Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


අමෙරිකාවේ මීළඟ ජනාධිපති ට්‍රම්ප් ද..? බයිඩන් ද..?


2020-10-31 1596

අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමේදී ස්ත්‍රී-පුරුෂ, වාර්ගික, ආගම් භේද නොසැලකේ. එසේ වුව ද, අවම වශයෙන් 35 හැවිරිදි වියේ සිටිය යුතුය. අමෙරිකාවේදී උපත ලබා තිබිය යුතු අතර, අවම වශයෙන් වසර 14ක් එරට ජීවත්ව සිටිය යුතුය.

අමෙරිකා එක්සත් ජනපදයේ 59වැනි ජනාධිපතිවරණය තවත් දින 3කින් එනම්, නොවැම්බර් 03 වැනිදා පැවැත්වේ. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කොරෝනා ගෝලීය වසංගතයෙන් තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව එරටින් වාර්තා වෙමින් තිබියදීය. රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී කොරෝනා ආසාදිතයකු වූ පසුබිමක පවතින තත්ත්වය තුළ ඡන්දදායකයන් වාර්තාගත සංඛ්‍යාවක් දැනටමත් තැපෑලෙන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ද කල් තබාම සිය ඡන්දය ප්‍රකාශ කර සිටිති. තැපැල් ඡන්ද අතිවිශාල ප්‍රමාණයක් ගණනය කිරීමට සිදු වන බැවින්, මෙවර ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ දින රාත්‍රියේ ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇතැයි සැලකේ. මැතිවරණ විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ඊට දින හෝ සති ගණනාවක් ගත වීමටත් ඉඩ තිබේ. මෙවැනි තත්ත්ව හේතුවෙන් මෙම මැතිවරණය එරට දේශපාලන ඉතිහාසයට එකතු වනු ඇත්තේ සම්ප්‍රදායට වඩා බොහෝ වෙනස් මැතිවරණයක් වශයෙනි.

තැපැල් ඡන්ද විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ වීම මැතිවරණ අක්‍රමිකතාවලට තුඩු දිය හැකි බවට ජනාධිපති ට්‍රම්ප් ද පවසා තිබේ. ඇතැම් මැතිවරණ විශ්ලේෂකයන් ද මෙම මතය පළ කර තිබිණි.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය එරට ව්‍යවස්ථාවෙන් නියම වී නැතත්, නව ජනාධිපතිවරයා දිවුරුම් දී රාජකාරි ඇරැඹීම ජනවාරි මාසයේ සිදු කළ යුතු බවට එහි සඳහන්ය. එබැවින්, මැතිවරණය කල්දැමීම පහසු නොවේ. විශේෂයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂය සතු වන හා රිපබ්ලිකන් ජනාධිපතිවරයකු සිටින වර්තමාන තත්ත්වය වැනි සන්දර්භයක එය බෙහෙවින්ම දුෂ්කරය. ව්‍යවස්ථා‍ෙවන් දිනය සඳහන් නොවුණ ද සම්ප්‍රදායක් ලෙස අමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයට පසුව යෙදෙන අඟහරුවාදා දිනයේය. එබැවින්, මෙවර ද එය එලෙසම පැවැත්වේ.

 

‘ඉලෙක්ටරල් කොලේජ්’

 

අමෙරිකා ජනාධිපතිවරණය ලොව සෙසු රටවල ජනාධිපති මැතිවරණවලට වඩා වෙනස් ස්වරූපයකින් යුක්තය. මෙහිදී ඡන්දදායකයෝ ඍජුවම සිය ඡන්දය ප්‍රකාශ නොකරති. ඡන්දය ප්‍රකාශ කරන්නේ ‘ඉලෙක්ටරල් කොලේජ්’ යනුවෙන් හැඳින්වෙන ක්‍රමයටය. මැතිවරණ ආසන වැනි ඉලෙක්ටර්ස් (Electors) යනුවෙන් හැඳින්වෙන ඒකක සඳහා තමන් සහාය දක්වන අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මෙහිදී සිදු වේ. එක් එක් ප්‍රාන්තයට හිමි ඉලෙක්ටර්ස් සංඛ්‍යාව තීරණය වන්නේ ජනගහනය අනුවය. නිදසුනක් ලෙස මිලියන 39කට ආසන්න ජනගහනයක් සිටින කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉලෙක්ටර්ස් 55කි. ජනගහනය 936,000ක් පමණ වන ඩෙලවෙයා ප්‍රාන්තයේ ඉලෙක්ටර්ස් 03කි. එසේ හෙයින්, වැඩි ඉලෙක්ටර්ස් සංඛ්‍යාවක් සහිත ප්‍රාන්ත මැතිවරණයේදී තීරණාත්මක ලෙස වැදගත්ය. ඒවායේ බලය ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස පත්වීමේ හැකියාව විශාලය. දැනට ඉලෙක්ටර්ස් 538ක් තිබේ. ඉන් 435ක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (කොං‍ග්‍රසය) සඳහා වෙන් වන අතර, 100ක් සෙනෙට් මණ්ඩලය සඳහා වෙන් වේ. ඉතිරි ඉලෙක්ටර්ස් 03, කොලම්බියා දිස්ත්‍රික්කය වෙනුවෙනි. පළමුව ඉලෙක්ටර්ස් 270ක බලය ගන්නා අපේක්ෂකයා ජනාධිපති වශයෙන් තෝරා ගැනීම සිදු වේ.

අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමේදී ස්ත්‍රී-පුරුෂ, වාර්ගික, ආගම් භේද නොසැලකේ. එසේ වුව ද, අවම වශයෙන් 35 හැවිරිදි වියේ සිටිය යුතුය. අමෙරිකාවේදී උපත ලබා තිබිය යුතු අතර, අවම වශයෙන් වසර 14ක් එරට ජීවත්ව සිටිය යුතුය.

 

රෑ 9තෙක් ඡන්දය

 

ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන 2කට සීමා වේ. මෙය ඉක්මවූ එකම අවස්ථාවක් ඇත. ඒ දෙවැනි ලෝක සංග්‍රාම අවදියේදී ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිවරයාට විශේෂ තුන්වැනි අවස්ථාවක් දීමය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ සටන ‍ඩිමොක්‍රටික් පක්ෂ හා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අතර තරගයක් වීම ස්වභාවයයි. තුන් වැනි පාර්ශ්වයක් තරග බිමේ සිටින්නේ කලාතුරකිනි. මෙවර කන්යේ වෙස්ට් තරග කරන්නේ එවැනි තුන්වැනි පාර්ශ්වයක් ලෙසය. කෙසේ වුව ද, තෙවන පාර්ශ්වයකට තීරණාත්මක බලපෑමක් කළ නොහැකිය. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් අපේක්ෂකයන් වශයෙන් තේරී පත් වීම සඳහා එම පක්ෂ තුළම තරගකාරිත්වයක් ඇත. තෝරාගන්නා අපේක්ෂකයන් නිවේදනය කරන්නේ පක්ෂ සම්මේලනයේදීය.

ජනාධිපතිවරණ දිනයේ ද මිලියන සංඛ්‍යාත ඡන්දදායක සංඛ්‍යාවක් ඡන්ද මධ්‍යස්ථාන කරා ගොස් සිය ඡන්දය ප්‍රකාශ කරති. මෙවර එම සංඛ්‍යාව අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නියමිත කාල සීමාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. වර්වොන්ට් වැනි ප්‍රාන්තවල පෙ. ව. 5 සිට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. බොහෝ විට මෙම කාලය පෙ. ව. 6 සිට ප. ව. 9 දක්වාය. රාත්‍රී 9ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් කළ යුතුය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ප්‍රාන්ත මඟින් තැපැල් ඡන්ද එවනු ලබන්නේ දින කිහිපයකට පසුවය.

මේ වසරේ මුල් කාලයේ පටන්ම අමෙරිකාවට ද කොරෝනා වසංගතය දැඩිව බලපෑම ජනාධිපතිවරණයට ද බලපෑම් ඇති කළේය. ඩිමොක්‍රටික් අපේක්ෂක ‍ජෝ බයිඩන් හා උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීමට විස්කොන්සින් ප්‍රාන්තයට ගියේ නැත. බයිඩන් නාමයෝජනා බාරගත්තේ ද ජනතාව ඇමතුවේ ද සිය ප්‍රාන්තය වූ ඩෙලවෙයාහි සිටිය. එලෙසම කමලා හැරිස් ද ඩෙලවෙයාහි හෝටලයක දී සිය නාමයෝජනා බාර ගත්තාය.

රිපබ්ලිකන් පක්ෂ සමුළුව ඇමතීමට ජනාධිපති ට්‍රම්ප්ට සිදු වූයේ ද අන්තර්ජාලය ඔස්සේය. ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති ට්‍රම්ප් මුව ආවරණ පැලැඳීමෙන් පවා වැළැකී සිටි අතර, කොරෝනා ආරක්ෂක පියවර පිළිබඳ එතරම් තැකීමක් කළ බවක් නොපෙනිණි. එසේ වුව ද බයිඩන්, මුව ආවරණ පැලැඳ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ යෙදුණු අතර, ප්‍රසිද්ධ රැලිවලින් පවා ඇතැම් විට වැළැකිණි. කොරෝනා වසංගතයට මුහුණ දීමේදී ජනාධිපති ට්‍රම්ප් අනුදත් ක්‍රියාමාර්ග බයිඩන්ගේ විවේචනයට ලක් විය. බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාර ගනුදෙනු ද ට්‍රම්ප්, මැතිවරණ වේදිකාවේදී විවේචනය කළේය. ජනාධිපතිවරණයට මසකටත් අඩු කාලයක් තිබියදී කොරෝනා ආසාදිතයකු වූ ජනාධිපති ට්‍රම්ප් දින 9කට පසු යළි මහජනයා ඉදිරිපිට පෙනී සිටීම ද විශේෂ කාරණයකි. ධවල මන්දිර බැල්කනියේ සිට විනාඩි 18ක කාලයක් ඔහු කළු අමෙරිකානු ආධාරකරුවන් පිරිසක් ඇමතීය.

මාධ්‍ය වාර්තා කළේ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිණැයි පෙනුණු බවය. පසුව ඔහුගේ වෛද්‍යවරයා ද පවසා සිටියේ, තවත් පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ගත් බව සහ ජනාධිපතිවරයාගෙන් තවදුරටත් සෙසු අයට රෝගය සම්ප්‍රේෂණය නොවන බවයි. ජෝ බයිඩන් සමඟ අවසන් රූපවාහිනී විවාදයට ද ඔහු පසුගිය 22 වැනිදා පෙනී සිටියේය. මෙම ජනාධිපතිවරණය අමෙරිකා ඉතිහාසයේ වැඩිම වියදමක් දැරීමට සිදු වූ ජනාධිපතිවරණය ලෙස ද වාර්තාවක් තබනු ඇත. එම මුදල ඇ. ඩොලර් බිලියන 14 කි. ‍

 

ඉතිහාසයේ වැඩිම වියදම

 

ජනාධිපති බිරිය ඉවන්කා ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් පසුගියදා කියා සිටියේ, ජෝ බයිඩන් ‘සමාජවාදියකු’ බවයි. අමෙරිකාව සමාජවාදී රාජ්‍යයක් විය යුතු නැතැයි ද ඇය එහිදී පැවසුවාය. ඉවන්කා ට්‍රම්ප් එසේ හැඳින්වුවද යථාර්ථය නම් ඩිමොක්‍රටික් හා රිපබ්ලික් පක්ෂ ප්‍රතිපත්ති අතර, එතරම් කැපී පෙනෙන වෙනස්කම් නැති බවය. මේ කවර අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද ඔහු හෝ ඇය ඉදිරියට ගෙන යන්නේ අමෙරිකානු ක්‍රමයයි. වෙනසකට ඇත්නම් ඒ පත් වන ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ආකාරයේදී දැක ගත හැකි ශෛලියයි. ඒබ්‍රහම් ලින්කන් වැනි ජනාධිපතිවරයකු සමඟ සැසඳීමෙන් ඒ බව අවබෝධ කරගත හැකි වේ. ඔහු මෙන්ම අමෙරිකානුවන්ගේ ආදරයට ලක් වූ තවත් ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි ද ඝාතනය විය. රිචඩ් නික්සන්ට වෝටර්ගේට් අපවාදය නිසා දෝෂාභියෝගයක් එල්ල වූ අතර, ඊට මුහුණදීමට පෙර ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.

ජනාධිපති ට්‍රම්ප් දෙවැනි ධුර කාලය සඳහා ද බලයට පත් කිරීමට අමෙරිකානුවන් තීරණය කළහොත් තවත් සිව් වසරක් ඔහුට බලයේ සිටීමට වරමක් ලැබේ. මැතිවරණ ව්‍යාපාරයේදී පෙනුණු පරිදි ප්‍රතිවාදි අපේක්ෂක ජෝ බයිඩන්, ට්‍රම්ප්ට හොඳ සටනක් ලබා දෙමින් සිටී. බයිඩන්, ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේ උප ජනාධිපති ධුරය දැරීය. එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ සිටින්නේ 1970 ගණන්වල සිටය.

මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වනු ඇති දැයි කල් තබා අනුමාන කිරීම පිණිස මත විමසුම් ද සිදු වේ. ඒවා මත පදනම්ව පමණක් නිගමනවලට එළැඹීමට නොහැකි බව පසුගිය ජනාධිපතිවරණයේදී හොඳින් පැහැදිලි විය. මත විමසුම්වලදී ඉදිරියෙන් සිටියේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වුව ද, තේරී පත් වූයේ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ය. ට්‍රම්ප් දේශපාලනඥයකු නොවූ අතර, ව්‍යාපාරිකයෙකි.

හිලරි ක්ලින්ටන්, ට්‍රම්ප්ට වඩා මිලියන 3කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ගැනීමට සමත් වූ නමුත්, ඉලෙක්ටරල් කොලේජ් ක්‍රමය, ජනාධිපතිවරයා තෝරා ගන්නා බැවින් තේරී පත් වූයේ ට්‍රම්ප්ය. එබැවින් සෑම විටම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගැනීමම ජනාධිපති වශයෙන් පත් වීමට නොසෑහේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා

 

මෙවර ද ජනමත විමසුම් ගණනාවක්ම සිදු වී තිබේ. එම විශ්ලේෂණ අනුව දැනට ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙවැනි මත විමසුම් මේ වසර මුල පටන්ම සිදු විය. ඇතැම් අවස්ථාවල 50%ක් වැනි මනාපයක් බයිඩන්ට පළ වූ අතර, ඔහු හා ට්‍රම්ප් අතර 10%කට ආසන්න පරතරයක් තිබේ. මැතිවරණයට දින 05ක් තිබියදී පැවැති තත්ත්වය ද මෙය බව බී. බී. සී. මත විමසුමෙන් දැක්විණි.

කෙසේ වුවද මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත්තේ වැඩි ඡන්දදායක සංඛ්‍යාවක් සිටින තීරණාත්මක ප්‍රාන්ත ජයග්‍රහණය කරමින් ඉලෙක්ටර්ස් වැඩි ගණනක් හිමි කර ගන්නා අපේක්ෂකයාය. මෙවර තීරණාත්මක වනු ඇති ප්‍රාන්ත ලෙස උතුරු කැරොලිනා, ෆ්ලොරිඩා, මිචිගන්, විස්කොන්සින්, ඇරිසෝනා ආදිය ගැන සඳහන් වේ. 2016 දී ට්‍රම්ප් ජයගත් මෙවැනි ප්‍රාන්ත සමහරක මෙවර බයිඩන් ඉදිරියෙන් සිටී. ඇතැම් ඒවායේ කරට කර සටනක් තිබේ.

ට්‍රම්ප් හා බයිඩන් අතර පරතරය 8% - 10% ක් පමණ වන අවස්ථා ද ඇති පසුබිමක මැතිවරණය ජය ගැනීමේ වැඩි හැකියාවක් ඇත්තේ බයිඩන්ට බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. ‘දි ඉකොනොමිස්ට්’ අනුමානය වන්නේ ද බයිඩන්, ට්‍රම්ප් පසු කර යාමට බොහෝ ඉඩ ඇති බවය.

අපේක්ෂකයන් අතර රූපවාහිනී විවාද ඔවුන්ගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු ලෙස බලපෑම් සහගතය. සී. එන්. එන්. මත විමසුමකදී බයිඩන් 60%ක මනාපයක් ලබන විට ට්‍රම්ප්ට ලැබුණේ 28%කි. කෙසේ වුව ද, මේ සියල්ල අනුමානයන් පමණි. මෙවර මැතිවරණයේදී ට්‍රම්ප් පාලනය කොරෝනා වසංගතය කළමනාකරණය කළ අයුරු ද මැන බැලෙනවා ඇත.

 

-දිනමිණ- 

Advertiesment