Friday 23rd of October 2020

English Tamil
Advertiesment


අධිකරණයේ යථා තත්ත්වය කුමක්ද..?


2020-10-15 1667

මහා ජන පරමාධිපත්‍ය බලය 20න් දුර්වල වන හැටි 

 

චන්ද්‍රිකා කුමාරතුංගගේ නොහොඹිනා වැඩ 

 

රටයි-ජනතාවයි සරත් සිල්වාගේ පව් ගෙවන හැටි 

 

ජේ.ආර් ට යට නොවූ නෙවිල් සමරකෝන් 

 

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ආදර්ශය 

(වික්ටර් අයිවන්)

 

සම්භාව්‍ය ලිබරල් මතය අනුව පමණක් නොව, දේශීය සහ ජාත්‍යන්තර නීතිය අනුවද පරමාධිපත්‍යය බලයේ නියම හිමිකරුවන් වන්නේ මහා ජනයාය. නැත හොත් රාජ්‍ය බලයේ ප්‍රභවය සමාජය වන අතර, මහා ජනයා තෝරා පත් කර ගන්නා රාජ්‍ය පාලකයන් මහා ජන කැමැත්තට සහ මහා ජන පාලනයට යටත්ය. 

ඒ නුව 20 වැනි සංශෝධනය සැලකිය හැක්කේ මහා ජනයාගේ පරමාධිපත්‍යය බලය දුර්වල කරන සහ හෑල්ලුවට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය. ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බොහොමයක් දේවල් මහා ජනයාගේ පරමාධිපත්‍යයට අදාළ මෙවලම් ලෙස සැලකිය හැකිය. එවැනි ව්‍යවස්ථා සංශෝධනයන් නීති ගත කර ගැනීමට අනුමැතිය හා මග පෙන්වීම් ලබාදෙන අධිකරණ තීන්දුවක් නිවැරදි හෝ හොඳ අධිකරණ තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ අධිකරණය

 

ඉන්දියාවේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ආරක්ෂා කර ගැනීම තමන් වෙත පැවරී තිබෙන ප්‍රධානතම වගකීමක් ලෙස සලකා ක්‍රියා කරන අධිකරණයක් ශ්‍රී ලංකාවේ වී නම් ශ්‍රී ලංකාවේ කතාව දැන් අසන්නට ලැබෙන අවලස්සන කතාවට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් 1948 හා 1949 පුරවැසි අණ පනත්වලින් පුරවැසි අයිතිවාසිකම් හිමි විය යුතු තත්ත්වයක සිටි ඉන්දියානු වතු කම්කරුවන් සැලකිය යුතු පිරිසකට පුරවැසි අයිතිවාසිකම් හිමි වන්නට ඉඩ තිබුණි. 1956 රාජ්‍ය භාෂා නීතියේදී ද දෙමළ ජනතාවට ඔවුන්ගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි නොකෙරෙන ආකාරයට එම නීතිය සකස් වන්නට ඉඩ තිබුණි.

එවැනි චින්තනයක් සහිත අධිකරණ ක්‍රමයක් රටේ තිබුණේ නම්, කිරීටයට තිබෙන බැඳීම අහිමි කිරීමට හේතු වන ආණ්ඩුක්‍රමයකට අනුමැතිය ලැබෙනු ඇතත් අධිකරණයට තිබුණ විමර්ශන බලය හා සිවිල් සේවකයන්ට තිබෙන ස්වාධීනත්වය අහිමි කරන ආණ්ඩු ක්‍රමයකට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. එවැනි අධිකරණයක් තිබුණේ නම් ජනාධිපති ජේ.ආර් ජයවර්ධනටද පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය යොදා ගෙන ව්‍යවස්ථා සමග නටන තත්ත්වයකට යන්නට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. එසේම කවර ආකාරයකටවත් කල් ඉකුත්වෙමින් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජන මත විචාරණයක් මගින් දීර්ඝ කර ගන්නට ඉඩ නොතිබුණි.

එවැනි අධිකරයක් තිබුණේ වී නම් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට අධිකරණයේ සහාය ඇතිව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගත හැකි ක්‍රමයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. එසේම 17, 18, 19 හෝ 20 වැනි සංශෝධන ඒ ආකාරයෙන් නීති ගත කරන්නට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ශ්‍රී ලංකාව මහා පරිමාණයෙන් ලේ වගුරු වන රටක් නොවන්නට ඉඩ තිබුණා සේම අද ඇද වැටී තිබෙන බංකොළොත් තත්ත්වය වෙනුවට ශ්‍රී ලංකාව පොහොසත් දියුණු රටක් ලෙස පවතින්නට ඉඩ තිබුණි.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂා කිරීමෙහිලාත්, ප්‍රජාතන්ත්‍රවාදය නවීන කිරීමෙහිලාත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉටු කර තිබෙන කාර්ය භාරය අති විශාලය. එහෙත් එම විෂයෙහිලා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අතින් ඒ සා විශාල කාර්යභාරයක් සිදුවී නැත. ශ්‍රී ලංකාවේ පාලකයන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එම ව්‍යවස්ථා උල්ලංඝනයන්ට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව දැකිය හැකිය.

ඉන්දියානු අධිකරණය

 

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස දිනා ගැනීම සඳහා කෙරුණු දිග්ගැස්සුණු නිදහස් අරගලයක් හරහා ගොඩ නැගුණ ඉතාමත් දියුණු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් විසින් නිර්මාණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ස්වාධීන අධිකරණයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය කරන අධිකරණ සමාලෝචන බලය ඇතුළු අවශ්‍ය බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දුන්නේය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය අධිකරණය කෙරෙහි තබන ලද විශ්වාසය අති විශාල වූ අතර එම තත්ත්වය අධිකරණය සලකන ලද්දේ නිදහස් අරගලයෙන් මුදා හරින ලද ඉන්දියානු සමාජ විප්ලවයේ ආරක්ෂකයා හා භාරකාරයා ලෙසය.

ව්‍යවස්ථා සභාව, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි තබන ලද විශ්වාසය උපරිම මට්ටමකට ආරක්ෂා කිරීමට එම අධිකරණය සමත් වී තිබෙන්නේ යැයි කිව හැකිය. ඉන්දියාව බිහි කළ ඉතාමත් බලවත් පාළිකාවක් ලෙස සැලකිය හැකි ඉන්දිරා ගාන්ධි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට දරන ලද උත්සාහයේදී අධිකරණය ඇගේ එම ක්‍රියාවට එරෙහිව බලවත් ලෙස නැගී සිටින තැනකට ගියා මිස ඇය කරන ලද වරදට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. 

ඉන්පසු ඉන්දියානු දේශපාලකයන්ට පටු හා කූඨ අරමුණු සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට තිබෙන ඉඩ ඇහිරීම සඳහා මූලික ව්‍යුහය (Basic Structure) පිළිබඳ නීතියක් ඇති කොට පවත්වා ගෙන යමින් තිබෙන අතර ඒ මගින් ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීමට තිබෙන හැකියාව ඉන්දියානු පාලකයන්ට අහිමි කර තිබෙන්නේ යැයි කිව හැකිය.

ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා බලයක් ඇති බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට හානියක් ඇති කිරීමට හේතුවන වෙනස්කම්වලට ඉඩක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කර තිබෙන එම නීතියේ අර්ථය ලෙස සැලකිය හැකිය.

ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය

 

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට සාපේක්ෂව ගත් විට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම මහා ජනයාගේ පරමාධිපත්‍ය බලය හා මහා ජන අයිතිවාසිකම් විෂයෙහි ලොකු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයක් ලෙස සැලකෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම් කර තිබෙන එම පසුගාමී තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු  සොයා බලන, යහපත් සහ මනා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කෙරෙන සංවාදයක් ඇත්තේම නැති තරම්ය. එම තත්ත්වය අධිකරණ ක්‍රමය කෙරෙහි සමාජයේ තිබිය යුතු විශ්වාසය සහ ගෞරවය විශාල ප්‍රමාණයකට අවම කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

ඩොනමෝර් ව්‍යවස්ථාව අධිකරණයට විමර්ශන බලය ලබාදී තිබුණද, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවූ පුරවැසි අණ පනත්වලදී හෝ සිංහල රාජ්‍ය භාෂා නීති සම්පාදනයේදී අසාධාරණයක් ඇතිවීම වැළකීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු එම බලය පාවිච්චි කරන තැනකට ගියේ නැත. ඒ වෙනුවට සිදු වූයේ පාලක පක්ෂය සමග කල්ලි ගැසී වරද තහවුරුවන්නට ඉඩ හරින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. 

1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් අධිකරණයට තිබූ විමර්ශන බලය මුළුමනින් අහිමි කරන ලද අතර 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් අධිකරණයට තිබෙන විමර්ශන බලය සීමාසහිත රාමුවක තැබෙන ලෙස කප්පාදු කළේය. එම තත්ත්වය අධිකරණයේ බලවත් විරෝධයට, හේතු නොවූවා පමණක් නොව, අධිකරණ විමර්ශන බලය තමන් වෙත හිමි කර ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය උනන්දුවක් පෙන්නුම් කර නැත. 

අධිකරණ විමර්ශනය (Judicial Review) ලෙස සැලකෙන්නේ ඕනෑම පනතක් හෝ නීතියක් ව්‍යවස්ථාවට අනුකූලවේ ද නැද්ද යන්න සලකා බලා ව්‍යවස්ථාවට අනුකූල නොවේ නම් ඒ පනත හෝ නීතිය අවලංගු කිරීමට අධිකරණයට තිබෙන බලයයි. ඒ බලය නැති අධිකරණයක්‌ ස්වාධීන අධිකරණයක් ලෙස සැලකිය නොහැක. 

ශ්‍රී ලංකාවේ අධිකරණය සැලකිය හැක්කේ අධිකරණ විමර්ශන බලය බොහෝ දුරට අහිමි කර තිබෙන අධිකරණයක් වශයෙනි. 19 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විෂයෙහි සිදුවූ මහා පෙරළියක් නම්, ඒ වරද නිවැරදි කළ යුතුව තිබුණත් එවැන්නක් සිදු නොවීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිහානිය 

 

ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ පාලන කාලයේ තරම් අධිකරණයට අයුතු ඇඟිලි ගැසීම් කෙරුණු යුගයක් තවත් නැති තරම් වුවත් එම යුගය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිම ප්‍රබෝධයක් සහ දියුණුවක් පෙන්නුම් කර තිබෙන යුගය ලෙසද සැලකිය හැකිය. ඒ ගෞරවයෙන් වැඩි පංගුවක් හිමි විය යුත්තේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ටය. 

ඔහු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ පුද්ගලික මිතුරකු වුවද අග විනිසුරු ධූරයට පත් මොහොතේ සිටම ජනාධිපතිවරයා සමග තිබුණු යාළුකම අතහැර නියම අග විනිසුරුවරයකුගේ කාර්යභාරය සියතට ගත්තේය. අවසානයේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ ජනාධිපතිවරයාට පවා ඔහු කැමති ලෙස නැටවිය නොහැකි විය. 

අභිමානවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් පවත්වා ගෙන යෑමට නෙවිල් සමරකෝන් අග විනිසුරුවරයා සමත් විය. නෙවිල් සමරකෝන් එම තනතුරෙන් නික්ම යාමෙන් පසුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැල්වෙමින් තිබුණ පහන නිවී ගියේ නැත. අග විනිසුරු තනතුරට තේරී පත්වූ අනුප්‍රාප්තිකයන් ශ්‍රේෂ්ඨාධිකරණය හිමි කර ගෙන තිබුණු දියුණුව ඉදිරියට ගෙන ගියේය. 

සියල්ල ආපස්සට හරවා අධිකරණය හිමි කර ගෙන තිබුණු දියුණුව නැති භංග කොට විනාශ කර දමන ලද පුද්ගලයා වශයෙන් සැලකිය හැක්කේ 1999දී අග විනිසුරු ධූරයට පත් සරත් සිල්වාය. සරත් සිල්වා සමග මා ඇති කර ගත් ගැටුම සැලකිය හැක්කේ අහඹු සිද්ධියකින් විකසිත වූ දීර්ඝ ක්‍රියාදාමයක් ලෙසය. 

පහළ අධිකරණයේ විනිසුරුවරයෙකු තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක වගඋත්තරකාර කාන්තාවන් දෙදෙනකු තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා යොදා ගැනීමේ අවලස්සන සිද්ධීන් දෙකක් පිළිබඳව කරුණු සොයා බලන තැනකට යොමු වන්නට මට සිදුවිය. ඒ කාලයේදී නීතිපති ධූරය හෙබ වූයේ සරත් සිල්වාය. 

මහේස්ත්‍රාත්වරයා අතින් කෙළසීමකට ලක්ව සිටි කාන්තාවන් දෙදෙනා අතුරින් පළමු කාන්තාවට අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කරන ලදුව එම දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා එම වාර්තාව නීතිපති වෙත යවා තිබුණි. එම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට ගන්නවා තබා අධිකරණයේ පැත්ත පළාතකටවත් නොගත යුතු තරමේ වංචනික සහ නින්දාසහගත ඉතිහාසයක් තිබූ පුද්ගලයකු බව තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු එම වාර්තාවේ තිබියදී නීතිපතිවරයා එම තොරතුරු නොසලකා එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා නීතිපති ගැනද කරුණු සොයා බලා ඔහු අතින් නීතියට පටහැනිව සිදුවී තිබෙන අවලස්සන දේවල් ගැන හඬ නගන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන්නට මට සිදුවිය.

අධිකරණය පාවාදීම

 

ඒ වනවිට අධිකරණය පමණක් නොව, නීතියද, නීති සංගම් ව්‍යාපාරද තිබුණේ අද මෙන් ආචීර්ණ කල්පික තත්ත්වයක නොව අභ්‍යන්තරයේ තිබෙන වැරදි නිවැරදි කර ගැනීමට කැමති තත්ත්වයකය. මගේ හඬ නැගීම සිදු වූයේ මහේස්ත්‍රාත්වරයකුට, (ලෙනින් රත්නායක) දිසා විනිසුරුවරයෙකුට, (උපාලි අබේරත්න) සහ නීතිපතිට එරෙහිවය. 

මා කරන හඬ නැගීම නොකඩවා කරන හඬ නැගීමක් වූ අතර නීතිඥ සංගමයේ එකල ප්‍රධානියා ලෙස ක්‍රියා කළ රොමේෂ් ද සිල්වා මා අධිකරණයට එරෙහිව නගන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න තීරණයක් ගැනීම සඳහා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීය.

විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා නගන ලද චෝදනා ගැන සොයා බැලිය යුතු බවත්, ඒවා පදනම් විරහිත චෝදනා වේ නම් මා සම්බන්ධයෙන් අධිකරණය දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් විනිසුරුවරුන්ට එරෙහිව මා නගා තිබෙන චෝදනා සනාථවේ නම් නීතිපතිට එරෙහිව මා නගා තිබෙන චෝදනා ගැනද සොයා බැලිය යුතු බවත් එම සම්මේලනයේ මතය විය.

ඒ අනුව විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා නගන ලද චෝදනා සොයා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කරන ලද අතර එම පරීක්ෂණ කමිටු දෙකම එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඉන්පසු මම රසායන ඉංජිනේරු ජයසේකරද සමග නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිලි දෙක පාදක කර ගනිමින් නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළේය.

ජී.පී.එස්. ද සිල්වා අග විනිසුරු ධූරයෙන් විශ්‍රාම ගියේ එම සන්ධිස්ථානයේදීය. එවිට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කළේ හොඳටම බෙල්ල හිරවූ තත්ත්වයකට පත්ව සිටි සිය මිත්‍ර නීතිපතිවරයා එම තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා ඔහුට තිබුණ චෝදනා නොසලකා අග විනිසුරු ධූරයට පත් කිරීමය. එම නොහොබිනා පත් කිරීමට එරෙහිව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලවත් විරෝධයක් පැන නැගුණ ද සිදුවී තිබුණ වරද නිවැරදි කිරීමක් සිදු නොවීය. 

ඉන්පසු නව අග විනිසුරුවරයා අධිකරණය කණ පිට හැරෙව්වේය. අධිකරණ පද්ධතිය දූෂණයෙන් ඉහවහා ගිය තැනක් බවට පත් කළේය. 2001 දෙසැම්බර්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අධිකරණය වසා ගෙන තිබුණ එම බිහිසුණු පිළිලය ඉවත් කිරීමේ හැකියාවක් තිබුණද, අගමැති රනිල් වික්‍රමසිංහ එම ප්‍රශ්නයට අත ගසන්න කැමති වූයේ නැත.

චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා අග විනිසුරු ධූරයට පත් කිරීමට එරෙහිව මට කළ හැකි හැම දෙයක්ම කර තිබුණි. ඔහු දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා "අධිකරණයේ මළගම" යන තේමාව යටතේ රාවය පුවත්පත පළ කරන ලද්දේ කළු කලාපයක් වශයෙනි. ඔහුගේ තේරී පත්වීමට එරෙහිව ඔහුගේම අධිකරණය ඉදිරියේ නඩු පැවරුවෙමි. නඩු හබ තිබූ ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් එම දුෂ්කර මොහොතේදී අග විනිසුරුට ආධාර කරන ප්‍රතිපත්තියක් මගින් ඔවුන්ගේ බරපතළ නඩු හබ විසඳා ගත්තේය. 

විකල්ප දේශපාලන ව්‍යාපාර ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය වැනි දේශපාලන ව්‍යාපාර පවා එම පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා ගැනීම සඳහා එම දූෂිත අග විනිසුරුවරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. රටේ ජනමාධ්‍යයද එම දූෂිත අග විනිසුරුවරයා උපරිම මට්ටමෙන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ සියලු දෙනා එම ඓතිහාසික මොහොතේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට තිබෙන හැකියාව නැති කොට අධිකරණයේ ඇතිවී තිබුණ අති විශාල පිරිහීම ගල් ගැසුණු තත්ත්වයකට පත් කළේය. ඒ සියලු දෙනාගේ එම වීර ක්‍රියාදාමය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට පමණක් නොව, දැන් රටටද ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අති විශාලය.

 

Advertiesment