Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


2025 දී  එජාපය ජය ගන්වන්න නවීන් සුදානම්


2020-10-31 3155

එජාප නායකත්වය ගන්න මට උපක්‍රමයක් තිබෙනවා 

 

අලියයි-දුරකතනයයි එක්විය යුතුයි

 

විපක්ෂය සංවිධානය නොකර රාජපක්ෂ කඳවුර පරදවනු බැහැ

 

ඉලක්කයට යන්න සිංහයෙක් වගේම නරියෙක් වගෙත් වැඩ කළ යුතුයි

  

රනිල්ට මා එක්කවත් මට රනිල් එක්කවත් ප්‍රශ්නයක් නැහැ 

 

රුවන් එක්ක එකට වැඩ කළ හැකියි

 

එජාපයේ බහුතරය මා එක්කයි

 

සියලු පාර්ශ්‍රවයන් එකට එක් කිරීම මගේ අරමුණයි 

 

 

 

 

(සමන් සමරක්කොඩි) 

 

එජාප නියෝජ්‍ය නායක ධුරය හරි අවාසනාවන්ත තනතුරක් මේ දවස්වල මොකද කරන්නේ. කොහොමද දවස ගෙවෙන්නේ..?

දශක දෙකක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා හිතන්නේ නැති විදිහට මන්ත්‍රී ධුරය අහෝසි වුණාම මට විතරක් නෙවෙයි මම හිතන්නේ ඕනෑම මනුෂ්‍යයකුට ඒක දරාගන්න පොඩ්ඩක් අමාරුයි. මම නීතිඥයෙක් හැටියට 1996 දිවුරුම් දුන්නත් ඒ වෘත්තියට මම කැපවුණේ නෑ. නැවත මම නීති වෘත්තියට යනවා නම් ඒකටත් කල් යනවා. මම ගිය සතියේ පැහැදිලිවම ප්‍රකාශ කළා රනිල් වික්‍රමසිංහ මහත්තායාගෙන් පසුව ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහට මම පක්ෂයේ නායකත්වය ගන්න ලෑස්ති වෙලා ඉන්න බවත් ඒකට පැහැදිලි සටනක් දෙන බවත්. එතැන ඉඳලා තමයි මම දැන් ඉදිරිය දිහා බලන්නේ.

 

ර දරාගන්න බැරි දුක මොකක් නිසාද..?

දුකක් කියන්නේ මම තනතුරු හා වරප්‍රසාද අහිමි වීම ගැන දුක් වෙන්නේ නෑ. මම දුක් වෙන්නේ උපරිමෙන්ම වැඩ කරලාත් මට බැරි වුණා දිසානායකවරයෙක් හැටියට මගේ තාත්තා මගේ සීයා නියෝජනය කළ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න.

 

ඇයි බැරි වුණේ, ඇයි ජනතාව ඔබව ප්‍රතික්ෂේප කළේ..?

එතැන වුණේ මටම එල්ල කරපු ප්‍රහාරයක් නෙවෙයි. සමස්තයක් විදිහට එජාපෙන් තරග කළ නායකයාගේ ඉඳලා සියලු දෙනාටම අත් වුණේ මේ ඉරණම. විශේෂයෙන්ම පක්ෂය බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ බහුතරයක්, මිලියන 2ක් පමණ ඡන්දේ දෙන්න ඡන්ද පොළට ගියේ නෑ.

නමුත් පක්ෂේ කැඩුණු වෙලාවේ ඔබතුමාලා හිතුවේ ඔහොම නෙවෙයිනේ. ඔබතුමාලා හිතුවේ දිනන්න පුළුවන් කියලා නේ..?

ඇත්ත වශයෙන්ම මම හිතුවේ නෑ කවදාවත්ම අපි මෙච්චර පල්ලෙහාට වැටෙයි කියලා. මම හිතුවා උපරිමෙන්ම ආසන 15ක් විතර අපිට ගන්න පුළුවන් වෙයි කියලා.

 

ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහට වඩා සජිත් ජනතාකර්ෂණීය නායකයෙක් කියලාද..?

පැහැදිලිවම අපිට ඒ නිගමනයට එන්න වෙනවා නේ දැන්.

එහෙම බැලුවාම ඔබේ මල්ලි මයන්තට ඔබට වඩා දේශපාලන නුවණක් තියෙනවා නේ. මයන්ත සජිත් එක්ක යනකොට ඔබ රනිල් ළඟ නැවතුණා. ඔබේ ගණන් හැදිල්ල වැරදුණා..?

මගේ සහෝදරයා වගේම මමත් පොදු පෙරමුණට ගිය එක්කෙනෙක්. ගිහින් මම ආයෙත් යූ ඇන් පී එකට ආවා. මට මතකයි එැතැනට ගිහිල්ලා ආයෙත් මෙතැනට එනකොට විශාල දෝෂාරෝපණයක් ආවා. මම හිතන්නේ නෑ ආයෙත් මම තවත් පක්ෂයකට යායුතුයි කියලා.

ඔබ මෙතැන නැවතුණේ ඔබේ පිය උරුමය, ඔටුන්න ගන්න. එහෙම නේ..?

ඔටුන්න කියලා මම ඒකට කියන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග ඉන්න එක්කෙනෙක්. ඉතිං මම ආයෙත් ඒ ප්‍රතිපත්ති ධාරාවෙන් පිට ගිහිල්ලා දේශපාලනේ කරන්න බලාපොරොත්තුවක් නෑ.

නෑ. මම ඔබට යෝජනා කරනවා නවීන් මහත්තයා සජිත් යනකොට, සජිත් එක්ක ඔබේ මල්ලිත් යනකොට, ඔබ නැවැතුණේ ඔබට ඉන්න දක්ෂතම තරගකාරයා පිටියෙන් ඉවත්වෙනකොට ඔබට නිතරගයෙන්ම නායකත්වය ගන්න පුළුවන් කියලා හිතුණ නිසා කියලා..?

මම ඇත්ත වශයෙන්ම සජිත් මහත්තයාට කිව්වා මේ තීරණේ ගන්න එපා කියලා. මොකද මම දැනගත්තා පක්ෂය කැඩීමෙන් එතුමටත් වාසියක් වෙන්නේ නෑ. අපිටත් වාසියක් වෙන්නේ නෑ කියලා. මම එතුමාට කිව්වා ඉවසීමෙන් ඉඳලා අපි ඔක්කොම එකමුතුව තරග කරලා. එහෙම වුණා නම් අපිට ආසන 70ක් 80ක් අනිවාර්යයෙන්ම එනවා. ඊට පස්සේ මම තමයි ඉස්සෙල්ලාම නැගිටලා කියන්නේ ඔබ මේ පක්ෂේ නායකයා විය යුතුයි කියලා.

 

ඒ කියන්නේ ඔබට ආශාවක් නැද්ද පක්ෂයේ නායකයා වෙන්න..?

මට ආශාවක් තියෙනවා.

එතකොට සජිත්ට ඒ තැන දුන්නාම ඔබට ලැබෙන්නේ කවද්ද..?

අපේ පක්ෂයේ යම් කිසි පඩි පෙළක් තියෙනවානේ. දැන් ගාමිණී දිසානායක මහත්තයා නියෝජ්‍ය නායකයා වුණා. ඩී. බී. විජේතුංගගෙන් පස්සේ නායකයා වෙන්න හිටියේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකයා වුණා. මට යන්න තිබුණේ ජාතික සංවිධායකයා ඉඳලා උප නායකයා හැටියට. එතකොට යම් කිසි දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂෙන් අයින් වෙනවා නම් නියෝජ්‍ය නායකයා තමයි පක්ෂ නායකයා වෙන්න ඕන. ඉතිං ඒ ප්‍රතිපත්තියේ මම ඉන්නවා. අනිත් එක සජිත් ප්‍රේමදාස මහත්තයාට පයින් ගහලා අයින් කරන්න අපි කවුරුවත් කැමැති නෑ.

දැන් ඔය පඩිපෙළට අනුවද ඔබ මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධියේ රනිල්ගෙන් නායකත්වය ඉල්ලුවේ. ඒ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ පයිසෙකට ගණන් ගත්තේ නෑ නේද? රුවන්ව එතැනට ගෙනාවා නේද..?

මම හිතන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය වගේ දැවැන්ත දේශපාලන පක්ෂෙක එක්කෙනෙකුගේ ඉල්ලීමක් නායකයකු හෝ වේවා නියෝජ්‍ය නායකයකු හෝ වේවා කන් දීලා බන්දේසියක තියලා දෙනවා කියලා. අනිත් එක ඔය නියෝජ්‍ය නායක කම ගැන මට වෙන මතයක් තියෙන්නේ. මගේ ඇඟට දැනෙනවා ඒක හරි අවාසනාවන්ත තනතුරක් කියලා. ඒක කාටවත්ම හරි ගිහිල්ලා නෑ. මගේ තාත්තටත් හරි ගියේ නෑ. ප්‍රේමදාස මහත්තයාටත් හරි ගියේ නෑ. මම ඒ නිසා රුවන්ට කිව්වා දෙපාරක් හිතන්න ඕක ගැන කියලා.

එතකොට රුවන් මොකද්ද ඔබට දීපු උත්තරේ..?

රුවන් ඒකට මට හරි උත්තරයක් දුන්නේ නෑ. නමුත් පක්ෂයේ තනතුරක් දරන පුද්ගලයෙක් හැටියට ඊළඟ ස්ටෙප් එක ගන්න මම ලැස්තියි.

මොකද්ද ඔබේ ඊළඟ ස්ටෙප් එක..?

ඊළඟ ස්ටෙප් එක නායකත්වය.

කොහොමද ඒක ගන්නේ. මොකද්ද උපාය හා උපක්‍රමය..?

මට උපක්‍රමයක් තියෙනවා. මම මේ වෙලාවේ ඒක කියන්නේ නෑ.

ඉතින් වැටිලා තියෙනවා නම් ජාතික සංවිධායකගේ වගකීමනේ ඒක ගොඩ දාන එක. දැන් ගන්නකෝ උදාහරණෙට බැසිල් රාජපක්ෂ මහත්තයාව. ජාතික සංවිධායක වරයෙක් හැටියට ගෙයින් ගෙට, මිනිසුන්ගේ කකුල් දෙක ළඟට ගිහිල්ලා නේ අවුරුද්දක් ඇතුළත පොහොට්ටුව ඔතැනට ගොඩනැගුවේ..?

ජාතික සංවිධායක විදිහට මම පත් වුණේ 2018 දී. මේක භාරගත්තාට පස්සේ මම දැවැන්ත වැඩපිළිවෙළක් කරන්න පටන් ගත්තා. 2018 අග භාගෙදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව නීති විරෝධීව ගත්තා. එතැන මාස තුනක් අපිට නැති වුණා.

ඔබ ඔය කියන්නේ එජාප ආණ්ඩුව ගැනනේ දිසානායක මහත්තයා මම අහන්නේ පක්ෂ අභ්‍යන්තර ගොඩනැගීමක් ගැන..?

දැන් ඔබ කියන ඔය පොහොට්ටුව ගත්තාම එකේ තනි බලයක් තියෙනවා පරිපාලනමය වශයෙන් ජාතික සංවිධායකට. නමුත් අපේ පක්ෂයේ තනි බලයක් තියෙන්නේ මහලේකම්ට. අකිල මහත්තයාත් මේ තනතුරට පත් වෙනකොට මම කිව්වා මේ තනතුරු ගන්න ඕන පැය 24 ම දවස් 7 ම දුවන්න පුළුවන් අය කියලා. බැසිල් මහත්තයා ගත්තාම මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් නෙවෙයි එතුමා මේක අතට අරගෙන විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයා හැටියට ඒ නෙට්වර්ක් එක හදාගෙන එතුමා ඒක කළා.

ඇත්ත වශයෙන්ම පක්ෂේ කැඩීමත් එක්කම පක්ෂ යාන්ත්‍රණයත් කැඩුණා. අපිට වෙලාවක් තිබුණේ නෑ පක්ෂය යම් කිසි තැනකට ස්ථාන ගත කරන්න. තවත් ප්‍රශ්නයක් තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ අර පොදු බ්‍රෑන්ඩ් එක විශේෂයෙන්ම මේ අවුරුදු 5 දරුණු කඩා වැටීමකට ලක් වුණා. සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් අපෙන් ඈත් වුණා. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැමැත්තෙන් අයින් වෙනාව නම් ඊළඟ නායකයාට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය කියන සන්නාමයේ වටිනාකම වැඩි කරන එක. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව බලන්නේ ජාතිකත්වය. ඔවුන් බලන්නේ සිංහල බෞද්ධ කම. එක්සත් ජතික පක්ෂයත් මේ සිංහල බෞද්ධ හැඟීම් එක්ක යනවාද නැද්ද? කියන එක.

ඔබ එජාප නායකත්වයට පත් වුණොත් ඔබ එජාපය සිංහල බෞද්ධ බලවේගයක් බවට පත් කරනවාද..?

පැහැදිලිවම මට කරන්න පුළුවන් ඒක.

එතකොට එක්සත් ජතික පක්ෂයේ අනන්‍යතාවට මොකද වෙන්නේ..?

දැන් ඔය වචන තුන එක්සත් ජාතික පක්ෂය, ඩී. එස්. සේනානායක මහත්තයා පටන් ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ ජාති ඔක්කොම එකතු කරලා දේශපාලන ව්‍යාපාරයක්.

එතකොට ඒක සිංහල බෞද්ධ කරන්න ඔබට තියෙන අයිතිය මොකද්ද..?

මට අයිතියක් නෑ. කොහොමත් ඒක පටන් ගත්තෙත් සිංහල බෞද්ධ සන්නාමයක් හැටියට.

දිසානායක මහත්තයා දැන් පවතින ආණ්ඩවුත් අන්ත සිංහල බෞද්ධ එකක්නේ. එතකොට සජිත් ප්‍රේමදාස හදාගත්ත සමගි ජනබලවේගෙත් ඊට දෙවැනි නැති තරම් ජාතිවාදී පක්ෂයක්. එජාපය ආරම්භයේ ඉඳන්ම නමේ අර්ථයෙන්ම සියලු ජනකොටස්වලට එකතු වෙලා දේශපාලනේ කරන්න තිබ්බ පක්ෂේ. ඔබ ඒකත් සිංහල බෞද්ධ කරනවා නම් විකල්පයක් කොහේද තියෙන්නේ..?

මම කියන්නේ අපි අලුතින් දේශපාලනේ බලන්න අවශ්‍යයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ නානා විධ රටවල්වල ජාතිවාදී බලවේග ජාතිකත්වය පදනම් කරගෙන තමයි දේශපාලනේ කරන්නේ. අද ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේත් ඒක. ඔයත් දන්නවා ට්‍රම්ප්ගේ තේමා පාටය තමයි ‘make America great again ‘ කියන එක. එතකොට එජාපයට තියෙන ප්‍රධානම දෝෂාරෝපණය තමයි සිංහල බෞද්ධ බලවේග එක්ක යන්නෑ කියන කතාව.

ඔබ ඒක පිළිගන්නවාද. එජාපය එහෙමද..?

එහෙම තමයි මාර්කට් වෙලා තියෙන්නේ

දැන් ජාතික සංවිධායකතුමා ඔබේ පක්ෂේ බිමට වැටිලා සමතලා වෙලානේ තියෙන්නේ. සුභාෂිතේ තියෙනවා, කළල ගිලුණු මත වරනිදු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිදෙකු මිස වෙන කෙවෙත කියලා. සමහර පාක්ෂිකයෝ හිතනවා ඒ ගිජිදා ඔබ කියලා. ඔබ කියනවා මට මේ වෙලාවේ පූර්ණ කාලීනව ගමට ගිහින් වැඩ කරනන බෑ කියලා. නමුත් නායකත්වය ඉල්ලනවා. කොහොමද පක්ෂේ ඔබට භාර දෙන්නේ..?

හැම දේකටම වෙලාවක් තියෙනවා. මම ඒ ගැන විශ්වාස කරන පුද්ගලයෙක්. පුද්ගලයෙක්ට දෛවයක් තියෙනවා. මම ඒ ගැනත් විශ්වාස කරන පුද්ගලයෙක්.

ඔබ හිතනවාද ඔබේ තාත්තා රවුමේ ගිහිල්ලා එනකොට රනිල් වික්‍රමසිංහ ඔබේ තාත්තාට පක්ෂෙ භාර දුන්නා වගේ ඔබේ දෛවයත් ඔබට චාන්ස් එකක් දෙයි කියලා..?

නෑ මම හිතන්නේ තාත්තා වගේ ඉක්මන් විය යුතු නෑ කියලා. මොකද ඉක්මන් වෙලා ගොඩක් හානි කරගන්න පුළුවන්. මම තාත්තට 94 දී කිව්වා අප්පච්චි මැකියාවෙලී කියලා තියෙනවා සාර්ථක සටනකට සිංහයෙක් වෙන්නත් ඕන නරියෙක් වෙන්නත් ඕන කියලා. ‘‘you have to be fox and lion ‘‘. ඉතිං මගේ තාත්තගේ තිබ්බ එකක් තමයි ඩී. එන්. ඒ එකෙන්ම එතුමා සිංහයෙක්.

පුතා නරියෙක්ද..?

මම කියන්නේ දෙකම කවලම් වෙන්න ඕන කියලා. විශේෂයෙන්ම මේ ලංකාවේ දේශපාලනේට. රාජපක්ෂලාත් එක්ක හැප්පෙන එක ඊසි ගේම් එකක් නෙවෙයි.

සමගි ජනබලවේගේ අදහසක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න ..?

එක්සත් ජාතික පක්ෂයේ සමහර කොටස් මම මේ කියන දේට අකමැති වෙන්න පුළුවන්. නමුත් අපි රාජපක්ෂලාත් එක්ක හැප්පෙන්න ඉස්සෙල්ලා අපි එකතු වෙන්න ඕන.

සජිත් පක්ෂ නායකත්වය ඉල්ලුවොත් ඒක දෙන්නත් ලෑස්තිද ඔබ..?

එතැන ගැටලුවක් තියෙනවානේ පැහැදිලිවම. මොකද එතුමන්ලා දැන් පක්ෂයෙන් පිට වෙලා තියෙන්නේ.

ඔබත් පිට වෙලා ගිහින් ආපු කෙනෙක්නේ..?

මම දැන් පක්ෂේ ඇතුළේ ඉන්නවා නේ. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත්ම අමාරු සංවේදී සාකච්ජාවක් වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව කියයි මට නායකයා වෙන්න ඕන කියලා.

එතකොට ඔබ මොකද කියන්නේ..?

එහෙම යෝජනාවක් ආවොත් ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා මගේ අදහස් ප්‍රකාශ කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් කියන විදිහට මම කටයුතු කරනවා.

රාවයක් තියෙනවා රනිල් නායකත්වයෙන් අයින් වෙනකෙට රුවන්ට ලේ උරුමයෙන් පක්ෂය භාර දෙන්න යනවා කියලා..?

මම හිතන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාත් ඔය විජේවර්ධන පරම්පාරාවේම අංකුරයක්නේ. එතුමා තමයි මේ පක්ෂය ඇතුළේ දැවැන්ත වෙනස කළේ මේක පවුල් සමාගමක් නොවිය යුතුයි කියලා.

ඒ කතාව දිසානායක පවුල් සමාගමටත් අදාළයි නේ..?
 

ඔව්.. ඔව්... ඒක කිසිම පවුලකට නැතුව යන්න ඕන. ජේ .ආර්. ජයවර්ධන මහත්තයාගෙන් පටන් ගත්ත නායකත්වය අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්වාම ගියා. එතකෙට දැන් එතුමා අවුරුදු 26ක් පක්ෂ නායකයා වෙලා අයෙමත් එතුමා පක්ෂෙට උඩින්ම ගෙනැල්ලා නායකයෙක් දානවා නම් ඒ පවුලම නිසා ඒක අසාධාරණයි. මට හිතෙනවා මට දැන් ලැබෙන ප්‍රතිචාර අනුව මට ඒ නායකත්වයට හොඳ රන් එකක් දෙන්න පුළුවන් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැඩි ස්ථාවරයක ඉන්නවා නම් නවීන් මේකට එන්න හොඳම නෑ කියලා. ඒක එතුමාගේ තීරණයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තායට මම කිසිම අසාධාරණයක් කරලා නෑ, මම එතුමාත් එකක් දැනුත් ඉතාමත්ම ළෙංගතුව, ගරුත්වයෙන් කටයුතු කරනවා.

ඒ කියන්නේ හොඳින් හෝ නරකින් නවීන් එක්සත් ජතික පක්ෂය ගන්නවා?

මම එහෙම කියන්නේ නෑ. මම ඒ රේස් එකේ දුවනවා.

රුවන් ඒ රේස් එකේ ඔබට තරගයක් දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්ද..?

හැමෝටම දක්ෂ කම් තියෙනවා. මම කැමැතියි රුවන් විජේවර්ධන කියන චරිතේ එක්ක එකතු වෙලා වැඩ කරන්න.

ඔබට පක්ෂය භාරදුන්නොත් එක්සත් ජාතික පක්ෂය කොච්චර කාලෙකින් ආණ්ඩුවක් පිහිටුවයිද..?

මට නායකත්වය දුන්නොත් ඊළඟ ජනාධිපතිවරණය තරගකාරී ලෙස තරග කරන තැනට මට පක්ෂය ගේන්න පුළුවන්.

ඔබද ඊළඟ ජනාධිපති අපේකෂකයා..?

පක්ෂයේ නායකයා වුණාට බොහෝ අවස්ථාවල නායකයා අඩියක් පස්සට තියලා පොදු අපේක්ෂකයෙක් දාලා තියෙනවා. ඒක ඒ වෙලාවට බලමු. මුලින්ම මම නායකයා වෙලා ඉන්න ඕන. රනිල්ට ඕනෑ නම් හෙට වුණත් ඉල්ලා අස්වෙන්න මම ලෑස්තියි ලංකාවේ දේශපාලන කරන්න සිංහයෙක් වගේම නරියෙකුත් වෙන්න ඕනේ රාජපක්ෂලා එක්ක හැප්පෙන එක ඊසි ගේම් එකක් නෙවේ.

 

-ඉරිදා අරුණ-

 

Advertiesment