Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


ජෝ බයිඩන්ට 78යි-කරූට 79යි-ඇයි ප්‍රශ්නයක්ද..?


2020-11-12 1767

මිනිස්සු ඉල්ලුවේ අලුත් නායකයෙක්-දුන්නේ නියෝජ්‍ය නායකයෙක් 

 

නව නායකත්වයකින් තොරව එජාපයට ගමනක් නැහැ

 

එජාපය පුද්ගලයෙකුගේ හෝ පවුලක පක්ෂයක් නොවෙයි  

 

COVID-19 දෙවැනි රැල්ලට රජය වග කිව යුතුයි 

 

රජය සැඟ වූවාට වසංගතය සමාජ ගත වෙලා

 

අනිල් ජාසිංහ පැත්තකට දැමීමේ ප්‍රතිඵල තමයි මේ..!

 

ආර්ථිකය 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් කඩා වැටිලා 

 

කෘතහස්ථ-පූර්ණ කාලීන මුදල් ඇමතිවරයෙකු අවශ්‍යයි

 

සල්ලි අච්චු ගහලා රටක් ගෙන යනු බැහැ-ආණ්ඩුවේ විනිවිධ භාවයක් නැහැ 

 

රජය ජපානය අමනාප කර ගත්තා 

 

මිනිස්සුන්ට උත්තේජන සහන පැකේජයක් ඕනෑ 

 

ලෝකයටයි-එජාපයටයි ඇමරිකානුවන් දුන් පණිවුඩය 

 

රටයි-එජාපයයි ගැන නවීන්ගේ අලුත්ම විග්‍රහය මෙන්න..!

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ජෝ බයිඩන් සිය ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ දී ඔහුගේ වයස ඇමරිකානුවන්ට ප්‍රශ්නයක් නොවුණා නම් එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට අදාළව කරු ජයසූරියගේ වයස ඇතැමුන්ට ප්‍රශ්නයක් වන්නේ කෙසේදැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ප්‍රශ්න කර සිටියි.

මිනිස්සු ඉල්ලුවේ අලුත් නායකයෙකු විනා අලුත් නියෝජ්‍ය නායකයෙකු නොවන බව පෙන්වා දුන් නවීන් දිසානායක මහතා නව නායකත්වයකින් තොරව එක්සත් ජාතික පක්ෂය ඔසවා ඉදිරියට ගෙන යමින් විජයග්‍රහණය කළ නොහැකි යැයි ද අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මේ අදහස් පළ කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ජන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.  

COVID-19 පළමු රැල්ලට සාර්ථක මුහුණ දුන්නත් දෙවැනි රැල්ල භයානක ලෙස මතු වී ඇති අතර එම තත්ත්වය අපේ පාලනයෙන් ගිළිහී යමින් පවතින වාතාවරණයක් උද්ගත වී තිබෙනවා. විශේෂයෙන් මෙම වසංගතය අල්ලා ගෙන දේශපාලනය කිරීමට වග කිව යුතු සහ වැදගත් ජාතික දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති අතර රටක් ජාතියක් ලෙස එම වසංගතය මර්දනය කිරීමේ දී රජයට දිය හැකි පූර්ණ සහය ලබා දෙන බව අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ගොස් ජනාධිපතිවරයා හමු වී මුල් අවස්ථාවේදීම අප සහතික වුණා.

උද්ගත වී තිබෙන නව තත්ත්වය සම්බන්ධයෙන් රජයත් වගකීම භාර ගත යුතු අතර විශේෂයෙන් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැනි දක්ෂ වෛද්‍යවරුන් මෙම COVID-19 වසංගතය මර්දනය කිරීමේ ජාතික වැඩ සටහනින් මාරු කිරීම නිසා අහිත කර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ ව්‍යසනයේ දී ඊට එරෙහිව විශාල කාර්ය භාරයක් කරමින් වසංගතයෙන් රටත්-ජනතාවත් ගලවා ගැනීමට ඇපකැප වී ක්‍රියා කළ එවැනි දක්ෂ වෛද්‍ය නිලධාරීන් පැත්තකට දැම්මේ ඇයි..? විපක්ෂය ලෙස රජයට අප ඒ ගැන චෝදනා කරනවා.

 

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිගමනයන් අනුව යමින්, COVID-19 වසංගතය සමාජ ගත වී නොමැති බව රජය තවමත් කියා සිටියත් අපේ වෛද්‍යවරුන් බහුතරය කියා සිටින්නේ වසංගතය මේ වන විට සමාජ ගත වී ඇති බවයි. ඇත්තටම වසංගතය සමාජ ගත වී ඇත් නම් රජය කළ යුත්තේ ඒ තත්ත්තවය පිළි ගෙන ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමයි. වසංගතය පාලනය කරමින් සහ මර්දනය කරමින් ක්‍රියා කිරීමේ දී එතුමා ඉතා හොඳින් එතුමාගේ දක්ෂතා, හැකියාවන් සහ කැපවීම රටට ප්‍රදර්ශන කළා. 

මෙවැනි ජාතික ව්‍යසනයක දී සෑම අවස්ථාවකදීම විනිවිද භාවය තහවුරු කළ යුතු නමුත් මෙහිදී රජය ජනතාවගෙන් එම විනිවිධ භාවය සඟ වන බවක් පෙනීමට තිබෙනවා. ඒ වගේම මේ වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා යැයි කියමින් රජය COVID-19 මර්දන ජාතික අරමුදලක් පිහිටුවා ඊට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රුපියල් කෝටි ගණනක් එකතු කළා. ඒ අරමුදල කෝ..? ඊට සිදු වූයේ කුමක්ද..? එම මුදල් වියදම් කළේ කෙසේද..? මේ පිළිබඳව රට-ජනතාව දැන ගත යුතුයි.

එමනිසා රටේ උද්ගත වී තිබෙන මෙම සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියා විනිවිධ භාවයෙන් යුතුව ක්‍රියා කරන්නැයි විපක්ෂයක් ලෙස රජයෙන් අප ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොව බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බව තේරුම් ගෙන රජය ඒ අනුව ක්‍රියා කළ යුතු බව අපේ ස්ථාවරයයි. ඇත්ත වශයෙන්ම විශේෂඥයින් පෙන්වා දෙන්නේ දෙවැනි රැල්ලේ දී මතුව තිබෙන්නේ පළමු රැල්ලේ දී මතු වූ COVID-19 වසංගතයට වඩා හාත්පසින්ම වෙනස් වූ භයානක COVID තත්ත්වයක් බවයි.

වසංගතය මර්දනය කිරීම සඳහා මහා ජන සහය අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටිනවා වගේම අප ද පිළි ගන්නා නමුත් එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප මුල සිටම අවධාරණය කළ පරිදි, PCR පරීක්ෂණ ඉතාම ඉක්මනින් වැඩි කිරීමට සහ වේගවත් කිරීමට රජය වහාම පියවර ගත යුතුයි. රජය යම් ප්‍රමාණයකට මෙම PCR පරීක්ෂණ වැඩි කර ඇතත් ඒ ප්‍රමාණය ගැන ඇත්ත වශයෙන්ම සතුටු විය නොහැකියි.

එමනිසා COVID-19 දෙවැනි රැල්ල මර්දනය කර රටත්-ජනතාවත් බේරා ගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කරන අතර පරිපාලනමය දුර්වලතා හදා ගෙන සියලු දෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.

 

 

ඇත්ත වශයෙන්ම COVID-19 වසංගතය හේතුවෙන් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන අතර රටේ සමස්ත ආර්ථිකය ද බිඳ වැටී තිබෙනවා. ඊට රජයටම පමණක් චෝදනා එල්ල කළ නොහැකි අතර ලෝකයේ බොහෝ රටවල තත්ත්වය ද මේ හා සමානයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ජීවත් වූ විශාල පිරිසකගේ රැකියා අදායම් මාර්ග අහිමි වී ඒ පිරිස මේ වන විට අන්ත අසරණ වී සිටිනවා. මේ අයට සහන ලබා දීමට රජය ක්‍රියා කර නොමැති අතර සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ඒ සහන ලබා දී එම ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා රජයට කිසිදු වැඩ පිළිවෙළක් ද ඇත්තේ නැහැ.

රට ලබා ගෙන තිබෙන විදේශ ණයවලට අදාළව 2020 ඔක්තෝබර් මාසයේ දී රජය ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙව්වා. ඒක ඇත්ත. නමුත් රජය එසේ ගෙව්වේ අපේ යහ පාලන රජය යටතේ මහා බැංකු අධිපතිවරයාව සිටී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ වෙනුවෙන් කල් ඇතිව වෙන් කර තිබූ මුදලකිනුයි.

මේ අනුව මේ අවුරුද්දට අදාළව ගෙවීමට තිබෙන විදේශ ණය සඳහා රජයට මුදල් නොමැති අතර ඒ පරණ විදේශ ණය ගෙවීම සඳහා යළිත් විදේශයෙන් ණය ගැනීමට රජයට සිදුව තිබෙනවා. මේ අනුව මේ විදේශ ණය උගුල ඉතාම ඉකමනින් රටට-ජනතාවට ඉතා අහිතකර ලෙස  බලපාන බව කිව යුතුයි. පරණ ණය ගෙවීමට අලුතින් යළි යළිත් ණය ලබා ගත්තත් රජය ඊට විකල්ප මාර්ග ගැන සොයන්නේ නැහැ. 

විශේෂයෙන්ම පරණ ණය ගෙවීම සඳහා වත්මන් රජය මේ මෑතකදී චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගත් අතර මේ ක්‍රියාවලියේ දී රජය රටට අහිතකර තීරණ ද ගන්නවා. ඊට හොඳම උදාහරණය වන්නේ සාධනීය මූල්‍ය කොන්දේසි යටතේ ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිහිටුවීමයි. මේ සිද්ධිය ගැන ජපානයේ දේශපාලන නායකයින් ඉතාම කණගාටුවෙන් අදහස් ප්‍රකාශ කර ඇති බව ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ හිටපු සභාපතිවරයා ලෙස මම හොඳින්ම දන්නවා.

ශ්‍රී ලංකාවට ඉතා මිත්‍රශීලී රටක් වන ජපානය සමග අපට තිබුණු ඒ හොඳ හිත, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය මේ සිද්ධියත් සමග වත්මන් රජය අහිමි කර ගත් බව කිව යුතුයි. සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට ඉතා ලෙන්ගතුව සහන සහ ආධාර ලබා දෙමින් අපට උදව් උපකාර කළ ජපානය මේ ව්‍යාපෘතිය සඳහා ද ඇමරිකානු ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් ණයක් ලෙස අපට ලබා දීමට සූදානමින් සිටියේ 0.5 % සිට 1% දක්වා වූ අතිශය අඩු පොළියකට යටත්ව අවුරුදු 30ක් වැනි දීර්ඝ කාලයකින් ගෙවීමේ පදනම යටතේයි.

මේ කරුණු කාරණා ගැන නොතකන සහ මේ විෂය පිළිබඳව අවබෝධයක් නොමැති රජය වැඩි පොළියකට විවෘත්ත වෙළෙඳ පොළෙන් ණය ගන්නා අතර එවැනි වැඩි පොළියකට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ණයට ගැනීමට යන බව ආරංචියි. මෙම කණ්ඩායම එදා ක්‍රියාත්මක කළෙත් මේ වැඩ පිළිවෙළම වන අතර මේ ක්‍රියාදාමය හැඳින් විය හැක්කේ "නිවාඩ් කබ්රාල්" න්‍යාය ධර්මය ලෙසයි. 

රටක ආර්ථික මෙසේ මෙහෙය විය නොහැකි අතර විශේෂයෙන්ම පූර්ණ කාලීන, වගකීම් සහිත, විෂය පිළිබඳ දැනුම ඇති, පළපුරුද්දක් සහ අවබෝධයක් තිබෙන මුදල් ඇමතිවරයෙකු රටට අවශ්‍යයි. රටේ ආර්ථිකය දවසින් දවස කඩා වැටෙමින්, දුර්වල වෙමින් සහ හීන වෙමින් පවතින අතර රජය මේ වන විට මුදල් අච්චු ගැසිය යුතු සීමාව ඉක්මවා මුදල් අච්චු ගසමින් සිටිනවා. රාජ්‍ය ආදායම 50%කින් අඩු වී තිබෙන අතර එම පියවා ගැනීම සඳහා නිසි, පිළි ගත් සහ විධිමත් ක්‍රමවේදයෙන් තොරව යළි යළිත් මුදල් අච්චු ගසමින් රටක් ඉදිරියට ගෙන යන්න හැකියාවක් ඇත්තේ නැහැ. රටේ ආර්ථිකය 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් කඩා වැටී ඇති නමුත් රජය ඒ ගැන පාර්ලිමේන්තුවට, රටට-ජනතාවට නොකියන අතර ඊට මුහුණ දී ආර්ථික වශයෙන් රට ගොඩනැගීමට ද රජයට වැඩ පිළිවෙළක් නොමැති බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.  

එමනිසා රජය කළ යුත්තේ සියලු පාර්ශවයන් සමග මේ ගැන විවෘත්ත ලෙස සාකච්ඡා කර ඉතාම ඉක්මනින් දුරදරශී සහ ප්‍රගතිශීලී වූ උපාය උපක්‍රම ඔස්සේ වගකීමක් සහිතව රටේ ආර්ථිකය මෙහෙයවීමට ක්‍රියා කිරීමයි. එමෙන්ම වසංගත තත්ත්තවය සහ රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි උත්තේජන සහන ක්‍රමයක් රටට හඳුන්වා දීමට ද අවශ්‍යයි. ඒ සඳහා මුදල් අවශ්‍ය වන අතර ඒ මුදල් සොයා ගන්නා ක්‍රම ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් ද රජය කිසිවක් නොසඟවා විවෘත්තව සාකච්ඡාවකට එළැඹිය යුතයි.

 

 

 

එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ බෙදීම සහ දෙකඩ වීම හේතුවෙන් රටේ විපක්ෂය අතිශය දුර්වල වී තිබෙන අතර එවැනි තත්ත්වයකින් තොරව මහා මැතිවරණයට එකට එක්ව මුහුණ දීමට පක්ෂයක් ලෙස අපට හැකියාව සහ අවස්ථාව තිබුණා නම් මන්ත්‍රී ආසන 90ක් පමණ දිනා ගැනීමට අපට හැකියාව තිබුණා.

කෙසේ නමුත් එම සංඛ්‍යාව පනස් හතරකට අඩු වෙමින් එම මන්ත්‍රී ධූර ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය පිරිසට හිමිව තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය සමතලා වූ තත්ත්වයකට පත් වෙමින් අපේ පක්ෂයට හිමි වූයේ ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක් විතරයි. එම තත්ත්තවය ඉතාම කණගාටුදායක වන අතර මගේ ස්ථාවරය වන්නේ එක්සත් ජාතික පක්ෂය කියන මෙම දැවැන්ත දේශපාලන ව්‍යාපාරය පැලැස්තරවලින් තොරව විශාල සහ රැඩිකල් දේශපාලන ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුයි.

ඊට අදාළව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඉතාම නිර්භීත ලෙස සහ කිසිවක් නොසඟවා මම මගේ අදහස් ඉදරිපත් කළ බව කවුරුත් දන්නවා. සිය කැමැත්තෙන්ම නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා එදා ඉතා පැහැදිළිව කියා සිටී අවස්ථාවේ දී, මම ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය කියා සිටියේ, එසේ නම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සර්වාගමික නායකයින්ගේ, සිවිල් ප්‍රජාවගේ සහ බිම් මට්ටමේ පාක්ෂිකයින් බහුතරයකගේ විශ්වාසය දිනා සිටින කරු ජයසූරිය මහතාට ලබා දිය යුතු බවයි.

ඒ අවස්ථාවේ දී ඇතැම් පිරිසක් එතුමාගේ වයස ගැන ප්‍රශ්න මතු කළ අතර ඒ අවස්ථාවේදී මම ඇමරිකාවේ ජෝයි බයිඩන්ගේ නම සඳහන් කරමින් වයස අවරුදු 78ක් වන එතුමා එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කරන බව එදා පැහැදිළිව සඳහන් කළා. වයස අවුරුදු 78ක් වන එතුමා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගෙන අද එරට ජනාධිපති ධූරයට පත්ව සිටිනවා.

ඇමරිකානුවන්ට සිය නායකයාගේ වයස ප්‍රශ්නයක් නොවන්නේ නම් අපට කරු ජයසූරියගේ වයස ප්‍රශ්නයක් වන්නේ කෙසේද..? මෙලෙස මතු කරන ප්‍රශ්නවලට ඇමරිකානුවන් හොඳ උත්තරයක් දුන්නා නොවේද..? ජෝයි බයිඩන්ගේ වයස අවුරුදු 78යි. කරු ජයසූරියට 79යි. ඉතිං කුමක්ද ප්‍රශ්නය..? මේ ප්‍රශ්න අප ඇසිය යුතුයි. නායකයෙකුට ජවයක්, ජන රංජන භාවයක්, හැකියාවක්, පළපුරුද්දක්, අත්දැකීම් සම්භාරයක්, කළමනාකරණයක්, දර්ශනයක්, වැඩ පිළිවෙළක්, ස්මරණ ශක්තියක් සහ පිළි ගැනීමක් තිබෙනවා නම් වයස ගැන කිනම් කතාද..? වයසත් ප්‍රශ්නයක්ද..? පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, කුලය, භාෂාව සහ වයස ආදී කාරණා සම්බන්ධයෙන් ඔහුට වෙනස් කොට සැලකීම හෝ ඔහු දෙස වපර ඇසින් බැලීම ප්‍රජාතන්ත්‍රවාදයට, මානව අයිතිවාසිකම්වලට සේම ආචාර ධර්මවලට විරුද්ධ බව නොදන්නේද..?

එමෙන්ම ප්‍රශ්නය උද්ගත වී තිබෙන්නේ නායකයා සම්බන්ධයෙන් නම් කළ යුත්තේ ඊට අදාළව ප්‍රතිසංස්කරණ සිදු කරමින් අලුත් නායකයෙකු පත් කර ගැනීමයි. එසේ නොකර පක්ෂයට අලුතින් නියෝජ්‍ය නායකයෙකු පත් කර ගත්තා කියා ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් ඇති නොකර පක්ෂය ඔසවා ඉදිරියට ගෙන යා නොහැකි බව මම පැහැදිළිව කියනවා.

 

 

එක්සත් ජාතික පක්ෂයෙන් තොරව දේශපාලනයක් මගේ නැහැ. සමගි ජන බලවේගය සමග අප එකතු වනවා නම් එසේ කළ යුත්තේ පක්ෂයක් ලෙස තීරණයක් ගන්නවා නම් විතරයි. පක්ෂයේ ප්‍රතිපත්ති, දර්ශනය සහ වැඩ පිළිවෙළ ගැන විශ්වාසයක් තබමින් අප ඉදිරියට යා යුතුයි. එකසත් ජාතික පක්ෂය කියන්නේ එක පුද්ගලයෙකුගේ හෝ එක පවුලක දේශපාලන පක්ෂයක් නොවෙයි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, විවෘත්ත ආර්ථිකය, සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දීම සහ සමානාත්මතාවය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බව අප අමතක නොකළ යුතුයි. මම සිටින්නේ ඒ ප්‍රතිපත්ති, අදහස් සහ දර්ශනය මතයි. ඒ ඔස්සේ අපේ මාතෘ භුමිය ප්‍රගතිශීලී දියුණුවක් කරා මෙහෙය වමින් ජනතාව සවි බල ගන්වා රට ලෝකයට ගෙන යා හැකි බව මගේ විශ්වාසයයි.

මගේ පියාණන් වූ දිවංගත ගාමිණී දිසානායක මහතා සිය ජීවිතය පරිත්‍යාග කළ එක්සත් ජාතික පක්ෂය සමග මම මගේ දිවි ඇති තෙක් සිටින අතර පක්ෂය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමටත්, ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට සහ පක්ෂය විජයග්‍රහණය කරා මෙහෙයවීමටත් ඇපකැප වන බවට මම සහතික වනවා.         
 

 

Advertiesment