Saturday 28th of November 2020

English Tamil
Advertiesment


සිරි යහනේ ලණු ඉහිරී- ගීතය ලිව්වේ අමරදේවයන්ට


2020-10-11 1209

ඇසළ කළුවරෙහි ඔහු රංගන දායකත්වය සැපයූ සංඛභානුට වෙනත් රංගන ශිල්පියකු ගෙන් සාධාරණත්වයක් ඉටු වෙතැයි අදට ද සිතිය නොහැකි තරම්ය. සංඛභානු මෙන්ම ඔහුද අති දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. එපමණක් නොව රජ මැදුරක ඉපදී සිටියා නම්, සිරියහනේ ලණු ඉහිරී, කොළොම්තොට නැත මහලූ වී, දම් පාටින් ලා සඳ බැස යනවා වැනි විශිෂ්ට ගී ගණනාවක් රචනා කළ ගී පද රචකයෙකි. රතු හැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති වැනි නාට්‍ය වේදිකාවට ගෙනවිත් වේදිකා නාට්‍ය වංශ කතාව රනින් ඔප ලූ විශිෂ්ටයෙකි. ඔහු සත්‍ය වශයෙන් කලාකරුවෙක් යැයි පැවසිය හැකි අතලොස්සක් අතර ඉදිරි පෙළ සිටින්නෙකි. ලූෂන් බුලත්සිංහල පිළිබඳ මේ අටුවාව කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව අපි අදහමු. එහෙත් අපට මෙහි ලියන්නට බැරි වූ සියලූ දෑ පිළිබඳ අඩුව ඔහුගේ රසවතුන් විසින් මෙහි බහාලනු ලබන බව අපගේ විශ්වාසය ය.

* ඔබ බටනලාව වාදනයට දක්ෂයෙක්?

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මං බටනලාව වාදනය කිරීමට ඉගෙනගෙන තිබුණා. මං රත්මලානේ ඉන්න කාලේ මොරටුවේ තිබුණ වික‍්‍රමශිලා කලායතනයෙන් මං ඉගෙනගත්තා. එතකොට පේරාදෙණිය ඉන්න කාලේ සරච්චන්ද්‍ර ගේ පේමතෝ ජායති සොකෝ නාට්‍යයේත් මං බටනලාව වාදනය කළා. පේරාදෙණියේ ඉන්න කාලේ බටනලා වාදනය ඉගෙන ගන්න මං ගියේ ඇම්. ජී. සුගතදාස ගුරු මහත්මයා ළඟට. සමිතා මුදුන්කොටුවගේ අම්මා ඉගෙන ගත්තේ එතුමා ගාව. එතකොට ඇය තරුණ කාලේ. ඉතිං එතන ඇය වගේම හිටියා තවත් එක් කෙනෙක් ඉන්ද්‍රා කුමාරි විජේරත්න කියලා.

මං ඒ ගුරුවරයාට ගීත නාටකයක් ලියලා දුන්නු හින්දා ගීත ලියන්න පුළුවන් කියලා දැනගෙන සුගතදාස මහත්මයා මට කිව්වා ඉන්ද්‍රා කුමාරිට සරල ගී වැඩසටහනක් ලැබිලා තියෙනවා, පුළුවන්ද ඉන්ද්‍රා කුමාරිට ගීතයක් ලියලා දෙන්න කියලා. මං කිව්වා උත්සාහ කරලා බලන්නං, මං ලියලා ගේන්නං කියලා. ඒක තමයි මං ඉස්සෙල්ලම ගායිකාවකට ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ලියපු ගීතය. ඒකෙ සංගීතය නිර්මාණය කළෙත් සුගතදාස මහත්මයමයි. ඉන්ද්‍රා කුමාරි විජේරත්න තමයි ඒ මුල් ගීතය ගායනා කළේ. ”සීත පෙරෙන දුරුතු රැුයේ” ගීතය තමයි මගේ මුල්ම ගීතය. හැබැයි ඒ සරල ගී වැඩසටහනවත් මට අහන්න ලැබුණේ නෑ.

* නමුත් පසු කාලයේදී අහන්න ලැබෙනවනේ?

වසර ගණනාවකට පස්සේ මට ස්ථිර නිවේදක තනතුරක් ලැබිලා ගුවන්විදුලියට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ ආපු වෙලාවේ අපේ පුහුණුවීම් කාලය තුළ අපට උගන්වපු ඇග්නස් සිරිසේන මහත්මියට මම කිව්වහම මම ගීතයක් ලිව්වා කියලා එයා ලයිබ‍්‍රරියේ ඉන්ඩෙක්ස් එක බලලා කිව්වා මේ ගීතය තැටියක් කැපිලා තියෙනවා, හැබැයි කවදාවත් ප‍්‍රචාරය වෙලා නැහැයි කියලා. පස්සේ ඇය මට කිව්වා ඔයාට අහගන්නත් එක්ක මම ඒක ප‍්‍රචාරයට දාන්නම් කියලා. ඇය ඒ ගීතය එක දවසක් ගීත ලැයිස්තුවේ පෙළගස්වලා තිබුණා. එදා තමයි මං ඒ ගීතය ගුවන්විදුලියෙන් ඇහුවේ.

* ඉන් පස්සේ ඔබ ගීත රචනයට යොමු වෙනවා?

මම ගීත රචනයට යොමු වෙන්නේ ඔය විදිහට ගුවන්විදුලියට ආවට පස්සේ. ඒ ඉන්න අතරේ තමයි ඔය කතාව ඇග්නස් අක්කාගෙන් එහෙන් මෙහෙන් ප‍්‍රචාරය වෙලා මමත් මේ සිංදු ලියනවා කියලා පොඞ්ඩක් කට්ටිය දැනගත්තේ. කොහොම හරි සුජාතා අත්තනායක එයා ගේ සරල ගී වැඩසටහනකට ගීයක් ලියලා දෙන්නයි කියලා කිව්වා. ගුවන් විදුලියේදී ලියපු පළවෙනි ගීතය තමයි ඒ සුජාතා අත්තනායකට ලියපු ගීතය. ”සඳ බැස නෑ” නමින්. සංගීතය නිර්මාණය කළේ ඔස්ටින් මුණසිංහ. ඒක ජනප‍්‍රිය වුණ ගීතයක්. මොකද ඔස්ටින් මුණසිංහගේ තනුව ඉතාම අලංකාරව ඒකෙ යෙදිලා තිබුණා. ඒ ගීතය අහලා මගේ මිත‍්‍රයා පේ‍්‍රමකීර්ති ද අල්විස් මට කිව්වා

”ලූෂන් උඹ ලියන එව්වයේ මොකද්ද අමුතු හැඩයක් තියෙනවා, දිගටම සිංදු ලියපන්” කියලා. එතනින් පස්සේ තමයි මම නිතර නිතර තවත් අයගේ ඉල්ලීම්වලට ගී ලිව්වේ.

* ඒ ලියපු හැම ගීතයක්ම තෑගි ගීතද?

තෑගි තමයි ඔක්කොම. මොකද මම කවදාවත් ගීත ලියාගෙන කාටවත් දුන්නෙ නැහැ. කව්රු හරි ඉල්ලීමක් කළොත් විතරයි ගීතයක් ලියලා දෙන්නේ, ඒ කෙනාගේ ඉල්ලීම අනුව. මුදලට නොවෙයි හිතවත්කමට. මං ලියපු ජනප‍්‍රියම ගීත හැත්තෑ ගණන් අසූ ගණන්වල මාධ්‍යයේ ඉන්න කාලේ තමා මං ලිව්වේ. ඊට පස්සේ මං ඒවා ලියන එක අත්ඇරියා. ඒ කාලේ ඉතිං අර හිතවත්කමට හැම තිස්සෙම හම්බවෙන අය නේද, යමක් ඉල්ලූවම නොදී බෑ නේද කියන අදහසින් තමා ලිව්වේ. ඔය මම මෙතෙක් කියපු කිසිම ගීතයකට කාගෙන්වත් දොයිතුවක් අරගෙන ලියපුවා නෙමෙයි, හිතවත්කමට ආදරේට ලියපු ගීත. අපි ගීත ලියපු කාලේ එහෙමයි.

නමුත් ඒවා වෙළෙඳාමට මැදි වුණාට පස්සේ ඒවායින් මුදල් උපයන එක්තරා පිරිසක් බිහිවෙලා ඉන්නවා ඒගොල්ලෝ කවදාවත් අර නිර්මාණකරුවනට ඒ නිර්මාණාත්මක අයිතිය, ඒකෙ කර්තෘ භාගය දෙන්නේ නෑ. මුළු දකුණු ආසියාවෙන්ම ඒ අයිතිය නැති එකම රට ලංකාව කියලා විශ්වාස කරන්න පුළුවන්ද? නීතියකින් පාලනය නොවන රටක අපි මේ දේවල් ලියන්නේ. ඒක හින්දා අපිට අපේ හිමිකම නෑ. ඒවායින් කෝටි ගණන් හම්බ කරනවා. ඒවා ගායනා කරන අයත් හම්බ කරනවා. ඒවා විකුණන අයත් හම්බ කරනවා. පහුගිය කාලේ මම ගීත රචනයට යොමු නොවෙන්න එක හේතුවක් ඕක. ඒ අසාධාරණය තවත් දකින්න කැමති නැතිකම.

* ඔබ චිත‍්‍ර ශිල්පයට දක්ෂයෙක්?

ඒ කාලේ මං චිත‍්‍ර අඳින්න හරිම දක්ෂයි. රජයේ ලලිත කලායතනයේ පරීක්ෂණයට පෙනී හිටලා ඒකෙන් පාස්වෙලා මම ඒකට ගියේ චිත‍්‍ර ශිල්පියෙක් වෙන්න. මං රත්මලානේ ඉන්දැද්දී මගේ යාලූවෙකුත් එක්ක මාපලගම විපුලසාර හාමුදුරුවන්ගේ පිරිවෙනේ තිබුණා පුංචි පංතියක්. අපි ඒ හාමුදුරුවන්ගෙනුත් ඉගෙනගෙන තියෙනවා. ඉතිං ඒක හින්දා චිත‍්‍ර කලාවට මට පොඩි නැමියාවක් තිබුණා. නමුත් ඒක අධික වියදම් සහිත රාජකාරියක්. අපේ තාත්තා මාස තුනකට පස්සේ මට කිව්වා පුතේ ඔය වියදම් දරන්න මට නම් බෑ. උඹ ආපහු ඉස්කෝලේ පලයන් කියලා. ඒ ගුරුවරු හරියට ශෝක වුණා මං එන්නේ නැහැ කිව්වහම. මට කිව්වා අඩුගාණේ සෙනසුරාදා පංතියටවත් එන්න නිකං උගන්වන්නන් කියලා. ඉතිං මට ඒකවත් කරගන්න ශක්තිය නැතිවුණා. ඊට පස්සේ තමයි දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ගියේ නැවත. ඒ යනකොටත් තාත්තා මට කිව්වේ විශ්වවිද්‍යාලයට පාස් උනත් මට උඹව විශ්වවිද්‍යාලයේ යවලා උගන්වන්න බෑ. උඹ රස්සාවක් කර කර ඉගෙන ගනින් පුතේ කියලා. කොහොම හරි මම පළවෙනි වතාවට සරසවි පිවිසුම ෆේල් වුණා. දෙවැනි වතවට සුදුසුකම ලැබුණා බාහිර ශිෂ්‍යයෙක් හැටියට ඉගෙනගන්න.

*”පිනිබර යාමේ සැවුලන් හඬලනවා” ගීතය උපදෙස් මාලාවක්?

ඒකත් ඒ වගේ අපි අත්විඳපු දෙයක්. මගේ පුංචි කාලේ ගැන. අපේ තාත්තා වැඩට යන්න ඉස්සෙල්ලා මාව පාන්දර කූද්දලා මට දෙන අවවාද ටික. ඒ අවවාද ටික දීලා තමයි තාත්තා යන්නේ. මට ඒක මතකයි. ඒ මතකෙන් තමයි ඔය පිනිබර යාමේ ගීතය ලිව්වේ. තාත්තා කෙනෙක් පුතෙකුට කියන දේ. නැගිටින් පුතුනේ, අම්මට අකීකරු වෙන්න එපා, අකීකරු වෙලා ගෙඟ් ඇළේ දොලේ නාන්න යන්න එපා, ඉස්කෝලේ යන්න ඕන කියලා ඒ කියපු දේවල් ටික තමා ඔය ගොනු කරලා තියෙන්නේ ගීතයට. රේල්ලූව එනවා වෙලාවට. තාත්තා එතෙන්ට යන්න ඕන වැඩට යන්න. ඒකත් ඉතාම ජනප‍්‍රිය ගීතයක් වුණා.

* එඞ්වඞ් ජයකොඩි ගයන ”සිරි යහනේ ලණු ඉහිරී ගීතය” ඔබේ ඉතාමත්ම ජනප‍්‍රිය ගීතයක්?

ඇත්තටම ඒ ගීතය මං එඞ්වඞ්ට ලියූ ගීතයක් නෙවෙයි. ඒක ලිව්වේ අමරදේවයන්ගේ ඉල්ලීමකට. වැඩිහිටි බවට පත්වෙච්ච තනිකඩයකු ගේ ඛේදවාචකයක්නේ ඒකෙන් කියවෙන්නේ. කොහොමහරි ඔය ගීතය අමරදේවයන් අතින් කියවුණේ නෑ. නමුත් එක්තරා දවසක මාව හොයාගෙන රූපවාහිනී සංස්ථාවට ආවා එඞ්වඞ් ජයකොඩි. එඞ්වඞ් කිව්වා ලූෂන් අයියා ඔයාගේ ගීතයක් සිංග් ලංකා ගීත එකතුවකට මම ගායනා කළා, ඒකෙන් පොඩි මුදලක් තියෙනවා, ඒක දෙන්න ආවේ කියලා. මම කිව්වා එඞ්වඞ් ට මම ගීයක් ලියලා නෑනේ එඞ්වඞ් කියලා. එතකොට ඔහු කිව්වා නෑ නෑ නෑ, මේක මට ලැබුණේ අමරදේව සර් ගාව තිබිලා කියලා. මං දන්නවා ඒ කාලේ ගීතයකට දෙන මුදල. ඉතිං මට ඔහු දුන්න මුදල මං ප‍්‍රතික්ෂේප කළා. මං කිව්වා එඞ්වඞ් ඔයා ඕක අරගෙන යන්න මම ඔයාට ලිව්වේ නෑනේ ඔය ගීතය කියලා. ඒක මම ගත්තෙත් නෑ. අපේ හිතවත්කම් නැති වුණෙත් නෑ.

* කොළොම්තොට ගීතය සම්බන්ධවත් ඔවැනි සිදුවීමක් වුණා නේද?

සිරි යහනේ ගීතය මං එඞ්වඞ්ට ලිව්වේ නෑ වගේම කොළොම්තොට නැත මහලූ වී ගීතය මම අමරදේව මහත්මයට ලියූ ගීතයක් නෙමෙයි. ඒ දවස්වල ගීත එකතුවක් කරන්න වෙන්නෝන ගුණදාස කපුගේ මට කිව්වා මගෙන් ගීතයක් ඕනෑය කියලා. ඉතිං මං ඔහුට කොළොම්තොට ලියලා දුන්නා. ඔය ගීතය ලියලා දීලා තියෙද්දී සිංග් ලංකා එකෙන් ගුණදාස කපුගේට කියලා තියෙනවා අමරදේව මහත්මයා ගේ ඇල්බම් එකක් ඒගොල්ලෝ කරනවා, ඒකට කපුගේගෙන් ගීතයක් දෙන්න කියලා. ඒ කියන්නේ ගුණදාස කපුගේ ගේ සංගීතය සමග ගීතයක්. ඔහු කොච්චර හොඳ කෙනෙක්ද කියන්නේ ඔහු මේ ගීතයට සංගීතය නිර්මාණය කරලා එයා ගයන්න සූදානමින් හිටියේ. එයාට අර යාළුකමට කිව්වහම අමරදේවට මෙන්න මෙහෙම දෙයක් කරලා දෙන්න කියලා සිංග් ලංකා එකේ රෙකෝඩින්ග් කරන දවසේ ගිහිල්ලා සංගීතය රෙකෝඞ් කරලා තියෙනවා.

වොයිස් කරන දවසේ අමරදේව මහත්තමයා ආවහම ඔහු ගීතය කියවලා කපුගේට කියලා තියෙනවා ‘අනේ කපුගේ මේක මට ගැළපෙන්නේ නෑ කියලා. පස්සේ කපුගේට ටිකක් හිතට හරි නෑ, ටිකක් තදින් කිව්වලූ මාස්ටර් මම කියන හින්දා මේ ගීතය ගායනා කරන්න’ කියලා. පස්සේ කොහොම හරි ඒ පෙරැත්ත කිරීම නිසා කපුගේට පිටුපාන්න බැරිකමට මේ ගීතය ගායනා කරලා. පස්සේ ගීතය එළියට ඇවිත් ජනප‍්‍රිය වුණාම දවසක් කපුගේ හම්බුණාම කියනවලූ කපුගේ අරක හරි ගියානේ කියලා. කපුගේ ඉතිං හිනාවෙලා නිකං හිටියලූ. රෙකෝඩින්ග් එක කරලා ඇවිත් තමයි මට කිව්වේ විස්තරේ. ඉතිං ඔය ගීතය තව ඇල්බමයකට ගයන්න කතා කළා කියලා අමරදේවයන් මට ඇවිල්ලා කිව්වා මේකට අවසර දෙන්න කියලා. මම ඒ තරම්ම ඒකට මනාප නොවුණත් ගෙදරට ඇවිත් එහෙම කිව්වහම බෑ කියන්න බෑනේ කියලා මම කිව්වා මේ ඇල්බමයට පමණක් මේ ගීතය භාවිතා කිරීමට අවසර දෙනවා කියලා. රුපියල් තුන්දාහක් ද කොහෙද මට දීලත් ගියා. ඒ තමයි ඒ ගීතයට මට ලැබිච්ච එකම මුදල. ඊට පස්සේ ඒ ගීතය බොහෝ අය අරගෙන කළා කිසිම දෙයක් කියන්නේ නැතුව, අර ලියුම ප‍්‍රයෝජනයට අරගෙන. තද කොල්ලකෑම් තියෙනවා ඉතිං මෙහෙ, අපි ගාවට එවන්නේ ගායකයා.

ඒගොල්ලෝ එන්නේ නෑ.

ඔබේ පිපුණු මලේ රුව ඉතාම ජනප‍්‍රිය ගීතයක්?

නන්දා මාලිනියට මම ගීත දෙකක් ලියලා දීලා තියෙනවා. පිපුණු මලේ රුව සහ ඔසරි පොටින් අදින් එපා ගීත දෙක. ඒකත් මගේම අත්දැකීමක්. මගේ පුංචි කාලේ අත්දැකීම මං මගේ දුව දිහා බලලා එයාට ආරෝපණය කරලා අම්මා කෙනෙක් කියන දෙයක් හැටියට ලියලා තියෙන්නේ. මගේ පුංචි කාලේ අපේ ගෙදර ලොකු කන්නාඩියක් තිබුණෙ නෑ. බොහෝ වෙලාවට තිබුණේ කන්නාඩි කෑල්ලක්, කැඩිච්ච කෑල්ලක් ඔය බිත්තියේ ගහපු තැනක තමයි තියෙන්නේ. හරියට රූපය බලන්නේ, අපි නාන්න යන තැනක් තිබුණා ගෙදරක විවෘත ළිඳක්. ඕකට එබිලා බලපුවම මුළු රූපෙම පේනවා. ඕකෙන් තමයි බලන්නේ. අපේ දුව වැඩිවිය පත්වීගෙන එන කාලේ ඉස්කෝලේ යනකොට එයා අපේ ගෙදර කණ්ණාඩියෙන් හැඩ වැඩ බලන හැටි දැකලා තමයි මට ඔය ගීතය ලියන්න හිතුනේ. මගේ පුංචි කාලේ මට මතක් වුණා. ඕකේ වැදගත්ම දේ තමයි ඔය ගීතයේ සංගීතය නිර්මාණය කළේ ඒ කාලේ ගුවන්විදුලියේ සංගීත අංශයේ පාලකවරයා විදිහට කටයුතු කරපු ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා. ඔසරි පොටෙන් අදින්නෙපා ඊට පස්සේ ලිව්වේ. ඒක ගැමි ලියකගේ අත්දැකීමක් සංකල්පනාවක් කොට ලියූවක්. සංගීතය කළේ ගුණදාස කපුගේ.

* රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතයට පදනම් වූ ඔබේ ළමා කාලයේ මතකය?

ඉස්කෝලේ ඉන්දැද්දී අපි ගීත නාට්‍ය එහෙම කරනවා. ඒ කාලේ ජනප‍්‍රිය ගීතවලට මම මගේ වචන දානවා. ඒවා සභාවේ කියනවා. එහෙම තමයි මං ගීත රචනය මුලින්ම කළේ. ඒ එක්කම රඟපාන්න මං ආසයි. ඉතිං මාත් එක්කම හිටියා ලයනල් රණසිංහ කියලා මගේ යාලූවෙක්. බොහොම දක්ෂයෙක්. මට මතකයි ගුවන්විදුලියේ එයාට තිබුණා සම්බන්ධයක්. ඉතිං ඒ ලයනල් රණසිංහ තමයි මාව ගුවන්විදුලියට පළවෙනි වතාවට එක්කං ගියේ. ඒ කාලේ දරිද්‍රතාවය හුඟක් තදින් තිබුණා. තාත්තා විතරයි හම්බ කළේ. අපේ කියලා කිසිම දෙයක් අපිට තිබුණේ නෑ. අපේ තාත්තා තද බල සමසමාජ කාරයෙක්. එයා බොහොම තද විදිහට වෘත්තීය සමිති කටයුතු කළා වරායේ. ඒවත් අපිට බලපෑවා ජීවිතේට. දුප්පත්කම තමයි ඉතිං අපි වැඩියෙන්ම ඇසුරු කරපු දේ.

රජ මැදුරක ඉපදී සිටියා නම් අපේ කතාව. එක්තරා මොහොතක තාත්තා ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා. ඒ ඔක්කොම මැද්දේ අපි බොහොම අමාරුවෙන් ඉහ ගහගෙන හිටියේ. ඒ කාලේ තිබුණා රෝහල් ලොතරැයිය කියල එකක්. අපේ තාත්තා ඉතිං දුප්පත්කම හින්දා වෙන්නැති හැමදාම ඒ කාලේ ලොතරැුයියක් ගන්නවලූ. එක සැරයක් මං අපේ ලොකු නැන්දගේ ගෙදර ඇවිත් ඉන්නකොට තාත්තා ඇවිල්ලා මට චෙක් එකක් පෙන්නලා මගෙන් ඇහුවා මේ ගාණ කියන්න පුළුවන්ද උඹට කියලා. මං කිව්වා රුපියල් තිස්දාස් එකසිය විසි පහයි කියලා. අපේ තාත්තට අර ලොතරැුයියේ දෙවැනි තෑග්ග ඇදිලා. ඉතිං අපි රත්මලානේ හිටපු අපේ ඒ දරිද්‍රතාවයෙන් මදක් මිදිලා පාමංකඩට ආව.

* ඔබේ වේදිකා නාට්‍ය, ඒවායෙහි ගීත හරිම සුවිශේෂියි, අතිශය ජනප‍්‍රියයි?

වේදිකා නාට්‍යවලට, ඒ වේදිකාව ඉල්ලා හිටින දේ නේ මම ලියන්නේ. ඔය පළවෙනි ගීත ඇතුළත් නාට්‍යය තමයි මගේ රතු හැට්ටකාරී. රතු හැට්ටකාරී නාට්‍යයේ සංගීතයට හොඳම සංගීත නිර්මාණයට ඔස්ටින් මුණසිංහට සම්මානය ලැබුණා රාජ්‍ය නාට්‍යය උත්සවයේදී. හොඳම රචනයට මට හම්බුනා සම්මානය. හොඳම නළුවා සම්මානය ජයලත් මනෝරත්නට ලැබුණා. ඔය ප‍්‍රධාන සම්මාන තුන අපට හම්බුනා. නමුත් දෙන්න ඕන සමහර සම්මාන ඒ අවුරුද්දේ ලැබුණේ නෑ. අසාධාරණකම් වුණා. ඒ අවුරුද්දේ කොටින්ම දක්ෂතම නිළියක් නැහැයි කියලා ඒ සම්මානය නොදී හිටියා. රතු හැට්ටකාරී එකේ අනුලා කරපු ඒ රංගනය හැමෝම අගය කරද්දී ඒ සම්මානය දුන්නේ නෑ එයාට. බොහෝ වෙලාවට එක එක්කෙනාගේ පෞද්ගලික දේවල් බලපානවා පොදු කාරණාවලට. ඊට පස්සේ තාරාවෝ ඉගිලෙති. ඒක නං මම රාජ්‍ය නාට්‍ය උළෙලකට දැම්මේ නෑ. නමුත් ඒක ජනප‍්‍රිය නාට්‍යයක් බවට පත් වුණා. 81 න් පස්සේ මට නාට්‍යය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මාව ගුවන්විදුලියෙන් රූපවාහිනියට මුදා හැරියා. මගේ ඉල්ලීමක් අනුව නෙමෙයි.

රූපවාහිනියට ගිය දා ඉඳන් මගේ නිර්මාණ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. මට රූපවාහිනියේ ලැබිච්ච තනතුරට ලැබුණු පඩිය, ගුවන්විදුලියේ මං අන්තිමට ගත්තු පඩියටත් අඩු පඩියක්. නමුත් වැඩියෙන් වැඩ කරන්න වුණා. ඒක සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ වෙන්නේ නැති දෙයක්. රාජ්‍ය සේවයේදී හැම තිස්සෙම තව කෙනෙක්ව වෙන තැනකට දානවා නං ඒ වැටුපට මදක් හෝ වැඩි දෙයක් හෝ සමාන වෙන්න ඕන. නමුත් මෙතනදි ඒ පරිපාලනය අපට ලොකු අසාධාරණයක් කළා. මගේ මුළු කාලය පුරාවටම ඒ අසාධාරණය හදාගන්න හැදුවට හරි ගියේ නෑ. අන්තිමේදී මට රූපවාහිනියෙන් විශ‍්‍රාම යන්නවත් ලැබුණේ නෑනේ. ඔබේ සේවය අනවශ්‍යයි කියලා අනිවාර්යය නිවාඩු යැව්වා. එහෙම කරලා ගෙදර ඉන්දැද්දී තමයි මාව විශ‍්‍රාම යවන්නේ.

* ඔබේ ජීවිත අත්දැකීම් තවත් බොහෝ සුන්දර නිර්මාණවලට පසුබිම් වුණා?

මම විවාහ වෙන්න ඉස්සර තිබිච්ච මගේ දීර්ඝ පේ‍්‍රම සම්බන්ධතවයක ප‍්‍රතිපලයක් තමයි දම්පාටින් ලා සඳ බැස යනවා ගීතය. මම එතකොට පේරාදෙණියේ හිටියේ. ඒ පෙම්වතිය හිටියේ කොළඹ. කලාතුරකින් තමයි මම කොළඹ එන්නේ. ඒ ඇවිල්ලා හමුවී යන මොහොතක ඇතිවුණා යයි කියලා හිතෙන හැඟීම තමයි ඔය තියෙන්නේ. ඇයව දාලා යන්න තියෙන අකමැත්ත. ඒ තරං අපේ තිබිච්ච පේ‍්‍රම සම්බන්ධය ඉතාම ගැඹුරු පේ‍්‍රම සම්බන්ධයක්. අපි දෙන්නා එක්තරා මොහොතක වෙසක් බලන්න යනවා. අපි අපේ කණ්ඩායම එක්ක වෙසක් බලලා ඔය ලූනාව මොරටුව මූද පැත්තෙන් වෙරළ දිගේ එන ගමනේ පාන්දර හඳ බැහැගෙන යමින් තිබුණා මුහුදට. ඒ වෙලාවේ මම දැක්කේ ඒ හඳ ඔය විදිහට. ඒ පේ‍්‍රම සම්බන්ධය ඵලදායි වුණේ නැහැ. ඒක කැඞී ඉහිරී ගිය පේ‍්‍රම සම්බන්ධයක්. නමුත් ඒ මිහිරි මතකය තමයි පසු කාලයේ ඔය ගීය බවට පත්වෙන්නේ. ඇය දන්නවා මේ ගීත ගැන. ඒ වගේම ලියපු ගීතයක් තමයි ‘මං හින්දා ඔබේ දෙනෙතින් කඳුළක් හෙළන්න එපා’ ගීතය. ඒකත් පේ‍්‍රම සම්බන්ධයේ එක්තරා මොහොතක අපි එකඟතාවයකට එනවා.

ඇය මට කියනවා ඔබ විවාහ වෙනකං මාත් එක්ක මිතුරෙක් හැටියට ඉන්න අපි දෙන්නා යාළුවෝ වගේ ඉමු කියලා. ඒ හින්දා අපි හැමදාම පෙම්වතුන් හැටියටම වෙන්වෙලා ඉන්නවා. අපි තරහ වුණේ නැහැ කවදාවත්. විරසකයක් වුණේ නැහැ. ඇය පසුව විවාහ වුණා. ප‍්‍රසිද්ධ කෙනෙක් ඇය. එයා විවාහවෙලා එයාගේ ජීවිතේ ගෙනිච්චා. මම මගේ ජීවිතේ ගෙනිච්චා.

 
(දිවයින) 
Advertiesment