Saturday 28th of November 2020

English Tamil
Advertiesment


සිරිකොතේ දුරකතනත් විසන්ධි කරලා


2020-11-11 3792

"Out Going" නැහැ-"Incoming" විතරයි

 

එජාප මහා ලේකම් රැගෙන ගිය "සිරිකොත" වාහනය ආගිය අතක් නැහැ 

 

"සිරිකොත" වැටුප් හරි අඩකින් කපලා 

 

එජාප දුක් ගන්නා රාළගේ ප්‍රවාහන දීමනාව රු.80,000යි 

 

පවිත්‍රතා සේවක වැටුප් තවමත් ගෙවා නැහැ 

 

නායක-නියෝජ්‍ය නායක- මහා ලේකම් ආගිය අතක් නැහැ

 

රනිල් දියතලාව බංගලාවේ විවේක සුවයෙන් 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 
 

දුරකතන බිල් පත් ගාස්තු නොගෙවීම හේතුවෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සියලුම දුරකතන සම්බන්ධතා විසන්ධි කර තිබෙන බව එම මූලස්ථානයේ සේවක සේවිකාවෝ "lankanewsweek" වෙත තහවුරු කර සිටියහ.

මේ අනුව "සිරිකොත" මූලස්ථානයේ ස්ථාවර දුරකතනවලින් මේ වන විට භාහිර ඇමතුම් (Out Going) ලබා ගත නොහැකි අතර ලැබෙන ඇමතුම් (Incoming) සේවාව පමණක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ අතර "සිරිකොත" කාර්ය මණ්ඩලයේ පාවිච්චිය සඳහා යොදවා තිබූ "T T 253-5538" දරන "IS" වර්ගයේ  සුදු පැහැති "VAN" රථය මේ වන විට ආගිය අතක් නොමැති අතර "සිරිකොත" සේවක සේවිකාවන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මහා මැතිවරණ සමයේ දී එම වාහනය  සිය මහා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කිරීම සඳහා කුරුණෑගලට රැගෙන ගිය බවය.

මීට සති කිහිපයකට පෙර "සිරිකොත" මූලස්ථානයට පැමිණ එහි ප්‍රධාන ගණකාධිකාරීවරයා වන එම් ගෆූර් මහතාගෙන් අකිල විරාජ කාරියවසම් මහතා එම වාහනයේ පොත ඉල්ලා ඇති අතර එම වාහනයේ පොත ඒ වන විටත් අස්ථාන ගත වී ඇති බව ඔහු අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දැනුම් දී තිබේ. එමෙන්ම එම වාහනයේ පොත තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් අභාව ප්‍රාප්ත ගාමිණී අතුකෝරාල මහතාගේ නමට බව ද "සිරිකොත" ගණකාධිකාරීවරයා අකිල විරාජ් කාරියවසම් මහතා වෙත වැඩි දුරටත් දැනුම් දී ඇත.

මේ අතර "සිරිකොත" සේවක සේවිකාවන්ගේ මේ මස වැටුපෙන් ගෙවා තිබෙන්නේ ද භාගයක් පමණක් වන අතර එම මූලස්ථාන ගොඩනැගිල්ලේ පවිත්‍රතා කටයුතු සිදු කරන අන්ත අසරණ සුළු සේවක සේවිකාවන්ගේ වැටුප් මාස ගණනකින් ගෙවා නොමැති අතර "lankanewsweek" මීට පෙර ද ඒ බව අනාවරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජනය කරන ශමල් සෙනරත් මහතා එම පක්ෂයේ දුක් ගන්නා රාළ හෙවත් ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබ වන්නේ ගරු සේවයක් ලෙස බවට පාක්ෂික පාක්ෂිකයින් සිතා ගෙන සිටියත් ප්‍රවාහන දීමනාවක් ලෙස ඔහුට පක්ෂයෙන් මසකට රුපියල් 80,000ක් ගෙවන අතර මේ මාසය වෙනුවෙන් ද රුපියල් 40,000ක් ගෙවා ඇත.

මේ අතර "සිරිකොත" තරුණ දේශපාලන ක්‍රියාකාරීන් "lankanewsweek" සමග වැඩි දුරටත් පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇහැකටවත් දැකීමට නොහැකි අතර රනිල් වික්‍රමසිංහ මහතා නම් දෙසතියක් පමණ මුළුල්ලේ දියතලාව බංගලාවේ විවේක සුවයෙන් පසු වන බවය.  

 

    

Advertiesment