Friday 4th of December 2020

English Tamil
Advertiesment


නවීන් සටන අරඹයි-නායකයා තේරිය යුත්තේ මෙහෙමයි 


2020-10-21 5006

නායකත්වයට පැරිෂුට් කාරයින් එපා 

 

"රනිල් එක්ක බැහැ කියලා මම කෙළින්ම කිව්වා"

 

පාක්ෂිකයින් ලක්ෂ 20ක් ඡන්දය දුන්නේ නැහැ

 

එජාපයට මැරෙන්න ඉඩ දෙනු බැහැ-ජීවන හුස්ම පිඹීනවා 

 

සමගි බලයත් දෙදරලා 

 

කොටසක් එජාපයට-තවත් කොටසක් ආණ්ඩුවට 

 

රටක ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ ප්‍රතිපත්ති මතයි 

 

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු යන්න ව්‍යවස්ථාව සංශෝධනය කරන රටවල් තිබෙනවාද..?

 

ද්විත්ව පුරවැසිකම අත හැර පාර්ලිමේන්තු එනු 

 

 

(සුජිත් මංගල ද සිල්වා)
 

එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා තේරිය යුත්තේ සුපිරි සහ වරප්‍රසාද ලත් ඉහළ පෙළේ සුළුතර පංතියක් නොව ගම් මට්ටටමේ-බිම් මට්ටමේ සිට ඉහළටම විහි දුණු සමස්ත පාක්ෂිකයින්ගේ අදහස්, යෝජනා, අවශ්‍යතා සහ ඉල්ලීම්වලට අනුව ඊට ඇහුම්කන් දෙමින් යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ස්ව කැමැත්ත අනුව ඉවත් වන්නේ නම් එම පුරප්පාඩුවට තමා ද නියත ලෙසම තරඟ කරන්නේ යැයි, පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 90%ක් ම සිටින්නේ තමා සමග යැයි ද, කොළඹ ද බදාදා ( 21) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද කීය.
 
එක්සත් ජාතික පක්ෂය සහ එහි ජතික සංවිධායකවරයා ලෙස මම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තරයේ විරුද්ධ වන ඊට මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් පමණක් නොව දේශපාලන නායකයින් සේම සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු ජන සමාජයේ බහුතරය විරුද්ධ බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හතරක් සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිළිව කියා තිබෙන්නේ එම වගන්ති හතර සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය වගේම ජන මත විචාරණයක් ද අවශ්‍ය බවයි. මේ අනුව පැහැදිළි වන්නේ මෙම විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලහි ලහියේ සකස් කර ඇති අම්මෙක් අප්පෙක් ද නොමැති අතිශය දුර්වල සහ භයානක ලියවිල්ලක් බවයි.

යහ පාලන රජය රට වෙනුවෙන් එදා ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ මහින්ද රාජපක්ෂ කඳවුරේ ද සහය ඇතිව සියලු පාර්ශවයන්ගේ පූර්ණ සහය සහ අනුග්‍රහය ඇතිව වුණත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය යනු "රාජපක්ෂ පවුලේ" පමණක් බලය තහවුරු කර ගන්නා ලියවිල්ලක් පමණක් බව කිව යුතුයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ද්විත්ව පුරවැසි භාවයට අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දු තීරණ ගැන නීඥයෙකු ලෙසත් මේ රටේ පුරවැසියෙකු ලෙසත් මට නම් සතුටු විය නොහැකියි. සිය මව් බිමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම තමා ද්විත්ව පුරවැසිකම දරන අදාළ ව්‍යස්ථාව එක්ක ද ද්විත්ව පුරවැසියෙකුට බැඳීම් පවතින අතර ඒ බැඳීම් එක්ක නියත ලෙස ප්‍රශ්න ඇති වෙනවා.

ක්‍රියාකාරී සහ ජාතික දේශපාලනයට පැමිණ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වෙන්න ද්විත්ව පුරවැසි භාවය තිබෙන පුද්ගලයෙකුට අවශ්‍ය නම් ඔහු සිය අදාළ රටේ ද්විත්ව පුරවැසි භාවය අත් හළ යුතුමයි. එසේ තිබිය දී අදාළ පුරවැසිකම ද තබා ගෙන අපේ රටේ ද මන්ත්‍රී ධූරයක් දැරීමට දරන උත්සාහය දේශපාලන සදාචාරයට විරුද්ධ වන අතර රටක ව්‍යවස්ථාවක් සංශෝධනය කළ යුත්තේ ප්‍රතිපත්ති මත විනා එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් මත නොවේ.

ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම මන්ත්‍රී ආසනය හැරුණු කොට මහා ජන ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ එකම මන්ත්‍රීවරයෙකුවත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවුණේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවටයි. මේ පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂයේ සහ "අලියා" ලකුණේ දේශපාලන අනාගතය ගැන බහුතරයක් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර පක්ෂයේ උද්ගත වී තිබූ අභ්‍යන්තර අර්බුදය හමුවේ මෙවර මහා මැතිවරණයේ දී අපේ පාක්ෂිකයින් විසි ලක්ෂයකට අධික පිරිසක් ඡන්ද පොළට ගියේ නැහැ.

මාස තුනක පමණ කාලයක් මුළුල්ලේ මම කිසිවක් ගැන කතා නොකර නිහඩව බලා සිටියේ විවිධ දේශපාලන මත වාද විශාල ප්‍රමාණයක් කරළියේ මතු වී තිබෙන අවස්ථාවක තවත් මතයක් ප්‍රකාශයට පත් කළොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වන නිසයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ මම මගේ හඬ පැහැදිළිව අවදි කර තිබෙන අතර නායකත්වය මාරු විය යුතු බව එහිදී මම පැහැදිළිව ප්‍රකාශ කර තිබෙනවා. එනමුත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ නායකයා ඉවත් වන්නේ හෝ ඔහු ඉවත් කළ හැක්කේ ඔහුගේ කැමැත්ත අනුවයි. ඒ කියන්නේ එක්කෝ ඔහු මිය යා යුතුයි, නැති නම් ස්ව කැමැත්තෙන්ම නායකත්වයෙන් ඉල්ලා අස් විය යුතුයි.

ඒ අනුව මගේ ස්ථාවරය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම් යම් සංශෝධන සහ ප්‍රතිසංස්කරණ සිදු කරමින් තීරණාත්මක තීන්දු තීරණ ගන්නවා නම් ඒ සියල්ල ගැටුම්, වාද විවාද සහ හැලහැප්පීම් නොමැතිව පොදු එකඟතාවයකින් යුතුව සිදු කළ යුතු බවයි. මහා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පසුව, තමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළිව කියා සිටී අතර අප විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළේ ඒ අනුවයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වනවා නම් ඔහුගෙන් පසුව එම නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දිය යුතු බව බහුතරය කියා සිටිනවා. ඒ හැරුණු කොට දෙවැනි පෙළ නායකත්වයක් ද සම්බන්ධයෙන් ද සංවාදයක් මතු වූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු නායකත්වයට ගෙන ආ යුතු දෙවැනි පෙළ නායකයින්ගේ නම් අතර මගේ නමත් සඳහන් වුණා

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන මම ද බලාපොරොත්තුවෙන් සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වනවා නම් ඒ නායකත්වය ලබා ගැනීමේ තරඟයට මම ද ඉදිරිපත් වනවා සේම එම සටනින් මම ඉවත් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වය තීරණය කළ යුත්තේ සියලු පාර්ශවයන්ගේ පොදු එකඟතාවය සහ කැමැත්ත අනුවයි. නායකත්වය සම්බන්ධයෙන් එවැනි පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණොත් ඒ සඳහා අපට රහස් ඡන්දයකට යා හැකියි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා තේරීමේ අවසන් සහ සම්පූර්ණ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් ලබා නොදී ඒ සඳහා බිම් මට්ටමේ සිට ඉහළට සිටින සියලු පාක්ෂිකයින්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන එම පාක්ෂිකයින්ගේ අවශ්‍යතාවයට සහ ඉල්ලීමට අනුව නායකයා තෝරා පත් කර ගත යුතයි. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු කණ්ඩායමක් නොමැති නිසා මේ ක්‍රියාදාමය සඳහා පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කර ගත යුතුයි.

ඒ මන්ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන්ද කියා ඉහළ පෙළේ සුළුතරයකක් තීරණය කර ජනතාවට ලබා දෙන තීන්දුව බිම් මට්ටමේ පාක්ෂිකයින්ට පමණක් නොව අප කිසිවෙකුට පිළිගත නොහැකියි. පක්ෂයේ අනාගත නායකයා තේරීමේ බලය කිසිසේත් සීමිත පිරිසකට ලබා දීමට නම් හැකියාවක් නොමැති අතර එවැනි ක්‍රමවේදයක් අප පිළි ගන්නේ නැහැ.

රට විශාල අවුල් ජාලයකට පත් වෙලා. ආර්ථිකය කඩා වැටිලා. මිනිස්සු කුස ගින්නේ දුක් විඳිනවා. COVID-19 වසංගතය මුළු රටම වෙලා ගෙන. ඒ අස්සේ ආණ්ඩුව ඒකාධිපති වියරුවකින් වැඩ කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය වෙමින් පවතිනවා. මේ අවස්ථාවේ දී සියලු දෙනා එකට එක් විය යුතුයි. විපක්ෂය ශක්තිමත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය මරණයට පත් වීමට ඉඩ නොතබා ඊට ජීවන හුස්ම පිඹ පණ ගන්වා ඉදිරියට ගෙන යා යුතුයි. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හෝ සමගි ජන බලවේගයට එකතු වන්නේ නැහැ. එනමුත් ආණ්ඩු විරෝධී ඕනෑම සටනකට මම මගේ පූර්ණ සහය ලබා දෙනවා.  

Advertiesment