Saturday 28th of November 2020

English Tamil
Advertiesment


විමල්ගේ විරෝධය බැසිල්ට විනා 20 ට නොවේ 


2020-10-21 4456

20 ට එරෙහි ආණ්ඩුවෙන්ම බොරු විපක්ෂයක් 

 

බොරු විපක්ෂයේ විපක්ෂ නායක විමල්

 

ආණ්ඩුවේයි-විපක්ෂයෙයි භූමිකා දෙකම ආණ්ඩුවෙන්  

 

20 වැනි සංශෝධනය 155කින් විතර සම්මත වෙයි..? 

 

 
 (සුජිත් මංගල ද සිල්වා) 

 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම විරෝධය දක්වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොව බැසිල් රාජපක්ෂට යැයි දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.

විමල් වීරවංශලාගේ සැබෑ ප්‍රශ්නය වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වී ජනාධිපති අපේක්ෂකයා වන එක වැළැක්වීම විනා 20 වැනි  සංශෝධනයේ තිබෙන අහිත කර වගන්ති 30 ට වැඩි සංඛ්‍යාව ඉවත් කර ගැනීම නොවේ යැයි ද ඔහු පෙන්වා දෙයි.

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව පැවැසුවේ "සාහසික වියරුව පරදවමු" ජනතා ව්‍යාපාරය මගින් කොළඹ, නාරාහේන්පිට දී බදාදා (21) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර ඔහු එහිදී මෙසේද පැවැසීය.

17, 18 සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා එදා අත උස්සලා කිසම ප්‍රතිපත්තියක් නැතිව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් අත උස්සන මන්ත්‍රීවරුන් 23 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියලුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. 
 
විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට විනා 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වී ජනාධිපති අපේක්ෂකයා වන එක වැළැක්වීම විනා 20 වැනි  සංශෝධනයේ තිබෙන අහිත කර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාව ඉවත් කර ගැනීම නොවේ.  

සෞභාග්‍යයේ ආණ්ඩුව අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ යන භුමිකා දෙකම රඟපානවා.  මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපණය කරන්න 20 ට එරෙහිව පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණය කරනවා. රූපවහිනී නාළිකාවලට ප්‍රකාශ ලබා දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් බව කිව යුතුයි. 

අවසනාවකට ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොව මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19 සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් මේ පර්ලිම්නේතුවේ ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්‍රශ්නය. 

20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊළඟට රටේ අගමැති සහ ජනාධිපති කවුරුන්ද කියන ප්‍රශ්නය නෙවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 - 5 ක මහා ජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට හෝ 155 කට වැඩිය සුදානම් කර ගෙන ඉන්න බව පැහැදිළිවම පේනවා. මේ තත්ත්වය අනුව මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධන ඡන්දය අවසන් වන කොට බදුල්ල, රත්නපුර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා.

20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස් බැන්දුමක්.  හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේ. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද ඊට පක්ෂයි කියනවා. මේ ක්‍රියාවලිය පැහැදිළි දේශපාලන කූට ගනුදෙනුවක්. ඉතාම පැහැදිළි "Deal" යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ "Deal" එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියලු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.

20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ශ්‍රී ලංකාවට එනවා.  ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි.  මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි. 20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. ඒ විපක්ෂයේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවුරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂයට රැවටෙන්නේ නෑ. .


 

Advertiesment