Saturday 28th of November 2020

English Tamil
Advertiesment


ලොව ජය ගැනීමට අවශ්‍ය වන්නේ සූත්තර පුංචෝය


2020-11-04 1310

රටේ අනාගතය ඇත්තේ විදේශ ප්‍රතිපත්තියේය 

 

ලෝකය හොල්ලා රට ගොඩ යවන්නේ මෙහෙමයි 

 

උපන්දා සිට මරණය දක්වාම නොදුටු ජාත්‍යන්තර බිල්ලෝ

 

ලෝකය ගැන චිත්‍රයක් නොමැති ශ්‍රී ලංකාව 

 

ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ජෝයි බීඩින් දින්නත් ශ්‍රී ලංකාව කපෝතියි 

 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

ඒ ඒ කාල වකවානුවල දී ජාතික දේශපාලන කරළිය භීතියෙන් අළලා, ගිනියම් කරන ආකාරයේ ජාත්‍යන්තර බිල්ලන්ගේ කතා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය පුරාවටම මහා ජනතාව කොතෙකුත් අසා ඇති නමුත් ඒ ඒ විවිධ පාර්ශ්වයන් ජාත්‍යන්තර බිල්ලන් මවමින් එදා සිට මේ දක්වාම එල්ල කළ චෝදනා කිසිවක් නම් යථාර්තයක් බවට හෝ ඔප්පු වී හෝ නොමැත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධාන මේ රටේ ආණ්ඩු කරද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන බලවේග ද, ඒ අය ආණ්ඩු කරද්දී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන බලවේග ද, එම දෙපාර්ශවයටම එරෙහිව ජනතා විමුක්ති පෙරෙමුණ ද, ඇමරිකාව, බටහිර යුරෝපය, චීනය සහ ඉන්දියාව ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල්  අල්ලා ගෙන මේ ජාත්‍යන්තර බිල්ලන් මවා එම රටවල් කුමන්ත්‍රණය කරන්නේ ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට බව කියති.

මේ සියලු පාර්ශවයන් ඒ ඒ අවස්ථාවේදී රට ආණ්ඩු කරන කණ්ඩායමට මෙම චෝදනාව එල්ල කරන්නේ එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන එම පාර්ශ්වයන් විශ්වාස ඇත්ත වශයෙන්ම විශ්වාස කිරීම හෝ ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථිකය, ගෝලීය කරණය, ජාත්‍යන්තර භූ දේශපාලනය සහ ඊට අදාළ ගිවිසුම් ආදිය පිළිබඳව ඇති අල්පමාත්‍ර දැනුම නිසා හෝ විය හැකිය.

ජාත්‍යන්තර සබඳතා යනු අත්නොහැරිය හැකි ඉතා තීරණාත්මක ක්‍රියා ජාලයකි. දේශපාලනයේදී ස්වෛරී රාජ්‍යයන්, (Sovereign States)  අන්තර් රාජ්‍ය සංවිධාන (Intergovernmental Organizations) අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන සහ බහු ජාතික සංගත (International Non-Governmental Organizations) සහ පිළිබද දැනුම ඕනෑම රටක දියුණුවට අත්‍යවශ්‍යය වන අතර මෙම විස්තරාත්මකව දක්වා ඇති දැනුම් ජාලය ක්‍රිස්තු පූර්ව 460 දක්වා විහිදී ඇත.

ජාත්‍යන්තර  සබඳතා විෂය දේශපාලනය, (Politics) ආර්ථික විද්‍යාව, (Economics) ජාත්‍යන්තර නීතිය, (International law) සන්නිවේදන අධ්‍යනයන්, (Communication Studies) ඉතිහාසය, (History) ජන ගහන විද්‍යාව, (Demography) භූගෝල විද්‍යාව, (Geography) සමාජ විද්‍යාව, (Sociology) මානව විද්‍යාව, (Anthropology) අපරාධ විද්‍යාව, (Criminology) මනෝ විද්‍යාව සහ (Psychology) නරනාරි භේදාධ්‍යනය, (Gender Studies) යන කේෂ්ත්‍රයන්ගෙන් සමන්විත වී ඇත. 

ඒ අනුව ජාත්‍යන්තර සබඳතාවල විෂය පථය ගෝලීයකරණය, (Globalization) රාජ්‍යතාන්ත්‍රික සබඳතා, (Diplomatic Relations) රාජ්‍ය ස්වෛරීභාවය, (State Sovereignty) ජාත්‍යන්තර ආරක්ෂාව, (International Security) පාරිසරික තිරසාරභාවය, (Ecological Sustainability) න්‍යෂ්ටික ප්‍රගුණනනය, (Nuclear Proliferation) ජාතිකවාදය, (Nationalism) ආර්ථික සංවර්ධනය, (Economic Development) ගෝලීය මුල්‍යනය, (Global Finance) ත්‍රස්තවාදය, (Terrorism)  සහ මානව හිමිකම් (Human Rights) වැනි ගැටලු දක්වා විහිදී ඇත .

 

 

ඇමරිකාව 21 වන සියවස සඳහා සූදානම් වීම වෙනුවෙන්  ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තාක්ෂණය සහ ජාතියේ අනාගතය යන මැයෙන් වූ අනාගත සැලැස්ම (Preparing for the 21st Century - Technology and the Nation's Future)  සදහා යෝජිත වූ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමිය, (National Academy of Sciences) ජාතික ඉංජිනේරු ඇකඩමිය, (National Academy of Engineering) සහ ජාතික පර්යේෂණ කවුන්සලය (National Academy of Medicine) ස්ථාපිත කිරීමේ කොංග්‍රස් ප්‍රඥප්තිය අනුමත කරන ලද්දේ 1863 දීය. ඒ අනුව ඇමරිකාවට අනාගතයට ඇතුළුවීමට අවශ්‍යය විද්‍යා තාක්‍ෂණික දැනුම පමණක් නොව ඒ සඳහා අවශ්‍යය නෛතික පදනමද ඔවුන් ගොඩනගා ඇත්තේ වසර 200 කට පෙරදීය. 

ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබදව අලුතින් සිතිය යුතු නොවේද..? අප සිටින්නේ කිනම් ස්ථානයකද..? කුමන තත්ත්වයක..? අප‍ රටේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය, එම ප්‍රතිපත්ති සම්පාදකයින්, විදේශ අමාත්‍යවරයා, විදේශ අමාත්‍යංශය, එහි න්‍යාචාර්යවරුන් ප්‍රධාන නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය, තානාපති ප්‍රජාව සහ රජය වෙනුවෙන් ජාත්‍යන්තරය, ජාත්‍යන්තර දේශපාලනය සේම ආර්ථිකය මෙහෙය වන උපාය දුතයින් සිය වගකීම, යුතුකම පමණක් නොව කාර්ය භාරය නිසි ලෙස ඉටු කර තිබේද..? ඒ කණ්ඩායම් එසේ සිය වගකීම, යුතුකම සහ කාර්ය භාරය ඉටුකරමින් ජනතාව නිවැරදි ලෙස ගෝලීය තත්ත්වයන්  සම්බන්ධයෙන් ප්‍රජානනය කළා නම් ජාත්‍යන්තර බිල්ලන් මවමින් ජනතාව මුලා කිරීමට ළිං මැඩි සහ කොදෙව් මානසිකත්වයකින් යුතු සුළු පිරිසකට හැකිවේද..? 

ලෝකයේ ඕනෑම රටක් තවත් රටක් සමග දිවි පාර්ශිකව හෝ බහු පාර්ශවික ගිවිසුම්වලට එළඹෙමින් ඒ ඒ රටවල් සමග ආර්ථික දේශපාලනික සහ සමාජ සංස්කෘතික වශයෙන් කටයුතු කරන්නේ ඒ රටවලට තිබෙන ආදරයක් ගෞරවයක් හෝ අනුකම්පාවක් නිසා නොව එමගින් දෙපාර්ශවයටම අත් වන වාසි (Win-Win) නිසාය.

මේ පසුබිම මත රටක් ලෙස ශ්‍රී ලංකාව කළ යුත්තේ නොබැඳි ප්‍රතිපත්තියක් මත මනාව පිහිටමින් ද, ලෝකයේ ඒ ඒ ප්‍රබල රටවල ඇති බල දේශපාලන සේම ආර්ථික අවශ්‍යතා පිළිබඳව හොඳ අවබෝධයකින් සහ එමගින් අපේ රටට ලබා ගත හැකි වාසි හඳුනා ගෙන උපක්‍රමික ලෙස එකී අරමුණු වෙනුවෙන් ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීමය.

ඒ සඳහා යට කී පරිදි රටක් ලෙස ශ්‍රී ලංකාවට විධිමත්, සාධනීය සහ උපක්‍රමික ජාත්‍යන්තර ප්‍රතිපත්තියක්, එවැනි ප්‍රතිපත්ති සම්පාදකයින්, විදේශ අමාත්‍යවරයෙකු, විදේශ අමාත්‍යංශයක්, ජාත්‍යන්තර විෂයට අදාළ න්‍යාචාර්යවරුන් ප්‍රධාන නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් සහ රජය වෙනුවෙන් ජාත්‍යන්තරය, ජාත්‍යන්තර දේශපාලනය සේම ආර්ථිකය මෙහෙය වන උපාය දුතයින් සිටිය යුතුය. 

රටක් තවත් රටකට හෝ ලෝකයට විකුණා දැමිය නොහැකි අතර ලෝකයේ ඔනෑම රටකට තවත් රටක් සමග ක්‍රියා කිරීමට, ගනුදෙනු කිරීමට හෝ ඒ රටට මැදිහත් වීමට හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන මුළු ලෝකයම එකඟ වී සිටින, ඇතුළත් වී සිටින සහ අත්සන් කර තිබෙන ගෝලීය ගිවිසුම්, නීති සේම රෙගුලාසි මතය.

උදාහරණයක් ලෙස පෘතුවියේ චන්ද්‍රයා සම්බන්ධයෙන් ලෝකයේ පිළි ගත් ගිවිසුම් තුනක් තිබෙන අතර එසේ තිබියදී ඇමරිකා එක්සත් ජනපදය යම්කිසි පර්යේෂණ කටයුත්තක් සඳහා චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැව්වා යැයි අපි සිතමු. මේ සිද්ධිය මුල් කර ගෙන ඇමරිකාව චන්ද්‍රයා අල්ලා ගත්තා යැයි කවුරුන්ට හෝ කිව හැකිද..? කවුරුන් හෝ එසේ කියන්නේ නම් එමගින් පැහැදිළි වන්නේ චන්ද්‍රයා සම්බන්ධයෙන් මුළු ලෝකයම විශේෂ ගිවිසුම් තුනකට පොදුවේ එකඟ වී සිටින අතර ලෝකයේ ඕනෑම රටක් චන්ද්‍රයා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එම ගිවිසුම් තුනට අනුකූලව බව ඔහු නොදන්නා බව නොවේද..?

එමෙන්ම ලෝකයේ සාගරය සහ එහි සම්පත් අනුව බැලුවොත් එක්දහස් නවසිය හැටේ දසකයේදී පමණ ලෝකයේ සෑම රටක්ම එකට එකතු වී සාගර ගිවිසුම පිහිටුවා ගත් අතර ඒ අනුව ලෝකයේ සෑම රටක්ම එම සාගර ගිවිසුමේ තිබෙන නීති සහ රෙගුලාසි අකුරටම පිළිපැදීමට බැදී සිටින බව කිව යුතයි. ඒ අනුව ලෝකයේ කිසියම් රටකට බලහත්කාරයෙන් ඇතුළු වී අදාළ එම ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ලෝකයේ කිසිදු බලගතු රාජ්‍යකට  හැකියාවක් ඇත්තේ නැහැ.

ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාව සහ චීනය ආදී ප්‍රබල රටවලට ඒ අයටම ස්වීය සහ අවේණික වූ විවිධ ව්‍යාපෘති තිබෙන අතර ඒ රටවල් එම ව්‍යාපෘති යටතේ ඊට අදාළව ලෝකයේ අනෙකුත් රටවල් සමග කිනම් ගනුදෙනුවක් සිදු කළත් ඒ සියලු ව්‍යාපෘති එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම් යටතේ නියාමනය වී තිබෙන බව කිව යුතුයි.

මේ වන විට උද්ගත වී තිබෙන ගෝලීය භූ දේශපාලන පසුබිම මත ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යළි ජයග්‍රහණය කළ හොත් චීනයට එරෙහිව දේශපාන සහ ආර්ථික ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රහාර එල්ල කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඔහු උත්සහ දරණු ඇති අතර එම ජනාධිපතිවරණයෙන් ජියෝ බයිඩින් බීඩ්න් ජයග්‍රහණය කළ හොත් යුද්ධයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකාව යුද හමුදාව නිරායුධ සහ සිවිල් ජනයා ඝාතනය කරමින් අපේ රටට එරෙහිව යළිත් යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉඩ තිබේ.

මේ අනුව බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්ත ද, ජියෝ බයිඩින් ජය ගත්ත ද, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල හිසරදයක් වනු ඇති අතර මේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික ලෙස කළමනාකරණය කර ගනිමින් ඉන්දියාවේද සුහදතාවය ආරක්ෂා කර ගෙන මේ තුන් කොන් සටන උපක්‍රමිකව කළමනාකරණය කර ගෙන ඒ ගැටුම අපේ රටේ වාසියට හරවා ගැනීම සඳහා ජාත්‍යන්තර සබඳතා විෂය අතැඹුලක් සේ අභ්‍යාස කර සිටින ප්‍රාමාණික විශාරදයින්, චින්තකයින්, දූතයින් හෙවත් ගමේ භාෂාවෙන් කියනවා නම් සූත්තර පුංචන් අපට අවශ්‍ය යැයි "lankanewsweek" පුන පුනා කියා සිටින්නේ මේ නිසාය.

 

 

ගෝලීය දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වපසරිය මත රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් ලෝකයේ මතු වීමට නම් ශ්‍රී ලංකාව මේ මොහොතේ ප්‍රමුඛස්ථානය දිය යුත්තේ සිය විදේශ ප්‍රතිපත්තියට, යාන්ත්‍රණයට, විදේශ බුද්ධි සේවයට සහ උපාය උපක්‍රම සඳහා බව පැහැදිළිව අවධාරණය කළ යුතුව තිබේ.

එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ශ්‍රී ලංකාවේ විදේශීය ඇමතිවරුන් ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලියු.ආර් ඩී බණ්ඩාරනායක, ආචාර්ය විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඒ සී එස් හමීඩ්, රංජන් විජේරත්න, හැරල්ඩ් හේරත්, ලක්ෂ්මන් කදිරගාමර්, ටිරෝන් ප්‍රනාන්දු, අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර, රෝහිත බෝගොල්ලාගම, මහාචාර්ය ජී.එල් පීරිස්, රවී කරුණානායක සහ තිලක් මාරපන යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබෙන අතර වර්තමානයේ එම ධූරය හොබ වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාය.

මේ සෑම විදේශ කටයුතු අමාත්‍යවරයෙකුම සිය දැනුම, හැකියාව, පළපුරුද්ද සහ අත්දැකීම් යොදා ගෙන රටට-ජනතාවට වැඩදායී ලෙස ජාත්‍යන්තරය කළමනාකරණය කර ගත්තා පමණක් නොව එම ඇමතිවරුන් යටතේ, ජාත්‍යන්තර සබඳතා විෂය අතැඹුලක් සේ අභ්‍යාස කළ ප්‍රාමාණික විශාරදයින්, චින්තකයින්, දූතයින් හෙවත් ගමේ භාෂාවෙන් කියනවා නම් සූත්තර පුංචෝ ද සිටියහ.

මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා හැරුණාම අනෙකුත් සියලුම ඇමතිවරුන් ද අතිශය කාර්යක්ෂම, දක්ෂ සහ උපයශීලීන් වුණත් ඒ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතරින් දෙදෙනෙකු ජාත්‍යන්තර සබඳතා විෂය අතැඹුලක් සේ අභ්‍යාස කළ අතිශය උපාය සහ උපායශීලී විශේෂ පුද්ගලයින් දෙදෙනෙක් වෙති. ඒ ලක්ෂ්මන් කදිරගාමර් සහ රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එදා තිබූ ජාත්‍යන්තර සහයෝගය, පිළි ගැනීම, අනුග්‍රහය සහ සැපයුම් මාර්ග දුර්වල කරමින් එම සංවිධානය පිළිබඳ ජාත්‍යන්තර මතය වෙනස් කිරීමට හැකි වූයේ ගෝලීය භූ දේශපාලනය, බල අරගලය සහ ඒ ඒ ප්‍රබල රටවල ගෝලීය අවශ්‍යතා පිළිබඳව හසල දැනුමක්, අත්දැකීමක් සහ පරිචයක් තිබූ අපේ රටේ ප්‍රතාපවත්ම විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ භූමිකාව නිසා වන අතර ඒ හේතුවෙන්ම කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඔහු අමු අමුවේ ඝාතනය කළේය.

ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයෙන් පසුව රට වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරය කළමනාකකරණය කිරීමේ එම භාරදූර භූමිකාව පැවරුණේ එවැනිම ප්‍රතාපවත් ජාත්‍යන්තරවාදියෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාටය.

කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණයේ අවසන් මොහොතට ළඟා වෙමින් සිටිය දී, වහාම එම යුද්ධය නතර කර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමකට යා යුතු බවට මහා බ්‍රිතාන්‍යයෙන් සහ ප්‍රංශයෙන් බලපෑම් එල්ල වූ අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද අවසරය ඇතිව විදේශ කටයුතු ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා කළේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් David Miliband සහ ප්‍රංශ විදේශ ඇමති Bernard Kouchner යන මහත්වරුන් ශ්‍රී ලංකාවට කැඳවා ශ්‍රී ලංකා යුද හමුදාව කරන මානුෂික මෙහෙයුමේ වැදගත්කම උපායශීලී ලෙස පැහැදිළි කරමින් කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග සටන් විරාමයකට එළැඹීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කරුණු, සාක්කි සහ සාධක ඇතිව තහවුරු කිරීමය.

ඉන්දියාවේ සහය නොවන්නට කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඒ සඳහා ඉන්දියාවේ සහය උපායශීලී ලෙස ලබා ගැනීමේ මෙහෙයුම දියත් කළේ ඔහුය. යුද්ධයේ අවසන් මොහොතේ ඇමරිකානු නෞකාව ඉන්දීය සාගරයට ඇතුළුවීමට උත්සහ කරද්දී, ඉනිදීය සාගරයට අදාළ සීමා මායිම්, නීති සහ රෙගුලාසි මතු කර පෙන්වා ඉන්දියාව මාර්ගයෙන් එම ඇමරිකානු නෞකාවේ පැමිණීමට කලාපීය විරෝධය මතු කර වූයේ ද රෝහිත බෝගොල්ලගමය.

කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන ත්‍රිවිධ හමුදාව නායකත්වය දෙද්දී, ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙය වූයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා බව මේ අනුව පැහැදිළිය.

ඔහු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද ප්‍රබල කැබිනට් ඇමති ධූර දැරූ අතර ජනාධිපති මෛත්‍රිපාල  මහතාගේ යහ පාලන රජයය යටතේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද හෙබ වී ය.    

 

 


   

Advertiesment