Monday 26th of October 2020

English Tamil
Advertiesment


COVID අරමුදල යොදවා තාක්ෂණයෙන් වසංගතය මඩිනු


2020-10-16 2193

දෙවැනි රැල්ල ආවේ ආණ්ඩුව රටට බොරු කිව්ව නිසයි

 

වසංගතය මඩින්න නීති නැහැ-ආණ්ඩුවේ කයිවාරුව විතරයි 

 

ආර්ථික කඩා වැටුණේ ධන කුවේරයන්ට දුන් බදු සහනය නිසයි 

 

වසංගතය මැඩීමට විපක්ෂයත් එක්ක ඒකාබද්ධ වනු    

 

COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා මේ වන තුරුත් කිසිදු නීතියක්-රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති ආණ්ඩුව එදා සිටම කළේ වසංගතය මර්දනය කළා යැයි කියමින් කයිවාරු ගැසීම පමණක් යැයි ද, COVID දෙවැනි රැල්ල බිහිසුණු ලෙස මතු වූයේ ආණ්ඩුවේ මෙම අදූරදර්ශී, අකාර්යක්ෂම සහ හිතුවක්කාරී ක්‍රියා කලාපය නිසා යැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවැසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ බ්‍රහස්පතින්දා (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය. 

මාස 10ක් ගත වෙලත් කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම නිති රිතියක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැ, රජයේ කයිවාරුව විතරයි. PCR පරික්‍ෂණ වාර්තා මිනිත්තුවෙන් ලබා ගන්න පුළුවන් තාක්‍ෂණය දැන් ලෝකයේ තියෙනවා, කොවිඞ් අරමුදල පාවිච්චි කරලා ඒ නවිණ තාක්‍ෂණය රටට ගෙන්න.

මුළු ලෝකයටම කොවිඞ් වසංගතය ගැන දැන ගන්නට ලැබුණේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ. ජනවාරි මාසයේ අන්තිම වෙන කොට ශ්‍රී ලංකාවේ පළ වෙනි රෝගියා හමු වුණා. දැන් වෙන කොට මාස 10 ක් වෙනවා. නමුත් කොරෝනා පාලනය කරන්න රජය කිසිම නීතියක්, රීතියක්, රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. 

ලෝකයේ රටවල් ගණනාවක් තායිවානය, මැලේසියාව. ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය වගේ බොහෝ රටවල් අපේ‍්‍රල්-මැයි වෙන කොට අලුත් නීති-රෙගුලාසි ගෙනාවා කොරෝනා පාලනය කරන්න. නමුත් අපේ අය තාමත් කයිවාරු විතරයි. කයිවාරු ගහනවා කිසිම නීතියක්- රෙගුලාසියක් ගෙනාවෙ නෑ කොරෝනා පාලනය කරන්න.

අන්තර්ජාලයේ බැලුවම වෙනත් සිංගප්පූරුව වගේ රටවල, කොරෝනා නීති කියලා හැම විස්තරයක්ම එනවා. පාර්ලිමේන්තුවට ගෙනාවේ කවදා ද, සම්මත වූයේ කවදා ද ආදී වශයෙන්. ඒත් ශ්‍රී ලංකාවේ කොරෝනා නීති පිළිබද බැලුවම එන්නේ හිස් පිටු විතරයි. මොකද කිසිම නීතියක්-රෙගුලාසියක් ගෙනල්ලා නෑ. ඒක පුදුමයකුත් නෙවෙයි. මොකද රජය හැමදාම කිව්වේ කොරෝනා රටේ ඉවරයි කියලා. අප්‍රෙල් 22 පවිත‍්‍රා වන්නිආරච්චි මැතිණිය කිව්වා    "කොරෝනා ජනතාව අතර බෝවීමක් නැහැ" කියලා. අපේ‍්‍රල් මාසයේ ඉදලා රජය නිරන්තරයෙන් කිව්වා කොරෝනා අවසානයි කියලා. ඒ නිසා රජය කිසිම නීති රීතියක් ගෙනාවේ නැහැ.

හරි නම් මුඛ ආවරණ පැළදුවේ නැහැ කියලා කෙනෙක්ව උසාවියට ගේන්න පුළුවන්ද..? බෑ...අනිත් රටවල් මේ නීති-රීති ගෙනල්ලා තියනවා . දුරස්ථභාවය, උත්සවවල සහභාගීත්වය, තැබෑරුම් සහ ආපන ශාලා සම්බන්ධයෙන් නීතිි-රීති පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියනවා. නමුත් අපේ රටේ කටින් කියන එක විතරයි. නීති-රීති නෑ. 

හොදම උදාහරණය තමයි පසුගිය කාලයේ රජය කිව්වා ව්‍යාපාරිකයන් අරන් තියෙන ණය මාස 03 කට ගෙවන්න  ඕනේ නැහැ කියලා. එහි පොලිය කපනවා කිව්වා. බැංකුවට ගියාම බැංකුව බෑ කියනවා. මොකද නීති-රීති නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේවට නීති-රීති ගෙනාවා නම් මෙහෙම වෙන්නේ නෑ. අපේ රජය බුදියගෙනයි හිටියේ.  

මැතිවරණයේදී පක්‍ෂ කාර්යාලවල නාම පුවරු ගහලා තිබ්බේ COVID-19 දිනූ පොදු ජන පෙරමුණ කියලා. මේ වගේ සිල්ලර ආකාරයට රටේ ජනතාවට බොරු කිව්වා . හමුදාපති පවා කිව්වා අපේ‍්‍රල් 25 සුභ ආරංචියක් දෙනවා කියලා. රජයේ ඇමතිවරුන් කිව්වා . රජයට ගොට්ට අල්ලන සමහර වෛද්‍යවරු පවා කිව්වා මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නැහැ කියලා. මේක නියුමෝනියාවක්. හෙම්බිරිස්සාවක් කියලා මුලදි කිව්වේ. අපිත් ආණ්ඩුව විශ්වාස කළා. අපිත් රුවටුණා. 

ආණ්ඩුව කොවිඞ් ඉවරයි කිව්වාම ඒ ගැන විශ්වාස කරලා රටේ ජනතාව COVID-19 න් ආරක්‍ෂාවීම අත හැරියා. නමුත් අපක්‍ෂපාතී වෛද්‍යවරු හැමදාම කිව්වා කොරෝනා අපේ රටේ තියනවා, PCR පරික්‍ෂණ ප‍්‍රමාණවත් නැහැ කියලා. PCR පරික්‍ෂණ ප‍්‍රමාණවත් ලෙස නොකළ නිසයි කොරෝනා පිළිබදව හෙළිදරව් වුණේ නැත්තේ. වෛද්‍යවරුන් වගේම GMOA සහ MRI වෛද්‍ය සංගම් හැමදාම කිව්වා කරන PCR පරික්‍ෂණ ප්‍රමාණවත් නැහැ, කොරෝනා අළු යට ගිණු පුපුරු වගේ රට අභ්‍යන්තරයේ තියනවා කියලා.

ඉතිං මේ තත්ත්වය උඩ අපි කොහොමද ඉස්සරහට යන්නේ. පුවත්පත්වල මම දැක්කා PCR පරීක්ෂණ කළාම දින 02 ක් යනවා කියලා වාර්තාව එන්න. නමුත් අලුත් තාක්‍ෂණය යටතේ මිනිත්තුවෙන් වාර්තාව ලැබෙන තාක්‍ෂණය දැන් තියනවා. මම දැක්කා කෝටි 1000 ක අරමුදලක් තියනවා කියලා. ඉතිං ඒ මුදල් පාවිච්චි කරලා නවීන තාක්‍ෂණය අපේ රටට ගෙන්වන්න  ඕනේ.

විපක්‍ෂයේ මන්තී‍්‍රවරයකු හැටියට මම කියනවා අවශ්‍ය නීති-රීති ඉක්මනට ගෙන්න කියලා . අද ගේනවා, හෙට ගේනවා කියලා දැන් මාස 09 ක් තිස්සේ කියනවා විතරයි කිසිම නීතියක්-රීතියක් ගෙනල්ලා නෑ. අප්‍රෙල් 22 කොවිඞ් ඉවරයි කිව්වා. නමුත් අද මේ වෙන කොට දිස්ති‍්‍රක්ක 21 ක කොරෝනා රෝගීන් හමු වෙලා තියනවා.

ඒ වගේම මම කියන්න ඕනේ රජය ප‍්‍රකාශ කරන මිල ගණන්වලට වෙළඳ පොළේ බඩු නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. අපි රජයට කියනවා ප‍්‍රායෝගික වැඩ පිළිවෙළක් ඇති කරන්න කියලා. පෞද්ගලික ආයතනවල අයට මූ ලික පඩිය විතරයි ලැබෙන්නේ. අති කාල දිමනා මුකුත් ඒ අයට ලැබෙන්නේ නැ. ඇත්ත වශයෙන්ම රට විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ රජය විහින්මයි. රජය ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරොනා එන්න කලින්. ගිය දෙසැම්බර්-නොවැම්බර් අයවැය මගින්. ඒ සාමාන්‍ය මිනිසුන්ගෙන් නොව ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා බදු මුදල්වලින්  බිලියන 600 ක බදු මුදල් කපා හැර ඒ අයට විශාල බදු සහනයක් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරමිනුයි. අන්න එදා තමයි අර්බුදය පටන්ගත්තේ. නැතුව මේ කොවිඞ් නිසා නොවේ.

මම රජයට කියනවා කොවිඞ් 19 ප්‍රශ්නයේ දී විපක්‍ෂය සමග සාකච්ඡා කරලා විපක්‍ෂය සමග සාමුහිකව කටයුතු කරන්න ඕනේ කියලා. ආණ්ඩුවට කියනවා මේක යුද්ධයක් වගේ කියලා. දෙවන ලෝක යුද්ධ කාලයේ මහා බි‍්‍රතාන්‍ය සියලු පක්‍ෂ එකතු කරලා ආණ්ඩුවක් හැදුවා. එදා තිබ්බ බිහිසුණු තත්ත්වයට මුහුණ දෙන්න. 

ඒ අනුව අපි රජයට කියන්නේ විපක්‍ෂය සමග සාකච්ඡා කරලා පොදු වැඩ පිිළිවෙළකට යමු කියලයි. ආණ්ඩුවට වැරදුන තැන තමයි අපිට කාගෙවත් උදව්  ඕනේ නැ කියලා තනියම මේක කරන්න පුළුවන් කියලා තනියම ලකුණු දා ගන්න හැදුවා මැතිවරණය දිනන්න. ඒ විතරක් නොවේ රටටම බොරු  කිව්වා. රටේ ජනතාව රැවැට්ටුවා. මහනුවර ඇතැම් ඇමතිවරු තමන්ගේ බල මණ්ඩල කැදවලා කියලා තියෙනවා ආණ්ඩුවට සල්ලි නැ අවුරුදු 02ක් යනතුරු කිසිම දෙයක් ඉල්ලන්න එපා කියලා. මේ වගේ තත්ත්වයකයි ආණ්ඩුව තියෙන්නේ.

අපි රජයට කියනවා පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ඨ කරන්න. අවශ්‍ය නිති-රිති පාර්ලිමේන්තුවට ගේන්න. ඒවා සම්මත කර ගන්න අපේ සහයෝගය ගන්න. මාස 09 ක් තිස්සේ කිසිම නිතියක්-රීතියක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැ. මේ විදියටයි අද අපේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. 

මම එකක් කියන්නම් දාපු ඇදිරි නිතියත් නිති විරෝධියි. ඇදිරි නිතියට විරුද්ධව කවුරු හරි උසාවි ගියා නම් ඇදිරි නිතිය අවලංගු වෙනවා. කවුරුත් එහෙම කළේ නැ. ඒ රජයේ මෝඩකමට රට පළි නැති නිසා. කොරොනා මර්දනයට ඇදිරි නීතිය අවශ්‍යයි. නමුත් ආණ්ඩුව නීත්‍යානුකූලව ඇදිරි නිතිය දැම්මේ නැ. මුඛ ආවරණ පිළිබදව වුණත් කවුරුන් හෝ අභියෝගයකට ලක් කළොත් ඒක ගැටලුවක් වනවා. කවුරුත් රට ගැන හිතලා මේක අභියෝගයට ලක් කරන්නේ නැ. නමුත් රටට මේ මොහොතේ අවශ්‍ය නිසා අපි නිහඩව ඉන්නවා. ඒත් ආණ්ඩුව නීත්‍යානුකූලව මේක හරි ක්‍රමයට කරයි කියලා බලාපොරොත්තු වෙනවා.


 

Advertiesment