Saturday 28th of November 2020

English Tamil
Advertiesment


20 ගැන කරුණු 20ක්


2020-10-11 3583

(නීතිඥ ප්‍රබෝධ රත්නායක)

 

01. ආකෘතිමය වශයෙන් එකිනෙකට පටහැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් වන 17, 18, 19, 20 යන සියල්ලටම පක්ෂව ඡන්දය භාවිතා කළ/ කරන මන්ත්‍රීවරුන් පිරිසක් වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටී. ඉන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චපලභාවය වැනි විකාරයක් නොව, සෑම විටම තීරණාත්මක වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනවල අන්තර්ගතයට වඩා ඒ මොහොතේ පවතින දේශපාලන සන්දර්භය බවයි.


02. ව්‍යවස්ථාවේ අන්තර්ගතයන් පිළිබඳ සංවාදයක් ඇති නොවිය යුතු යැයි ඉන් අදහස් නොවේ. යෝජනා වී ඇති විසිවන සංශෝධනයේ අන්තර්ගතය දෙස තාර්කිකව බැලූ විට දේශපාලන බේදයකින් තොරව විස්සට පක්ෂ වනවාට වඩා විරුද්ධවීමට හේතු රාශියක් සොයාගත හැක. එම නිසා මේ මොහොතේ විස්සට එරෙහිව ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණවලදී ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් ඡන්දය ලබා දුන් පිරිස් පමණක් නොවේ. එම මැතිවරණවලදී රටේ ඇතිවූ දේශපාලන කඳවුරු දෙක විසිවන සංශෝධනය සම්බන්ධයෙන් එලෙසින්ම ආදේශ නොවීම පෙන්වා දෙන්නේ රටේ දේශපාලන සවිඥානිකත්වය ඉහළ මට්ටමක පවතින බවයි.


03. දැනටමත් නීතිඥ සංගමය, විගණන සේවා සංගමය වැනි වෘත්තීයවේදීන්, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, විස්සේ දුර්විපාක රාශියක් ඉදිරිපත් කර ඇති අතර පාර්ශවයන් 39 විස්සට එරෙහිව ශේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත. මීට අමතරව විවිධ සංවාද, උද්ඝෝෂණ, මාධ්‍ය සාකච්ඡා ඔස්සේ විස්ස සම්බන්ධ මහජනයා දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග දැන් ආරම්භ වී ඇත.


04. ව්‍යවස්ථා සංශෝධනයක අවසාන ප්‍රතිඵලය විය යුත්තේ රටේ ජනතාවගේ යහපතයි. රටේ පවතින විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, රාජ්‍ය ආයතන සියල්ලටම ඔවුන්ගේ බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන්ව ඇති පරිදි අත්හල නොහැකි ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම මගින්ය. එම නිසා විසිවන සංශෝධනය ජනතා පරමාධිපත්‍යට කෙසේ බලපානු ඇත්දැයි විමර්ශනය කිරීම අතිශය වැදගත්ය. විශේෂයෙන්ම මේ වන විට ව්‍යවස්ථාවෙන් ජනතාව කෙරෙහි තහවුරු කර ඇති එක් අයිතිවාසිකමක් හෝ ඉවත් වන්නේ නම් එය ජනතා පරමාධිපත්‍යට සෘජුවම බලපානු ඇත.


05. 1978 ජේ.ආර් ජයවර්ධන විසින් ගෙන ආ මුල් ව්‍යවස්ථාවේ තිබූ ඇතැම් ප්‍රජානත්ත්‍ර විරෝධී, ජනතා පරමාධිපත්‍යට හානි කරන කාරණා පසුකාලීන සංශෝධන මගින් වෙනස් වන්නේ රට වඩ වඩා ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගමන් කිරීම නිසාය. විශෙෂයෙන්ම 13, 17, 19 වැනි සංශෝධන එම ගමන්මගේ තීරණාත්මක කඩඉම්ය. මෙම සංශෝධන මගින් රටේ පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය, ශක්තිමත් වූ අතර බලය එක් කේන්ද්‍රයක් වටා ඒකරාශීවීම වළක්වනු ලැබීය.


06. ජනතා කැමැත්ත අනුව රටේ පාලකයන් වසර පහකින් මාරුකිරීමේ ක්‍රියාවලිය පසුගිය කාලයේදී ඉතා සාමකාමීව සිදුවන දක්නට ලැබිණ. ස්වාධීන මැතිවරණ කොමිසම හරහා මැතිවරණ ක්‍රියාවලිය වඩා සාධාරණ වීම, නව දේශපාලන පක්ෂවලට රටේ මහජන මතය වෙනස් කිරීමට හැකිවීම, මාධ්‍ය නිදහස, සිවිල් සංවිධාන මැතිවරණ ක්‍රියාවලියට දායක වීම, විදේශීය මැතිවරණ නිරීක්ෂණ එයට සෘජු හේතු වුවත් මෙලෙස විවෘත, තරගකාරී බහු පක්ෂ, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය රටේ තහවුරු වීමට පදනම සැකසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වූ ප්‍රගතිශිලී සංශෝධනයන්ය.


07. රටේ පොදු දේපළ අපහරණයට එරෙහි විශාල ක්‍රියාකාරීත්වයක් පසුගිය කාලයේ ඇති විය. විශේෂයෙන්ම පසුගිය රජයට තිබූ ප්‍රධාන චෝදනවක් වන බැඳුම්කර ගනුදෙනුව, ආණ්ඩු බලය මගින් වසා දැමීමට ඔවුන්ට නොහැකිවිය. එමෙන්ම කොප් කමිටුව වැනි ක්‍රියාකාරීත්වයන් හරහා මහජන මුදල් අපහරණය පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රශ්නකිරීම් දැකගත හැකි විය.


08. ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා මගින් රාජ්‍ය ආයතන නිර්දේශපාලනය කිරීම පිළිබද අදහස මුලින්ම ගෙන ආවේ මහාචාර්ය ජී.එල් පිරීස්ද සාමාජිකත්වය දැරු 1989 පත් කල තරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. ඒ ලේ වැගිරීම් වලින් කෙළවර වූ දකුණේ තරුණ කැරළි දෙකක අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරමින්ය. කුමන දේශපාලන පක්ෂයක් රට පාලනය කළත් රටේ සමහර සේවාවන් ස්වාධීනව පැවැතිය යුතුය නැතිනම් ප්‍රතඵලය අතිශය භයානකය.


09. අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යාවශ්‍ය ප්‍රධානම සාධකයන් නම් පත්කිරීමය. නීතියේ ආධිපත්‍යය රැක ගැනීමට නම් අධිකරණය ස්වාධීන විය යුතුය. විනිශ්චයකාරවරුන් ඇතුළව අධිකරණයේ ඉහළ තනතුරු සදහා පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීන කර තිබීම වැදගත් වන්නේ ඒ නිසාය.


10. පාලන ක්‍රමය පාර්ලිමේන්තු හෝ විධායක ජනාධිපති ක්‍රමයක් වුවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ සංවරණ සහ තුලනය නිසි ලෙස ක්‍රියත්මක වුවහොත්ය. වෙනත් ආකාරයකින් කිවහොත් එක් ආයතනයක් අනෙක් ආයතනයට වග කියන, නිරීක්ෂණය වන පාලනය වන ක්‍රමයක් පැවතෙන විටය.


11. සිතීමේ නිදහස, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස, සංවිධානය වීමේ සහ සමාගම් පැවැත්වීමේ නිදහස, වෙනස් කොට සැලකීමෙන් තොර වීමේ නිදහස, වෙනස් සහ විරුද්ධ මත දැරීමේ නිදහස, සහ තොරතුරු වලට ප්‍රවිශ්ටවීමේ නිදහස ප්‍රමුඛ කරගත් මූලික අයිතිවාසිකම් ව්‍යස්ථාවෙන්ම සහතික වී තිබිය යුතුය.


12. විවිධ ජාතීන්ට, සහ විවිධ ප්‍රදේශවල පවතින අනන්‍යාවයන් ආරක්ෂා වන තනි රටක් ලෙස පැවැතීමට අත්‍යාවශය සාධයක් වන්නේ රටේ තුළ බලය බෙදී පැවැතීමයි. කොළඹ කේන්ද්‍රීය සංවර්ධනය වෙනුවට තම පළාත ගැන පලාත තුළ තීරණ ගැනීමට හැකි බලය බෙදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කිරීම ඒකීය රටක් වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.


13. ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය යනුවෙන් විෂයක් පවතින අතර, ඒ මොහොතේ සිටින පාලකයන් දෙස බලා, යන එන ගමන් ආණ්ඩුක්‍රම සෑදිය නොහැක.


14. රටකට ශක්තිමත් සහ ප්‍රබල නායකයන්/ පාලයකන් අවශ්‍යයය. එවැනි ප්‍රබල නායකයන් බිහි කරන්නේ ඒකාධිපති ව්‍යවස්ථා මගින් නොව ප්‍රජාතන්තවාදී පාලන ක්‍රම මගිනි. ප්‍රබල පාලකයන් යනු විවිධ මත, වෙනස් අදහස්, වලට ඉඩ දී ඒවා තමන්ගේ පාලනය වෙනුවෙන් කලමනාකාරණය කරගන්නා තැනැත්තන් මිස වෙනස්කම් ප්‍රකාශනය වීමට ඇති ඉඩ වැළක්වීමේන් තමන් ඉස්මතු වන අයෙක් නොවේ. ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයෙන් පමණක් ශක්තිමත් නායකයෙක් බිහිවන්නේ නැත.


15. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දී තිබෙන ආයතන, අයිතිවාසිකම් සහ සාමාන්‍ය ජන ජීවිතය අතර සම්බන්ධතාවයක් තිබිය යුතුය. නැති නම් රටේ බහුතර ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා විශ්වාස නොකරන අය බවට පත්වේ.


16. අලුතින් සම්මත වන ව්‍යවස්ථාවක හෝ සංශෝධනයක හැඩ රුව තීරණය කරන්නේ ඒ මොහොතේ රටේ පාලකයන්, පවතින දේශපාලන, ආර්ථික, සෞඛ්‍ය, ආරක්ෂාව වැනි සන්දර්භයන් මත වීම වැළැක්විය නොහැකි වුවත් ව්‍යවස්ථාවක දර්ශනය අනාගතය විය යුතුය.


17. ජාත්‍යන්තරය තුළ අප රටක් ලෙස ගෞරවාදරයට පත්වන්නේ හෝ නොවන්නේ තේ, ක්‍රිකට් හෝ ඇගලුම් නිසා නොව අප මෙතෙක් රැකගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් නිසාය. ඒ ප්‍රජාත්ත්‍රවාදී උරුමය නොනැසී පවත්වාගැනී ව්‍යස්ථා සම්පාදයකයන්ගේ කාර්යයකි.


18. පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ජනතාව නව ආණ්ඩුවක් පත්කලේ පුරවැසි බලය හීන කරන තමන් නොදුටු ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් නොවේ. එසේම ජනාධිපතිවරණයෙන් පසු කොවිඞ් තර්ජනය පසෙකලා සියයට 70කට ආසන්න පිරිසක් ඡන්ද පොළට ගොස් පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කලේ අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව ද රට පාලනය කිරීමේ අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස හඳුනා ගත් නිසාය. ඒ නිසා අගමැතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ බලය දුර්වල කිරීම එම ජනමතයට එරෙහි වීමකි.


19. විසිවෙනි සංශෝධනය කිසිදු වෙනස් වීමකින් තොරව දැන් ඉදිරිපත් කර ඇති ආකාරයටම සම්මත වුවත් ඉන් සියල්ලම අවසන් වී ලෝක විනාශය සිදු වේ වැනි බොරු භීතිකාව සාදාගත යුතු ද නැත. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ උස් පහත් වීම් ඇතිවන අතර නරක සංශෝධන අපට ඉතිරිකන්නේ හොඳ පාඩම් මිස අන් කිසිවක් නොවේ.


20. සැබෑ බේදවාචකය ඇරඹෙන්නේ විස්ස සම්මත වීමෙන් නොව මෙවැනි සංශෝධන පිළිබඳව මහජනයා අතර කතාබහක්, සංවාදයක්, ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම නතර වුවහොත්ය. මෙවර සමබිම විස්සට පක්ෂව සහ විපක්ෂව සිය අදහස් මහජන අවකාශයේ බෙදා හදා ගන්නා සියලු දෙනා වෙනුවෙනි.

 

-සමබිම- 
Advertiesment