Saturday 28th of November 2020

English Tamil
Advertiesment


චීන අරමුණු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් ප්‍රශ්න කරයි 


2020-10-28 1208

ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශවකරුවෙක්

 

ශ්‍රී ලංකාව ගැන ඇමරිකානු ස්ථාවරය මෙන්න

 

චීනය එන පොට හොඳ නැහැ  

 

(හර්ෂණ තුෂාර සිල්වා)

 

ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙකු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹදී බදාදා (28) ප්‍රකාශ කළේය.

විශාල, විවෘත හා නිදහස් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා ද එය ඉතා වැදගත් බවත් එහෙත් චීනය අපේක්ෂා කරන්නේ ඊට වෙනස් දෙයක් බවත් ඔහු එහිදි කීය.ආසියාවේ පැරැණිම රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව යහපාලනය, විනිවිදභාවය ආරක්ෂා කර ඇතැයි ද හෙතෙම පැවැසීය.

මෙරට සංචාරයක නිරත වෙමින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම කරුණු සඳහන් කළේය.එහිදි අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ ද කීය.

"ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීමට සුන්දර අවස්ථාවක්. ඒ වගේම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිහිපත් කළ අයුරින් අපේ රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 72ක් සැපිරෙනවා. එමෙන්ම නැවත විදේශ අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් මා දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතුම් එක් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මා ඉතා හොඳ සාකච්ඡා දෙකක් පැවැත්වූවා. එම සාකච්ඡා සාර්ථකයි.

ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, සෞභාග්‍යමත් සහ පූර්ණ ස්වෛරීත්වය ඇති ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව ශක්තිමත්ව සහාය දෙනවා. ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් සමඟ පැවැති සාකච්ඡාවලදී මා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළා.

ඒ සඳහා අපගේ තානාපති කාර්යාලය ද විවිධ පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අප කැපවී සිටින බව ද සිහිපත් කළ යුතුයි. ඒ වගේම චීනයේ වූහාන් නුවරින් පැමිණි නව කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අපි සාකච්ඡා කළා.

‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට වඩා ආධාර ලබා දී තිබෙනවා.
වසංතය පැතිර යෑමට පටන් ගත් අවස්ථාවේදී අපගේ ඇණවුම් බාරගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා අපට ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල යනාදිය ලබාදීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් අපි කෘතඥ වෙනවා. අපට ඒවා සිය ගණනින් ලැබුණා. ඒවා ඇමෙරිකානුවන් රැසකගේ ජීවිත බේරාගැනීමට උපකාරී වුණා. ඒ වෙනුවෙන් මා විශේෂ ස්තූතියක් පිරිනමනවා.

නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සහ ඒ වෙනුවෙන් ප්‍රතිකාර සොයාගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පෞද්ගලික අංශය සමඟ වැඩ කරනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එය අපේ ජනතාවට මෙන්ම ලොව සෑම රටකම, සෑම පුද්ගලයකුටම ලබාදීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා අපට පෞද්ගලික අංශයේ සහාය සහ බලය අවශ්‍යයි. ඒ වගේම ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමටත්, එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් අපට පෞද්ගලික අංශය අවශ්‍ය වෙනවා.

අපි අපේ සාකච්ඡාවලදී බොහෝ දේ සාකච්ඡා කළා. ඇමෙරිකානු සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ සමාගම් තුළින් ඉහළ ගුණාත්මකභාවයක් තිබෙන රැකියා නිර්මාණය කර තිබෙනවා. මේ සමාගම් විශ්වාසය තැබිය හැකි සමාගම් බවත් අවධාරණය කළ යුතුයි. එම සමාගම් නීතියට වගවෙනවා, ඒ වගේම විනිවිදභාවයෙන් කටයුතු කරනවා. එමෙන්ම එම සමාගම් ඔවුන්ගේ ප්‍රජාවට වත්කම් ලබා දී තිබෙනවා.

ඇමෙරිකානු ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීම සඳහා යහපාලනය, විනිවිදභාවය, ප්‍රතිපත්ති තීන්දු තීරණවල අඛණ්ඩ බව අවශ්‍යයි. ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයේ පටන්ම එම මූලධර්ම ආරක්ෂා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උරුමය තුළත් ඉතිහාසයත් තුළත් අඛණ්ඩව එම මූලධර්ම ආරක්ෂා වී තිබෙනවා.

ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලොව වඩාත් වැදගත් මුහුදු මාර්ග ආසන්නයේ බව සිහිපත් කළ යුතුයි. එම මුහුදු මාර්ග විවෘතව තබාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරයාත් මමත් අවධානය යොමු කළා. ඒකාබද්ධ මෙහෙයුම්වලට අමතරව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරීන් ඇමෙරිකාවට පැමිණ පුහුණුව ලබනවා. වෙස්ට් පොයින්ට් මිලිටරි ඇකඩමිය ඉන් එකක්. මාත් එහි අධ්‍යාපනය ලැබු බව මෙහිදි සිහිපත් කරන්නේ ඉතා සතුටින්. ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ප්‍රදානය කර ඇති බව ද කිව යුතුයි.

ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙක්. එමෙන්ම විශාල, විවෘත හා නිදහස් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා ද එය ඉතා වැදගත්. එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක් බව ද කිව යුතුයි.

චීනය නරක ගිවිසුම්, නීතියට ගරු නොකිරීම, මුහුදේදීත් ගොඩබිමේදීත් නීතියක් නොමැතිකම, ස්වෛරීත්වය උල්ලංඝණය කිරීම යනාදියේ පාර්ශවකරුවෙක්. චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ විලෝපිකයෙක්. එහෙත් ඇමෙරිකාව ඊට වෙනස්. අපි එන්නේ මිත්‍රයෙක් පාර්ශවකරුවෙක් විදියට.

මේ සංචාරය නිම කරන්න කලියෙන් මා ශාන්ත අන්තෝනි දේවස්ථානයට යනවා. එය පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ස්ථානවලින් එකක්. එම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය සිය ගණනක් වෙනුවෙන් මා එහිදි ගෞරවය පුද කරනවා. එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු මියගියා.

එම ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවදාය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් ලබාදුන්නා. ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඇමෙරිකානු ජාතිකයන් ද ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි සහයෝගය දුන් බව මා කියන්නේ ආඩම්බරයෙන්. ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවකදී නිකායවාදී එක්තරා විශ්වාසයකට පමණක් කොටුවීමට අවශ්‍ය බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව සෑම ආගමකම සෑම ජාතිකයකම මිනිස්සු ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත්වන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියලු දෙනා එකමුතුව ජීවත්වෙනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ මානව හිමිකම්වලට ගරු කරන සාමකාමී ජාතියක්, රටක්.

තමන්ට ඡන්දය දුන් අය පමණක් නොව, තමන් සෑම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම ජනාධිපති බව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රටවල් දෙකම ඉදිරියට යෑමේදී අපි ජනාධිපතිවරයාගේ වචන කෙරෙහි විශ්වාසය තබනවා. වගවීම, යුක්තිය හා සාධාරණත්වය මෙන්ම ප්‍රතිසන්ධානය (සංහිඳියාව) සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාව අර්ථාන්විත හා ශක්තිමත් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

අපි එක්ව නැගිටිමු. උරෙනනුර ගැටෙමින් නැගී සිටිමි. අපේ පුරවැසියන් කළ හැකි හොඳ දෑ මොනවාදැයි අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම් වටිනාකම් තුළින් ගොඩනැගුණු අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමු."

-ලංකාදීප-
Advertiesment