Saturday 28th of November 2020

English Tamil
Advertiesment


සීනී බද්දෙන් කෝටි ගණනක ගැහිල්ලකට බලධාරීහූ කැස කවති


2020-11-08 3398

වෙළෙඳ ඇමතිගෙයි-ආනයන පාලකවරියගෙයි වැඩක්ලු 

 

ආනයනකරුවන්ට බල පත්‍ර ලබාදීම අත්හිටුවලා

 

එක්තරා සමාගමක් කෝටි ගණනක අයථා ලාභයක් ලබලා

 

ආනයන පාලකවරියට දැඩි විරෝධයක්

 

සීනී මිල අහස උසට යන ලකුණු 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ යන උපකල්පනය මත විදේශ රටවලින් සීනී ආනයනය කිරීම සඳහා අවශ්‍ය බල පත්‍ර ආනයනකරුවන් වෙත නිකුත් කිරීම වෙළෙඳ අමාත්‍යවරයා සහ ආනයන-අපනයන පාලක ජනරාල්වරිය මේ වන විට කූට ලෙස අත්හිටුවා තිබෙන බවට සීනී ආනයන-අපනයනකරුවෝ චෝදනා කර සිටිති.

සීනි ආනයනය කිරීම සඳහා වන බලපත්‍ර මෙසේ නිකුත් කිරීම අත්හිටුවා තිබෙන්නේ 2020.11.14 වැනිදා දක්වා වන අතර 2020.11.02 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ සීනී ආනයනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අයදුම්පත් භාර නොගැනීමට ද ආනයන-අපනයන ජනරාල් ටී.වී.ඩී දමයන්ති එස් කරුණාරත්න මහත්මිය පියවර ගෙන තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආනයන-අපනයන ජනරාල් ටී.වී.ඩී දමයන්ති එස් කරුණාරත්න මහත්මිය මේ පියවර ගෙන තිබෙන්නේ කූට වෙළෙඳුන් සහ ආනයනකරුවන් පිරිසකගේ ඉල්ලීමකට වන අතර සීනී ආනයනය කිරීම සඳහා අවශ්‍ය බල පත්‍ර නිකුත් කිරීමට නම් අදාළ බලධාරීන් ඒ වෙනුවෙන් අල්ලස් ඉල්ලා සිටින බවට ද ආනයන-අපනයනකරුවෝ චෝදනා කර සටිති.

සීනි කිලෝවක මිල රුපියල් 130 සිට රුපියල් 110 දක්වා අඩු කර අපනයනකරුන්වට සේම පාරිභෝගික ජනයාට ද, සහන සැලසීමේ අරමුණින්, 2020 ඔක්තෝබර් මස 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා ඇති විශේෂ වෙළඳ බද්ද රුපියල් 50 සිට රුපියල් 0.25 දක්වා අඩු කිරීමට රජය පියවර ගත් අතර ඊට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබිණ.

මෙම නිවේදනයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 ඔක්තෝබර් 14 වැනිදා සීනී කිලෝවක සමස්ත විකුණුම් මිල රුපියල් 130 සිට රුපියල් 110 දක්වා පහත වැටුණු අතර ඒ වන විටත් සීනී මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබිණ.

මේ බව දැන ගත් වහාම කූට සහ උපක්‍රමශීලී වෙළෙඳුන් සහ ආනයනකරුවන් සිදු කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ආනයන-අපනයන පාලක ජනරාල්වරිය හමු වී ඉල්ලා ඇත්තේ අදාළ සීනී තොග වරායෙන් නිදහස් කර ගෙන ප්‍රවාහනය කර ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර ඒ ඒ ආනයනකරුවන් වෙනුවෙන් නිකුත් කිරීම 2020.11.14 වැනිදා දක්වා අත්හිටු වන ලෙසය.

මෙම බල පත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ බලධාරීන් ආනයන-අපනයනකරුවන්ගෙන් අල්ලස් ඉල්ලා සිටින බවට එම ආනයන-අපනයනකරුවන් චෝදනා එල්ල කර සිටින්නේ 2020 නොවැම්බර් 14 වන විට "SCL" හෙවත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ යනු ඇතැයි විෂය භාර අමාත්‍යවරයා සහ ආනයන-අපනයන ජනරාල්වරිය අපේක්ෂා කරන පසුබිම මතය.

සීනි තොග මිල පසුගිය රජය විසින් රුපියල් 92ක් ලෙස නියම කළ බැවින් සීනි මිල රුපියල් 100 ක මිලකට අලෙවි කිරීමට පාරිභෝගික අධිකාරියට අවශ්‍ය වන අතර සීනි අපනයන සඳහා සහනාධාර ලබා දීමට ඉන්දියාව පියවර ගෙන නොමැති තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වෙළඳ පොළේ සීනි මිල ඉහළ යනු ඇත.

ඒ අනුව 2020 නොවැම්බර් මස 15 වැනිදා සිට බල පැවැත් වෙන පරිදි දේශීය වෙළෙඳ පොළේ සීනි මිල විශාල ලෙස ඉහළ යනු ඇති අතර එමගින් පැහැදිළි වන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සහ ආනයන-අපනයන පාලක ජනරාල්වරිය වන ටී.වී.ඩී දමයන්ති එස් කරුණාරත්න මහත්මියට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයා නොව ආනයනකරු සහ වෙළෙන්දා ආරක්ෂා කිරීම බවය.

ආනයන-අපනයන පාලක ජනරාල්වරිය වන ටී.වී.ඩී දමයන්ති එස් කරුණාරත්න මහත්මියගේ මෙම කූට, අසාධාරණ සහ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බව පෙන්වා දෙන අපනයනකරුවෝ සඳුදා (09) උදෑසන ඇය හමු වී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇයට සිය විරෝධය දක්වන බව ද අවධාරණය කර සිටියහ.

සීනී සඳහා වන ආනයන බද්ද ඉවත් කිරීම කූට ලෙස ප්‍රයෝජනයට ගනිමින් එක්තරා මහා පරිමාණ අපනයනකරුවෙකු පමණක් රුපියල් කෝටි ගණනක අයථා ලාභයක් උපයා ඇති බව "අරුණ" පුවත්පත ද "සීනි ගේන සමාගමක් බදු ලාභය බදා ගෙන" යන ශීර්ෂය යටතේ හෙළිදරව්වක් කර තිබූ අතර එම ප්‍රවෘත්තිය පහත දැක්වේ.

 

 

Advertiesment