Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


පාවාදුන් විප්ලවය හා ඒකාධිපතිත්වය


2020-10-31 2470

(වික්ටර් අයිවන්)

 

දැන් ලංකාව තිබෙන්නේ අගාධය කරා යන ගමන අවසන් කොට එම අගාධයේ පතුළටම වැටි එහි හිරවුණු කාලකණ්ණි තත්ත්වයකය. මෙය නිදහසින් පසුව සිදුවූ ක්‍රමානුකූල ඓතිහාසික ගමනක අවසානය ලෙස සැලකිය හැකිය. නිදහසත් සමග අපට ලැබුණු සමාජය ස්වයං පාලනයකට සුදුසු තරමේ දියුණුවක් හිමි කරගත් සමාජයක් නොවීය. ඉන්දියාවේ මෙන් දියුණු දේශපාලන නායකයෝද අපට නොසිටියෝය.

රටක් වශයෙන් නිදහසේ සිටම අප ගමන් ගන්නේ ප්‍රගතිය කරා නොව විනාශය කරාය. අපට දියුණු සමාජයක් තිබුණේ නම් දියුණු නායකයන් එතරම් වැදගත් නොවන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට අපට තිබුණේ බාහිර පෙනුමෙන් දියුණු එහෙත් අභ්‍යන්තරයෙන් නොදියුණු සමාජයකි.


අපේ යථාර්ථය
 


නිදහසින් පසුව රාජ්‍ය නායකත්වයට පත්වූ අය අතර ප්‍රශස්ත තත්ත්වයක ලා සැලකිය හැකි එකම නායකයෙකුවත් නොසිටියේ යැයි කිව හැකිය. 1977ට පෙර සිටි නායකයන් රට ඉදිරියට ගෙනයාමෙහිලා ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ නායකයන් ලෙස සැලකිය නොහැකි වුවද, රටේ වස්තුව කොල්ලකාගත් කොල්ලකාරී නායකයන් ලෙසද සැලකිය නොහැකිය. එහෙත් ඉන්පසු බිහිවන සියලු රාජ්‍ය නායකයන් සැලකිය හැක්කේ තමන් භාරයේ තිබෙන රටේ පොදු වස්තුව අයුතු ලෙස පරිහරණය කිරීම මගින් රාජ්‍යයේ මඩිය හිස් කොට තමන්ගේ මඩිය තර කරගත් නායකයන් ලෙසය.


බරපතළ වරදක් සිදුවූ විට එම වරද නිවැරදි කරගැනීමෙන් තොරව ඒ වරද ගල් ගැසෙන්නට ඉඩ හැරීම ලංකාවේ ඇතිවී තිබෙන මහා පරිහානිය කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව ලෙස සැලකිය හැකිය. විවිධ කාලවකවානුවලදී ඇති කරගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමද නිදහසේ සිටම දක්නට තිබුණු ලක්ෂණයක් විය. ලංකාව එම ක්‍රමය රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය මුළුමනින් ගරා හැලෙන තත්ත්වයකට පත් කරන තෙක්ම අහක බලාගෙන සිටි මෝඩ රටක් ලෙස සැලකිය හැකිය.

 


නිදහසින් පසු

 

නිදහස ලැබීමත් සමග යහපත් ඉදිරි ගමනක් සඳහා ඇති කරගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ තිබුණි.  යටත්විජිත ක්‍රමයක අභිවෘද්ධිය පිණිස ඇති කරන ලද දේශපාලන ක්‍රමයක් නිසි ප්‍රතිසංස්කරණවලට ලක් කිරීමෙන් තොරව නිදහස් රටක අවශ්‍යතාවන් සඳහා යොදාගත නොහැකිය.


නිදහසින් පසු සිංහල, දෙමළ, මුස්ලිම් යන වාර්ගික කණ්ඩායම්ද, (බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යන ආගමික කණ්ඩායම්ද) සමගි සම්පන්න කොට ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩ නගා ගත යුතුව තිබුණි. එසේම කුල ක්‍රමයට තිබෙන පිළිගැනීම දුර්වල කිරීමට හේතුවන ලෙස හා වැඩවසම් ඉඩම් භුක්ති ක්‍රමයේ තිබුණු වැඩවසම් සම්බන්ධතා අහෝසි කිරීමට හේතුවන ලෙස ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුව තිබුණි. ඉංග්‍රීසි උසස් අධ්‍යාපනයේ භාෂාව බවට පත්කර ගනිමින් සිංහල භාෂාවෙන් පමණක් නොව, දෙමළ භාෂාවෙන්ද රජය සමග වැඩ කළ හැකි තත්ත්වයක් ඇති කළ යුතුව තිබුණි.

 


ප්‍රචණ්ඩ කැරලි


හැත්තෑව දශකයෙන් පටන් ගෙන එක දිගට දශක තුනක පමණ කාලයක් පැවති ප්‍රචණ්ඩ අරගලද සමස්ත සමාජ දේශපාලන ක්‍රමය අවුල් කිරීමට හා ජරාජීර්ණ කිරීමට හේතුවූ වැදගත් සාධක විය. මේ කැරලි බොහෝ ප්‍රමාද වී බුල්ඩෝසර් කරන්නට රජය සමත් වුවත් එම ප්‍රචණ්ඩත්වය යට සැඟවී තිබුණු සාධාරණ දුක්ගැනවිලි හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙන්නට රජය සමත් නොවීය.


සිංහල දකුණේත්, දෙමළ උතුරේත් ඇතිවූ කැරලිවලින් මියගිය අයගේ සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය. වෙනත් ආකාරවලින් හානි සිදුවූ අයගේ සංඛ්‍යාව ලක්ෂ හතර පහක් තරම් විශාල විය හැකිය. මේ කැරලිවලදී කැරලිකරුවන් සේ ම ආරක්ෂක හමුදාද මුදාහරින ලද ක්‍රෑරත්වයේ පරිමාව ඉතා විශාලය. ඒවා සමාජ ආධ්‍යාත්මයේ විශාල විකෘතියක් ඇති කිරීමට හේතුවී තිබුණි. කැරලි දෙක පරාජය කරන්නට රාජ්‍ය සමත් වුවත් එම කැරලිවලින් ජයග්‍රාහී රාජ්‍යයටද බරපතළ හානි සිදුවී තිබුණි. ඒ සියල්ල සැලකිල්ලට ගෙන සමාජ දේශපාලන ක්‍රමයේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා නැතුවම බැරි කොන්දේසියක් බවට පත්ව තිබුණි.

 


ප්‍රතිසංස්කරණ සමග සෙල්ලම් කිරීම


2009 වසරේදී අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට ලංකාව තිබුණේ ගැඹුරු ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලින් තොරව ඉදිරියට යා නොහැකි තරමට සමාජ-දේශපාලන ක්‍රමය ජරාජීර්ණ තත්ත්වයකට ඇද වැටුණු තත්ත්වයකය. එහෙත් අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුව ප්‍රතිසංස්කරණ අවශ්‍යතා තේරුම් ගෙන ඊට අනුකූලව ක්‍රියාකරන්නට මහින්ද රාජපක්ෂ පාලනය අසමත් විය. එම තත්ත්වය රට ලොකු අර්බුදයකට තල්ලු කිරීමෙන් නොනැවතී රාජපක්ෂ පාලනය බිඳ දමන තත්ත්වයක් ඇති කිරීමටද හේතුවිය. යහපාලන ආණ්ඩුව බලයට ආවේද එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.


එහෙත් යහපාලන ආණ්ඩුවද ප්‍රතිසංස්කරණ විෂයේදී කරන ලද්දේ අව්‍යාජ සැත්කමක් වෙනුවට උඩින් පල්ලෙන් කරන ලද ව්‍යාජ සැත්කමකි. එය වර්ගය, ආගම හා කුලය පදනම් කරගත් ඒ වනවිට උත්සන්න තත්ත්වයකට පත්ව තිබූ ජාතික අර්බුදයට විසඳුමක් ලබාදීමේ වගකීමෙන් මගහැරියේය. ඒ මගින් එම අර්බුදය කුණුවෙන අර්බුදයක් බවට පත් කළේය.


ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලය සංවරණය හා තුලනය කිරීමට ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන දර්ශනය ලෙස පෙනෙන්නට සලස්වා තිබුණද ජනාධිපතිවරයාට තමන් භාරයේ තිබෙන පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන්නට තිබුණු හැකියාව පාලනය කිරීමට හේතුවන විධි විධාන ඇති කළේ නැත. එසේම නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩ ලබාදී තිබුණු කැත ක්‍රමයටද අත ගැසුවේ නැත. පක්ෂ නායකයන්ට හා අපේක්ෂකයන්ට නීතියට පටහැනිව මුදල් ලැබෙන මාර්ගවලටද අත ගැසුවේ නැත. ඒ සියල්ල ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂ්‍ය කිරීමට හේතුවී තිබුණු ප්‍රධානතම සාධක ලෙස සැලකිය හැකිය. රටේ අධිකරණ ක්‍රමය තිබුණේද පූර්ණ බිඳ වැටීමකට ගිය තත්ත්වයකය. ඒ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ද කිසිවක්ම කළේ නැත.

 


ප්‍රතිවිප්ලවයට පාර කැපීම

 


මහජනයා විසින් විවර කොට දී තිබුණේ විප්ලවකාරී ප්‍රතිසංස්කරණ සඳහා එන දැවැන්ත අවකාශයකි. එහෙත් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන අව්‍යාජ වැඩසටහනක් නොවීය. එය දැන හෝ නොදැන රටේ ජනතාව පමණක් නොව ලෝක ප්‍රජාවද රවටන වැඩසටහනක් මිස අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නොවීය. බරපතළ සීමාසහිතකම් හා එය ඉදිරියේ ඇති කරන්නට යන විනාශයේ තරම කල්තියා දකින්නට දේශපාලන න්‍යායවාදීන් සේ ම ශාස්ත්‍රාලයීය උගතුන්ද අසමත් විය. චින්තනමය වශයෙන් ලංකාවේ පවතින කාන්තාර තත්ත්වය ආශ්‍රයෙන්ද එය යම් පමණකට තේරුම් ගත හැකිය.


යහපාලන ආණ්ඩු ඇති කළ ප්‍රතිසංස්කරණ බොරුව මගින් ඇති කර තිබෙන භයානක ප්‍රතිඵලය වනුයේ විවර වී තිබුණු පරිවර්තන අවකාශය කුරෝලු කොට අවසානයේ කුණු කරන තත්ත්වයකට පත්කිරීමය. එය ඇතිවූ පරිවර්තනය අල්ලා ගෙන සිටීමට හා ඉදිරියට ගෙනයෑමට තිබෙන හැකියාව නැති කොට සමස්ත ක්‍රියාදාමය හාස්‍යජනක විගඩමක් බවට පත් කිරීමට හේතුවිය.


ලංකාව ඒකාධිපති මාවතකට තල්ලු කිරීම 2015 ඇතිවූ මෝඩ විප්ලවයේ විපරීත හා හාස්‍යජනක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එහිදී මෝඩයන් හෝ අඥානයන් ලෙස සැලකිය යුත්තේ එම පරිවර්තනයට පාර කැපූ ජනතාව නොව, එම ජනතා විප්ලවයෙන් පසුව එය මෙහෙයවන ලද නායකයන් හා න්‍යායවාදීන්ය. ඒකාධිපති ගෝඨාභය කෙනෙකුට පාර කපා දුන්නේ ඔවුහුය.

 

 

Advertiesment