Thursday 3rd of December 2020

English Tamil
Advertiesment


20 ට පක්ෂ වූ සමගියේ අට දෙනා දොට්ට


2020-10-24 4957

රාවුෆ්ට-රිෂාඩ්ට එරෙහි නඩු සමතයකට..?

 

කිරිඇල්ල-හකීම් ඇර ගනිති

 

"රනිල්ගෙන් කප්පම් ගත්තා වගේ අපෙන් කප්පම් ගන්න එන්න එපා" - කිරිඇල්ල 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ දී සිකුරාදා (24) ඡන්දය ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සහ සාමූහික එකඟතාවය පාවා දුන් මන්තී‍්‍රවරුන් අට දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්‍ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් වන නෂීර් අහමඞ්, අලි සබ්රි රශිම්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස් සහ එම්.එස් තවුෆික් යන මහත්වරුන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඇත්තේ රිෂාඞ් බදුර්දීන් සහ රවුෆ් හකීම් යන පක්‍ෂ නායකයන්ගේ උපදෙස් අනුව බවට මේ වන විට කරුණු හෙළිදරව් වී ඇත.

මේ බව හෙළිදරව් වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව කොළඹ දී සිකුරාදා (23) රාත්‍රියේ පැවැති සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ආණ්ඩුවට කළ උපකාරයට අදාළව ප්‍රති උපකාරයක් ලෙස රිෂාඞ් බදුර්දීන් සහ රවුෆ් හකිම් යන මහත්වරුන්ට එරෙහි නඩු කටයුතු ඉදිරියේ දී සමතයකට පත් වනු ඇති බවය.

එම නඩු කටයුතු අවසන් වූ වහාම ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සිය පූර්ණ සහය සහ අනුග්‍රහය ලබා දෙනු ඇතැයි මේ සාකච්ඡාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ අවධාරණය කර සිටියහ.

මේ අනුව රටේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයින් ඉදිරියේ දී සමගි ජන බලවේගයෙන් තම නිර්මාණය කර ගත යුතු බව ද, ඒ සඳහා එස්.එම් මරික්කාර්, මුජබර් රහුමාන්, කබීර් හෂිම් සහ ඒ.එච්.එම් හලීම් යන මුස්ලිම් නායකයින් පෙරට ගෙන ඒ අය මාර්ගයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්  නියෝජනය කරන ප්‍රබල මුස්ලිම් නායකයින් ද බිහි කර ගත යුතු බවට ද මෙහිදී අවධාරණය කෙරිණ.

සමගි ජන බලවේගයේ ඡන්ද පදනමෙන් වාසි ගෙන පාර්ලිමේන්තුවට රිංගා පක්ෂය සහ ප්‍රතිපත්තිය පාවාදීමට සුළු දේශපාලන පක්ෂ සහ එහි නායකයින්ට තව දුරටත් ඉඩ නොතබා එම ජනතා විරෝධී, අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ද සමගි ජන බලවේගයේ නායකයෝ එහිදී වැඩි දුරටත් තීරණය කළහ.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමට පෙර පාර්ලිම්නේතුවේ දී සිකුරාදා (23) දහවල් පැවැති සමගි ජන බලවේගයේ  කණ්ඩායම් හමුවෙදී ද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර රවුෆ් හකීම් මහතා එහිදී ආවේගශීලිව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ දී කතා කිරීම සඳහා තමාට දී ඇති විනාඩි 15 ක කාලය ප‍්‍රමාණවත් නොවන බවය.

ඒ නිසා තමාට වැඩිපුර කාලය අවශ්‍ය බව රවුෆ් හකීම් මහතා තරයේ කියා සිටී අතර ඊට පිළිතුරු ලබා දෙමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ සෑම පක්‍ෂ නායකයෙකුටම ලබා දුන් කල කාලය ඔබටත් එලෙසම ලබා දී ඇති බවයි. 

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර, අවසානයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා රාවුෆ් හකීම් මහතාට චෝදනා එල්ල කරමින් පවසා ඇත්තේ වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කළ කප්පම් සල්ලි සෙල්ලම සමගි ජන බලවේගය ඇතුළේ කිරීමට සූදානම් නොවන ලෙසය. 

Advertiesment