Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


IDH සේවකයින්ට කොරෝනා බෝ නොවන රහස මෙන්න


2020-10-31 1266

කොවිඩ්-19 වැලඳුණු රෝගියෙක් නොව පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් දුටුවත් සමහරු දුවන්නේ සුසන්තිකා ජයසිංහගේ වාර්තාව කඩන්නට මෙනි. පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් කීවේ තමාගේ වාර්තාව නෙගෙටිව් වුවත් තමාට කොවිඩ්-19 වැලඳී ඇති බව ගමේ ප්‍රචාරය වීම නිසා පොල් කඩන මිනිහා තෙසතියක් පුරා වත්ත පැත්ත පළාතේවත් අවේ නැති බවය.

පොල් කඩන මිනිහා විතරක් නම් මදැයි. ඇතැම් වෛද්‍යවරුත් එහෙමය. ඊයේ පෙරේදා දවසක පපුවේ අමාරුවක් හැදී පෞද්ගලික රෝහලකට ගිය අයෙක් කීවේ අඩුම තරමේ දොස්තර තමන්ගේ ප්‍රෙෂර් බැලුවේ නැති බවය. ‘‘මීටරේ නොවේ මීටර් තුන හතරක ඉඳලා තමයි දොස්තර මගෙන් විස්තර අහලා බෙහෙත් දුන්නේ’’ ඔහු කීවේය. කොවිඩ්-19 වලට පෞද්ගලික රෝහල් මෙන්ම ඒවායේ සේවය කරන දොස්තරලා කොච්චර බයදැයි කියනවා නම් මේ දිනවල උණ, කැස්ස, හෙම්බිරිස්සාවට බෙහෙත් කරන්නට දොස්තරලා නැත. පෞද්ගලික රෝහල්වල ඉදිරියෙන්ම බෝඩ් ගසා ඇත්තේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උණට ප්‍රතිකාර නොකරන බැවින් ළඟම ඇති රජයේ රෝහලට යන ලෙසය.

මුළු රටේම පෞද්ගලික රෝහල් මෙන්ම ඒවායේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩල කොවිඩ්-19ට බයේ දුවන විට එම රෝගයට බය නැති පිරිසක් සිටිති. ඒ අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලටය. එසේ නැතිනම් අංගොඩ උණ රෝහලය. මේ වන විට රටපුරා රජයේ බොහෝ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩල කොවිඩ්-19 රෝගීන්ට බොහෝ වෙහෙස මහන්සිවී ප්‍රතිකාර දෙන බව ඇත්තය. එහෙත් ලංකාවේ වැඩිම කොවිඩ්-19 රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරන්නේ අයි.ඩී.එච්. රෝහලේය. වසංගත රෝගීන් සිය දහස් ගණනකට එම රෝහලෙන් ප්‍රතිකාර දුන්නද එහි කාර්ය මණ්ඩලයේ කිසිවෙක් මේ දක්වා රෝගයට නිවාරණය වූයේ නැත. එක අතකට එය මහා පුදුම වැඩකි. එකට සිටින අය අතර ​කොවිඩ්-19 වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යද්දී රෝගීන්ට තම දරුවන් මෙන් සලකා සමීපයට ගොස් කන්න බොන්න බෙහෙත් දී සත්කාර කරන අයි.ඩී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලයට රෝගය නොවැලඳීම පුදුමයකි. අප පමණක් නොව ඒගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද කතා කළේය.

‘‘දැන් බලන්න ලංකාවේ පළමු කොරෝනා රෝගීයා වාර්තා වුණේ මාර්තු එකොළොස් වැනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ අයි.ඩී.එච්. රෝහලේ. එදා ඉඳලා අද වෙනකල්ම වැඩිම කොවිඩ් රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරලා තියෙන්නේ අයි.ඩී.එච්. රෝහලයි. එත් සෞඛ්‍ය අංශ දැනුම් දෙන විදිහට තවමත් අයි.ඩී.එච්. රෝහලේන් කිසිම සේවකයකුටවත්, කිසිම හෙදියකවත් අඩුම ගානේ වෛද්‍යවරයෙකුටවත් කොරෝනා වයිරසය ආසාදනය වෙලා නැහැ. ඇත්තටම මොකක්ද ඒ රහස…… ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන ආකාරයට අයි.ඩී.එච්. රෝහලේ මෙම රහස කුමක් දැයි අප විමසා සිටියේ අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායකගෙන්ය.

මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුද කර ගැනීම සහ දුරස්ථභාවය ඔහු කීවේය. ගහේ කටු උල් කරන්නට ඕනේ නැතත් අයි.ඩී.එච්. රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වසංගත රෝගවලින් බේරී සිටීමට අලුතෙන් උගැන්විය යුතු නැත.

‘‘ලංකාවේ තියන රෝහල් අතරින් අපේ රෝහල තමයි බෝවන රෝගයන් වෙනුවෙන්ම ස්ථාපනය කරලා තියන පළමුවෙනි රජයේ රෝහල. ඒ නිසා අපිට වසංගතයකට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් තියනවා. වසූරියේ ඉඳලා වර්තමානයේ ඇති වෙලා තියෙන කොවිඩ් 19‘ වසංගතයට පවා අපි හොඳට මුහුණ දීලා තියනවා. 2003 වසරේදී පැතිරුණු සාර්ස් වයිරසයට පවා ගොදුරුවුණු රෝගීන්ට අපි ප්‍රතිකාර කරලත් තියනවා. ඒ නිසා කොවිඩ් 19‘ කියන්නේ අලුත් වසංගතයක නමක් වුණාට, අපිට ඒක තවත් එක් වසංගතයක් විතරයි.”

අනෙකුත් රෝහල් මෙන් නොව අංගොඩ උණ රෝහලට පැමිණෙන සෑම හෙදියකටම, වෛද්‍යවරයෙකුටම සහ සේවකයන්හට විශේෂ පුහුණුවක් ලැබේ. ඕනෑම වසංගතයකට මුහුණ දෙන්නේ කෙසේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආසාදිතයෙක් නොවී සිටින්නේ කෙසේද? වැනි ගැටලු බොහොමයකටත් එහිදී ඔවුන්ට උපදෙස් මෙන්ම පුහුණුවක්ද ලැබේ.

මේ විශේෂ පුහුණුව ලැබෙන්නේ 2019 ලොව පුරා පැතිර ගිය ඉබෝලා වංසගතය සමගය. එයට හේතුව වුණේ ඉබෝලා වයිරසය රට ඇතුළට ඒම වළක්වා ගැනීමටය. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කාර්යමණ්ඩලයෙ නිවැරදිව ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පලඳින්නේ කෙසේද, රාජකාරි අවසන් වී‍මන් පසු එම ඇඳුම් කට්ලය නිවැරදිව ඉවත් කරන්නේ කොහොමද ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අයි.ඩී.එච්. රෝහල් කාර්ය මණ්ඩලයට ලැබුණි.

මෙම වැඩසටහන සඳහා රෝහලේම සිටින විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී කරගෙන ඔවුන්ගෙන්ද උපදෙස් සහ පුහුණුව මෙම නිලධාරීන්ට ලබාදී තිබුණි. ඉන් පසුව, වෙනත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඔවුන්ගේ වැරදි අඩුපාඩු සොයා බලා නැවත ඒවා නිවැරදි කරගන්නා ලෙසටත් ඔවුන්ට උපදෙස් ලබා දුන්හ. එවැනි බොහෝ පිරිසකගේ සහයෝගයෙන් සහ කැපවීමෙන් වයිරසයකට මුහුණ දෙන්නේ කෙසේද කියා අංගොඩ උණ රෝහලේ කාර්ය මණ්ඩලය නිසි අවබෝධයකින් සිටින බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක කිවේය.

එපමණක් නොව, ‘කොවිඩ් 19‘ වයිරසය ආසාදනය වූ පුද්ගලයන් ළඟට යාමට පෙර වෛද්‍යවරු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය පවා විශේෂිත වූ ඇඳුම් කට්ටලයක් ඇඟලා ගනිති. එය කොටස් අටකින් ද සමන්විතය. මෙම කොටස් අටකින් යුතු ආරක්ෂිත ඇඳුම් කට්ටලය අඳින්නේ එක් වරක් පමණි. එක රෝගියකුගේ පරීක්ෂාව වෙනුවෙන් දිනකට ඇඳුම් කට්ටල දහයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භාවිත කරනු ලබයි. එක් රෝගියකු එක්වරක් පරීක්ෂා කිරීමෙන් පසු එම ඇඳුම් කට්ටලය නැවත භාවිත නොකොට විනාශ කෙරේ.රෝහල් අධ්‍යක්ෂවරයා කියන්නේ සෑමවිටම ‘කොවිඩ් 19‘ වයිරසය ආසාදනය වූ රෝගියෙකු සමීපයට යන ඕනෑම පුද්ගලයකු මෙම ආරක්ෂිත ඇඳුමෙන් සැරසී සිටීම අනිවාර්ය වන බවයි.

‘‘මේ කියන ආරක්ෂිත ඇඳුම් කට්ටලය කොටස් හතකින් සමන්විතයි. ඒ කොටස් හත වෙන්නේ N95 මුව ආවරණය, මුහුණේ ඉදිරිපස ආවරණය වන ආකාරයේ මුහුණු ආවරණය, ඉවත දැමිය හැකි වෛද්‍ය ශල්‍ය ගවුම, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් ආවරණය හෝ එප්‍රණය, ඉවත දැමිය හැකි හිස් ආවරණය, දෑත් ආවරණ, සපත්තු ආවරණය සහ බුට් සපත්තු ආවරණයි.”

මෙම ඇඳුම් කට්ටලය ඔවුන් ඇඳ ගැනීමේ සිට ඉවත් කිරීම දක්වාම නිවැරදිව කරන්නේද කියා සොයා බැලීමට වෙනම පිරිසක් ද සිටින බව උණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක කිවේය.

මේ ක්‍රමයන් පමණක් නොව තවත් බොහෝ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අයි.ඩී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලය පිළිපැදිය යුතුය. රෝහල් කාර්ය මණ්ඩලය රෝහලෙන් පිටවී යන්නේ හොඳින් නා පිරිසිදු වූ පසුවය. එනම්, හෙදියක හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයකු හෝ තමන්ගේ දවසේ කාර්යයන් නිම වූ පසු නැවතත් සිය නවාතැන් පොළ වෙත ගමන් කරන්නේ නම් හොඳින් විෂබීජහරණය කර දෑත්, මුහුණ සහ ශරීරය හොඳින් සොදා ගත යුතුය. එසේ පිරිසුදු වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයෙකුට ව නැවතත් රෝහල් වාට්ටුවල හෝ රෝහල් පරිශ්‍රයට යාමට බැරිය. ඔවුන්ගේ නවාතැන් ස්ථානවලට ගමන් කළයුතුය.

රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව රෝගීන්ද රෝහලට ගෙන යන්නේ හතර වටේට විෂබීජහරණය කරමිනි. අයි.ඩී.එච්. රෝහලට ගිය අපිට දැක ගැනීමට ලැබුණු තවත් විශේෂිත සිදුවීමක් විය. එක්තරා ‘කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රෝහලේ ඔහුට හිමි වාට්ටුව වෙත රැගෙන ගියේ විශේෂිත වූ ක්‍රමවේදයකටය. රෝගියා ඉදිරියෙන් හෙදියකුත් ඊට මීටරයක පසුපසින් රෝගියත් ඔහුට පසුපසින් ගමන් ගත් මාර්ගය විෂබීජහරණය කරමින් තවත් සෞඛ්‍ය සේවකයකු රෝගියා ඔහුගේ වාට්ටුවට ගමන් කරන තෙක්ම ඔහු ගමන් ගත් මාර්ගය විෂබීජ හරණය කරමින් ගියේය.

මේ කාරණවලින් පැහැදිලි වන්නේ නිවැරැදි වෛද්‍ය පිළිවෙත් රකින්නේ නම් කොවිඩ්-19 වසංගතයෙන් අපට බේරී සිටිය හැකි බවය.

 

-අරුණ- 

Advertiesment