Saturday 28th of November 2020

English Tamil
Advertiesment


බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආ යුත්තේ ඇයි..? 


2020-10-12 2502

රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා විවිධ පන්ති-කණ්ඩායම් (විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ පන්තීන් අතර) එකිනෙකා සමග කරන අරගලය, එකිනෙකා සමග දක්වන සම්බන්ධතා සහ එකිනෙකා වෙන් කරන බලපෑම් ක්‍රියාවලියෙහි සමස්තය දේශපාලනය වේ.

ඒ වී.අයි ලෙනින් දේශපාලනයේ සමස්ත අර්ථය ඉතාමත් සැකවින් කැටි කර දැක් වූ ආකාරයයි. අප ජීවත් වෙන ලෝකයේ පන්තීන්ට අයත් නොවන කිසිදු මිනිසෙකු නැතිවා සේම පන්ති පාලනයට නොඑසේ නම් රාජ්‍යයේ බලයට හසු නොවූ කිසිවක් ද නොමැත. පන්ති සමාජයේ දේශපාලනයෙන් තොර කිසිවක් නැතැයි මාක්ස්වාදීන් පවසන්නේ ඒ නිසා ය. 

මිනිසා මුහුණ දෙන සෑම ප්‍රශ්නයකම ඔහුගේ විඥ්ඥානයේ පවතින සෑම සිතුවිල්ලක්ම, මතයක්ම ඔහු පරිහරණය කරනු ලබන සෑම භෞතික වස්තුවකම දේශපාලනය ගැබ් වී තිබේ. ඕනෑම සටන් පාඨයක් පිටු පස තිබෙන පන්ති උවමනාවන් තේරුම් ගැනීමට අසමත්වේ නම් දේශපාලනයේ දී ස්වයං වංචාවේ ගොදුරු බවට පත් වන බව වී.අයි ලෙනින් පැවසුවේ එබැවිනි.

ශ්‍රී ලංකා දේශපාලනයේ ස්වයං වංචාවේ ගොදුරු බවට පත්ව ඇති අයගේ දැනුවත් වීම පිණිස මේ ලිපිය ලිවීමට සිත් විය. යම්කිසි දේශපාලන විචාරයක් සිදු කරන්නේ නම් කළ යුත්තේ ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන මගිනි. මනෝ මුලික කාරණා මතින් විචාර සිදු කිරීම නිෂ්ඵලය. පළමු කොටම දකුණු ආසියාවේ වත්මන්  දේශපාලන තත්ත්වය  සලකා බලමු. 

ඉන්දියාවේ වසර 135 ක් පැරණි පක්ෂය වන ඉන්දීය කොංග්‍රස් පක්ෂය මේ වන විට යළි නගා සිටු විය නොහැකි ආකාරයට දියාරු වී ගොස්ය. පක්ෂයේ යාන්ත්‍රණය මෙහයවූ සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි දක්ෂ කථිකයින් වූ නමුත් අද මේ පක්ෂය දිනෙන් දිනම අභාවයට යමින් පවතී. පකිස්ථානයේ සම්ප්‍රදායික පක්ෂ දෙකම පරාජය කර ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂය ජය ගත්තේය. එනමුත් ඔහුට ද බහුතරය නොමැති නිසා ආණ්ඩුව පිහිට වූයේ තවත් පක්ෂ පහක් සමග එක්වය. නේපාලයේ, බංගලාදේශයේ සහ කුඩා මාලදිවයිනේද පවතින්නේ අස්ථාවර ආණ්ඩුය.

ඒ දත්ත සහ තොරතුරු සමගින් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු.1977 න් පසු පැවති මැතිවරණ ඉතිහාසය සලකා බලන විට 2020 දක්වා පැවති මහ මැතිවරණවල සාරාංශය පහත පරිදිය.

(01) 1989 මහා මැතිවරණය. 

එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේ ආසන 125 ක් සහිතවය. එවකට සිටි මැතිවරණ කොමසාරිස්වරයා පැවසු පරිදිම ප්‍රචණ්ඩ මැතිවරණයකි. විපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වෙඩි උණ්ඩයට ලක්වූ මැතිවරණයකි.

(02) 1994 මහා මැතිවරණය. 

දාහත් වසරක ශාප ලත් ආණ්ඩුව පරාජය කළ මැතිවරණයක් වුවද ජයග්‍රහණය කළ පොදු ජන එක්සත් පෙරමුණට ලබා ගත හැකි වූයේ ආසන 105 කි. මන්ත්‍රී ධූර හතක් දිනා ගත් එච්.එම් එච් අශ්රොප්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහය ගෙන ආණ්ඩුව පිහිටුවීමට සිදු විය.

(03) 2000 මහා මැතිවරණය. 

ජය ගත් පොදු ජන පෙරමුණ ලබා ගත් මන්ත්‍රී ධූර ප්‍රමාණය 107 කි. ආයු කාලය වසර එක හමාරකි.

(04) 2001 මහා මැතිවරණය. 
ජය ගත් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ආසන ප්‍රමාණය 109 කි.

(05) 2004 මහා මැතිවරණය. 

විමල් වීරවංශලා, අනුර කුමාරලා සහ සමන්ත විද්‍යාරත්නලා වැනි අති දක්ෂ කථිකයින් සහිත මනා බිම් මට්ටමේ යාන්ත්‍රණයක් ඇතැයි කිව්ව ජනතා විමුක්ති පෙරමුණ ද සමග සන්ධාන ගතව මෙහෙය වූ මැතිවරණය ජය ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගත හැකි වූයේ ආසන 105 කි.

(06) 2010 මහා මැතිවරණය. 

හැදුනුම්පත අනිවාර්ය කළ පළමු මැතිවරණය වන මෙම මැතිවරණයේදී හොර ඡන්ද දැමීම් සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් ද, මැතිවරණ සමග බැදුණු නියතයක් බදු ඇදිරි නීතිය ද නොමැතිව ක්‍රියාත්මක වූ පළමු මැතිවරණය වූ මෙම මැතිවරණයේදී ජේ.ආර් පවා කවදාවත් අපේක්ෂා නොකළ ආසන 144 ක ජයග්‍රහණයකට යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවූ අතර බැසිල් රාජපක්ෂ එම මැතිවරණ ව්‍යාපාරය මෙහයවූ නමුදු මෙවැනි ජයක් ලැබුවේ යුධ ජයග්‍රහණය නිසා බව එකල පුවත්පත්වල විචාර පළ විය.

(07) 2015 මහා මැතිවරණය.

මහා මැතිවරණය ජය ගත් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව 103 කි. මහින්ද සුලහ උච්ඡ්ස්ථානයේ තිබූ අවදියක ශ්‍රී ලංකා දේශපාලනයේ අසහාය ජන නායකයා වූ මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනා ආ යුතුයැයි මිනිසුන් හැඬු යුගයක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ආසන 95 කි.

(08) 2020 මහා මැතිවරණය.

වසර තුනක් ඇතුළත ගොඩනැංවූ ශ්‍ රීලංකා පොදු ජන පෙරමුණ ලබා ගත් ආසන ප්‍රමාණය 145 කි. දශක 8 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇති එක්සත් ජාතික පක්ෂය කුණු කූඩයටම විසිවී ගියේය.

මේ සියලු සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කළ විට නිගමනය කළ හැක්කේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ සරළ බහුතරය වන ආසන 113 ලබා ගත් අවස්ථා ඇත්තේ 3ක් පමණක් බවත් කුප්‍රකට වයඹ මැතිවරණය වැනි ප්‍රචණ්ඩ මැතිවරණ තිබූ රටක මැර බලයෙන් වුවද බහුතරයක් දිනා ගැනීමට වෙන කිසිදු අවස්ථාවක නොහැකි වූ බවත් ය. අප වැනි දකුණු ආසියානු රටක පවා 2020 පාර්ලිමේන්තු මැතිවරණය වැනි දේශපාලන ජයග්‍රහණයක් ලැබීම අතිශය දුර්ලභ කටයුත්තකි. ඒ ගෞරවය අපි අනිවාර්යයෙන් බැසිල් රාජපක්ෂට ලබා දිය යුතුය. මේ ලිපියේ මුලින් සදහන් කළ පරිදි වී.අයි ලෙනින් පැවසුයේ පන්ති උවමනාවන් හදුනා ගැනීම කළ හැකි නායකයෙකු නොමැතිව රාජ්‍ය බලය ලබා ගැනිමට සහ එම බලය පවත්වා ගෙන යාමට නොහැකිය. 

ශ්‍රී ලංකාව යනු ජාතින් ලෙසත්, උඩ රට-පහත රට ලෙස ප්‍රාදේශීය වශයෙනුත්, ගොවිගම-කරාව-සලාගම-දුරාව-බත්ගම ලෙස කුල වශයෙනුත් පට්ටි ගොවි-රදළ ගොවි ලෙස උප කුලවලටත් බෙදුණු, සියම්-අස්ගිරි-මල්වතු, රාමඥ සහ අමරපුර ලෙසට අදහන ආගමත් බෙදා ගෙන ඇති මිනිසුන් වෙසන රටකි. එවන් මිනිසුන් වෙසෙන රටක වසර පනහක කාලය ඇතුළත ලැබූ ඉහළම දේශපාලන ජයග්‍රහණය ලැබුවේ බැසිල් රාජපක්ෂ සියලු සමාජ ස්ථර, පන්ති සහ   කණ්ඩායම් එකට ගොනු කළ නිසාය."මුහුණු පොත" තබා රූපවාහිනී නාළිකාවක්වත් නොපෙනන ගම්මාන සිය ගණනක් අදටත් ශ්‍රී ලංකාවේ පවතින බව බිම්මට්ටමේ ඇවිද ඇති අය දන්නා කාරණයකි. මේ සියලු සමාජ ස්ථරයන් ස්පර්ශ කරමින් ඉතිහාසයේ ලැබූ ඉහළම සහ එකම ජය ලැබුයේ බැසිල් රාජපක්ෂගේ දේශපාලන යාන්ත්‍රණය නිසාය.

නිසි ක්‍රමයක් නොමැති නිලධාරිවාදයෙන් යුතු මේ ජරාජීර්ණ වූ රට  ගෝටභය රාජපක්ෂට වසර පහකින් ගොඩනැංවිය හැකි යැයි කවුරුන් හෝ පවසන්නේ නම් ඒ කතාව පරිණත නොවූ අයෙකුගේ සිතුවිල්ලක් විය යුතුය. ඒ සදහා ඊළඟ වසර පහ වෙනුවෙන් ද ඔහු මේ රටේ රාජ්‍ය නායකයා විය යුතුය. ඒ සදහා රාජ්‍ය බලය ලබා ගැනීමට සේම එම රාජ්‍ය බලය පවත්වා ගෙන යාමට ඔහුට සහය වන නායකයෙක් සිටිය යුතුය. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩනැංවූයේ එරට විපක්ෂය සහ වාමාංශික බලවේග සමතලා කරය. ශ්‍රී ලංකාව වැනි ප්‍රජාත්‍රන්තවාදී රටකට එසේ කළ නොහැකිය. ඒ සදහා ඕනෑම සටන් පාඨයක් පිටු පස තිබෙන පන්ති උවමනාවන් තේරුම් ගැනීමට හැකි බැසිල් රාජපක්ෂ වැනි නායකයෙකු සිටිය යුතුමය. ලෝකයේ සේම ආසියානු කලාපයේ වත්මන් දේශපාලන තත්ත්වයන් අනුව ද පෙනී යන්නේ එවැනි නායකයන්ගේ දුර්ලභ බවය.

2030 දක්වා මේ ආණ්ඩුව පවත්වා ගෙන යාමට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු රටේ අගමැති විය යුත්තේද මේ අති දක්ෂ දේශපාලකයා බව ලෝක දේශපාලනය සේම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය සහ සංඛ්‍යා ලේඛන හැදෑරීමෙන් වටහා ගත යුතු කරුණකි. මනාප ඡන්ද 28203 ක් ලබා ගත් රිෂාඩ් බදුර්දීන්ලා මේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට බැසිල් රාජපක්ෂ උත්සහ කරන්නේ යැයි කවුරුන් හෝ තර්ක කරන්නේ නම් එසේ කරන්නේ මේ දේශපාලන ඉතිහාසයේ ලත් ලොකුම ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැමැති දේශපාලන පක්ෂ සන්ධානය ගොඩනැංවූ නායකයා ලඝු කිරීමට බව කිව යුතුය. 

විජය කුමාරයාගේ කාලයේ සිටම ඉතිහාසය සැලකුව හොත් රටක් ලෙස ශ්‍රී ලංකාව අවස්ථාවන් අහිමි කර ගත් රාජ්‍යයයකි. කෙසේ නමුත් මේ වන විට කලාපයේ ඇති ස්ථාවරම ආණ්ඩුව අපට  ලැබී ඇත්තේය. ආණ්ඩුව පවත්වා ගෙන යා හැකි නායකයා වන බැසිල් රාජපක්ෂව අප රැක ගත යුතුය . විකාර රූපී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතුය. මේ රටක්-ජාතියක් ලෙස අපි ලැබී ඇති අවසන් අවස්ථාවද විය හැකි බව සිහි තබා ගත යුතුය.

-මුහුණු පොතෙන් උපුටා ගැනුණි-
(කර්තෘ අඥාතයි) 
Advertiesment