Friday 4th of December 2020

English Tamil
Advertiesment


දේශපාලන වශයෙන් 20 පැරද විය යුත්තේ ඇයි..?


2020-10-17 2532

(මහාචාර්ය රොහාන් සමරජීව) 

ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවේ කතා කල යුතු හොඳ කොටස වන්නේ ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් වූ තීන්දුවයි.1978 සිට 2015 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ඔහු හෝ ඇය නිල මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමින් කළ හෝ නොකළ ක්‍රියාවකට ඔහු හෝ ඇය නිලය දරණ තාක් කල් මුක්තිය ලබා දී තිබිණි. හිටපු ජනාධිපතිවරුන් ඇමති ධුර සහ ආයතන තමන් වෙත පවරාගැනීම නිසා ඇමතිවරයෙක් වශයෙන් කරන හෝ නොකරන ක්‍රියා සඳහා ද මෙම මුක්තිය ලැබී තිබිණි. කෙනෙකුට අධිකරණයට යා හැකි වුව ද, එසේ කළ හැකි වුයේ ජනාධිපති / ඇමති එම ධුරයේ ඉවත් වූ විට පමණකි. බොහෝ අවස්ථාවල දී, ඒ වන විට හානිය සිදු වී අවසන්ව ඇති අතර අධිකරණ ක්‍රියාවක තේරුමක් නැත.

ජනාධිපතිවරයකුගේ ක්‍රියාවකින් හෝ නොකිරීමකින් තම මුලික අයිතීන් අහිමි වූ පුරවැසියකුට ජනාධිපතිගේ නිල කාලය තුළ දී ම අධිකරණයේ අභියෝග කළ හැකි වන පරිදි , 19 වැනි සංශෝධනය මගින් කුඩා නමුත් වැදගත් වෙනසක් සිදු කළේ ය. මෙය නොවන්නට 2018 දී දින 52 ක අර්බුදයට හේතු වූ හිටපු ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා අභියෝගයට ලක් කරන්නට හෝ ඒකමතික තීන්දුවකින් ආපසු හැරවීමට නොහැකි වනු ඇත. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අභියෝගයට ලක් කල යුතුව තිබුනේ දින 52 තුල මිස ජනාධිපති සිරිසේන මහතා ගෙදර ගිය පසු නොවේ.

මෙම ප්‍රතිපාදනය ඉවත්කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක දී අනුමත වීම අවශ්‍ය බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. එමෙන් ම , ඇමතිවරයකු ලෙස කරන හෝ නොකරන දෙයක් සඳහා ද ජනාධිපතිගේ මුක්තිය ඉවත්කිරීමට ඇති ප්‍රතිපාදන මගින් ද ජනතා පරමාධිපත්‍යය පුළුල් වන බව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයාට ඔහු හෝ ඇය වෙත ඇමති ධුර පවරාගැනීම 19 වැනි සංශෝධනය මගින් තහනම් කොට ඇති නිසා, ඇමතිවරයකු වන ජනාධිපතිවරයකු කළ හෝ නොකළ ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ සඳහනක් එහි නැත. එසේ ම පැවතියේ නම් හොඳම විසඳුම එය වුව ද, යෝජිත භාෂාව දෙවැනි හොඳ විසඳුම යි. විධායකයකු කළ හෝ නොකළ ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ දී ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව වෙස්ට්මිනිස්ටර් ආකෘතිය මගින් සලසා ඇති සංවරණ සහ තුලන ක්‍රියා මාර්ග වලින් ඇමති ධුරයක් දරන ජනාධිපතිවරයකුට යම් ආකාරයක අවිධිමත් මුක්තියක් හිමිවෙයි. මුළු රාජ්‍ය තන්ත්‍රයම ගැන වගකීම් දරන ජනාධිපතිට ඇමති ධුර අවශ්‍ය නැත

මුලික අයිතිවාසිකම් උල්ලංඝනයක දී අභියෝග කිරීමට එරෙහිව මුක්තිය ඉවත්කරන බව ආණ්ඩුව ප්‍රකාශ කොට නැත. එසේ වුව ද, අවසන් ඡන්ද විමසීමට පෙර එම වෙනස සිදුකරන බව පෙනෙන්නට තිබේ. එමගින් ජනාධිපතිවරයා ජනතාවට වගවීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වර්ධනය වන අතර , ජනාධිපතිවරයාට උසාවි ගානේ රස්තියාදු වන්නට සිදුවනු ඇති බවට මහාචාර්ය ජී එල් පීරිස් මතු කළ බොරු තර්කයට වඩා වටිනාකමක් විරුද්ධවාදීන්ගේ තර්කයට හිමි කර දී තිබේ.


විසුරුවා හැරීමේ බලය


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය සීමා කිරීම අවලංගු කිරීම පිලිබඳ නිගමනය ඇත්ත වශයෙන් ම තීන්දුවේ ඇති දුර්වල ම කොටසයි. සංවරණ සහ තුලන ක්‍රමවේද මුලින් ම ක්‍රියාත්මක කළ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය හිතුමතේ විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට නැත. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට ද තව දුරටත් එබඳු බලතල නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය දීම මගින් ජනාධිපතිවරයාට ලැබෙන අතිවිශේෂ බලය නොතකා හරිමින් අධිකරණය සරල ලෙස තීරණය කොට ඇත්තේ නීතිපතිවරයා මාර්ගයෙන් ආණ්ඩුව යෝජනා කොට ඇති වසර දෙක හමාරක සීමාව මගින් ව්‍යවස්ථාදායකය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජනතා පරමාධිපත්‍යයට හානිවීමේ ප්‍රශ්නය “ප්‍රමාණවත් ලෙස විසඳෙන” බව යි. වසර දෙකහමාර ඇයි ප්‍රමාණවත්?

ඇයි වසර තුන, හතර, හෝ පහ ප්‍රමාණවත් නොවන්නේ?

අවසානයේ මේවා දේශපාලන කාරණා ය. ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහාත්, ජනාධිපතිගේ වැඩි වගවීමක් සහතික කිරීමටත්, මීට වඩා වැඩි යමක් කිරීමට නිර්භීත, වඩා නිර්මාණාත්මක ශ්‍රේෂ්ඨාධිකරණයකට හැකියාව තිබිණි. කෙසේ වෙතත් , 1978 ව්‍යවස්ථාව නිසා අධිකරණයට ක්‍රියාත්මක වීමට ඇත්තේ කොතරම් සීමිත ඉඩක් තුලද යන්න අපි තේරුම් ගත යුත්තෙමු.


ඔවුන් අධිරාජයා වෙනුවෙන් සියදිවි නසාගැනීමට සූදානම් කමිකාසේ ගුවන් නියමුවන්ගේ 21 වැනි සියවසේ සමානයන් නොවන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමට 20 වැනි සංශෝධනයේ ඇති ඉතාමත් අහිතකර විධිවිධාන ඉවත් කිරීමට හෝ එය පරාජය කිරීමට ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සමහරුන් භාවිත කරන සිරි සඟබෝ අනුරූපකය මෙම සාකච්ඡාවට අදාල නොවන්නේ මෙම “හිස දන් දීමෙන්” කාටවත් හොඳක් නොවන නිසාය.

ජනතාව විසින් පාර්ලිමේන්තුව පත්කරනු ලබන්නේ වසර පහක් සඳහා ය. ජනාධිපතිවරයාට ස්වාධීනව ලැබුණු ජනවරම මගින් පාර්ලිමේන්තුවේ 225 දෙනකුගේ ජනවරම අභිබවා යාම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි ය.

මැතිවරණ කොමිෂන් සභාව


මැතිවරණ කොමිසමේ මාර්ගෝපදේශ නොපිලිපැදීම වරදක් ලෙස සලකන 104 උඋ වගන්තිය ඉවත්කිරීම මගින් මැතිවරණ කොමිසමේ බලය දුර්වල කිරීමෙන් ආණ්ඩුව අඩියක් පිටුපසට ගැනීමට ඉඩ ඇත්තේ ජනමත විචාරණයක් මගහැරීම සඳහා ය. එසේ වුව ද, ස්වාධීන සහ ශක්තිමත් ව්‍යවස්ථා සභාව රැක ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවක් කර නැති තත්ත්වයක් තුළ, මැතිවරණ කොමිසම තව දුරටත් ශක්තිමත්, ස්වාධීන ආයතනයක් ලෙස නොපවතිනු ඇත. මෙම කුඩා වෙනස ලොකු කාරණයක් ලෙස නොපෙනෙනු ඇත. ජනාධිපතිට යටත්, බයාදු කොමිසමකින් කිසිදු වැදගත් මාර්ගෝපදේශයක් නිකුත් නොවිය හැකි අතර එමගින් නිකුත් කෙරෙන මාර්ගෝපදේශ නොපිලිපැදීම පිලිබඳ ප්‍රශ්නය පැන නොනගින තත්ත්වයට පත්වෙයි.


18 වන ව්‍යවස්ථාව යලි පණ ගැන්වීම

 

ව්‍යවස්ථාව යනු අප සියලු දෙනාට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයක් ලෙස අප තීරණ ගන්නේ කෙසේද යන්න තීරණය කරන “ක්‍රීඩාවේ නීති” වෙයි. ජනවරම ලබා නොදුන් 62 ලක්ෂයක් ජනයා සහ පුරවැසියන්ගේ කරුණු සහිත තර්ක නොසලකා, 69 ලක්ෂයක් ඡන්දදායකයන්ගේ නොපැහැදිලි සහ විශේෂිත නොවූ “ජනවරම” මත එක් පාර්ශවයක් ඒක පාර්ශවිකව නීති වෙනස් කළහොත් එම නීතිවලට පිළිගැනීමක් නැතිවන අතර 2010 දී මිල දී ගත් ඡන්ද මත බලෙන් සම්මත කළ 18 වැනි සංශෝධනයට අත් වූ ඉරණම එයට ද අත්වනු ඇත. 2015 දී එය ආරක්ෂා කරන්නට අය නැති විය. අද වුව ද, එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජනාධිපතිට තම පාර්ලිමේන්තු කණ්ඩායමේ පවා සම්පුර්ණ සහයෝගය ලබාගත නොහැකි ය.

කළ හැකි හොඳ ම දේ වන්නේ පිළිගැනීමක් නැති මෙම සංශෝධනය අතහැර දමා, හිස ඔසවන වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුහුණදීමට සියලුදෙනාගේ සහයෝගයෙන් කටයුතු කිරීම යි. එම සම්මුතිවාදී පදනම මත සිට ක්‍රීඩාවේ නව නීති සැකසීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන අතර 20 වැනි සංශෝධනය පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් හෙළිදරවුවූ අක්‍රීයතාවන්ද විසඳා ගැනීමට එමගින් අපට හැකි වනු ඇත

 

-අනිද්දා-

 

Advertiesment