Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


බල උන්මාදයෙන් මත් නොවී ජනතාවගේ ජීවිත සුරකිනු


2020-11-02 3624

20 වැනි තර්ක විතර්ක පෙට්ටගමේ ඔබා ජනයා දෙස බලනු

 

පටු දේශපාලනය එපා-රට මහා අනතුරක

 

රාජ්‍යකරණයට යොදා ගත යුත්තේ එහෙයියන් නොවේ 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

මිනිසත් භාවයේ නාමයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඇතුළු සියලුම වග කිව යුතු පාර්ශවයන් මේ මොහොතේ කළ යුත්තේ 20 න් ලැබුණු බල උන්මාදයේ තණ්හාවෙන් මත් නොවී රටේ ජනතාවගේ ජීවිත රැක දී එම ජනයා ජීවත් කරවීමට යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා ඉතිහසයේ දරුණුතම වසංගතයට මුහුණ දී සිටින ජනයා කුසට ආහාර වේලක් සොයා ගන්න දහ දුක් විඳින අතර වසංගතයෙන් සිය ජීවිතය රැක ගැනීම සඳහා ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදී සිටින බව ද කොළඹ දී සඳුදා (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේද කීය. 

අද අපි ජනතාව අමතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම වසංගතය ඇති වී දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය රැක ගැනීම සඳහා ආහාර වේලක් ලබා ගැනීමට, සිය පවුල් රැක ගැනීමට, ජීවනායෝපයක් ලබා ගැනීමට මහා සටනක යෙදී ඇති අවස්ථාවක බව කිව යුතුයි.

ජනතාව මුහුණ පා ඇති පීඩනය අප හොඳින් දන්නා හෙයින්, රට සහ මහ ජනතාව බේරා ගැනීම සඳහා රජයේ නායකත්වය ගෙන පියවර ගන්නා ලෙසත්, දේශපාලන භේදයකින් තොරව සෑම දෙනෙකුටම සහනයක් සළසන ලෙසත්, අප ජනාධිපතිවරයාට සහ රජයට ආයාචනා කරනවා.

ගෙවුණු සති අන්තයේ කතානායකවරයා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත්සන් කළ පසු ශ්‍රී ලංකා ජනාධිපති පදවිය ලෝකයේ ඉතා බලවත්ම පදවියක් බවට පත් වුණා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රතිපත්තිමය වශයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ එකඟ නොවන අතර අනාගතයේදී බලයට පත්වීමට ඉඩක් ඇති බල ලෝභි ජනාධිපතිවරයෙකුට මේ බලතල උපයෝගී කර ගෙන ආඥාදායක පාලනයක් බිහි කිරීමට හැකිබව අප නැවතත් අවධාරණය කරනවා. ඒ බිය අප සියලු දෙනා වෙළා ගෙන සිටිනවා
       
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා මේ අසීමිත බලතල උපයෝගී කර ගනිමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා. එතුමා මුළු රටේම රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි. අප පිළි ගත යුතු යථාර්තය වන්නේ ජනාධිපතිවරයාට මේ අසීමිත බලය ලැබුණේ පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් මගින් ඊට අනුමැතිය දුන් නිසා බවයි. කෙසේ නමුත් ඒ ආකාරයට 2/3 ක බලය ලබා ගත් ක්‍රමවේදය පිළිබදව අදහස් පළ කිරීමට අප මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ නැහැ.

එහෙත් ගෞරවණීය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන සිවිල් සමාජ ආයතනයක් ලෙස සඳහන් කළ යුත්තේ එදා පාර්ලිමේන්තුවේ  2/3ක ඡන්දය ලබා ගැනීම සඳහා අනුගමනය කර ඇති ක්‍රම සහ විධි ප්‍රතිපත්ති ගරුක ආකාරයට සිදු වූයේ නම් ඒ තත්ත්වය සියලු දෙනාගේ  ගෞරවයට පාත්‍රවීමට ඉඩ තිබූ බවයි.

විශේෂයෙන්ම එම ක්‍රියාවලිය විධිමත් සහ ප්‍රතිපත්ති ගරුක ආකාරයට සිදු වූයේනම් ජනධිපතිවරයා කෙ‍රෙහි විශ්වාසය තැබූ ජාතිකවාදී බලවේගවලට යම් සැනසීමක් ලැබෙනු නියතයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නේ ඉතාම සද්භාවයෙන් යුතුව වන අතර  අද ප්‍රකාශ කරන මෙම රජය ඒ ගැන මැනවින් තේරුම් ගනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ මොහොතේ සිදු විය යුත්තේ සහ වහාම කළ යුත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තර්ක විතර්ක පෙට්ටගමක ඔබා වසා තබා ජනතාව ජීවත් කරවීමේ මහා කාර්යය භාරයට සියලු දෙනා ඇප කැප වීමයි.

මාස කිහිපයකින් එළි දකින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා ගැනීමේ කටයුතු කළ හැකියි. අප මෙම කරුණු සඳහන් කරන්නේ ජනතා කෝපය මේ වන විට රට වටෙන්ම මතු වෙමින් පවතින නිසයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබූ දේශපාලන බලය තහවුරු කර ගැනීම වෙනුවට පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මුළු රටම එක් විය යුතු අවස්ථාව එළඹ ඇති බව අපගේ හැඟීමයි.

ගෙවුණු සති කිහිපය ඇතුළත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුධ හමුදාව සහ පොලීසිය COVID-19 වසංගතය පරාජය කිරීමට සටන් කරද්දී රජයේ සමහරුන්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් රට දෙවනත් කළ ආකාය බුද්ධිමත් ජනතාවට රහසක් නොවේ. තිත්ත ඇත්ත තමයි ඒ..! එමනිසා මිනිසත් භාවයේ නාමයෙන් රජය ප්‍රධාන සියලු වග කිව යුතු පාර්ශවවලින් අප ඉල්ලා සිටින්නේ 20 න් ලබා ගත් බල තණ්හාවෙන් මත් නොවී රටේ ජනතාව ජීවත් කරවීම සඳහා මුළු රටම අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

එසේ කළ හැක්කේ පටු දේශපාලනයෙන් ඉවත් වුවහොත් පමණයි. මහා ජන ව්‍යාපාරයක් වශයෙන් අපට රජය හෝ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමට හෝ විවේචනය කිරීමට අවශ්‍ය නැහැ. අප කිසිවෙකුට දේශපාලන අභිප්‍රායක් නැහැ. නමුත් හරි දේට හරි කියන්නටත්, වැරදි දේට වැරදියි කියන්නටත්, අපට ආත්ම ශක්තියක් තිබෙනවා.

නිදහසට පෙර උපන් පුද්ගල‍යෙකු වශයෙන් සහ මෙරට දේශපාලන සංස්කෘතිය තේරුම් ගත් පුද්ගලයෙකු වශයෙන් විධායක බලතල නුසුදුසු පුද්ගලයින් විසින් විවිධ අවස්ථාවන්වලදී උපයෝගී කර ගත් ආකාරය අපට පහැදිළිව සඳහන් කළ හැකියි.1978 ව්‍යවස්ථාවෙන් බිහි කළ විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතු යැයි 1995 දී පැවති එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයේ දී අප යෝජනා කළේ එහි ආදීනව තේරුම් ගත් නිසයි.

1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එදා අපිත් සමඟ එක්ව සිවිල් සමාජය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් 17 වැනි සංශෝධනය ගෙන ඒමට ක්‍රියා කළේ විධායක බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද වයඹ පළාත් සභා මැතිවරණයේ දී සිදුවූ ක්‍රියාවන් දෙස බැලීමෙන් එතුමිය තේරුම් ගත්තා පළාතේ සමහර මන්ත්‍රිවරුන් විසින් නින්දිත ආකාරයට මිනී මැරීමට, ගෙවල් ගිණි තැබීමට, දේශපාලන විරුද්ධ මතධාරීන්ගේ අත් පා කැඩීමට, ගල්කටස්, සහ  අත්බෝම්බ වාහනවලට දමා මිනිසුන් මාස ගණන් හිර කර තැබීමට වගේම කාන්තාවන් නිර්වස්ත්‍ර කිරීමට ක්‍රියා කළ අකාරය බොහෝ දෙනෙකුට අමතක වී නැහැ.

ඒ වගේම ඊටත් වඩා විනාශකාරී වූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා  සංශෝධනය 2015 දී ජනතාව ප්‍රතික්ෂේප කළ අකාරය ගැනත් නැවත සඳහන් කළ යුතු නැහැ. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලෝකය ම පිළිගත් සිද්ධාන්ත ඇතුලත් වුණත් සමහර ජනමාධ්‍ය ආයතන ඊට එරෙහිව ගෙන ගිය අසත්‍ය ප්‍රචාර නිසා එම සංශෝධනය ගැන වැරදි මතයක් සමාජ ගත වී සමහර පුද්ගලයින් ඊට අසු වුණා. 

සමහර අය සර්වාගමික මධ්‍යස්ථාන පවා දේශපාලන කටයුතුවලට පාවිච්චි කරන ආකාරය කණගාටුවට සහ ලැජ්ජාවට කාරණයක් වන අතර සමාජය මේ කරුණු පිළිබඳව අද ප්‍රසිද්ධියේ ම කතා කරනවා. මේ ක්‍රියා දාමයේ යෙදුණු ක්‍රියාකාරී සහ ජාතික වාදී බොහෝ දෙනෙකු පවා සත්‍ය වටහා ගෙන අප සමග කණගාටුව පළ කරමින් සිටින්නේ හැමදාම ජනතාව බොරුවෙන් මුළා කළ නොහැකිය යන සත්‍ය ඔප්පු කරමින් බව කිව යුතුයි. ඒ පිරිස අතර කිසිවෙකුට සිතා ගැනීමටවත් නොහැකි මට්ටමේ ආගමික නායකයින්, සිවිල් සමාජ ප්‍රධානීන් සහ දේශපාලකයින් සිටිනවා.

අවසාන වශයෙන් රාජ්‍යකරණයේදී ගරු ජනාධිපතිතුමාට යුක්තිය සාධාරණය සහ නීතිය  රජයන සමාජයක් ඇති කිරීමට හැකි වේවා යැයි අප ප්‍රර්ථනා කරනවා. ව්‍යවස්ථා සභාව අහෝසි කළත් තොරතුරු දැන ගැනීමේ පනත, ස්වාධින කොමිෂන් සභා විගණන ආයතන සහ ස්වාධින අධිකරණයට හානි නොවීමට වග බලා ගන්නා ලෙස ද ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටිනවා.    

එහෙයියන් වෙනුවට බුද්ධිමත් සහ රටට හිතැති සංවර පුද්ගලයින් පත් කර ගත හොත් රාජ්‍යකරණයේදී ජනතාවට අසාධාරණයක් නොවන බව කිව යුතු අතර එසේ නොවී සමාජය දේශපාලනිකරණය වුව හොත් මේ උතුම් ප්‍රර්ථනා ඉටු වන්නේ නැහැ. එම නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට වගේම එං ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අනාගත පරපුරට උරුම කර දීම සඳහා ද ඇප කැප වී සිටිනවා. 


 

Advertiesment