Monday 26th of October 2020

English Tamil
Advertiesment


අර්බුදයේ මහා සාධක


2020-10-09 2593

(වික්ටර් අයිවන්) 

 

ලංකාවට දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය නිදහසින් පසු මීට පෙර කොයිකවරදාකවත් මුහුණ දෙන්නට සිදුවී නැති තරමේ දැවැන්ත හා සංකීර්ණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එය රටේ ආර්ථිකයට පමණක් සීමා නොවූ සමාජ, දේශපාලන ක්‍රමයද වෙලා ගත් අර්බුදයක් ලෙස සැලකිය හැකි වුවත් ආණ්ඩුව ඒ ගැන කිසිවක් කතා කරන්නේම නැති තරම්ය. විරුද්ධ පක්ෂද ඒ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැත.

 

අර්බුදය නොසලකා හැරීම

 

ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය ඇති කරන්නට නියමිත ප්‍රතිවිපාක මොනවාද? විදේශ ණය අර්බුදයේ අවසානය කුමක් විය හැකිද? රක්ෂා අහිමි වන අයගේ සංඛ්‍යාව කොපමණ විය හැකිද? ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තිය කුමක්ද? දැනටමත් වැසී තිබෙන හා වැසෙන්නට නියමිත ව්‍යාපාරවල ප්‍රමාණය කොතරම්ද? ඒවා සම්බන්ධයෙන් අනුගමනය කරන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තියක් තිබේද?

විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ග බිඳ වැටීමෙන් සිදුවී තිබෙන හානියේ ප්‍රමාණය කොතරම්ද? ඉන් ආර්ථිකයට සිදුවී තිබෙන හානිය ජයගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද? ආනයන විශාල ප්‍රමාණයකට කපා හරින ප්‍රතිපත්තිය ආර්ථිකය කෙරෙහි ඇති කරන්නට නියමිත බලපෑමේ ස්වභාවය හා තරම කුමක්ද? ආණ්ඩුවේ ආදායම හා වියදම අතර පවත්නා අතිවිශාල අවාසිදායක පරතරය පියවා ගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද? රටේ ආර්ථිකයේ පවත්නා මෙම අර්බුදය අර්බුදකාරී තත්ත්වයක තිබෙන සමාජ-දේශපාලන ක්‍රමය කෙරෙහි ඇති කරන්නට යන බලපෑමේ ස්වභාවය හා තරම කුමක්ද?

දැන් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය වසංගතය නිසා ඇතිවූ අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. එය ඊට පෙරද පැවති ක්‍රමානුකූලව වර්ධනයවෙමින් පැවති අර්බුදයක් වන අතර, එම අර්බුදය මත වසංගත තත්ත්වයක් කඩා වැටීම නිසා අර්බුදයේ පරිමාව විශාල කිරීමට හේතුවී යැයි කිව හැකිය.

 

සමාජ ක්‍රමයේ කඩා වැටීම

 

සමාජ ක්‍රමයේ කඩා වැටීම තිබුණේ නොපෙනෙන හෝ අඩුවෙන් පෙනෙන තත්ත්වයක නොව හොඳටම පෙනෙන තත්ත්වයකය. ලාංකික ජාතිය ගොඩනගා ගැනීම කෙසේ වෙතත් රටේ ඉදිරි ගමන සඳහා ජන කණ්ඩායම් අතර අභ්‍යන්තර සමගිය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවවත් තේරුම් ගැනීමට අපේ ජාතික නායකයන් අසමත් විය. සමාජයේ වර්ග, කුල, ආගම් වශයෙන් පැවති බෙදීම් වර්ධනය වන්නට ඉඩ නොදී ඒවා ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරන ප්‍රතිපත්තියක් වෙනුවට ලංකාවේ ජාතික නායකයන් අනුගමනය කළේ එම භේද වර්ධනය කොට ඒවායින් දේශපාලන වාසි ලබා ගන්නා ප්‍රතිපත්තියකි.

එම තත්ත්වය සමාජයේ පැවති බෙදීම් වර්ධනය කොට ඒවා මහා පරිමාණයෙන් ජීවිත හා දේපළ විනාශ කිරීමට හේතුවන දිග්ගැස්සුණු ප්‍රචණ්ඩ ගැටුම් බවට පත්කිරීමට හේතුවිය. කැරලි ගැසීම් පළමුව ඇතිවූයේ සුළු ජාතීන් අතරින් නොව මහ ජාතිය අතරිනි. ඇතිවූ එම සිංහල, දෙමළ කැරලි පරාජය කළ යුතුව තිබුණ කැරලි ලෙස සැලකිය හැකි වුවත් ඒවා මර්දනය කිරීමෙන් පසු විපතට පත්වූවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ප්‍රශස්ත තත්ත්වයක තිබුණේ යැයි කිව නොහැකිය.

ලංකාවේ රාජ්‍යය ඉදිරිය දැකීමේ හැකියාවක් ඇති ප්‍රඥාවන්ත රාජ්‍යයක් වී නම් ඒ කැරලි පරාජය කළ යුතුව තිබුණේ කැරලි ඇතිවන්නට පෙරය. රාජ්‍යයට එවැනි දැක්මක් නොතිබුණේ නම් කැරලි ඇතිවූ වහාම ඒවා දුර ගොස් යන්නට ඉඩ නොදී ඒවා ආරම්භක අවස්ථාවේදීම මැඬලිය යුතුව තිබුණි. රාජ්‍යය ඉක්මනින් මැඬපැවැත්වීමට සමත් වූයේ 1971 කැරැල්ල පමණය. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමට අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් ගතවූ අතර, එය පරාජය කරන ලද්දේද උපරිම මට්ටමකට ලොකු මහත් වූ පසුවය. එල්ටීටීඊ කැරැල්ල මර්දනය කිරීමටද අවුරුදු 30කට වැඩි කාලයක් ගත්තේය.

 

කැරලිවල ප්‍රතිවිපාක

 

කැරලිකරුවන් අතින් ලොකු ජීවිත විනාශයක් සිදුවූවා සේ ම, රජයටද එම කැරලි දෙක මර්දනය කිරීම සඳහා ලොකු ජීවිත විනාශයක් කරන්නට සිදුවිය. එම තත්ත්වය රාජ්‍යයට තිබෙන මහජන පිළිගැනීම දුර්වල කරන ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළේය. එම කැරලි පරාජය කිරීමෙන් ලැබූ ජයග්‍රහණයන් පවා තමන්ට ලොකු හානියක් ඇතිකර ගැනීමෙන් තොරව ලබා ගත් ජයග්‍රහණයක් නොවීය. එම කැරලි ජයග්‍රාහකයාටද බරපතළ තුවාල ඇති කොට ජයග්‍රාහකයාද බෙලහීන කිරීමට හේතුවී තිබුණි.

කැරලි මර්දනය කිරීමෙන් පසු තමන් පරාජය කළේ විදේශ ආක්‍රමණික කණ්ඩායම් දෙකක් නොව, තම රටේම පුරවැසි සමාජ කණ්ඩායම් දෙකක් බව සලකා විපතට පත්වූවන්ට සහන සලසන හා කැරලි ඇති කිරීමට හේතුවූ දුක්ගැනවිලි ගැන සොයා බලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට රාජ්‍යය අසමත්වීම නිසා රාජ්‍යයට තිබෙන මහජන පිළිගැනීම දුර්වල කොට එයට මාංශභක්ෂක පෙනුමක් ලබාදීමට හේතුවිය.

එම ප්‍රචණ්ඩ ගැටුම් සමාජ, දේශපාලන ක්‍රමය අවුල් කොට විකෘති කිරීමටත්, ඒවා අබල දුබල කිරීමටත් හේතුවිය. ඒවා ආර්ථිකය කෙරෙහි ඇති කරන ලද බලපෑමද ඉතාමත් විනාශකාරී විය. ලංකාව නිදහසේ සිටම ක්‍රියාකර ඇත්තේ රටේ දේපළ හා සම්පත් ඵලදායී ලෙස වර්ධනය කරගන්නා ඥානාන්විත ප්‍රතිපත්තියක පිහිටා නොව, ඒවා විටින් විට තොග ගණනින් විනාශ කිරීමට හේතුවන මෝඩ ප්‍රතිපත්තියක පිහිටාය. රටේ ඇතිවූ ගැටුම් නිසා පමණක් පසුගිය දශක හැටක් තරම් කාලය තුළ විවිධ ආකාරවලින් රටේ ආර්ථිකයට සිදුවී තිබෙන සමස්ත හානිය ගණන් බලන තැනකට ගියහොත් එය ඩොලර් බිලියන දෙතුන් සීයක් තරම් විශාල විය හැකිය

 

දේශපාලන ක්‍රමය බිඳ වැටීම

 

නිදහස ලැබෙන විට වෙස්ට් මිනිස්ටර් පන්නයේ අංගසම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් රටට ලැබී තිබුණද එවැනි ආණ්ඩු ක්‍රමයක් සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී දැනුම හෝ ශික්ෂණය අපේ නායකයන්ට නොතිබුණේය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් කිරීටයට තිබෙන බැඳීම ඉවත් කරන ලද්දේ අධිකරණයට හා විධායකයට තිබෙන බලය හීන කොට පාර්ලිමේන්තුවට අධි බලයක් ලැබෙන ආකාරයටය. ඉන්පසු 1978දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් නීතියට ඉහළින් තිබෙන ජනාධිපති ක්‍රමයක් ඇති කොට ආණ්ඩු ක්‍රමයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී පදනම තවදුරටත් දුර්වල කොට විකෘති කළේය.

රාජ්‍යයේ සකලවිධ බලයට අතිරේකව නීතියට ඉහළින් සිටීමේ බලයද හිමි කරගත් ජනාධිපතිවරයාට තමන් භාරයේ තිබෙන පොදු දේපළ තමන්ට, මැති ඇමතිවරුන්ට හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇති කරන ලදි. ඒ මගින් ඔවුන්ට සමහර රජයේ දේපළ පවරා ගැනීම් හා පවරා දීම් සිදුකරන ලද අතර ඊට අතිරේකව නීතියට පටහැනිව ඔවුන්ට රජය සමග ව්‍යාපාර කළ හැකි ක්‍රමයක්ද ඇති කර දෙන ලදි. ජනාධිපති ජයවර්ධන හඳුන්වා දෙන ලද මෙම නීති විරෝධී දූෂිත ක්‍රමය අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් විසින්ද අලුත් අංග එකතු කොට ආරක්ෂා කොට පවත්වා ගෙන ගියේය. එම ක්‍රමය වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්කිරීමට හේතුවීමෙන් නොනැවතී රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණු කිරීමට හේතුවිය.

 

ආර්ථිකයේ බිඳ වැටීම

 

පොදු දේපළ කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වීමෙන් පසුව රටේ පොදු ආර්ථික දියුණුවට අදාළ දේවලට ලැබෙන වැදගත්කම අඩුවී පාලක පක්ෂයට හා ඔවුන්ගේ ගජ මිතුරන්ට අයථා ලෙස ධනය උපයා ගැන්මට ඉඩ ලැබෙන වැඩසටහන්වලට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත විය. රජයට බදු එකතු කර දෙන ආයතන තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයකය. ඒවා රජයට එකතු කර දෙන ආදායම එකතු කර දිය හැකි ආදායමෙන් සියයට 30%ක් තරම් විය හැකිය. ඉතිරි පංගුව ගලා යන්නේ දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ සාක්කුවලටය. බලපත්‍ර ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවේ ව්‍යාපාරවලින් (විදුලි සංදේශ, මත්පැන්, ප්‍රවාහන, දැව. ගල් වැලි හා ප්‍රති අපනයන වැනි බලපත්‍ර) වැඩි පංගුවක් හිමි කරගෙන සිටින්නේද දේශපාලනඥයන්ය. ඒ නිසා ඒ මාර්ගවලින් උපයා ගත හැකි ආදායමෙන් සියයට 10ක් තරම්වත් මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත.

විදේශ ණය මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපාර දේශපාලකයන් නීතියට පටහැනිව ලොකු ආදායම් උපයන ප්‍රධාන මාර්ග බවට පත්ව තිබේ. ඒවාහි ඇත්ත වියදම හා ගෙවන මිල අතර ලොකු පරතරයක් පවතී. විදේශ කොන්ත්‍රාත්කරුවා ලබාදී තිබෙන මිල 100ක් වේ නම් එම සමාගමට ගෙවන මිල 200ක් හෝ 250ක් විය හැකි අතර විදේශ වශයෙන් ණය ලබා ගැනීම සිදුකරන්නේද එම කෘත්‍රිම මිලට ගැළපෙන ලෙසය. විදේශ කොන්ත්‍රාත්කාර සමාගම තමන්ට ලැබිය යුතු 100 අතහැර ඉතිරිය දේශපාලනඥයන්ට ඔවුන්ගේ ගජ මිතුරන්ට හා නිලධාරීන්ට බෙදාහැරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගත නොහැකි ලොකු අර්බුදයක් බවට පත්ව තිබෙන්නේ විදේශීය ණය මත ක්‍රියාත්මක වන බොහෝ වැඩසටහන්වලදී සැබෑ වියදම හා වැය කරන ලද වියදම අතර තිබෙන මෙම විශාල පරතරය නිසාය.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ලංකාව ආර්ථික වශයෙන් තිබෙන්නේ පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත්වීමට ආසන්න තත්ත්වයකය.

 

විසඳුම කෙටියෙන්

 

ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය ජයගැනීම සරල හෝ පහසු දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඒ සඳහා දරන උත්සාහයන් සාර්ථක කරගත හැකිවනු ඇත්තේ එය කැබලි වී තිබෙන ජාතිය එකතු කරගනිමින් කෙරෙන බලවත් සාමූහික උත්සාහයක් සේ ම ඥානාන්විත හා ප්‍රායෝගික උත්සාහයක්ද වේ නම් පමණය. පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමට තිබෙන ඉඩ විධිමත් ලෙස ඇහැරීම හා රටේ ආණ්ඩුක්‍රමය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අඩිතාලමක පිහිටුවාලීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට රට යොමු කළ යුතුය.

එසේ නැතිව ඒකාධිපති තත්ත්වයක් ලෙස සැලකිය හැකි 20ට යාම හෝ 19 ආරක්ෂා කර ගැනීම දැන් තිබෙන සැබෑ අර්බුදයට විසඳුමක් වන්නේ නැත. රට සැබෑ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීම සඳහා තෝරා ගත හැකි හොඳම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග වනුයේ මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනකට රට යොමු කිරීමය.

 

 

Advertiesment