Saturday 28th of November 2020

English Tamil
Advertiesment


ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ භූමිකාවට කරූ කර ගසයි 


2020-10-21 4815

ඊට හේතුව එජාපයයි-සමගි බලයයි බොරුවට නිදා සිටීමයි 

 

20 ට එරෙහිව මහා ජන පෙත්සමක් 

 

"රනිල්ලුයි-සජිතුයි" එක්ක ආණ්ඩු විරෝධී සටන් බැහැලු 

 

ඒ දෙදෙනාම ජනපතිටයි-අගමැතිටයි බියලු 

 

20 ට අත ඔසවා ශාපයෙන් ගැළ වෙනු බැහැ

 

පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කරනු එපා 

 

සියලු බලවේග කරූ වටා යළි එක් වෙයි 

 

 

 
https://www.change.org/BringNewConstitutionNot20A

 

සුජිත් මංගල ද සිල්වා) 
 

රටේ අනාගත සහ නූපන් පරපුර ඒකාධිපති වහල් යුගයකට ඇද දමන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය දෑතම ඔසවා ඡන්දය දී සම්මත කරන සියලු දෙනාට ශාපයක්ඡම වනු ඇතැයි හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි මහා ජන පෙත්සම සදහා අත්සන් තැබීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. 

කොළඹ, "ජානකී" හෝටලයේ දී පැවැති මේ අභිමානවත් සහ සටන්කාමී අවස්ථාවට කසිදු බියකින් සහ සැකයකින් තොරව ඒකාධිපතිවාදයට එරෙහිව සර්වාගමික නායකයින්, දේශපාලන නායකයින්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ සියලු පාර්ශ්වයන් මේ අවස්ථාවට එරෙහිව මෙසේ පෙළ ගැසුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම, ආරාධනය සහ රට හමුවේ උද්ගත වී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය ගැන සිදු කළ කරුණු පැහැදිළි කිරීම් මත වන අතර 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් කර ගත් ආණ්ඩු විරෝධී සටන් ව්‍යාපාරය කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරියට ගෙන යන්න එහිදී තීන්දු කෙරිණ. 

ආණ්ඩු විරෝධී සටන් ව්‍යාපාරයට රට-ජනතාව වෙනුවෙන් මෙසේ නායකත්වය ලබා දීමට කරු ජයසූරිය මහතා තීරණය කර ඇත්තේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු ආණ්ඩුවේ ජනතා විරෝධී සහ ඒකාධිපති ක්‍රියා මාර්ගවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සාධනීය සටන් ව්‍යාපාරයක් දියත් කරමින් විපක්ෂයේ භූමිකාව සිදු නොකරන තත්ත්වය හමුවේය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් කරු ජයසූරිය මහතා දිගින් දිගටම දැනුම්වත් කර ඇති අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හරහා රට-ජනතාව වෙනුවෙන් විපක්ෂයේ භූමිකාවට පණ පෙවීමට කරු ජයසූර්ය මහතා තීරණය කර ඇත්තේ ඒ අනුවය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි මහා ජන පෙත්සම සදහා අත්සන් තැබීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේද කීය.  

හිතුවක්කාර ලෙස රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වුණා.

එක් අතකින් කොරෝනා වසංගතය නොසිතූ ආකාරයට මුළු රටේම පැතිරෙමින් පවතිනවා. ජන ජීවිතය සම්පූර්ණයෙන් අවුල් වෙලා. අඩු ආදායම්ලාභීන් හා දෛනික ඉපැයීම් ලබන පුද්ගලයින්ගේ අදෝනාව සෑම පැත්තකින්ම ඇසෙනවා. මීට පෙර සිදු කළ ආකාරයට මේ අසරණ පුද්ගලයින් වෙනුවෙන් කිසිම සහනයක් සළසා නැහැ. ආහාර ගැනීමට මුදල් නොමැතිව පීඩා විදින පවුල් ගැන අපට නිතර වාර්තා වෙනවා.

20 සම්මත කර බල ලෝභීත්වයෙන් මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති කිරීම අරමුණ ඇතිව වියරුවෙන් ක්‍රියා කරනවා. මේ අයට ජන දුක තේරෙන්නේ නැහැ. මෑත ඉතිහාසයේ කිසි දිනක මුහුණ නොදුන් ආර්ථික අභියෝගයක් අබිමුව අප සිටිනවා.

2020 අවුරුද්දේ පළමු මාස තුනේදී රටේ ආර්ථිකය හැකිළු ණා. මේ වන විට සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව ආර්ථික දත්ත මුදා හැරීමත් නවතා දමා තිබෙනවා. මේ ආර්ථික අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය වන්නේ, රටම එකතු කළ හැකි නායකත්වයක් මිස, තනි මතයට සියලු දෙනා යටත් කළ යුතුයි කියන නායතක්වයක් නොවන බව අපට හොඳින් පේනවා. 

මිල පාලනය කරන්න සිදු කළ උත්සාහයන් අසාර්ථක වීම ම ඊට හොඳ නිදසුනක්. ලෝක ආර්ථකයත් මේ වගේම විශාල වශයෙන් පසු පෑමට නියමිතයි. එම කඩා වැටීම දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒවාට මුහුණ දීම ගැනයි ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නේ. ජීවන වියදම පාලනය කිරීමට 19න් බාධාවක් නෑ. 20න් ලැබෙන පුළුවන් කමකුත් නෑ. තවත් දූෂණයට සහ අරාජිකත්වයට මග පෑදීම විතරයි සිදු වන්නේ. 

මේ රජය බලයට ගේන්න දිවි හිමියෙන් කැප වුණු දේශ හිතෛශී  මහතෙරුන් වහන්සේලා, ජාතික සංවිධාන එකමුතුව මෙන්ම ආණ්ඩුවට සහයෝගය දක්වන පක්ෂ මෙන්ම සෑම ජන කොට්ඨාශයකින්ම නැගෙන විරෝධය තුට්ටු දෙකකට ගණන් නොගෙන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම ආගමික නායකත්වයට මෙන්ම ඊට දායක වූ පාර්ශවයන්ට සිදු කරන බලවත් අපහාසයක් ලෙසයි අද සමාජය දකින්නේ.

ඒ වාගේම ශ්‍රී ලංකා අමරපුර රාමඥ්ඥ සාමග්‍රී මහා සංඝ සභාව, කතෝලික රදගුරු සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, වෘත්තීයවේදීන්, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ජාතික වෘත්තීය සමිති පෙරමුණ දැඩි විරෝධය පළ කරන මොහොතක රටේ පවතින වර්තමාන තත්වයද සැළකිල්ලට ගෙන මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නතර කර සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යෝජනා හා අදහස් ලබා ගෙන රටට ගැළපෙන නව ව්‍යස්ථාවක් සැකසීමට කටයුතු කරන මෙන් අප ඉල්ලනවා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඇති හදිසිය අප දැක්කේ අධිකරණ ක්ෂේත්‍රය කවදාවත් නොදකින ජනාධිපතිතුමාට, හා කථානායකතුමාට යවන ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතර තීන්දුව කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙර මාධ්‍ය හරහා ප්‍රචාරය වීමයි. මේ හේතුවෙන් මෙයින් උත්තරීතර අධිකරණයටත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් බලවත් අසාධාරණය් සිදුවී තිබේ.

හදිස්සිකාරයින්ට අවශ්‍ය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. මේ ගැන වහා පරීක්ෂණයක් පවත්වා මෙයට වගකිව යුතු අය නීතිය හමුවට පමුණුවන ලෙස ගරු අගමැතිතුමන්ගෙන් සහ ගරු කථානායකතුමාගෙන් අප ඉල්ලා සිටිනවා. මේ ක්‍රියාකාරකම් නිසා රටේ කීර්ති නාමයට හානි වෙනවා.

අද මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් සම්භාවනීය සහභාගීත්වයක් ලැබී තිබෙනවා. ඒ අතර සිවිල් සමාජ ක්‍රියාකාරකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, බුද්ධිමතුන් හා කලාකරුවන්සි ද ටිනවා. සමාජයේ සියලු කොටස් නියෝජනය කරමින්, රට ඒකාධිපති වියරුවෙන් බේරා ගැනීමට අපට ශක්තිය ලබා දෙන්නට රටේ පිළිගත් සමාජ නායකයින් පැමිණ තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට පෙර පපුවට අත තියා තමන් ලබා දෙන ඡන්දයෙන් මේ රටේ අනාගත හා නූපන් පරපුර ඒකාධිපති වහල් යුගයකට ඇද දැමීමට ඉඩ තිබේ දැයි හොදින් සිතා බලන ලෙසයි. එසේ වුවහොත් එම ශාපය ඔබටත් හිමියි.

අද යුරෝපයේ හා ආසියාවේ ජනතාව, විශේෂයෙන් තරුණ පරම්පරාව වීදි බැස, හිර බත් කමින්, ජීවිත පූජාවෙන් සටන් කරන්නේ ඒ අයිතිය ලබා ගන්නයි. ඒ ජනතා පරමාධිපත්‍යය සහ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීමටයි. ඊළග පරපුරට රාජාණ්ඩුවක ජීවත් වීමේ උවමනාවක් නැහැ.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අලු ත් ව්‍යවස්ථා ඇති කරයි කියා අපි කිසිදාක විශ්වාස කරන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම අත්දැකීම් ලත්, ජනතා ආදරය දිනා ගත් ජන නායකයා ලෙස රට විශාල අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විරෝධතා වැඩි වෙමින් පවතින විට රටේ රටේ තවත් බෙදීමක් ඇති කළ යුතු දැයි මා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. කරුණාකර ඒ ගැන ඒ ගැඹුරෙන් සිතා බලන්න.

ගරු ජනාධිපතිතුමා පසුගිය 2019 නොවැම්බර් 18 දින සිට මාස 11 ක කාළයක් රට පාලනය කළේත්, වර්තමාන අගමැතිතුමා මාස 11 ක් පාර්ලිමේන්තුව පාලනය කළේත් දැනට බලපැවැත්වෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අනුවයි. එසේනම්, තව මාස 6 කින් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්,  ඇයි මේ හදිසිය.

ජනපති පදවිප්‍රාප්තියේ පළමු සංවත්සරයේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. වත්මන් රජය කොවිඩ් වසංගතය පාලනය කළේත්, කුඩු සංහාරය සාර්ථකව මර්දනය කරමින් සිටින්නේත් 19 වන සංශෝධනයේ නීති රීති අනුවයි. සහල් මිල පාලනය අසාර්ථක වුණේත්, පොල් මිල පාලනය අසාර්ථක වුණේත්, මංතීරු පද්ධති නීතිය ව්‍යාපෘතිය අසාර්ථක වුණේත් 19 නිසා නොවෙයි.  20 ගෙන ආවත් ‍ඒවා විසදීමට ලේසි නැහැ.

එසේ හෙයින් බුද්ධිමත් ජන නායකයෙක් වශයෙන් අපි සලකන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ප්‍රකෝප කිරීම් නවතා ජනාධිපතිවරයගේ ඊළග සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාව එළි දක්වන ලෙසයි. මෙම ඉල්ලීම මෙහි සිටින සියලු දෙනා වෙනුවෙන් අප සිදු කරනු ලබන්නේ අගමැතිතුමාට එවැනි ආකාරයට පාර්ලිමේන්තුව මෙහෙයවීමේ ශක්තිය ධෛර්‍යය හා හැකියාව ඇති බවට අප දැඩිව විශ්වාස කරන නිසයි.

පාර්ලිමේන්තුව තැපැල් කාර්යාලයක තත්ත්වයට පත් වීම දැකීම අපට වේදනාවක්. මේ අප මව්බිමේ අභිවෘද්ධිය, හා අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කරන ජාතික ආයාචනයකි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ටද මේ අවස්ථාවේ දී ප්‍රායෝගික ඉල්ලීමක් කරන්නට කැමතියි. රාජ්‍යකරණයේ දී ඔබතුමා මාසිකව උත්තරීතර ගෞරවනීය සංඝ උපදේශක සභාවක් හරහා තීන්දු තීරණ ලබාගත්තත් මේ වන විට එම මාසික රැස්වීම කල් දමා ඇති බව දැන ගන්නට තිබෙනවා.

එම නිසා ඔබතුමාට අප කරන ආයාචනය නම්, වහාම එම උත්තරීතර උපදේශක මණ්ඩලය කැදවා එම මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගෙන ඉදිරි පියවර ගැනීම ආගමික නායකයන්ට මෙන්ම රටේ පුරවැසියන්ට ද කරන ගෞරවයක් ලෙස සළකමු.

Advertiesment