Saturday 28th of November 2020

English Tamil
Advertiesment


ඒකාධිපති පාලනයක් ඇති රටකට ආයෝජකයින් එයිද..?


2020-11-13 2083

20 මගින් ආයෝජකයින් අධෛර්යමත් කළේ ආණ්ඩුවයි 

 

"දින්නම අපි-පරදුනාම තොපි" න්‍යාය එපා..!

 

ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමයි 

 

ජනතාව කියන්නේ ආණ්ඩුව COVID අත හැරලා කියලා 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

සියලු විධායක සහ ඒකාධිපති බලතල එක පුද්ගලයෙකුට ලබා දුන්නාම ඒ රටේ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන්නේ ලෝකයේ කිනම් රටක ආයෝජකයින් යැයි ප්‍රශ්න කර සිටින විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදේශීය ආයෝජකයින් අධෛර්යමත් කළේ ආණ්ඩුවම යැයි ද චෝදනා කළේය.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා (12) පැවැති, 2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.  

"COVID-19 පළමු රැල්ල තරමක් සාර්ථකව පාලනය කළාම කිව්වා රජය නිසයි එහෙම වුණේ කියලා. දෙවන රැල්ල පාලනය කර ගැනීම අසාර්ථක වුණාම කියනවා මහා ජනතාවගේ වැරැද්ද නිසයි එහෙම වුණේ කියලා. ඒ කියන්නේ, "දින්නම අපි.. පැරදුණාම තොපි.."

අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා මෙතන නොමැතිවීම ගැන මම කණගාටු වෙනවා. මොකද එතුමා එතුමාගේ කතාවෙදි කිව්වා සමාගම් ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යනවා, සමාගම්වල බදු ආදායම වැඩි වෙනවා කියලා. මම ඔහුගේ අවධානය යොමු කරන්න කැමතියි ගිය ඉරිදා "The Sunday Times" පුවත්පතේ සදහන් කරලා තිබුණා විශාල සමාගම්වලට බදු මුදල් රජයේ ඉලක්ක ගත අංකවලට අනුව ගෙවන්න බැරි වෙනවා කියලා.

ඒ විතරක් නෙවේ... ලොකු සමාගම්වල අය කියනවා මේ අවුරුද්දෙ විතරක් නෙවේ,  ලබන අවුරුද්දෙත් ගෙවන්න බෑ කියලා. මොනවද මෙයාලා මේ ඉදිරිපත් කරන තර්ක. මේවට උත්තර දෙන්නේ නැතිව නැගිටලා යනවා. ඒ වගේම එතුමා කිව්වා විපක්‍ෂය ආයෝජකයන් අධෛර්යට පත් කරනවා කියලා. ආයෝජකයන් අධෛර්යට පත් කෙරුවේ ආණ්ඩුව. මොකද 20 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාවේ තියෙන හැම තනතුරක්ම පත් කරන්න එක පුද්ගලයෙකුට බලය දුන්නා. 

ව්‍යවස්ථාවේ ප‍්‍රධාන අත්තිවාරමක් තමයි බලතල බෙදා හැරීම. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය...20 අනුව එහෙම බලතල බෙදා හැරීමක් නෑ. එක පුද්ගලයෙක් තමයි සියල්ල කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයක් නෑ. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයක් නෑ. එතකොට ඒ වගේ රටකට කවුද එන්නේ ආයෝජනය කරන්න...තනි පුද්ගලයෙක් මේ හැම ආයතනයක්ම පාලනය කරන කොට කොයි පුද්ගලයද එන්නේ ආයෝජනය කරන්න.

මම මේ සභාවට මතක් කරන්න කැමතියි, අවුරුදු 25 කට කලින් චීන රාජ්‍යට ඇමරිකානු ආයෝජකයන් එන්නට කලින් අවුරුදු 3 ක් තිස්සේ චීනයේ අධිකරණ පද්ධතිය හැදුවා. අධිකරණය ස්වාධීන කෙරුවා. අධිකරණය ස්වාධීන කරලා, විශේෂයෙන්ම සමාගම් සම්බන්ධයෙන් ගන්න තීරණ අධිකරණයට ස්වාධීනව ගන්න පුළුවන් ආකාරයට හදපු නිසා තමයි ආයෝජකයෝ ගලා ගෙන එන්න පටන් ගත්තේ.  

නමුත් අපේ රජයට මොකද වෙලා තියෙන්නේ, ව්‍යවස්ථාවේ පත්වීම් 75 ක් තියෙනවා. ඒ 75 ම එක පුද්ගයෙකුට පත් කරන්න බලය දුන්නම මොන ආයෝජකයද එන්නේ. අප කණගාටු වෙනවා මේ තත්ත්වය ගැන. අනික අජිත් කබ්රාල් මහත්තයා විපක්‍ෂයෙන් අහනවා ආයෝජන ගැන... ආයෝජන එන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති මත. මේ වගේ සභාව නොමග අරින්න එපා. එතුමා කිව්වා රජයේ ආදායම මුලදී බලාපොරොත්තු වුණේ බිලියන 800 යි කියලා. නමුත් අද කියනවා බිලියන 400 ක් වත් එකතු කර ගන්න බැරි වෙයි කියලා. මේක තමයි ඇත්ත තත්වය.

ඔක්කොමලා කතා කළේ ණය ගැනයි, පොලිය ගැනයි. මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දක් වුණත් ආණ්ඩුව කරපු එක වැඩක්වත් ආණ්ඩුව කිව්වේ නෑ. අපි එදා රජයට කිව්වා 4 වන කාර්තුවේ වියදම් අපට දෙන්න අපි ඒක අනුමත කරන්නම් කියලා. නමුත් රජය කිව්වා රජයට බලය තියනවා...ජනාධිපතිතුමාට බලය තියනවා කියලා. ඒත් ඒ වියදම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන්ම පැහැදිළි වෙනවා අපේ අනුමැතිය ගත්තේ නැති නම් ඒ සඳහා විධායක ජනාධිපතිතුමාට බලයක් නැහැ කියලා.  

ඇත්ත වශයෙන්ම මම අද කතා කරන්න කැමතියි මේ අලුත් එන්නත ගැන. කොවිඞ් ප‍්‍රශ්යනට අලුත් එන්නතක් ගැන කතා කරනවා. චීනයේ එන්නතක් හදලා තිබ්බා. ඒක බ‍්‍රසීලයේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඒ එන්නත දුන්නම මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මොකද එන්නතක් හැදුවට පස්සෙ අපේ වෛද්‍යවරු දන්නවා ඒ එන්නත සෑහෙන්න කාලයක් පරික්‍ෂණයට ලක් කරන්න  ඕනේ. 

මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ උප්පත්ති පාලනය වෙනුවෙන්  පැනඩොමයිට් කියලා බෙහෙතක් හැදුවා. අපේ රාජිත සේනාරත්න ඇමතිතුමාටත් මතක ඇති. නමුත් මොකක්ද වුණේ. ඒ බෙහෙත පාවිච්චි කිරීමෙන් ලක්‍ෂ ගාණක් අංගවිකල ළමයි බිහි වුණා. රටවල් 100 ක විතර...එම පැනඩොමයිට් කියන බෙහෙත හොයා ගත්තේ ජර්මනියෙන්. දැන් මේ ඇමරිකාවේ ෆයිසර් සමාගම එක්ක බෙහෙතක් හොයා ගෙන තියෙනවා.ඒකත් ජර්මනියේ සමාගමක් එක්ක ගණු දෙනු කරලා ජර්මනියේ තමයි බෙහෙත හැදුවේ. එන්ගලන්තයේ තමයි බෙහෙත විසුරුවා හැරියේ. නමුත් මේ වගේ එන්නතක් ගේන්න හදන කොට පරිස්සමින් ගේන්න  ඕනේ. මෙතන වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා. ඒ අය පිළිගන්නවා මම කියන කතාව. මොකද එක්තරා බෙහෙතක් හදලා අවුරුදු 4 කට පස්සෙ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මේ බෙහෙත පාවිච්චි කරන්න එපා කියලා.   

අද අපි කවුරුත් එන්නතක් බලාපොරොත්තු වෙනවා. රජය කිව්වා අපේ‍්‍රල් මාසයේදි කොවිඞ් අවසානයි කියලා. රජයත් විශ්වාස කෙරුවා. අපිත් විශ්වාස කෙරුවා. බලන කොට කොවිඞ් ඉවර නෑ. අළු යට ගිණි පුපුරු වගේ රට ඇතුළේ තිබ්බා. වෛද්‍යවරු කිව්වා දෙවන රැල්ලක් එනවා කියලා. ගිය කැබිනට් රැස්වීමේදී තමයි නීති හැදුවේ. කොවිඞ් ආපු හැම රටක්ම අපේ‍්‍රල්-මැයි වෙන කොට නීති හැදුවා. නමුත් අපිට මාස 09 ක් ගියා නීති හදන්න. මොකද ආණ්ඩුව  හිතුවා කොවිඞ් ඉවරයි කියලා.

අවසාන වශයෙන් මම කියන්න  ඕනේ, ජනතාවට බනින්න එපා. පැරණි දේශපාලන කියමනක් තියනවා "දින්නාම අපි-පැරදුණාම තොපි" කියලා. දැන් කොවිඞ් පළමු වටය එක්තරා ක‍්‍රමයකට සාර්ථක වුණාම කිව්වා අපි නිසයි සාර්ථකව පාලනය වුණේ කියලා. නමුත් දෙවන රැල්ල අසාරථක වුණාම ජනතාව නිසයි එහෙම වුණේ කියලා කිව්වා. "දින්නාම අපි-පැරදුණාම තොපි" ආණ්ඩුවක් ඉන්නේ ජනතාව ආරක්‍ෂා කර ගන්න, ඒක තමා මූලික වගකීම. අපේ රටේ ජනතාව විශේෂයෙන්ම ජනතාවගේ ආරක්‍ෂාව බලාපොරොත්තු වෙනවා. දැන් රටේ මතය තමා ආණ්ඩුව මේක අත හැරලා කියලා. ජනතාව ආරක්‍ෂා කරන්නයි අපි පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසා ජනතාව අමතක කරන්න එපා. ජනතාවට ගරහන්න එපා. ඒක පාප කර්මයක්. ජනතාවට අපහාස නොකර මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්න."


.


 

Advertiesment