Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


ශ්‍රී ලාංකේය ඓතිහාසික දේශපාලන පෙරළියක නියමුවා


2020-11-02 2445

බැසිල් රාජපක්ෂ..!

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිව් වසරයි

 

නවීන දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය දුටූ හැටි

 

ජාතිය ගෝලයට ගෙන යන නියමු ව්‍යාපෘතිය

 

හෘදයාගම කෘතවේදීත්වය පිරිනැමීම.. !!!

 

 

 (මහාචාර්ය රංජිත් බණ්ඩාර)

රටේ පැවැති සාම්ප්‍රදායික, ගතානුගතික සහ අවස්ථාවාදී පටු දේශපාලන පක්ෂ, බලවේග, කණ්ඩායම් සහ ව්‍යාපාරවලට ප්‍රතිපක්ෂව රටේ අනාගතය භාර ගැනීමට සිටින නව තරුණ තරුණියන් ද ඇතුළුව සියලු ජාතීන්ට සේම ආගමිකයින්ට එකට ඒකරාශී විය හැකි කාලයට, තාලයට පමණක් නොව ජාතියට සේම ගෝලීය නව දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කරන නවීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය ශ්‍රී ලංකාව හමුවේ පැවැතියේ ඈත අතීතයක සිටය.

රටේත්, ජාතියේත්, අනාගත පරපුරේ සහ ගෝලීය භූ දේශපාලන අවකාශයේ කාලයක් මුළුල්ලේ පැවැති මෙම අවශ්‍යතාවය, හිඩැස සහ ඒ සඳහා වන සමාජ-දේශපාලන විභවය මුලින්ම දුටූ ශ්‍රී ලංකේය දේශපාලනයේ ප්‍රමුඛයා හෙවත් දෙවි පියා (God Father) කවුරුවත් නොව බැසිල් රෝහණ රාජපක්ෂ මහතා බව අවිවාදිතය.

එකී උදාරතර ජාතික සහ ගෝලීය දේශපාලන සංකල්පය කෙරෙහි සිව් වසරක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලාංකේය ජන හදවත් අතර විශ්වාසය තහවුරු කරමින් එම විශ්වාසය භෞතික දේශපාලන ගාමක බලවේගයක් බවට පත් කර රට දිනා ලෝකය ජය ගන්නා සෞභාග්‍යවත් ගමනකට දේශය රැගෙන යන නවීනතම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට උපත ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි වූ අතර රටේ රැඩිකල් පෙරළියක් ඇති කළ ඔහුගේ එම දේශපාලන පක්ෂය ලෙස 2015.11.02 වැනිදා, එනම් සඳුදා සිය සිව් වැනි සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රෝහණ රජපක්ෂ මහතා එවැනි නවීන, විධිමත් සහ සංවිධිත දේශපාලන පක්ෂයක අවශ්‍යතාව දූර්දර්ශි ලෙස හඳුනා ගත්තේ, 2015 ජනාධිපතිවරණයට ආසන්නයේ කාල වකවානුවේ දී බව මගේ විශ්වාසයයි. 2015 වසරේ ජනවාරි 06 වන දින සන්ධ්‍යාභාගයේ දී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පැවති බෝධි පුජාව අවසානයේ දී,  සිය මෝටර් රථයට නැගි එතුමා තමා අසුන් ගන්නා ලෙස මට ආරාධනා කරමින් පැවසූ කරුණක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

"රංජිත් කොහෙද යන්නේ.. ?  "මම ආපසු විශ්ව විද්‍යාලයට යනවා සර්.."  "ඒක හොඳයි, මමත් ගෙදර ගිහින් එනවා. හැබැයි අපට ආයෙ දේශපාලනය කරනවා නම් වෙනත් පෙරමුණකින් තමයි දේශපාලනයට එන්න වෙන්නේ.." යනුවෙන් එතුමා එහිදී මා සමග පැවැසීය.

මා විශ්වාස කරන අන්දමට ඉතිහාසයේ මෙතෙක් බිහිවූ දැවැන්තම, පෙරළිකාරම සහ රැඩිකල්ම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඔහුගේ මානසික විශ්වයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ වැඩෙමින් තිබෙන්නට ඇත. එනිසාම, 2015 නොවැම්බර් මාසයේ 02 වැනිදා වැනි සඳුදා දිනක කරළියට ගෙන ආ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය යන මැතිවරණ තුන එක පිට එක ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකේය ජාතික දේශපාලනයේ වගේම ගෝලීය වශයෙන් සිය කූටප්‍රාප්තිය සනිටුහන් කර ඇත.

එසේම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය නෙළුම් මාවතේ පිහිටුවීමේ සිට පක්ෂයේ විවිධ කාර්යයන් වෙනුවෙන් එතුමන් සමඟ එක්ව කටයුතු කළ ලක්ෂ සංඛ්‍යාත පාක්ෂික පිරිසත් මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කළ යුතුමය. ග්‍රාමිය ජනතාව සේම නාගරික ජනතාව අතර ද විශ්වාසය ජනිත කරවමින්, සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ බලාපොරොත්තු පුබුදුවාළමින්, සිය ගමනේ මූලික අඩිතාලම සකස් කර ගත්තේ, පක්ෂය පිහිටුවා වසර දෙකක් පමණ වූ කෙටි කාලයක් ඇතුළතදීය.

ඉනික්බිති, 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වන අති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගනිමින් රටේ විධායකයේ බලය ද, 2020 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයක් සමග ජයග්‍රහණය හිමි කර ගනිමින් ගරු මහින්ද රාජපක්ෂ මහතා රටේ ව්‍යවස්ථාදායකයේ බලය ද නතු කර ගත්තේය.

අවිධිමත් පාලන තන්ත්‍රයකට ඉඩ හසර සලසවමින්, බලහත්කාරයෙන් සම්මත කරවා ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වියවුල නිමාවට පත් කරමින්, තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඒකරාශී කරවමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්මත කරවා ගැනීමටත් බැසිල් රාජපක්ෂ මැතිඳුන් සමත් වූයේ සිය නොපසුබට ධෛර්ය නිසාම බව කිව යුතුමය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමැති එම නව දේශපාලන පක්ෂයයේ ආරම්භක අදියරයේ දී එතුමන් සඳහන් කළ ආකාරයට, "වෙනස් විදියට හිතන්න බය වෙන්න එපා" යන්න කොතරම් නිවැරදිදැයි අද මට පසක් වෙයි. 

එසේ නොබියව, නොපැකිලව දියත් කළ ඒ දේශපාලන විප්ලවය රටක්-ජාතියක් ලෙස අප සියලු දෙනා පොදුවේ අත්විඳින පුනරුදයට මග සකස් කළ බව පිළිගත යුතුමය. "අප සම්ප්‍රදාය හඳුනා ගෙන ඊට වෙනස්ව කටයුතු කරන්න බිය විය යුතු නෑ" යන්න මා තදින්ම විශ්වාස කරන්නේ එබැවිනි.

සියල්ලට නායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සදා නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අනාගතයට මතක රැසක් දායාද කරමින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනාගතයට රැගෙන යන මේ ගමනේ නියමුවාණන් වන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් වෙත කෙරෙන ගෞරවනීය ප්‍රණාමය 2020 නොවැම්බර් 02 වැනිදා මෙලෙස සනිටුහන් කරමි.

 

 

Advertiesment