Saturday 28th of November 2020

English Tamil
Advertiesment


ඇත්තටම වැඩ්ඩා රනිල් ද බැසිල් ද..?


2020-11-04 4557

ඩයනා වැනි ගැහැනියක් කියවා ගත නොහැකි සජිත් 

 

පොහොට්ටුවයි-දුරකථනයයි හදන ජාතික ආණ්ඩුව 

 

රනිල් තලා බැසිල් වණන න්‍යායේ පුරුද්ද  

 
 
(සරත් අබේසිංහ)

මේ රටේ මිනිසුන්ට අනුන්ගේ දේවල් හරිම ඉහළය. තමන්ගේ මිනිහා මොන තරම් හොඳ  දෙයක් කළත් අගේ නැත. පිටරට දේ නම් හෙන ලොකුය. ලොකු ළුණු ගෙඩිය රට ළුණු වී දෙල් ගෙඩිය රට දෙල් වූයේ අපේ ඒ ගුණේ නිසාය.

තමන්ගේ ළමයා කොපමණ හොඳට ඉගෙනුම කළත් අල්ලපු ගෙදර දුව හරිම දක්ෂ බව අම්මා නෑයොත් එක්ක කියන්නේ ද, මේ ගතිය නිසාය. ඒ විතරක් නෙමේ පාරේ යන සේරම ගෑනු ගෙදර ගෑනිට  වඩා හොඳට ඉස්සරහ - පස්ස සහිත බව හොදින් ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඒ බව වර්ණනනා කරන සැමියෝ කොපමණද සිටී ද..? ජීවිතේට පිට රටකට නොගිය  අය පවා ඒ රට සහ මේ රට සසඳා මේ රටේ පාර, බස් එක, කෝච්චිය ඇතුළු බොහෝ දේට අපහාස කරනු ඕනෑ තරම් දැකිය හැක. මේ සියල්ලට හේතුව තමන්ගේ එකාට වඩා අනුන්ගේ එකා ලොකු වීම නොවේ ද..?

 

බැසිල් ද හීරෝ

 

මේ කතා සිහි පත් වන්නේ මේ දිනවල බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පිටු ගණන් ලිය වෙන රචනා දුටු විටය. දේශපාලන ඉතිහාසයේත්, වර්තමානයේත්, බැසිල් රාජපක්ෂ තරම් විශ්ම කර්මයෙක් නැත. අනාගතේ  බිහි වෙන්නේ ද නැත. 2020-10-22 යනු බැසිල් රාජපක්ෂගේ දිනයයි. 20 බැසිල් රාජපක්ෂ නමින් ලියවී හමාරය. මේ ක්‍රියාවලිය තනිකරම "බැසිල් vs විපක්ෂ" සටනකි. මේ 20 සම්මත වූ පසු බැසිල් රාජපක්ෂ ගැන කිය වෙන කතාය.

ඇත්තටම බැසිල් රාජපක්ෂ මෙවර කළේ කුමක්ද..? 20 සම්මත කර ගැනීම අති  දක්ෂ  ක්‍රියාකාරකමක් ලෙස හෝ රටේ ජනතාවට මහත් සෙත සලසන උතුම් දායාදයක් අත් පත් කර දීමක් ලෙස හෝ සැලකිය හැකිද..? යමක් ඉටු කිරීම වෙනුවෙන් කවුරුන් හෝ වර්ණනා කළ යුත්තේ පැවති අවස්ථාවේ අසීරුතාවය, ඔහු භාවිතා කළ ක්‍රමවේදය, ප්‍රතිඵලයේ මට්ටම සහ ක්‍රියාවේ ඵලදායකත්වය ද සලකමිනි.

 

ජාතික සංවිධායකකමටත් වඩා ලොකු විලිලැජ්ජා නැතිකම

 

ආරක්ෂක පිරිවර සමග සිටින බලවතෙක්, අසරණ කුඩා ළමුන් පිරිසක් වෙත යම් ධනවතෙකු ලබාදුන් වස්ත්‍ර ඒ ළමුන් අතරින් කිහිපදෙනෙකු රවටා තමන් සතු කොට ගෙන තමන්ගේ ළමයින්ට ඇන්දවී නම්, ඒ ක්‍රියාව අගය කළ යුතු හෝ ඉතිහාසයේ සටහන් කළ යුතු දෙයක්ද..? නැති නම් හෙළා දැකිය යුතු දෙයක්ද..?

තමන්ගේ යහපතට කර ගත්ත ද, කොහොම උනාද දන්නේ නෑ වගේ නොසිට අයිතිය ලියා ගැනීමට යාම කොතරම් ලජ්ජා සහගත ද..? තමන් ආගන්තුක රටක පුරවැසියෙකුවීම අත හැරීමට තරම් කැපකිරීමක් නොකරමින් මේ රටේ නීති සංශෝධනය කර රට පාලනය කරන්නට යාම ඒ වැඩේ කළ එකාටත්, ඒ වෙනුවෙන් උදම් අනන උන්ටත්, ඒ ගැන අගය කරන උන්ටත්, ලජ්ජාවක් මිස ගෞරවයක් ගෙන දෙන්නේ කෙසේද..? එමෙන්ම මේ සිද්ධිය ක්‍රියාකාරකමක් ලෙසින් අදහාගත නොහැකි තරමේ මහ කෙළියක් ද..? 

ජනාධිපති අයියාය. අනික් අයියා අගමැති වන අතර පවුලේම තිදෙනෙක් ඇමතිවරුන්ය. සියලු වැදගත් ආයතන ඇත්තේ සිය අණසක යටතේය. එවන් පසුබිමක තමන්ටම කියා ඡන්ද 149 ක් තිබෙන විටක ඉන් එකක්ද අඩු වීමට ඉඩදී  ඉතිහාසය පුරා එහෙ මෙහෙ ගිය, බලය තිබෙන පැත්තට පැනීමට බල බලා සිටින, දිගු කාලයක් තමන් සමග දීග කෑ පිරිසෙන් කොටසක් ( 8 ක් ) තමන් වෙතට ආපසු ගෙන ඇත. ඊට අමතර වශයෙන් තමන් සමගම එකට කාපු-බීපු දේශපාලනමය වශයෙන් අක් මුල් නැති කතක් ද ඇද ගෙන ඇත. 

මේ කිසිවෙක් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ අය නොවෙති. සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් එක් අයෙකු හෝ ඇද ගන්න බැරි වීම බැසිල් රාජපක්ෂගේ දුර්වලකමක් සහ සජිත් ප්‍රේමදාසගේ දක්ෂකමක් ලෙස යමෙකුට තර්ක කිරීමට ද  හැකිය. තවත් අතකින් බැලූ විට මෛත්‍රීපාල සිරිසේන කූඩුවට නංවා, රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොයුරා කූඩු කර ඒ අයගේ ගෝලයෝ අසරණ කර ඇති පසුබිමක රාවුෆ් හකීම්ට මොනවා නොකියන්න ඇද්ද..? ඒත් ඒ ප්‍රධානීන් තිදෙනාගේම ඡන්දය ලබා ගැනීමට නොහැකි වීම බැසිල් රාජපක්ෂ ගේ පරාජයක් නොවේද..? 

තවත් සමහරුන් පැහැදිළි කරන පරිදි, රිෂාඩ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස ද කර ඇත්තේ තමන් ලෝකෙට ශුද්ධවන්තයන් වී තමන්ගේ දායකත්වය ගෝලයන් හරහා ලබාදීම මිස ලොක්කන්ගේ ඇස් වසා සොක්කන් ඉස්සීම නොවේ. කෙසේ උවත් උපයා - සපයා ගැනීම මෙසේය. 150 – 1 – 1 = 148 / 148 + 9 = 157

 

ඵලදායිත්වය- පොහොට්ටුව සහ රටට

 

කෙසේ හෝ රජය අභ්‍යන්තරයෙන්ම ආරම්භවී රට පුරා  පැතිරී ගිය තවමත් සමනය නොවූ, රජය ගොඩනැගීමට හවුල්වූ භික්ෂූන් වෛයිරක්කාරයන් බවට හැරවූ 20 ට එරෙහි විරෝධය ම පරාජයක් නොවේ ද..? තමන්ට අවස්ථාවක් ලබා ගැනීම සදහා තමාගේ කීර්තිමත් සහෝදරයින් දෙදෙනාගේ කීර්ති නාමය කා විනාශ කර 2023 පරාජයට මුල් ගල තැබීම බැසිල් රාජපක්ෂගේ ජයක් ද..? පරාජයක් ද..?

20න් රටට අහිමි වූ සහ ලැබුනු දේ පිළිබදව මෙහි විස්තර නොකළ යුතු තරමටම ජනතාවට දැනුමක් ඇත. රටට සෙත උදාකරන 19 ආ පස්සට ඇද සියලු අයිතීන් උදුරා ගන්නා, මහා ජන පාර්ලිමේන්තුව යට පත් කර අධිකරණය මිටට ගුලි කර ගත් 20 ට එළැඹීම බැසිල් රාජපක්ෂට වීරත්වයක් ලබා දීමට හේතුවක්ද..?

එහෙත් බැසිල් රාජපක්ෂව වණන ඇට මැස්සෝ තවමත් ඔහු වනති. බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයෝත් එසේ කරති.ඒ අපි මුලින්ම පෙන්වූ අපේ පුරුද්දේ හැටි නිසාය. ඒ වගේම රනිල් වික්‍රමසිංහට හොඳ හැටි බැට දෙති. ඒකත් පුරුදු කරපු සහ පුරුදු පුහුණු වූ හැටිය.

 

වැඩ බැරි රනිල්

 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 47 ක් පමණක් අතේ ඇතිව, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ද, අගමැතිකමද, පාර්ලිමේන්තුවේ ආසන 225 ට එකක් පමණක් අඩුවෙන් රටට 19 සහ සංවර්ධණය ද ඔහු ලබා දුන්නේය. ඒ කෙළියම පොඩි ද..? නිකමට වැහෙ රනිල් වික්‍රමසිංහගේ 19 වැනි මෙහෙයුමේ ප්‍රමාණය මැන බැලුව හොත් කෙසේ ද..?

 

එකල පසුබිම

 

රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ එදා හිටියේ 47 කි. ඒ අතරිනුත් කොටසක් ඔහුට කෙළින්න මාන බලමින් ඔහුගේම සභාපතිවරයා ඇතුළු සජිත් ප්‍රේමදාස වාදීන්ය. ඒ අතර ඔහුට කප්පාදු කිරීමට තිබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ විධායක බලතලය. මෛත්‍රීපාල සිරිසේනගේ ඇමතිවරුන්ට අවශ්‍ය වූයේ ජනාධිපති තව තවත් බලවත් කිරීමටය. ඒ අනුව රජය අභ්‍යන්තරයේ විශාල බල තරගයකි. සජිත් ප්‍රේමදාස සිටියේත් මෛත්‍රීපාල සිරිසේන සමගය. විපක්ෂයේ 144 කි. කතා නායක ද ඒ පැත්තේය.

මේ සියල්ල මැද රනිල් වික්‍රමසිංහ 19 දිනා ගත්තේය. ඇත්තෙන්ම දිනා ගත්තා නොව දිනා දුන්නාය. ජනපති බලතල අගමැතිට ලැබෙන්නට නියමිත වූයේ 2019 මෛත්‍රීපාල සිරිසේන සිය ධූරයෙන් සමු ගත්තාට පසුවය. ප්‍රතිඵලයේ ප්‍රමාණය මෙන්න..! 47 + 34 + ( 144 – 1-1 ) = 223.

 

ඵලදායිත්වය-රට සහ එජාපය

 

19න් රටට ලැබුණු ඵලය ගැන විස්තර කිරීම අවශ්‍ය නැත. රනිල් වික්‍රමසිංහට සහ එක්සත් ජාතික පක්ෂයට දේශද්‍රෝහීන් කියමින් ඒකාධිපති රාජපක්ෂ කඳවුර යළි බලයට පත් කිරීමට පන්සල-ආගම පවා උකස් කළ භික්ෂූන් සේම රනිල් වික්‍රමසිංහට බැණ වදිමින් වසර 72 ක් පැරණි පක්ෂය කඩා දැමූ සජිත් ප්‍රේමදාසලා ද 19 යේ විශ්මිත භාවය ද, එමගින් රටට වන යහපත සහ 19 ආපසු හරවා 20 සම්මත කිරීමෙන් රටට-ජනතාවට අත් වන ඉරණම ඔනෑ තරම් විස්තර කර ඇත.

සජිත් ප්‍රේමදාසලා එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගියේ ඩයනා ගමගේ ළඟටය. ඩයනා ගමගේ ආවේ කවුරුන් ළඟ ඉඳලාද කියා දැන් පැහැදිළිය. තව ටික දිනකින් ඩයනා ගමගේ ගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජාතික රජයක් සදහා තීන්දුවක් ගනිමින් හිතමිතුරු රාජපක්ෂලා ළගට යනු ඇත. ඉන්පසු නිදහස් රටකට කැමති සියලු දෙනාට එක් වන්නට තිබෙන්නේ 1947 දී රටට නිදහස ලබා දුන් 2015 දී ඒ නිදහස පුළුල් කළ එක්සත් ජාතික පක්ෂය සමගමය. එහිදී ප්‍රමුඛතම දේශපාලන සටන් පාඨය වනු ඇත්තේ 19 නැවත ලබා ගැනීම, ඒ නිදහස ලබාදුන් සහ ලබාදෙන එක්සත් ජාතික පක්ෂය යළි බලයට පත් කරමු යන්නය.

 

බැසිල් vs රනිල්

 

මේ අනුව බලන විට  සැබෑ පොර රනිල් වික්‍රමසිංහ විනා බැසිල් රාජපක්ෂ ද..? ඇත්තෙම එසේ බැලුව හොත් පිදිය යුත්තා සහ වැණිය යුත්තා රනිල් වික්‍රමසිංහ නොවන්නේ ද..? කොහොම වුණත් අපි කුහකයෝ වෙමු. බැසිල් වනමු-රනිල් තලමු.


 

 

Advertiesment