Thursday 25th of April 2024

English Tamil
Advertiesment


දෙවැනි රැල්ලට ද  මුහුණ දෙමින් අත්‍යවශ්‍ය සේවා ඉදිරියටම 


2020-10-28 7673

ස්වයං නිරෝධායන පවුල්වලට දෙසතියකට වරක් ආහාර මල්ලක්

 

සතියක් තිස්සේ වසා දැමුණු ප්‍රදේශවල ජනයාට රු.5000ක් 

 

COVID-19 දෙවැනි රැල්ලට එරෙහි බැසිල් මෙහෙයුම ඇරඹේ 

 

COVID-19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී ද, එදා වගේම අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල්  රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා  අරලිය ගහ මන්දිරයේදී අඟහරුවාදා (27) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ, බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය සහ මහා මාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසටය.

ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා COVID-19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය මඟින් සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමු වන අතර දහස් ගණනින් මිය යන අවස්ථාවක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක සහ පරිපාලන අංශ COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා සිදු කරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.

වෛරසය නිසා සිදු විය හැකි ජීවිත විනාශය වළක් වන අතර අවදානමට ලක් විය හැකි වැඩිහිටි ජනතාව රැක ගැනීම සඳහා සියලු පියවර ගත යුතු අතර මහා ජන ආධාර සහ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙන ගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද බැසිල් රාජපක්ෂ මහතා දිසාපතිවරුන්ට සහ තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.

නිවෙස්වලම නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩු මල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන කිරීමට වග බලා ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා විදුලි බල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා සිය ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව සිය ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වා ගන්නා බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද  සඳහන් කෙරුණි. කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා ගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය. 

කොළඹ නගරයේ COVID-19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදු කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් මෙහි දී සාකච්ඡා කෙරිණ.

තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට වඩා සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුහූ පෙන්වා දුන්හ. 

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත් වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන් අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ  අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
 

Advertiesment