Friday 4th of December 2020

English Tamil
Advertiesment


හිටපු ජනපති 20 මඟ හරින ලකුණු..?


2020-10-22 5498

මෛත්‍රී-මංගල හමුවක් ගැන කට කතා..?

 

තුසිත හල්ලොලුවගෙන් ප්‍රතිචාරයක් නැහැ 

 
 
(සුජිත් මංගල ද සිල්වා)


ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණු සන්ධානයේ සම සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේය.

ඊට සමගාමීව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුව යමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කරනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මීට සති දෙක තුනකට පෙර සිදුව ඇත. දෙපාර්ශවය එසේ හමු වී සාකච්ඡා කර ඇත්තේ පානදුර පරණ ගාලු පාරේ බොල්ගොඩ ගඟ අද්දර පිහිටි මංගල සමරවීර මහතාගේ පෞද්ගලික නිවසේ දී බව දැන ගන්නට තිබේ.

ඒ හමුවට පෙර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව මහතා අවස්ථා ගණනාවකදීම මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා "lankanewsweek" 2020.10.08 වැනිදා ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යොමු කරමින් කරුණු විමසා සිටියත් ඔහු ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.  

Advertiesment