන් ලේ හලන දිග්ගැස්සුන ප්‍රචණ්ඩ ගැටුම් බවට පත්වීම රාජ්‍යයේ හා එහි සමාජ-දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳවැටීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිය. රටේ සියලුම දේශපාලන පක්ෂ එම අර්බුදය උග්‍ර කිරීමට එක් අකාරයකින් හෝ තවත් ආකාරයකින් දායක වී යැයි කිව හැකිය. රටේ දේවල් සිදුවූයේ එකිනෙක ජනකණ්ඩායම් වලට එරෙහිව වෛරයද, ක්‍රෝධය ද අවිශ්වාසයද වර්ධනය කෙරෙන ආකාරයටය.


ඒ නිසා ප්‍රචණ්ඩ ගැටුම් වලින් සිදුවූ ජීවිත විනාශය අතිවිශාලය. මරණයට පත්වූ අයගේ සංඛ්‍යාව ලක්ෂයකටත් වඩා වැඩිය. මරණයට පත් නොවී හිංසා පීඩාවට පත්වූ අයගේ සංඛ්‍යාව මිලියන බාගයක් පමණ තරම් විශාල විය හැකිය.
එම ප්‍රචණ්ඩ අරගල පැවති කාලයේදී කැරලිකරුවන් හා කැරලි මර්දනය කළ ආරක්ෂක හමුදාවන් තරගකාරි ලෙස සමාජය මත මුදාහරින ලද කෲරත්වයේ පරිමාව ඉතා විශාලය. විශාල පිරිසක් කායික වශයෙන් මරණයට පත් වනවිට නොමැරී ඉතිරිවූ සියල්ලෝ ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වුවන් බවට පත්වූහ.

 


ආර්ථික හානිය

 


මේ ගැටුම් රටේ ආර්ථික ශක්තිය උපරිම ලෙස දුර්වල කළේය. කැරලි හා යුද්ධය නිසා ආර්ථිකයට හා දේපලවලට සිදුවූ හානිය ඉතා විශාල විය. ඊට අතිරේකව විටින් විට ඇතිවූ කෝලාහල නිසාද ආර්ථිකයට හා දේපලවලට විශාල හානියක් සිදුවිය. ඒවා රටේ අර්ථික වර්ධනය උපරිම මට්ටමකට හීන කළේය. නිදහසින් පසුව රටේ ඇතිවූ එවැනි ගැටුම් නිසා සිදුවන්න්ට ඇති ආර්ථික හානිය ඩොලර් බිලියන තුන් හාරසීයක් තරම් විශාල විය හැකිය.


1978 සිට පොදු දේපළ කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් වීමේ සාධකයද රාජ්‍යය හා එහි සමාජ-දේශපාලන ක්‍රමයේ ගරාහැලීම හා බිඳවැටීම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසුව පොදු දේපලවල භාරකාරයා ලෙස ක්‍රියා කළේ ජනාධිපතිය. පොදු දේපල විකිණීමේ, බදු දීමේ හා පැවරීමේ බලය තිබුණේ ජනාධිපතිටය. එම බලය පාවිච්චි කරන ආකාරය නිරන්තරයෙන් සෝදිසියට ලක්කරන හා එම විෂයෙහි බලය අයථා ලෙස පරිහරණය වලකන ශක්තිමත් විධිවිධාන නොතිබුණ අතර 1978න් පසු බලයට පත් හැම ජනාධිපතිවරයෙක්ම මුක්තියේ රැකවණනය යොදා ගනිමින්. අයථා ලෙස ධනය උපයා ගන්නා ලද අතර ඊට අතිරේකව ගජමිතුරන්ටද පොදු දේපල වලින් අයථා ලෙස ධනය උපයාගන්නට ඉඩ දුන්නේය.

 


වස්තු කොල්ලය

 


ඊට අතිරේකව ජනාධිපතිවරු සිය මන්ත්‍රීවරුන් සතුටු කිරීම සදහා නීතියට හා පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පටහැනිව රජය සමග ව්‍යාපාර කිරීමේ අයිතිය ඔවුන්ට ලබා දුන්නෝය. ඒ නිසාද රජයට නිරන්තරයෙන් අති විශාල අලාභයක් සිදුවිය. 1978න් පසුව නොකඩවා ඉදිරියට ගලා ගිය එම දූෂිත ක්‍රමය රජය හා රජයේ සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්ත්වකට පත්කිරීමට හේතු විය. එසේ පවත්වාගෙන ගිය වස්තු කොල්ලයට සාධාරණ පෙනුමක් ලබාදීම සදහා ඉන් අයුතු ඵලප්‍රයෝජන ලබන්නන්ගේ සංඛ්‍යාව කළින් කල විශාල කරන්නට සිදුවු අතර අවසානයේ එය රටට දරන්නට බැරි වැය බරක් බවට පත්කිරීමට හේතු විය.


එම දූෂිත ක්‍රමය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල දැනුම හා අනුමැතිව ඇතිව පවත්වාගෙන ගිය කොල්ලකාරි ක්‍රමයක් විය. ඒ ක්‍රමය ඒ සියලු දෙනාට විවිධ ආකාරවලින් ඵලප්‍රයෝජන ලබා දුන් ක්‍රමයක් විය. අවසාන විග්‍රහයේදී විටින් විට මැතිවරණ පවත්වා තිබෙන්නේ රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලබා දිය යුතු කණඩායම තෝරා ගැනීම සදහාය. මෙම දූෂිත කොල්ල කාරි ක්‍රමය රජයට ආදායම් ලැබෙන මාර්ග උපරිම මට්ටමකට දුර්වල කොට රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයද අවුල් කොට විදේශ ණයගැතියාව උපරිම ලෙස වර්ධනය කොට රට පූර්ණ බංකොළොත් බාවයේ ආසන්නයටම තල්ලු කළේය.

 


විචාර බුද්ධිය අහිමි කරගැනීම

 


රටේ දිගින් දිගට සිදුවූ විනාශකාරි දේවල් සමාජයේ අසරණ බව වර්ධනය කොට විචාර බුද්ධිය ද හීන කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. රටේ ජනතාව එක භාෂාවකට කොටු කරන ප්‍රත්පත්තියද විචාර බුද්ධිය හීන කරන තවත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. අධ්‍යාපනය කටපාඩමින් කළයුතු දෙයක් බවට පත් කිරීම නිසාද අධ්‍යාපනයේදී රටට ලැබිය යුතු වැදගත්කම මුලුමනින් අත් හැරීම නිසාද සමාජයේ විචාර බුද්ධියේ ඇතිව තිබූ පරිහානිය හා ගරාහැලීම වේගවත් කළේය. ලංකාව විචාර බුද්ධිය බොහෝ දුරකට අහිමි කරගත් ඔලමොට්ටල රටක් බවට පත් වීමද රාජ්‍යයේ හා එහි සමාජ දේශපාලන ක්‍රමයේ ඇතිව තිබු පරිහානිය හා ගරාහැලීම උග්‍ර කිරීමට හේතුවී තිබුණි.


සමාජයේ ගොඩනැගී තිබුණ එම ඔලමොට්ටල තත්ත්වය රාජ්‍ය නායක්‍යින් කෙරෙහි සේම නිලධාරින් කෙරෙහිද බලපෑවේය. ධනය උපයා ගැනීමට තිබූ අති විශාල කෑදරකම හැර තියුණු ලෙස ඉදිරිය දැකීමේ හැකියාව ඒ සියලු දෙනා අහිමි කරගෙන තිබුණේය. 2009දී අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරෙන අවස්ථාව වන විට ලංකාවේ රාජ්‍යය ද එහි සමාජ -දේශපාලන ක්‍රමයද තිබුණේ උපරිම මට්ටමකට ගරාහැලුණු හා ජරාජීර්ණ භාවයට පත්වූ තත්ත්වයකය. යහපත් ඉදිරි ගමනක් සදහා රාජ්‍යය හා එහි සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ලෙස ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කරගැනීම නැතිවම බැරි කොන්දේසියක් වූ තත්ත්වයකය. එහෙත් එම යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව රාජපක්ෂ පාලනයට නොතිබුණි. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටි කාලයේ පැවති තත්ත්වයටත් වඩා අර්බුදය උග්‍ර තත්ත්වයකට පත් වීම ඒ නිසා ඇතිවූ පලයක් විය. එහිම ප්‍රති ඵලයක් වශයෙන් රාජපක්ෂ පාලනයද බිද වැටුණි.

 


විය හැක්කේ කුමක්ද?

 


එහිම ප්‍රතඵලයක් වශයෙන් බලයට පත්වන යහපාලන ආණ්ඩුව රෝගියා සෑබෑ සැත්කමකට යොමු කරනවා වෙනුවට ව්‍යාජ සැත්කකට යොමු කළේය. එය ඇති කළ ප්‍රතිඵලය ඉතා විනාශකාරි විය. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ ලබන ජයග්‍රහණය යහපාලන අවස්ථාවාදයේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය.


ගෝඨාභය බලයට පත්වන්නේ අර්බුදය හදාරා එය විසඳා ගැනීමට හැකි තරමේ ප්‍රතිසංස්කරණ පොදියක් සමග නොව ඒකාධිපති තතත්වයක් ඇති කර ගැනීමෙන් සියලු ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවනු ඇතැයි කියන විශ්වාසයෙනි. ඒ නිසා රටේ අර්බුදය ජයගැනීමට සුලු අවකාශයක් හෝ තිබුනේ නම් එම අවකාශයද නැතිබංග වී ඒ සමග යුගයේ අවසානයද අතිවන්නේය. එහි තේරුම ලංකාව නිදහස ලැබුණ තැන සිට මෙතෙක් පවත්වාගෙන ආ රාජ්‍යයේ හා එහි සමාජ-දේශපාලන ක්‍රමයේ පැවැත්ම මුලුමනින් අවසන් ව් ඇතිබවය.


රටේ ඉදිරිය ඉතාමත් අවුල් සහගතය. රට කාලකන්නිභාවයේ උපරිමයකට තල්ලුවී යනු ඇත. රට බංකොලොත් බාවයටද පූර්ණ අරාජක තත්ත්වයකටද පත් විය හැකිය. තමන් අතින් සිදුවූ වැරදි වෙනුවෙන් සමාජයට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු ඇත. පරණ දේශපාලන නායකයින්ගේ සේම පරණ දේශපාලන පක්ෂවල පැවැත්ම මුලුමනින් බිද වැටී ඒවා මජනයාට හාස්‍ය සපයන පුද්ගලයින් හා ආයතන බවට පත්වනු ඇත. පරණ යුගය පවත්වාගෙන ගිය ක්‍රමය මජනයා ගොඩනගන ලද දෙයක් නොවන අතර අලුත් යුගය පවත්වාගෙන යන ක්‍රමය නිර්මාණය කර ගැනීමට සිදුවනු ඇත්තේ මහජනයාටය.

 

Advertiesment