Friday 4th of December 2020

English Tamil
Advertiesment


රාජ්‍ය නායකයාට ඒකාධිපති බලයක් අවශ්‍යමද..?


2020-10-06 2106

සෞභාගයේ දැක්ම ජනතා කේන්ද්‍රීය ද..?

 

ජනපතිගේ පරිපාලන නෛතිකත්වය බල ගැන්වීමේ අවශ්‍යතාවය

 

ජනපතිවරණයේදීයි-මහා මැතිවරණයේදීයි ජනතාව දුන් පණිවුඩය කුමක්ද..? 

 

ස්වයං පෝෂිත ආර්ථිකය ජාතියේ උරුමයයි

 

උදාර ජාතියකට යළි පණ පොවන දේශපාලන දැක්ම  

                 

ජනාධිපතිකම මානවිකරණය කිරිම සහ 19 වන සංසෝධනය 

 

(දේශප්‍රිය නානායක්කාර) 

 

ශ්‍රී ලාංකේය ජන සමාජය අනාගතයට අවශ්‍ය ආකාරයට සකස් කිරිමේදී ආර්ථික නව්‍යකරණය, අධ්‍යාපනික නව්‍යකරණය, සෞඛ්‍ය නව්‍ය කරණය, නෛතික නව්‍යකරණය, කෘෂිකාර්මික නව්‍යකරණය, තක්ෂණික නව්‍යකරණය, ක්‍රීඩා යටිතල පහසුකම් නව්‍යකරණය, සාගර ආර්ථිකය නව්‍යකරණය  ප්‍රධානව  "ශ්‍රී ලාංකාව  නව්‍යකරණයෙන් නවීකරණය  කිරීමේ විප්ලවය"  අසිරිමත්ව සිදු වන සමාජ විප්ලවයක් බවට පත් කිරීම සදහා නෛතික නව්‍යකරණය ඉතාමත්ම තීරණාත්මක බව අවිවාදිතය. 

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවතියේ රාජාණ්ඩු ක්‍රමයකි. කාලානුරුපීව වර්ධනය වී මුල් බැස ගත් සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ගෙන් පාලනය වූ රජු හිතකාමී ඒකාධිපතියෙක්ද වූයේ ය. පොදුවේ ආසියාතික මෙන්ම විශේෂයෙන් ඉන්දියානු ආභාෂයෙන් පෝෂණය වී බුද්ධාගමේ ඍජු බල පෑමට ලක්ව  ශ්‍රී ලංකාවට ම  ආවේණික ආරක් දිගේ වර්ධනය වූ මෙම රාජාආණ්ඩු ක්‍රමය ජනතාවගේ හිත සුව පිණිස ක්‍රියාත්මක වූයේය. 

එහෙයින් පොදු සමාජය අගය කළ සමාජ ධර්ම රාජාණ්ඩුවේ පරමාධිකාරය ඒ පමණින් ම පාලනය කළේය. ඒ අනුව මෙවර මැතිවරණ ජයග්‍රහණයයෙන්  දර්ශනය වනුයේ ජනතාවගේ හිත සුව පිණිස ක්‍රියාත්මක වන ඍජු නිර්භීත තීරණ වෙනුවෙන් වූ ජනාධිපතිවරයෙකුගේ ආගමනයයි. සැබැවින්ම දෙපැත්ත දැකීමේ කුසලතාව සතු, ඍජු තීරණ ගැනීමට බිය නොවන, කාලයත්,භෞතික දියුණුවත් සමග ශ්‍රී ලංකාව වෙනස් කළ හැකි රාජ්‍යය නායකයෙකු බහුතර ජනතාව අපේක්ෂා කර ඇති බව අපහැදිළි නැත. 

ස්වයංපෝෂිත ආර්ථිකයක් හා සබැදුණු බුදු දහමින් පෝෂිත සහජීවනය පදනම් කර ගත් සමාජ ක්‍රමයක් යනු අපේ ජාතියේ සම්භාවනීය උරුමයකි. උක්ත උරුමයේ වටිනාකම් පිළිබදව අපේ ජාතියේ ගෞරවණිය හා බලවත් උණුසුම් අපේක්ෂාව අද්‍යතන ජනාධිපතිවරයා බව මැතිවරණ ප්‍රතිඵල අනුව  ඉතා ස්ථිරව පැහැදිළිය. බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. "Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."

මහාද්වීපක දිවයිනක් වූ ශ්‍රී ලංකාව ,ඉන්දියාවෙන් වෙන් වී ඇත්තේ  සැතපුම් 33 සිට 51 දක්වා වූ සමුද්‍ර තීරයකින් වන අතර දක්‍ෂිණද්‍රවය කරා ආබාධකව විහිදෙන ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව දක්ෂිණ ආසියාවේ විශාලතම දුපතවේ. ඉන්දියානු සාගරය ලෝකයේ සාගර බෙදීම්වලින් තුන් වන විශාලතම සාගරය වන අතර එය කිලෝමීටර 70,560,000කි. (වර්ග සැතපුම් 27,240,000) එසේ නැත හොත් පෘථිවි පෘෂ්ඨයේ ජලයෙන් 19.8% ක් ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ පිහිටීම  වඩාත් වැදගත් වන්නේ ත්‍රිකෝණයක් බදු ඩේකෑන් සානුවේ ශිඛරයේ පිහිටීම නිසාය. එහෙයින් ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග අතරත්,අරාබි මුහුද හා බෙංගාල කාවයේ සමුද්‍රතීරය ඔස්සේත් පැවති නැව් ගමනා ගමනයේ මධ්‍යස්ථානයක් වන්නා සේම ඉන්දියන් සාගරයේ වටිනාතම කේන්ද්‍රස්ථානයකි. 

ඉන්දියානු සාගරයේ මුහුදු මංතීරු ලෝකයේ වඩාත්ම උපායමාර්ගික වශයෙන් වැදගත් මුහුදු මංතීරු වශයෙන් පිළිගැනීමට ලක් වී ඇත. ගෝලීය සමුද්‍රීය වෙළඳාමෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මකය. අතීතයේත්, අද්‍යතනවත් මෙවැනි ස්වභාවික කේන්ද්‍රස්ථානයක පිහිටීම අපේ පාරාදිසියේ ශිෂ්ටාචාරයයේ හා සභ්‍යත්වයේ සම්භවය හා අභිවෘද්ධිය කෙරෙහි බොහෝ දුරට බලපා ඇත. අපේ පාරාදිසය පිළිබද ඇති ඓතිහාසික ලේඛන හා  වසර දහස් ගණනක ලිඛිත ඉතිහාසය සිසාරා  ශ්‍රී ලංකාව හැදින්වීම සදහා නොයෙක් භාෂාවලින් නම් සියයකට වඩා සදහන් වී ඇති බව ලෝකය සිසාරා ඇති ග්‍රන්ථ හා ලේඛන අනුව පමණක් නොව සෙල් ලිපි, බ්‍රාහ්මි සෙල් ලිපි, ටැම් ලිපි, ගිරි ලිපිවලින් සහ නොයෙක්  මාදිලියේ භූගෝලීය සිතියම්, දේශපාලන සිතියම් ආදී  නොයෙක් විෂයන්ට අදාළ සිතියම් සහ නොයෙක් විධ ඓතිහාසික ලේඛන  අනුව ඉතා හොදින් ස්ථාපිත  වී ඇත.

ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද  ශුරීන් විසින් රචිත උඩරට මහ කැරැල්ල කෘතියේ තුන් වැනි කාණ්ඩයේ 10 වන පිටුවේ තුන් වැනි ඡේදයේ එතුමා මෙසේ සටහන් කර ඇත. "ලන්ඩන්, එඩින්බරෝ, හේග්, පැරිස්, ලිස්බන්, කෝපන්හේගන්, මියුනික්, රෝම ආදී යුරෝපයේ නගරවල පිහිටි රාජ්‍ය ලේඛනාගාරවල දී පැරණි පුස්කොල පොත් රැසක් ම පරීක්ෂා කර බැලීමට මට ඉඩ ලැබුණි. මෙවැනි පුස්කොළ පොත් වැඩි ගණනක් තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ බව මගේ හැඟිමය. බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තිබෙන තරම් පුස්කොළ පොත් රැසක් ශ්‍රී ලංකාවේදී හෝ ලෝකයේ වෙන කිසිම රටකදී හෝ මට දක්නට ලැබුණේ නැත. සැබැවින්ම සිංහලයාගේ ජීවිතයේ විශිෂ්ටත්වයත් සුන්දරත්වයත් පිළිබඳ බොහෝ කරුණු ඇතුළත් පැරණි පුස්කොළ පොත් සිය දහස් ගණනක් එහි ඇත්තේය."  -උපුටා ගැනීම අවසන්-

අතීතයෙන් උරුම වූ, වත්කම් පවත්වා ගැනීමට සහ නව්‍ය සමාජයක්  නිර්මාණය කිරීමට නිරන්තරයෙන් නැවත නැවත නවීනත්වය ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ඕනෑම රටක ජාතික සෞභාග්‍යය පිළිබඳ ප්‍රජා මූලික, බිම් මට්ටමේ දැක්මක් නව්‍ය දැනුමෙන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය. සෑම දෙනාම එක හා සමානව දියුණු වන්නේ නම්, කිසිවෙකු ඉදිරියෙන් නොසිටිනු ඇත. සැබවින්ම "හැමෝම කවුරුහරි නම්, කිසිවෙකු කිසිවෙකු නොවේ."  
"රටේ අනාගතය ජනාධිපතිවරයාගේ  අවධානය ලෙස තබා ගැනීම" පිළිබඳව නවීන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ රට හදන සෞභාග්‍යයේ දැක්මය.  

ශ්‍රී ලාංකේය විධායක ජනාධිපතිවරුන් සහ ජනාධිපති අපේක්ෂකයන්  විසින් මෙතෙක් ප්‍රකාශට පත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි රචනා කර තිබු අදහස් හා යෝජනාවලියන්ට වඩා සෞභාග්‍යයේ දැක්ම  ප්‍රායෝගිකවම ජනතා කේන්ද්‍රීයය. අපේ මහ පොළව සහ ජාතියේ සභ්‍යත්වය පිළිබඳව වූ ස්වභාවික සශ්‍රීකත්වයේ සැබෑ අවබෝධයෙන් සහ නව්‍ය විද්‍යා තක්ෂණික දැනුමෙන් ප්‍රායෝගිකව අභ්‍යාස කළ හැකි දේශපාලන දැක්ම සෞභාග්‍යයේ දැක්මයි. 

අපේ ඓතිහාසික උරුමයේ ප්‍රෞඩත්වය, සහජීවනය, සාමය, ආර්ථික සංවර්ධනය, පාරිසරික සුරක්ෂණය, කාබන් විමෝචනය අවම කිරීම,දේශගුණික විපර්යාසය පිළිබද අවබෝධය, බහු සංස්කෘතික වටිනාකම්  තහවුරු කරමින් නොයෙක් විධ සමාජ උස් -පහත් භේද (social stratification) අහෝසි කර විවිධාකාර වූ  ලාලසවන් සමග හදවතින් බැඳුණු ජීවමාන සංකේතයක් බවට ශ්‍රී ලාංකේය ජන සමාජය ගෝලීය මානව පවුලට ආදර්ශයක් වනු ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකික අප සියලු දෙනා අත්වැල් බැද ගැනීමෙනි.

රටක් ජාතියක් විශිෂ්ඨත්වයට පත් කරනුයේ, විශිෂ්ඨ අනාගතවාදී ආර්ථික, අධ්‍යාපනික හා පොදුවේ  ජනතා කේන්ද්‍රීය දැක්මක් වෙනුවෙන් නොනැවතී සාමකාමිව ක්‍රියාත්මක  කිරීමෙන් ම පමණි. මිනිසාගේ සහ මිනිසා ජීවත් වන ග්‍රහ ලෝකයේ ජීවිතාරක්ෂාව තිරසරව සහතික කර ගැනීමට නම්, කීර්තිමත් අතීතයකට උරුමකම් ඇති අප, දැනට හසුවී ඇති නොයෙක් විධ ප්‍රචණ්ඩත්වයෙන් සහ ස්වයං විනාශකාරී දේශපාලන ක්‍රියාදාමයෙන් සම්පූර්ණයෙන් ඉවතට පැමිණිය යුතුය. සාමයට සහ සහජීවනයට ගරු කරන නව්‍ය දේශපාලන සංස්කෘතියක් සේම නව්‍ය විද්‍යාත්මක සමාජ චාරිත්‍ර අභ්‍යාස කරමින් ප්‍රජාතන්ත්‍රීය ජීවන ක්‍රමයකට හුරුවිය යුතුය. ඊට සමගාමිව රජය ශ්‍රී ලාංකේය ජන සමාජයේ දේශපාලන සමාජියකරණය  (Political Socialization) සහ දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) වැඩි දියුණු කිරීමටද කටයුතු කළ යුතු අතරම ජනතාවගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය (People's Diplomacy) පිළිබද අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කළ යුතුමය. ජාතික සංස්කෘතිය ඉක්මවා විශ්ව සංස්කෘතිය කරා යාමට උක්ත අධ්‍යාපනය තීරණාත්මකය.

ඕනෑම රටක සංස්කෘතියේ සුවිශේෂී බව සහ අනන්‍යතාව ආරක්ෂා කර ගත යුතු අතරම ගෝලීය ජන සමාජයට ගැළපෙන පුද්ගලයන්ද බිහි කළ යුතුමය. සංස්කෘතික වෙනසක් සිදු වන්නේ නව්‍යකරණය සහ විසරණය ඔස්සේ වන අතර පවතින සංස්කෘතික රටාවන් ගුණාත්මකව වෙනස්වීම නව්‍යකරණයයි. අපි මේ පාරාදිසියේ, ලක් පොළවේ ජිවත් වන්නන් ලෙස, අපේ ඉතා කෙටි එහෙත් වටිනා ජීවිත ප්‍රමුඛ සහ පොදු මානාව සංස්කෘතියට අමතරව සහජීවනයට ගරු කිරීමට නොපැකිළව ක්‍රියා කළ යුතුය. 

ස්වයං ප්‍රෞඩත්වයෙන් සේම ස්වයං ක්‍රෝධයේන්ද ඉවත් වෙමින් තමා කෙරෙහිත් සෙස්සන් කෙරෙහිත් මෛත්‍රිය හා කරුණාව පැතිරවීමට තරම් මානසිකව අප බලගතු විය යුතුය. සියලු මාදිලියේ ප්‍රචණ්ඩත්වයන් අපේ පාරාදිසියේ පරිණාමික උරුමයේ හෝ ජානමය උරුමයේ දර්ශනය වී නොමැත. ඓතිහාසිකවම සිංහලයා අනෙකා ඉවසූ ඔහුගේ ගෞරවණිය බව සහ වටිනාකම් ආරක්ෂා කිරීමට කටයුතු කළ පමණක් නොව අවශ්‍ය සෑම කල්හීම ඒ වෙනුවෙන් සටන් කළ බලවත් උදාර ජාතියකි. ඒ උදාර ජාතියට නැවත පණ පොවන  අනාගතවාදී විද්‍යා තක්ෂණික දේශපාලන දැක්ම සෞභාග්‍යයේ දැක්මයි.

සිංහල බහුතරයේ වටිනාකම් හෝ ඓතිහාසික උරුමයන් කුමන හෝ අයුරින් තර්ජනයට හෝ විනාශයට ලක්වීමට ඉඩ නොතැබිය යුතු වන්නා සේම (බොහෝ ඓතිහාසික උරුමයන් දැනටමත් අපට අහිමි වී ඇත. උදා:- උතුරු නැගෙනහිර පිහිටා ඇති සංස්කෘතික වස්තු සම්පත් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන 276 පහසුවෙන් දැක්විය හැකිය. සංස්කෘතික වස්තු සම්පත යනුවෙන් අදහස් කරනුයේ,1968 නොවැම්බර් 19 වන දින පැරිසියේ දී පැවැත්වූ 15 වන යුනෙස්කෝ මහා සම්මේලනයේදී පිළිගන්නා ලද ,පොදු සහ පුද්ගලික කටයුතුවලින් උපද්‍රවයට ලක් වී ඇති සංස්කෘතික වස්තු සම්පත් සංරක්ෂණය කර තබා ගැනීම හා සම්බන්ධ යෝජනාවේ 01 වැනි ජේදයේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට අදාළ වන සංස්කෘතික වස්තු සම්පත්ය.) ද්‍රවිඩ, මුස්ලිම්, උඩරට දෙමළ, වැද්දන්, බර්ගර්, ලංසි, බෝරා, පාර්සි, මැලේ, කොලඹ හෙට්ටි, භාරත මේමන් සහ යුරේසියානු ඇතුළු සියලුම සහෝදර ජාතින්ගේ වටිනාකම් සහ  උරුමයන් ආරක්ෂා කොට සුරක්ෂණය කරමින් ලෝකයා පිළි ගෙන ඇති සියලු අයිතිවාසිකම් එක සමානව ආරක්ෂා කොට පවත්වා ගෙන යාම ප්‍රජාතාන්ත්‍රික රජයකට කිසිසේත් අත් නොහළ හැකි වගකීම් සහ වගවිම්ය. 

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව සහ මූලික අයිතිවාසිකම් සේම ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික යහපත් සමාජ චාරිත්‍ර ද ගුණාත්මක දේශපාලන චාරිත්‍රද ඒවායේ අනාගතයද ආරක්ෂා කිරීම ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක පමණක් නොව පොදු ජනයාගේද  වගකීමකී. උක්ත සාමුහික වගකීම යනු ප්‍රජාතාන්ත්‍රීය ජිවන ක්‍රමය අභ්‍යාස කිරීමයි. අප සියලු දෙනා කුමන ජාතියකට, ආගමකට, කුලයකට, පක්ෂයකට සංවිධානයකට අයත් වුවත්  "ඒ" - "බී" - "ඒබී" සහ "ඕ" යනුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා ගෙන ඇති සමාන රුධිරය නොහොත් ලේ ඇති සමාන අයිතිවාසිකම් ඇති සමාන වගකීම් සහිත ශ්‍රී ලාංකිකයන්ය යනු ජනපති  ගෝඨාභය රාජපක්ෂ, රට හදන සෞභාග්‍යයේ දැක්මේ අනන්‍යතාවය නොහොත් සරූපතාවයයි.  

සියලු රටවල් සඳහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාමුවක් පිළිබඳ අදහසට වඩා  ශ්‍රී ලාංකේය අපට අර්ථදායක, සප්‍රයෝජන, ප්‍රගමනශීලී, ප්‍රයාණයන් සපිරි  නව්‍ය ක්‍රමලේඛ පිරිවිතරයන් රාශියක්ද සමගින්, දේශීය ජනතාව, ඔවුන්ගේ තීරණ හා ඔවුන්ගේ අනාගතයට සම්බන්ධ කර ගැනීමට යෝජනා ඇතුළත් වීම සෞභාග්‍යයේ දැක්මේ ඇති වෙනසයි. 

එමගින් යෝජනා කර ඇත්තේ සෞභාග්‍යය සම-සැලසුම් කිරීම ඔස්සේ ශ්‍රී ලාංකේය සමෘද්ධිමත් බව පිළිබඳ දර්ශනයක් දේශීය සංකීර්ණතාවන්ට සරිලන සේ නිර්මාණය කිරීමය. සෑම දෙනාටම සමෘද්ධිමත්වීමට සහ සමෘද්ධිමත්වීමේ දේශීය සහ ජාත්‍යන්තර ඉලක්ක ජය ගැනීමට  සෞභාග්‍යයේ දැක්ම මාර්ගෝපදේශනයකී. නිදහසින් පසු ඉදිරිපත් වූ නොයෙක් දේශපාලන පක්ෂවල ප්‍රකාශනයන්ට වඩා ප්‍රායෝගික, විද්‍යාත්මක, තක්ෂණික සේම අපේ ජාතියේ නොයෙක් විධ ඓතිහාසික, ස්වභාවික සහ සශ්‍රීකතත්වයේ වටිනාකම් ආරක්ෂා කර ප්‍රවර්ධනය කර ගනිමින් ගෝලීයකරණයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ක්‍රමවත් සැලසුම්වලින් සෞභාග්‍යයේ දැක්ම සපිරිය. වෙනස වී ඇත්තේ එයයි. සොක්‍රටීස් පඩිවරයා වෙනස පිළිඳව ප්‍රකාශ කර ඇත්තේ "වෙනසෙහි රහස නම් ඔබේ මුළු ශක්තියම පැරණි දේ සමඟ සටන් කිරීමට නොව අලුතින් ගොඩනැගීම කෙරෙහි යොමු කිරීමයි."යනුවෙනි. අද්‍යතන ජනාධිපතිවරයාද අපේ පාරාදීසයේ වසර 30 කට වැඩි කාලයක්  ක්‍රියාත්මක වූ  කුරිරු යුද්ධය පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් දී ශ්‍රී ලංකාව වෙනස් කළ නායකයෙකි.

සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක වනුයේ ජනයා කේන්ද්‍රීයවය. (People-centered Development) ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනය යනු දේශීය ප්‍රජාවන්ගේ ස්වයං විශ්වාසය, සමාජ සාධාරණත්වය සහ සහභාගීත්ව තීරණ ගැනීම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ජාත්‍යන්තර සංවර්ධනයට ප්‍රවේශයකි. ආර්ථික වර්ධනය, මානව සංවර්ධනයට සහජයෙන්ම දායක නොවන බව එමගින් හඳුනා ගෙන ඇති අතර සමාජ, දේශපාලන සහ  පාරිසරික වටිනාකම් සේම භාවිතයන්හි වෙනස්කම් පිළබඳව තීව්‍ර අවධානය යොමු කර ඇත.

1984 දී එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID) හිටපු කලාපීය උපදේශකයෙකු වූ ඩේවිඩ් කෝර්ටන්, ( David C. Korten (Born 1937) is an American author, former professor of the Harvard Business School, political activist, prominent critic of corporate globalization, and "by training and inclination a student of psychology and behavioral systems".) යුක්තිය, තිරසාරභාවය සහ අන්තර්ග්‍රහණය යන සාරධර්ම ඇතුළත් වන ජනතා කේන්ද්‍රීය සංවර්ධන උපාය මාර්ගයක් පිළිබඳ කරුණු දක්වා ඇත. ඔහුට අනුව, පවත්නා වර්ධන කේන්ද්‍රීය සංවර්ධන උපායමාර්ගය තිරසාර නොවන අතර අසමානය. ඕනෑම රටක  ආයතන, තක්ෂණය, සාරධර්ම සහ හැසිරීම "ඔවුන්ගේ පාරිසරික සහ සමාජ යථාර්ථයන්ට අනුකූලව" පරිවර්තනය කළ යුතුය. 

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ  1996 නිල සංවර්ධන ආධාර  (Official development Assistance) (ODA) වාර්තාවේ සඳහන් වූයේ ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනයේ පරමාර්ථය වන්නේ "ධනවත් සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට මිනිස් සංහතියට උපකාර කිරීමය" යනුවෙනි. ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් දේශීය හිමිකාරිත්වය, සහභාගීත්වය සහ ධාරිතා වර්ධනය කිරීමේ වැදගත්කම එමගින් අවධාරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මේ දේශපාලන ඉලක්කය  වී ඇත්තේ ශ්‍රී ලාංකේය ජන සමාජය ජනතා කේන්ද්‍රියව දියුණු කිරීමයී. ඒ සඳහා සෞභාග්‍යයේ දැක්මේ දස වැදෑරුම් ප්‍රතිපත්තියක් ශ්‍රී ලාංකේය ජන සමාජය වෙත ඉදිරිපත් කර ඇත.

01. ජාතික ආරක්ෂාව. 02.මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය. 03.පිරිසිදු රාජ්‍ය පාලනය. 04. ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. 05.ඵලදායි පුරවැසියෙක් - සශ්‍රීක මානව සම්පතක්. 06.ජනතා කේන්ද්‍රීය ආර්ථිකය. 07.තක්ෂණය මත පදනම් වන සමාජය. 08.භෞතික සම්පත් සංවර්ධනය. 09.තිරසර පරිසර කළමනාකරණය. 10.විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් යනුවෙනි. ශ්‍රී ලාංකේය ජන සමාජයට  "ධනවත් සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි අයුරින් බහු විධ ප්‍රවේශයකින් කටයුතු කිරීමට සෞභාග්‍යයේ දැක්මේ දස වැදෑරුම් ප්‍රතිපත්ති ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය.

ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනයේ සන්දර්භය ඇතුතුළත, සහභාගීත්වයේ කේන්ද්‍රීය අංග ඇතුළත් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය, රජයේ වගවීම, අදාළ තොරතුරු වෙත ප්‍රවේශය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලෙසයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් සාක්ෂාත් කර ගත හැක්කේ පුරුෂයින් සහ ස්ත්‍රීන් සමානව නියෝජනය කළ විට පමණි. අනෙක් අතට ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනයේ සන්දර්භයේ යුක්තියේ අංග ඇතුළත් වන්නේ, දේශීය අයිතිය එසේ නැතහොත් ප්‍රාදේශීය හිමිකාරිත්වය, (නෛතික මුලධර්මයකි) ජනතාවගේ ස්වෛරීභාවය සහ රජය සක්‍රීය කිරීම, රැකියා සහ ආදායම් උත්පාදනය ලෙසයි. 

තිරසාරභාවය යනු ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධනයේ සහජ අංගයකි. ජනතාවගේ ස්වෛරීභාවය සහ රජය සක්‍රීය කිරීමේ ක්‍රියාවලියේදී බහුතර අභිප්‍රාය (Majority Will) ඉටු කිරීම සඳහා නිත්‍යානුකූල බලය රාජ්‍ය නායකයා සතු විය යුතු අතර යුක්තිය (Justice) සහ යුක්ති සාධනය (Justification) පිළිබඳ ඔහුගේ  වගකීම ශාස්ත්‍ර සම්මත (Ligitimate) විය යුතු බව අවිවාදිත සහ මහ ජනයාගේ ඒකමතික ස්ථිර අපේක්ෂාවයි. උක්ත බලවත් මහජන අපේක්ෂාව ඉටු කිරීමට නම් රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ වඩා සඵලදායී සේවාවක් බවට පත් කිරීම වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරටද ඉතා වැදගත් බව විචාරාත්මක සාමාන්‍ය බුද්ධියට පමණක් නොව වැටහෙන නුවණට අනුවත් ඉතා පැහැදිළිය.                          

ජන සංඛ්‍යාව සහ තිරසර සංවර්ධනය.

නව ජන ගහන විද්‍යා ක්‍ෂේත්‍රය සහ ජන ලේඛන, ජන ව්‍යාප්තිය, සමීක්‍ෂණ ආදිය වැනි ශ්‍රීත සහ සාධක වඩාත් පුළුල් අධ්‍යනයකට භාජනය වන විට, මිනිසුන් දෙස බලන ලද්දේ, විද්‍යාඥ සහ පරිපාලක වෘත්තිකයන් පන්තියක් විසින් පාලනය සහ කළමනාකරණ කරන ලද විවිධත්වයන් මත රදා පවතින විචල්‍යක් ලෙසිනි. මෙම වෘත්තීකයන්ගෙන් බොහෝ දෙනෙක් සමාජීය ඩාවින් වාදය සහ එහිද පුරෝගාමී වූ මැල්තුසියන්වාදයේ ද අනුගාමිකයෝ වුහ. මැල්තුසියන් විශ්ලේෂණයේ ආරම්භය වන්නේ, ස්වභාවික සම්පත්වල හිග බව නිසා මිනිස් ක්‍රියාදාමය මත බලපාන ස්ථිර වූ ස්වභාවික සම්පත්වල සීමාව ජන ගහන වර්ධනයේ බල ගුණික (Exponential) ස්වභාවයයි. ජීව විද්‍යා ක්‍ෂේත්‍රයේ උසුලා සිටිය හැකි උපරිම ධාරිතාව යන්නෙන් අදහස් කරන්නේ, සීමිත වාසස්ථානයකට අනියත කාල සීමාවකදී පෝෂණය කළ හැකි ජීව වර්ගයක උපරිම සංඛ්‍යාවයි.

පෝල් සහ ඈන් අර්ලික් යන ජීව විද්‍යාඥයින්ගේ මතයට අනුව, යම් ප්‍රදේශයක දීර්ඝ කාලීන ඉසිලීමේ ධාරිතාවය පැහැදිළිවම එම කාලයේ ජීවත්වන මිනිසුන්ගේ පාවිච්චිය හේතුවෙන් පහත බැස්සොත්, ඉන් අදහස් වන්නේ එම ප්‍රදේශයේ ජන ගහනය අධික බවයි. උසුලා සිටීමේ ධාරිතා ජාලය, ජන ගහන වර්ධනය සහ පරිසර සමබරතාව පිළිබදව විද්‍යා තාක්‍ෂණික අවබෝධයෙන් සහ ගෝලීය අත්දැකීම් සමග කටයුතු කළ යුතුය. එසේ නැත හොත් ජන ගහනය අනෙකුත් සියලු ආර්ථික ප්‍රතිලාභ කඩිනමින් ගිල දමනු ඇත. 1992 රියෝ ප්‍රකාශනයේ 05 වන පරිච්ඡේදය ජන සංඛ්‍යා ගතිකත්වයන් හා තිරසරත්වය යනුවෙන් විස්තර කර ඇත. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි දැක්වෙන කරුණු අනුව අඩු ඒක පුද්ගල අදායම් තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාව ඉතා කෙටි කලකින් ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියේ ඉහළ හා පරිණත අවස්ථාවන්ට අවතීර්ණ වී ඇත.නව සංවර්ධනයේ සියලු ක්ෂේත්‍ර කෙරෙහිම එම සමාජයේ ප්‍රජා විද්‍යාත්මක ගති ලක්‍ෂණ ඍජුව හෝ අනියම් ආකාරයෙන් බලපාන බව පිළිගත් විද්‍යාත්මක කරුණකි .ඒ අනුව ඕනෑම රටක සංවර්ධනය කෙරෙහි බලපාන මුලික ප්‍රජා විද්‍යාත්මක ලක්ෂණ පහත පරිදිය 

01. ජන සංඛ්‍යාවේ විශාලත්වය .
02. ජන සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන සීඝ්‍රතාව.
03.ජන සංඛ්‍යාවේ අවකාශීය ව්‍යාප්තිය.
04.ජන සංඛ්‍යාවේ ඝනත්වය සහ එහි ප්‍රාදේශීය වෙනස්වීම්.
05. ජන සංඛ්‍යාවේ වයස් ව්‍යුහය. 

උක්ත කරුණුවලට අමතරව ජන සංඛ්‍යාවේ පුමතිරි අනුපාතය, සංයුතීන් (ආගමික ,ජාතික හා නාගරික හා ග්‍රාමීය ) ජීවන තත්ත්වය, සම්පත් පරිභෝජන රටාවන්, සම්ප්‍රදායන්, දරිද්‍රතා මට්ටම, අධ්‍යාපනය හා සෞඛ්‍ය යනාදිය දෙවෙනි ගණයේ ප්‍රජා විද්‍යාත්මක ලක්‍ෂණ ලෙස හැදින ගත යුතුය. මානව අයිතිවාසිකම්, ළමා හා ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබද පුමතිරි සමානාත්මතාව සහ දේශපාලන නිදහස යනාදිය එහි තෙවන ගණයේ ලක්ෂණය. අද්‍යකාලීන විවිධ ගෝලීය සමුළුවල තේමාව සහ තීරණ ද වූයේ තිරසර සංවර්ධන ක්‍රියාමාර්ගවල දී ප්‍රාථමික අවධානය මානව මානයන් වෙත යොමු කළ යුතු බවයි. 1992 රියෝ ප්‍රකාශනය පළමු වන මූලධර්මයෙන් ප්‍රකාශ වූයේ තිරසර සංවර්ධනය සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්වල දී ජනතාව ප්‍රමුඛස්ථානයේ සැලකීම සහ  මානව සම්පත කේන්ද්‍රීය ස්ථානයේ තිබිය යුතු බවයි.

ජාතිය සහ සංගණන වර්ෂ අනුව ශ්‍රී ලංකාවේ ජන ගහනය පහත රට සිංහල, උඩරට සිංහල, ශ්‍රී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා මුස්ලිම්, ඉන්දියානු මුස්ලිම්, යුරෝපියන්, ලංසි, යුරේසියානු, මැලේ, වැදී සහ අනෙකුත් වශයෙන් මෙවර ජන සංගණනයට අනුව මෙරට ජන ගහනය 22,707,597 (දෙකෝටි විසි හත් ලක්ෂ හත්දහස් පන්සිය අනූහතක්) බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ලේඛනවල සදහන්ය.

දකුණු ආසියාවේ වේගයෙන් වයස් ගත වූවන්ගේ සංඛ්‍යාව වැඩි වන රටක් ලෙස ශ්‍රී ලංකාව හදුනා ගෙන ඇති අතර  2000 වසරේ දහ දෙනෙකුගෙන් එක් අයෙකු වයස් ගත ගණයට වැටී ඇත. 2030 වසරේ ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 22% ක් වයස අවුරුදු 60ට වැඩි අය වේ යැයි අගුණිතය වී ඇත. විශ්‍රාමික වැඩිහිටි හා වයස් ගත වැඩිහිටි ජනයාගේ අනුපාතය ඉදිරි කාලයේදී වැඩිවේ යැයි ජන ගහන විශේෂඥයන් පුරෝකතනය කර ඇත. 2012 ජන සංගණනයට අනුව වයස 60ට වැඩි ජන සංඛ්‍යාව 2,520,573ක් (මිලියන් 2.5ක්) වූ අතර එය එවක සමස්ත ජන ගහනයෙන් 12.4% කී. සිව් වසරකට පසු උක්ත ප‍්‍රතිශතය 14 %ක් පමණ වනු ඇත. 2040 වන විට ශ්‍රී ලංකාවේ ජන ගහනයේ  වයෝවෘද්ධ ප්‍රතිශතය 25% ක් දක්වා වර්ධනය වනු ඇත. මෙකි තත්ත්වය ජන ගහන වෘත්තීයකයන් හදුන්වනුයේ ජන ව්‍යූහාත්මක  සංක්‍රාන්තියක් (Demographic Transition) ලෙසයි.

ජන සංයුතියේ මෙකි සංක්‍රාන්තිය ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාව  ආර්ථික සහ සමාජීය අභියෝග කිහිපයකට මුහුණ දී ජය ගත යුතුව ඇත. ක්‍රමිකව වයස් ගත වන ජනයාගේ සෞඛ්‍ය පහසුකම් සැපයීම සහ සමාජ ආරක්ෂණ අවශ්‍යතාවයන් සපුරාලීම සදහා අවශ්‍ය සැලසුම් දැනටමත් සැලසුම්කරණය වී ඇත. අනෙක් අතට ශ්‍රී ලාංකික වැඩිහිටි ජනයාගෙන් විශ්‍රාම වැටුප් හිමිකාරිත්වය ඇත්තේ 17%ක් පමණ බව සදහන්වී ඇති අතර ඒ සදහාද රජයේ අදායමෙන් 1.5% ක් වැයවේ. එනම් රුපියල් මිලියන 139,445ක්. 

රටක ආර්ථික සහ ජන සමාජය තිරසර සංවර්ධනයට යොමු කිරීමේදී රටේ මානව සම්පත ඊට අවශ්‍ය ආකාරයට සූදානම් කිරීමට විද්‍යාත්මක ගෝලීය  දැක්මක් පරිපාලනයට  තිබිය යුතුය. මක්නිසාද යත් ඕනෑම රටක මානව සම්පත සංඛ්‍යාත්මක වශයෙන් සහ ගුණාත්මක වශයෙන් වඩා දියුණු ආකාරයට ගොඩනැගීමට, පවත්වා ගෙන යාමට සහ අරමුණු ඉටු කර ගැනීමට නම් විධිමත් දියුණු සැලසුම් අත්‍යවශ්‍යය. ඒ සදහා දැනුම් ආර්ථිකය, අංකික ආර්ථිකය සහ සාගර ආර්ථිකය ආදිය පිළිබඳව අනාගත වාදී දැක්මක් අවශ්‍යය.

රටේ අනාගතය රැදී ඇත්තේ ගෝලීයකරණට ඇතුළුවී දේශීය නිෂ්පාදනය මගින් ගෝලීයකරණයට මුහුණ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසරව දියුණු කිරීම මතය. 2050 වන විට ශ්‍රී ලංකාවේ ජන ගහනය මිලියන 25 දක්වා ඉහළ යන බව පුරෝකතය වී ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති කලාපයක පිහිටා ඇති රටකි . ජන ඝනත්වය අතින් ශ්‍රී ලංකාව සමස්ත ලෝක්යෙම 36 වන ස්ථානයට පැමිණ ඇත . 2006 දී වර්ග කිලෝමීටර් එකකට  288.4 ක් වූ අතර 2013 දී සමස්ත ජන ඝනත්වය වර්ග කිලෝමීටර් එකකට 327 කී. ගෝලීයව ඉතා ඉහළ ජන ඝනත්වයක් ඇති රටවල් වශයෙන් හදුනා ගෙන ඇති ප්‍රධාන රටවල් 04 ක් ඇති ආසියාව සම්බන්ධයෙන් ජන ඝනත්වය 136.5 ක් වන අතර, ගෝලීය සාමාන්‍යයය 43 කී. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම  ජන ඝනත්වයක් ඇති රටකි. ජන සංඛ්‍යාව අධික වීමත්, භුමිය නායයාම් සංඛ්‍යාව ඉහළ යාමත් අතර සබදතාවයක් ඇති බව පැහැදිළිය.

ශ්‍රී ලංකාවේ නායයාම්වලදී භූ විද්‍යාත්මක අස්ථාවරත්වයට ප්‍රධානව බලපෑම් ඇති කර ඇත්තේ ඉතා ඍජු බෑවුම් තත්ත්වය සහ අධික තීව්‍රතාවයෙන් යුත් අඛණ්ඩ වර්ෂණය දිගු කාලයක් සිදුවීමය. උක්ත තත්ත්වය යටතේ ජන පීඩනය අධික වීමත් සමග අතිශයින්ම සංවේදී හා අවදානම් ප්‍රදේශවල ඇති කරන මිනිස් ක්‍රියා කාරකම් නාය යාමට සහ නාය යෑම් උග්‍ර කිරීමටත් නාය යෑම් දෙකක් අතර කාලය කෙටි වීමටත්  හේතුවී  ඇති බව මේ වන විට අපේ ජන සමාජය අත්දැකීමෙන් හදුනා ගත් සත්‍යයකි. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල පවත්නා තත්ත්වය රටේ අනාගතයට බරපතලම ආකාරයෙන් තර්ජනයක් වී ඇත. 1979 වන විට ශ්‍රී ලාංකිකයන් 500,000 ක් විසින් ශ්‍රී ලංකාවේ සමස්ත පොළවෙන් 06%ක් අනවසරයෙන් අල්ලා ගෙන ගෙන ඇති බවත් 1979-85 අතර කාලයේදී පුද්ගලයන් 104,000 ක් විසින් හෙක්ටයාර් 70,000 ක් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවත් නොයෙක් ලේඛනවල සදහන් වී ඇත.

උක්ත රට පුරා පැතිරී ඇති අති භයානක සමාජ විරෝධී ක්‍රියා ජාලය නැවත්වීමට අවශ්‍යවී ඇත්තේ නීතියේ ආධිපත්‍ය, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් සහ විද්‍යාත්මක අනාගතවාදී දේශපාලන දැක්මක් තිබෙන වෘත්තීය දේශපාලනඥයන් බව මේ වන විට අපේ ජන සමාජයට අවබෝධ විය යුතුය. මක්නිසාද යත් මේ වන විට භූමි මිනිස් අනුපාතය හෙක්ටයාර් 0.12 දක්වා එසේ නැතහොත් පර්චස් 9 කට ආසන්න වී ඇති හෙයිනි. ජන ගහන වර්ධනය හා නාගරිකරණය යනු ඉතා තිව්‍ර බලපෑමක් ඇති සෑම දිනකම ඉහළට යන ක්‍රියාවලියකි. ඕනෑම රටක් නාගරීකරණය, විද්‍යා තාක්‍ෂණිකව කළමනාකරණය කර ගැනීමට අසමත් වුවහොත් එම රට බරපතල ව්‍යසන රාශියකට මුහුණ දෙනු ඇත. (Urbanization is not about simply increasing the number of urban residents or expanding the area of cities. More importantly, it’s about a complete change from rural to urban style in terms of industry structure, employment, living environment and social security).

2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අවුරුදු 5-17 වයස් කාණ්ඩයේ ඇස්තමේන්තු ගත මුළු ළමා ජන ගහනය මිලියන 4.6 කි. මෙම සමස්ත ළමා ජන ගහනයෙන් 3,553,550 (77.7%) ක් වන බහුතරයක් ළමුන් ග්‍රාමීය අංශයේ පදිංචිව සිටී. නාගරික අංශයේ ළමා ජන ගහනය 777,283 (17%)ක් වන අතර වතු අංශයේ ළමා ජන ගහනය 240,608 (5.3%) කී. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2016 වාර්තාවේ 36 වන පිටුවේ වගුව 3.4 හි පාසල් නොයෑමට බලපෑ ප්‍රධාන හේතුන් යටතේ නිදන්ගත රෝග හේතුවෙන් ළමුන් 4,709 ක් නොහොත් පිරිමි ළමයින් 2,364 ක් ද ගැහැණු ළමයි 2,345 ක්ද නොහොත් 1.1%ක් පාසල් නොයෙති. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016 වාර්තාවේ 36 වන පිටුවේ වගුව 3.4 හි පාසල් නොයෑමට බලපෑ ප්‍රධාන හේතුන් යටතේ ආබාධිත දරුවන් 19,213 ක් නොහොත් පිරිමි ළමයි 11,476 ක්ද ගැහැණු ළමයි 7,737ක්ද නොහොත් 3.5% වේ. උක්ත වගුවේ දෙවන පේළියේ පාසල් යාමට ඇති අකමැත්ත හෙවත් අධ්‍යාපනය ඵලක් නොවේයැයි සිතීම යටතේ ළමුන් 77,730 ක් නොහොත් පිරිමි ළමුන් 48,099 දෙනෙක්ද ගැහැණු ළමයි 29,631 ක්ද නොහොත් 13.3% වේ. උක්ත වගුවේ ආර්ථික අපහසුකම් යටතේ පාසල් නොයන ළමුන් 14,922 ක් නොහොත් පිරිමි ළමුන් 5,103 ක්ද ගැහැණු ළමයින් 9,819 ක්  නොහොත් 4.3%ක් ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජිවත් වෙති. 

රටේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සදහා සියලුම දරුවන්ට ගුණාත්මක සහ සාධාරණ ප්‍රවේශයක් සහිතව ප්‍රාථමික සහ ද්විතීයීක අධ්‍යාපනයක් ලබාදීමට කඩිනම්ව කටයුතු කළ යුතුය. උක්ත ළමුන් පිළිබදව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීම ජනාධිපති ධූරය මානවිකරණය ලක් වී ඇති බවට යහපත් උදාහරණයක් වනු ඇත.  

ශ්‍රී ලංකාවේ සමස්ත ජන ගහන ව්‍යුහය පහත පරිදිය.

01.ශ්‍රී ලංකාවේ වයස 15-19 ත් අතර ජන ගහනය 1,644,249 කි.

02. ශ්‍රී ලංකාවේ වයස  20-24 ත් අතර ජන ගහනය 1,532,883කි. මෙම 20-24 සහ 25-29 අතර ජන ගහනය තරුණ දේශපාලනයට (Youth Politics) සම්බන්ධ කර ගත යුතුය.(Youth Politics is a Category of Issues Which Distinctly Involve, Affect or Otherwise Impact Youth) ලෝකය සිසාරා තරුණ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රචලිත වී ඇත.

03. ශ්‍රී ලංකාවේ වයස 25-29 ත් අතර ජන ගහනය1,552,848 කි.

04.  ශ්‍රී ලංකාවේ වයස 30-34 ත් අතර ජන ගහනය 1,639,415 කි.

05. ශ්‍රී ලංකාවේ වයස 35-39 ත් අතර ජන ගහනය 1,409,077 කි.

06. ශ්‍රී ලංකාවේ වයස 40-44  ත් අතර ජන ගහනය 1,359 ,209 කි.

07. ශ්‍රී ලංකාවේ වයස 45-49  ත් අතර ජන ගහනය 1,285,830කි.

08. ශ්‍රී ලංකාවේ වයස 50-54  ත් අතර ජන ගහනය 1,219 ,460 කි.

09. ශ්‍රී ලංකාවේ වයස 55-59  ත් අතර ජන ගහනය 1,064,229 කි.

10. ශ්‍රී ලංකාවේ වයස 60 -64 ත් අතර ජන ගහනය 917,910 කි.

11. ශ්‍රී ලංකාවේ වයස 65-69  ත් අතර ජන ගහනය 633,289 කි.

12. ශ්‍රී ලංකාවේ වයස 70 -74 ත් අතර ජන ගහනය 412,474 කි.

13. ශ්‍රී ලංකාවේ වයස 75 සිට ඉහළට  ජන ගහනය 556,960 කි. වේගයෙන් වර්ධනය වන ජන ගහනය සහ තාක්‍ෂණික නවෝත්පාදනය මිනිසාද කොටස්කරුවකු වන සොබාදහම සමග ගැටුම් ඇති නොවන අයුරින් තිරසරව කලමනාකරණය කිරීමට නිර්භය ඍජු  නායකයෙක් යනු හොදම විසදුම බව බහුතර ජනයා පිළිගෙන ඇත. 

ජාත්‍යන්තර සබඳතා යනු අත්නොහැරිය හැකි ඉතා තීරණාත්මක ක්‍රියා ජාලයකි. දේශපාලනයේදී ස්වෛරී රාජ්‍යයන්, (Sovereign States)  අන්තර් රාජ්‍ය සංවිධාන (Intergovernmental Organizations) අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන, (International Non-Governmental Organizations) සහ බහු ජාතික සංගත (Multinational Corporation) (MNCS) පිළිබද දැනුම ඕනෑම රටක දියුණුවට අත්‍යවශ්‍යය ඉහත විස්තරාත්මකව දක්වා ඇති දැනුම් ජාලය පිළිබද අදහස ක්‍රිස්තු පූර්ව 460 දක්වා විහිදී ඇත.  ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුස්ද්‍රරටිස් (Thucydides) අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ අදහස් දක්වා ඇත. "He who wishes to serve his country must have not only the power to think, but the will to act" - Plato. 

ජාත්‍යන්තර  සබඳතා විෂය දේශපාලනය, (Politics) ආර්ථික විද්‍යාව, (Economics) ජාත්‍යන්තර නීතිය, (International law) සන්නිවේදන අධ්‍යනයන්, (Communication Studies) ඉතිහාසය, (History) ජන ගහන විද්‍යාව, (Demography) භූගෝල විද්‍යාව, (Geography) සමාජ විද්‍යාව, (Sociology) මානවවිද්‍යාව, (Anthropology) අපරාධ විද්‍යාව, (Criminology) මනෝ විද්‍යාව, (Psychology) සහ නරනාරි භේදාධ්‍යනය, (Gender Studies) යන කේෂ්ත්‍රයන්ගෙන් සමන්විත වී ඇත. 

ඒ අනුව ජාත්‍යන්තර සබඳතාවල විෂය පථය ගෝලීයකරණය, (Globalization) රාජ්‍යතාන්ත්‍රික සබඳතා, (Diplomatic Relations) රාජ්‍ය ස්වෛරීභාවය, (State Sovereignty) ජාත්‍යන්තර ආරක්ෂාව, (International Security) පාරිසරික තිරසාරභාවය, (Ecological Sustainability) න්‍යෂ්ටික ප්‍රගුණනනය, (Nuclear Proliferation) ජාතිකවාදය, (Nationalism) ආර්ථික සංවර්ධනය, (Economic Development) ගෝලීය මුල්‍යනය, (Global Finance) ත්‍රස්තවාදය, (Terrorism)  සහ මානව හිමිකම් (Human Rights) වැනි ගැටලු දක්වා විහිදී ඇත .

ඇමරිකාව 21 වන සියවස සඳහා සූදානම් වීම වෙනුවෙන්  ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තාක්ෂණය සහ ජාතියේ අනාගතය යන මැයෙන් වූ අනාගත සැලැස්ම (Preparing for the 21st Century - Technology and the Nation's Future)  සදහා යෝජිත වූ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමිය, (National Academy of Sciences) ජාතික ඉංජිනේරු ඇකඩමිය, (National Academy of Engineering) සහ ජාතික පර්යේෂණ කවුන්සලය (National Academy of Medicine) ස්ථාපිත කිරීමේ කොංග්‍රස් ප්‍රඥප්තිය අනුමත කරන ලද්දේ 1863 දීය. ඒ අනුව ඇමරිකාවට අනාගතයට ඇතුළුවීමට අවශ්‍යය විද්‍යා තාක්‍ෂණික දැනුම පමණක් නොව ඒ සඳහා අවශ්‍යය නෛතික පදනමද ඔවුන් ගොඩනගා ඇත්තේ වසර 200 කට පෙරදීය. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබදව අලුතින් සිතිය යුතු නොවේද..?

අද්‍යතන පෘතුවි පුරවරයේ ජීවත්වන මානව පවුලේ අනාගතය පවතිනුයේ තත්පරයෙන් තත්පරය නව්‍යකරණයට ලක් වන විවිධ වූ කේෂ්ත්‍රයන් මතය. උක්ත වේගවත් වෙනස්වීමට ලක් වන සෑම ජන සමාජයක්ම මුහුණ දෙන පළමු අභියෝගය වනුයේ තමන් ජිවත් වන රටේ නෛතික පද්ධතියේ ඇති දුර්වලතාවන්ට මුහුණදීමයී. ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාව ද, අනෙකුත් නෛතික අණ පනත් ද, රචනා කර ඇති භාෂාව පොදු ජනතාවට සමීප නැත. අවබෝධ කර ගැනීමට නොහැකි අකුරුවලින් රචිත ව්‍යවස්ථාව සරල බසින් ජනතාවට ඉදිරිපත් කිරිම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි ඉතාමත්ම ඵලදායී සමාජ මෙහෙවරක් වන අතර බලවත් ජාතික අවශ්‍යතාවයකි. 

ආර්ථික යුක්තිය සේම නෛතික යුක්තියද පොදු ජනයා වෙනුවෙන්ම  ක්‍රියාත්මක විය යුතු සමාජ උපකරණයෝය. උක්ත සමාජ සහ නෛතික උපකරණ ජනතාවාදී නොවන බවට කුඩා එහෙත් බලවත් උදාහරණයක් වනුයේ, 2019 වන විටත් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවල නියුතු පුද්ගලයන් ප්‍රමාණය මිලියනයකට පුද්ගලයින් 100ක් පමණක් වුවද සිංගප්පූරුවේ මිලියනයකට පුද්ගලයන් 6,730ක් දක්වා ඉහළ පරාසයක පැවැතිමය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩ පිළිවෙළ යටතේ,  01. ජාතික ආරක්ෂාවට මුල් තැන සහ 04.ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක් යනුවෙන් යෝජනා කර ඇත්තේ උක්ත තත්ත්වයන්ට විසඳුම් සෙවීම සදහාය.

ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් ඇඳ ගත් කාර්ය මණ්ඩලය නොමැතිව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් 1,109,475 කි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ රැකියා සංගණනය 2016 වාර්තාවේ සදහන් වනුයේ ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවකයින් 834,840ක් නොහොත්  75.6%ක් බවයි.  ස්ථිර, විශ්‍රාම වැටුප් සහ අර්ථ සාධක අරමුදල සම්බන්ධ රාජ්‍ය සේවකයින් 43,396 ක් නොහොත්  3.9%කි. ස්ථිර සහ අර්ථ සාධක අරමුදල සම්බන්ධ රාජ්‍ය සේවකයින් 173,470 ක් නොහොත්  15.7% කි. තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් පදනම සහ වෙනත් සේවකයින් 52,513 නොහොත් 4.8%කි. එම සංඛ්‍යාවෙන් අවුරුදු 56 හෝ ඊට වැඩි රාජ්‍ය සේවකයින් 84,084ක් නොහොත් 7.6%ක් වන රාජ්‍ය සේවකයින්ගේ සේවා ඵලදායීත්වය කාර්යක්ෂම කිරීම ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක ඇති ඉතා තීව්‍ර ජාතික අවශ්‍යතාවයකී. මක්නිසාද යත්  රාජ්‍ය සේවය මහ ජන බදු මුදලින් නඩත්තු වන විශාලතම ක්ෂේත්‍රයක් වන හෙයිනි. 

අද්‍යතන ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන පිළිබදව පුද්ගලිකව සොයා බලනුයේ ඔහුගේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයට රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව ඉතා අත්‍යවශ්‍යම කාරණයක් වන හෙයිනි. උක්ත සොයා බැලීම තව දුරටත් තීව්‍ර කිරීම ජනයාගේ අභිලාශය වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි 34 වන පිටුවෙන් ආරම්භ වී 47වන පිටුවෙන් අවසන් වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකය පිළිබද සැලසුම් අපේ පොළවට අපේ මිනිසුන්ට ගැළපෙන ප්‍රායෝගික සැලසුම් වන අතර ගෝලීය වෙළෙද පොළ ජය ගත හැකි සැලසුම්ය. 

අපේ පොළවට සහ අපේ මිනිසුන්ට ගැළපෙන උක්ත ප්‍රයෝගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට ග්‍රාම නිලධාරී සහතිකයේ සිට අමාත්‍යාංශ ලේකම්ගේ සහතිකය දක්වා නොයෙක් විධ අනුමැතියන් අවශ්‍යයය. එයින් ඉතා හොදින් පැහැදිළි වනුයේ සියල්ලට පෙර රාජ්‍ය සේවය ජනතාවාදීව කාර්යක්ෂම සහ සඵලදායී විය යුතු බවයි. ඒ අනුව අනෙක් අතට පැහැදිළි වනුයේ  20,359,439 ක ජනතාවගේ ජිවීතවල වටිනාකම් සේම අනාගතය රැදී ඇත්තේද රාජ්‍ය සේවය මත බවයි. 

2020-2025 සාර්ව ආර්ථික ඉලක්ක වී ඇත්තේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.5%න් ඉහළට. ඇමරිකානු ඩොලර් 6500 ඉක්මවා යන ඒක පුද්ගල ආදායමක්. සේවා වියුක්ති අනුපාතය 4%ට අඩු අගයක්. උද්ධමන වේගය 5%කට වඩා අඩු අගයක්. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4%ට වඩා අඩු අගයක්. තනි ඉලක්කමේ පොලි අනුපාතය. රුපියලේ අගය ස්ථාවර මට්ටමක තබා ගැනීම ආදිය වන අතර එම ඉලක්ක ජය ගත යුත්තේ ශ්‍රී ලාංකේය බහුතර ජනයා වෙනුවෙනි. 

රාජ්‍ය සේවය රටේ අවශ්‍යතාවයන් අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමෙන් මිස වෙනත් කිසිම ක්‍රමයකින් ඉහත සදහන්  ඉලක්ක කිසිවක් ජය ගත නොහැකිය. ශ්‍රී ලාංකේය ජනතාවට ධනවත් හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි අයුරින් බහු විධ ප්‍රවේශයකින් කටයුතු කිරීම අද්‍යතන ජනාධිපතිවරයාගේ ක්‍රමයයි. උක්ත සියලු කාරණා අනුව ඉතා හොදින් පැහැදිළි වනුයේ රාජ්‍ය නායකයාට පූර්ණ බලතල තිබීම බහුතර ජනයාගේ ජිවිතවලට ඉතා  වැදගත් වන බවයි. ජේ.ආර් ජයවර්ධනයන් වසර 06 කින් කඩිනම් මහවැලිය අවසන් කළේ රාජ්‍ය නායකයා සතුව තිබූ බලතල ක්‍රියාත්මක කිරීමෙන්මය. 2020-2025 සාර්ව ඉලක්ක අපේක්ෂිත කාලයට පෙර ජය ගැනීමේදිත් බහුතර ජනයාගේ අභිප්‍රායන් ඉටු කිරිමේදීත් නිත්‍යානුකූල බලය රාජ්‍ය නායකයා සතු විය යුතු බව සාධාරණය.
 
අපට නිදහස ලැබී වසර 72 ක් වුවත් සිංහල බහුතර ජනයාගෙන් බහුතරයක් තවමත් අන්ත අසරණය. 2017 වන විට 15 - 24 ජන ගහනයෙන් තරුණියන් 24.5% රැකියා විරහිත වන අතර තරුණයන් 14.9% රැකියා විරහිතව ජිවත් වෙති. 25-29 පිරිමින්ගෙන් 5.8% ක් රැකියා විරහිතව ජිවත් වන අතර කාන්තාවන් 15.7%ක් රැකියා විරහිතය. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් ගණන 10,194 කි.එයින් අ.පො.ස (උ.පෙළ) විද්‍යා විෂය ධාරාව පංති සහිත පාසල් ඇත්තේ 1,029ක් පමණි. 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අවුරුදු 5-17 වයස් කාණ්ඩයේ ඇස්තමේන්තු ගත මුළු ළමා ජන ගහනය මිලියන 4.6 කි.මෙම සමස්ත ළමා ජන ගහනයෙන් 3,553,550 (77.7%) ක් වන බහුතරයක් ළමුන් ග්‍රාමීය අංශයේ පදිංචිව සිටී. නාගරික අංශයේ ළමා ජන ගහනය 777,283 (17%)ක් වන අතර වතු අංශයේ ළමා ජන ගහනය 240,608 (5.3%) කි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් නොයන ළමයි 14,922කි. නිදන් ගත රෝග හේතුවෙන් පාසල් නොයන ළමයි 4,709 කි. පාසල සහ පරිසරය අනාරක්ෂිත වීම හේතුවෙන් පාසල් නොයන ළමයි 3,853කි. පාසල් යෑමට ඇති අකමැත්ත හෙවත් අධ්‍යපනය ඵලක් නොවේයැයි සිතන ළමුන් 77,730 කි. උක්ත දරුවන්ට අධ්‍යාපනයේ ආලෝකය දීමට වසර 72ක ආණ්ඩුක‍රණ අත්දැකීම් සතු අප අද වන තුරුත් අසමත් වී ඇත. අනෙක් අතට පාසල් යන ළමයි 4,571,442ක් උදෙසා විද්‍යා, ගණිත සහ ගෝලීය භාෂා ඉගැන්වීම කඩිනමින් ආරම්භ කිරීම අනාගතය වෙනුවෙන් කළ හැකි ඉහළම ආයෝජනයයි. රට හදන සෞභාග්‍යයේ දැක්මේ සිව් වන කොටසේ අධ්‍යාපනය පිළිබද යෝජනාවලින් උක්ත අවශ්‍යතාවන්ට විසදුම් යෝජනා කර තිබීම මහත් වූ ප්‍රීතියකි. පොදු මානව පරිශ්‍රමයේ අනෙකුත් අහියෝගාත්මක කේෂේත්‍රයන් ජය ගැනීමට අවශ්‍ය ගෝලීය භාෂා නිපුණත්වය, එසේ නැතහොත් බහු භාෂා ප්‍රවීණත්වය, විද්‍යා ගණිත දැනුම, නව්‍ය තක්ෂණික අධ්‍යාපනය, නව්‍ය විද්‍යා අධ්‍යාපනය, ගෝලීය වෙළෙද පොළ අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තක්ෂණික දැනුම, ප්‍රාග්ධනය, ව්‍යාපාරික ණය ආදී පහසුකම් පොදු ජනයාගේ දු දරුවන්ට ලබා දීමට රට හදන සෞභාග්‍යයේ දැක්මේ යෝජනා කර ඇත. 

මනස යනු (මොළය සමග ව්‍යාකුල නොවී) සංඥාව, පරිකල්පනය, සංකල්ප, චින්තනය, විනිශ්චය, භාෂාව සහ මතකය වැනි සංජානන ගුණාංග සමූහයකි. සැබැවින්ම පුනර්ජීවන චින්තකයන් විසින් මිනිසාගේ සිත්වලට අයිති දේපොළ (Mind Property) වශයෙන් සැළකෙන සිතීම සහ මතකය යන ස්වභාවික ක්‍රියාවලිය නව්‍යකරණයට ලක් කර ඇත. බුදුන් වහන්සේගේ දේශනා අනුව අධ්‍යාපනය යාව ජීව ක්‍රියාවලියකි. ගෝලීය තරඟකාරිත්වයට ගැළපෙන අයුරින් 21 වන සියවසේ අධ්‍යාපනය  ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවයක් වනුයේ ජාතියේ ධනය දරුවන් වන  හෙයිනි. සැබවින්ම අධ්‍යාපනය සංවර්ධනයේ බීජය මෙන්ම එහි පුෂ්පයද වන අතර  ඕනෑම රටක දේශපාලන සුරක්ෂිත භාවය පිළිබඳ එකම සහතිකය නව්‍ය අධ්‍යාපනයයි. 

නව්‍යකරණය  විවිධාකාරය, විවිධාකාර නව්‍යකරණය  ජාතික අවශ්‍යතාවයකි. ආංකික නොහොත් ඩිජිටල් ආර්ථිකය නිසැකවම ආර්ථිකය බවට පත්වෙමින් තිබේ. තක්ෂණය හා නවෝත්පාදන ක්‍රියාවලියන් සදහා මානව සම්පත දියුණු කිරීමේදී මානව කුසලතා වෙත නව්‍ය ආකාරයට ප්‍රවේශ විය යුතුය. විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ නොයෙක් විධ ආර්ථික ක්‍රියාවන් නව්‍යකරණයට සහ වර්ධනයට ලක් කළ හැකි වනුයේ ඩිජිටල් හැකියාවන් සහ කුසලතා දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමෙනි. නව්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය තීරණාත්මකය. එමෙන්ම "ගිග්" ආර්ථිකයේ (Gig Economy) නව්‍ය ව්‍යාප්තිය ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට හේතු වී ඇත. "ගිග්" ආර්ථිකයේ ව්‍යාප්තිය සාම්ප්‍රදායික ශ්‍රම වෙළෙඳ පොළවල් වෙත එල්ල කරන බලපෑම පිළිබදව රජය අදට වඩා විද්‍යාත්මකව අවධානය යොමු කළ යුතුය. නව්‍ය විද්‍යා තක්ෂණයට රටවැසියන් හුරු කිරීම තරම් වෙනත් ත්‍යාගයක් අප සතුව නොමැති අතරම නව්‍යකරණය විවිධාකාරය. විවිධාකාර නව්‍යකරණය යනු ජාතික අවශ්‍යතාවයකි.
  
තිරසර හා පුළුල් ආර්ථික වර්ධනයක් ලබා ගැනීම සඳහා ශ්‍රම බලකාය 21 වන සියවසේ අභියෝග සදහා සුදානම් කිරීම තවදුරටත් ශ්‍රී ලංකාවට අභියෝගයකි. මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ප්‍රශංසනීය වුවද ,අනෙකුත් නැඟි එන වෙළඳ පොළවල් හා සසඳන විට උගත් තරුණ තරුණියන්ගේ විරැකියාව හා කාන්තා ශ්‍රම සහභාගිත්වය අඩු මට්ටමක පවතින බව දර්ශනය වේ. අනෙක් අතට ද්වීතීක, උසස් අධ්‍යාපන සහ විශ්ව විද්‍යාල මට්ටමින් විද්‍යා, තක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් ලෙස නිරාවරණය නොවීම හේතුවෙන් අද්‍යතන සේවා යෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ව්‍යවසායකයන් බිහි කිරීමට අසමත් සහ අඩු නිපුනතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය වී තිබේ. 

Agenor, Canuto, & Jelenic -  2012 සහ Agenor - 2017 වැනි ලේඛකයන් විසින් පෙන්වා දි ඇති පරිදි 21 වන සියවසේ ශ්‍රම වෙළෙද පොළ අභියෝගයන්ට මුහුණ දීම සඳහා උසස් තත්ත්වයේ මානව ප්‍රාග් ධනයක් නොමැතිකම, වෙනත් රටවල්වලින් ලබා ගත් තක්ෂණයන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සිමා වීම සහ උචිත තක්ෂණය රට අභ්‍යන්තරයේ නිපදවීම ද සීමාවීම හේතුවෙන් රටවල් මැදි ආදායම් මට්ටම්වල දිගු කාලයක් සිරවී සිටීමට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලාංකේය අපි හිරවී ඇත්තේද මේ මැදි ආදායම් උගුලේය. මැදි ආදායම් උගුල පිළිබද සලකා බැලීමේදී ඉතා සුලභ කාරණයක් වනුයේ එය නවෝත්පාදන සිදු කිරීමට ඇති නොහැකියාව නිසා සිදු වන බවයි. නවෝත්පාදනයන් වෙනස්කම් ඉල්ලා සිටින අතර නවෝත්පාදනයන් ප්‍රගතියට මඟ පාදනු ඇත .

අනෙක් අතට ශ්‍රී ලාංකේය  ජන සමාජයේ ආරක්ෂාව පිළිබද අවබෝධය යම් යම් කරුණු අතර හිරවී ඇති බව දර්ශනය වේ. සැබෑ ජාතික ආරක්ෂාව හමුදාමය ආරක්ෂාවෙන් එපිටට විසිරුණු බලවත් ක්‍රියාවලියකි. ජාතික ආරක්ෂාවට රාජ්‍ය තාන්ත්‍රිකභාවය, අපරාධ අවම කිරීම, ශාරීරික ආරක්ෂාව, සංස්කෘතික ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, බල ශක්ති ආරක්ෂාව, යටිතල පහසුකම් ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ සයිබර් ආරක්‍ෂාව වැනි මිලිටරි නොවන මානයන් ද ඇතුළත් බව අද්‍යතනව පුළුල් ලෙස වටහා ගෙන ඇත. ජාතික ආරක්ෂාව රජයේ පළමු රාජකාරිය වන නමුත් සිවිල් නිදහසට  ජාතික ආරක්ෂාව බාධාවක් නොවිය යුතුය. සැබවින්ම ජාතික ආරක්ෂාව අභිමානයෙන් යුතුව ජීවත් වීමේ නිදහස තහවුරු කළ යුතුය. අනෙක් අතට ජන සමාජය අවබෝධ කර ගත යුත්තේ, ආර්ථිකය වර්ධනය සැමවිටම අපගේ ජාතික ආරක්ෂාව සඳහා වූ යන්ත්‍රණය බවයි.

ශ්‍රී ලංකාවේ  ගම් 36 ,822 සිසාරා පිහිටා ඇති නිවාස 5,207,740ක ජිවත් වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ට අදාළ ග්‍රාම නිලධාරි වසම් 14,022ක් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාවේ පළාත් 9 ක  දිස්ත්‍රික්ක 25ක රාජ්‍ය ආයතන 32,000 කට වැඩි ගණනක් ඇති අතර සමස්ත රාජ්‍ය සේවකයින් ගණන 1,109,475 කි. (www.statistics.gov.lk › samplesurvey › EMP_Census_Final_Report_2016) රාජ්‍ය සේවය ජනතාවාදීව ක්‍රියාත්මක කිරීමට සහ සෞභාග්‍යයේ දැක්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් රාජ්‍ය නායකයාගේ පරිපාලන නෛතික උපකරණවල බලය ශක්තිමත් කළ යුතුය. සෞභාග්‍යයේ දැක්මේ දස වැදෑරුම් ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාව දියුණු යහපත් රටක් බවට වෙනස් කිරීමට හැකි  දේශීයත්වය ගරු කොට ගත් ගෝලීයකරණය ජය ගත හැකි ප්‍රබල ක්‍රමවත් විද්‍යාත්මක සැලැස්මකි. 

සැබවින්ම ජාතියක ඉරණම ස්ථිරවම සුරක්‍ෂිත වනුයේ සර්ව ජන ජන්ද බලය හිමි පොදු මහ ජනතාවගේ කතිරය අනුවය. ඇමරිකාවේ කීර්තිමත්ම ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජන්ද පත්‍රිකාව වෙඩි උණ්ඩයට වඩා බලවත් බවයි. (The Ballot is Stronger Than the Bullet - Abraham Lincoln) මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතර ජනයා, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් යටතේ සිය ජන්දයෙන්, ජන්ද පත්‍රිකාව වෙඩි උණ්ඩයට වඩා බලවත් බව අභ්‍යාස කර සමස්ත ගෝලීය මානව පවුල වෙතම ස්ථිර පණිවිඩයක් ලබා දි ඇත.

"දැක්ම යනු අන් අයට නොපෙනෙන දේ දැකීමේ කලාවයි." සාර්ථක දේශපාලන  නායකයින් දර්ශනයක් නිර්මාණය කරයි. දැක්ම ප්‍රකාශ කරයි. දර්ශනය උද්‍යෝගයෙන් හිමි කර ගනී. එම දර්ශනය නිර්දය ලෙස ජයග්‍රහණය  කිරීමට කැප වී කටයුතු  කරයි. සෑම කෙනෙකුටම ප්‍රසිද්ධ විය නොහැකිය. නමුත් සෑම කෙනෙකුටම ශ්‍රේෂ්ඨ විය හැකිය. මන්ද ශ්‍රේෂ්ඨත්වය තීරණය වන්නේ සේවාවෙනි. නායකයින් සිය ජනතාව අතර සාර්ථකත්වයට බලාපොරොත්තුවක් සහ තමා ගැන විශ්වාසයක් ඇති කරයි. ධනාත්මක නායකයින් ඔවුන්ගේ ජනතාවාදී අරමුණු ඉටු කර ගැනීමට ජනතාව බල ගන්වයි.

Advertiesment