Friday 4th of December 2020

English Tamil
Advertiesment


ඒකාධිපතිත්වය හා ව්‍යවස්ථාව අරාජික තත්ත්වයකය


2020-10-03 2071

(වික්ටර් අයිවන්) 

 

රට හසුවී තිබෙන්නේ අරාජිකත්වයේ සුළි සුළියකටය. ඒකාධිපති අපේක්ෂා ඇතත්, ඒවාට අරාජකත්වය සුළි සුළිය යටපත් කරගෙන ඉස්මතුවීමේ හැකියාවක් නැත. රට ගිල ගනිමින් තිබෙන අරාජකත්වය විසින් තිබෙන සීමිත ප්‍රජාතන්ත්‍රවාදය සේ ම ඒකාධිපති අපේක්ෂාද බිඳ දැමීමට නියමිතය. එහෙත් තාමත් සියලුදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ 20 වෙතය. ව්‍යවස්ථා විෂයේදී විශේෂයෙන්ම ව්‍යවස්ථාවට අදාළ දාර්ශනික, නෛතික හා දේශපාලන සංකල්ප පිළිබඳව දැනුමේදී ලංකාව තිබෙන්නේ ඉතා නොදියුණු කාන්තාර තත්ත්වයකය. රටේ පාලකයන් නිතර නිතර ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ වීර ක්‍රියාවක් ලෙස සලකාය. පාලකයන්ගේ එවැනි ක්‍රියා බලවත් මහජන විරෝධයට හේතු නොවන අතර පාලකයන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන විට එය ආරක්ෂා කිරීමට බැඳී සිටින අධිකරණයද පාලකයන්ට අනුබල දෙන අවස්ථාද දුලබ නැත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

 

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ රාජ්‍යයේ ප්‍රධාන කාර්යයන් හා ආකෘතියද ඒවා එකිනෙක අතර තිබෙන සම්බන්ධය හා ඒවා පාලනය වන සිද්ධාන්තද විස්තර කෙරෙන රටේ සියලු නීතීන්ට වඩා උත්තරීතර ලෙස පිළිගැනෙන නෛතික ලියවිල්ලටය.

සාමාන්‍යයෙන් ජාතියක් ව්‍යවස්ථාවක් හදාගන්නේ දීර්ඝකාලීන අරමුණින් මිස කෙටිකාලීන අරමුණින් නොවේ. බි්‍රතාන්‍යයේ ලිඛිත නොවන ව්‍යවස්ථාව අවුරුදු 800කටත් වඩා පැරණිය. ඇමරිකානු ව්‍යවස්ථාව අවුරුදු 230ක් පැරණිය. කොතරම් පරණ වුවත් ඒ රටවල් දෙකටම එම ව්‍යවස්ථා එපා වී නැත.

ලංකාව ගෙවී ගිය අවුරුදු 72ට හදාගෙන තිබෙන ව්‍යවස්ථා ගණන තුනකි. දැන් ආණ්ඩුව හදන්න අපේක්ෂා කරන්නේ හතරවැනි ව්‍යවස්ථාවයි. නිදහස ලැබී අවුරුදු 72ක් තරම් කාලයක් ගෙවී ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං පාලනයක් සඳහා අවශ්‍ය කරන දැනුම හා හික්මීම ඇතිකර ගැනීමට තවමත් ලංකාව සමත් වී නැති බව ඉන් පෙනී යයි.

මෙතෙක් හදා ගත් කිසිම ව්‍යවස්ථාවක් පොදු ජාතික එකඟතාවකින් හදා ගත් ව්‍යවස්ථා ලෙස සැලකිය නොහැකිවීමද එම විෂයේදී ලංකාව සිටින අඳුර පෙන්නුම් කරන තවත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයකදී බහුතර එකඟතාවන් ගැන මිස පොදු ජාතික එකඟතාවන් ගැන කල්පනා කරන තැනකට තාමත් ලංකාව පැමිණ නැත. 1 වැනි හා දෙවැනි ජන රජ ව්‍යවස්ථා සම්පාදන දෙකේදීම වැදගත් කොට සැලකුවේ වැඩි බලය මිස ජාතික එකඟතාව නොවේ.

 

මහජනයා නොසලකා හැරීම

 

ලංකාව නව ව්‍යවස්ථා සම්පාදනයකට අත ගසන හැම අවස්ථාවකදීම ඊට අත ගසා තිබෙන්නේ එය මහජනයාගේ දෙයක් ලෙස සලකා නොව, ආණ්ඩු පක්ෂයේ දෙයක් ලෙස සලකාය. වර්තමාන ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගැන සිහින දකිමින් සිටින්නේද ඊට සමාන ආකාරයකටය. එයද ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ලංකාව තමන් තුළ තිබෙන නූගත්කමේ තරම ප්‍රදර්ශනය කරන වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පිළිගත්ම මතය වනුයේ පරමාධිපත්‍යය බලය හිමි ජනතාව තමන් පාලනය විය යුතු ආකාරය ගැන පාලක පක්ෂය සමග ඇති කරගත් ගිවිසුමක් ලෙසය. ව්‍යවස්ථාව රාජ්‍යයට සුජාතභාවය ලබාදෙන ප්‍රධාන මූලාශ්‍රය ලෙස සැලකිය හැකිය. පාලක පක්ෂ එම ව්‍යවස්ථාවට අනුකූලව රට පාලනය කළ යුතු අතර පුරවැසියන්ද ඒ අනුව රාජ්‍ය බලයට හා නීතියට අවනතව ක්‍රියා කළ යුතුය.

පරමාධිපත්‍ය බලයේ නියම හිමිකරුවන් වන්නේ මහජනයාය. පාලකයන්ගේ බලය ස්වාධීනව ඇති වූවක් නොවන අතර මහජනයාගේ පරමාධිපත්‍යය බලයෙන් ව්‍යුත්පන්න වූවකි. ඒ නිසා පාලකයාගේ බලය හැමවිටම මහජන කැමැත්තට යටත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී තිබෙන්නේම පරමාධිපත්‍යය බලය මහජනයා තුළ පවතින්නේය යන සංකල්පය පදනම් කොටගෙනය. එය දේශීය නීතියෙන් පමණක් නොව, ජාත්‍යන්තර නීතියෙන්ද පිළිගෙන තිබෙන තත්ත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව අනුව ජනරජයේ පරමාධිපත්‍යය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැකි තත්ත්වයකි.

ව්‍යවස්ථා වෙනස් කරන අවස්ථාවලදී හෝ අලුත් ව්‍යවස්ථා ඇතිකර ගන්නා අවස්ථාවලදී ඊට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමේ අයිතියක් මහජනයාට තිබෙන්නේය. එය ජාත්‍යන්තර නීතියෙන්ද පිළිගෙන තිබෙන තත්ත්වයකි. එහෙත් මීට පෙර ලංකාව හදා තිබෙන ව්‍යවස්ථා තුනටම මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමක් සිදුකර නැත. ඒ කිසිදු ව්‍යවස්ථාවක් සඳහා ජන අනුමැතිය ලබාගැනීමක්ද සිදුකර නැත.

 

නිදහසින් පසු

 

1948දී ලංකාවට නිදහස ලැබෙන අවස්ථාව වන විට සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං පාලනයක් සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දැනුම හා හික්මීම ලංකාවට නොතිබුණි. එහෙත් වෙස්ට්මිනිස්ටර් පන්නයේ අංගසම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බි්‍රතාන්‍යයන්ගෙන් ලංකාවට ලැබී තිබුණි. එහෙත් ඒ ආණ්ඩුක්‍රමය විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දැනුම හා හික්මීම ලංකාවට නොතිබුණි.

සමාජයේ පැවති වර්ග, කුල, ආගම් භේද තුනී කොට නූතන ජාතිය ගොඩනගා ගැනීම සඳහා වන දැක්මක් ලංකාවේ ජාතික නායකයන්ට නොතිබුණු අතර ඒ නිසා වර්ග, කුල, ආගම් සම්බන්ධතා ආශ්‍රයෙන් ගැටුම් ඇතිවන තත්ත්වයක් ඉක්මනින් ඇතිවිය. එසේ ඇතිවූ ගැටුම් දුර දිග යන්නට ඉඩ හැරීම නිසා ඒවා දිග්ගැස්සුණු ප්‍රචණ්ඩ ගැටුම් බවට පත්වී සමාජ-දේශපාලන ක්‍රමය මුළුමනින් අවුල් කිරීමට හේතුවිය.

ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට තිබුණ බැඳීම ඉවත් කර ගැනීම සඳහා සම්මත කරගන්නා ලද 1972 පළමු ජන ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව නමින් ගොඩ නගා තිබුණු බලය බෙදීමේ පදනම දුර්වල කොට විකෘති කිරීමට හේතුවිය. එම ව්‍යවස්ථාවෙන් අධිකරණයට තිබූ විමර්ශන බලය අහෝසි කරන ලදි. සිවිල් සේවයේ ස්වාධීනත්වයද අහෝසි කරන ලදි. සුළු ජාතීන්ට රැකවරණය ලබාදීම සඳහා ඇත කර තිබූ විධවිධානද අහෝසි කරන ලදි.

ඉන්පසු 1978 ඇති කරගත් දෙවැනි ජන රජ ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට තිබූ බලය තවදුරටත් හීන කොට රාජ්‍යයේ සකලවිධ බලය ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට අතට පත් කරන ක්‍රමයක් ඇති කරන ලදි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගොඩනැගී තිබෙන්නේම රාජාණ්ඩු සංකල්පය අංගසම්පූර්ණ ලෙස බැහැර කරන ප්‍රවේශයක් තුළය. එහෙත් 1978 ඇති කළ ආණ්ඩුක්‍රමය වඩා සමීපවන්නේ සමූහාණ්ඩු ක්‍රමයකට නොව රාජාණ්ඩු ක්‍රමයකටය. එම තත්ත්වය රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී දාර්ශනික පදනම දුර්වල කොට එය බලවත් ලෙස විකෘති කිරීමට හේතුවිය.

ඒ සමග රාජ්‍යයේ මුදුනේ සිටි ජනාධිපතිවරයාද ඔහු සමග කල්ලි ගැසී සිටි මැති ඇමතිවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද රාජ්‍ය භාරයේ තිබෙන වස්තුව කොල්ලකන ක්‍රමයක් ඇති කර ගත්තේය. ඒ සමග වස්තු කොල්ලය ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. එම තත්ත්වය රාජ්‍යය හා රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණු කොට ඒවාහි ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකට අවුල් කිරීමට හා බෙලහීන කිරීමට හේතුවී රට අරාජික තත්ත්වයකට පත් කිරීමට හේතුවිය. දැන් ලංකාව සැලකිය හැක්කේ අරාජිකත්වයේ සුළි සුළියට හසුවූ රටක් වශයෙනි.

 

ප්‍රශ්නයේ හරය තේරුම් ගැනීම

 

බැසිල් ප්‍රනාන්දු අරාජිකත්වය අර්ථකථනය කර තිබෙන්නේ “බලධාරීත්වය හෝ වෙනත් පාලන ව්‍යුහයක් නැතිකමින් හෝ නීතිය මත ක්‍රියා කරන සංස්ථාවන්හි බලධාරීත්වය නැතිවී යාම හෝ එම බලධාරීත්වය නොතකා හැරීම නිසා ඇතිවූ අපිළිවෙළක්” ලෙසය. එම අපිළිවෙළ එක තැනක හෝ තැන් කිහිපයක තිබෙන දෙයක් නොව, හැම තැනකම පොදුවේ දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

රටේ සමස්ත සමාජ ක්‍රමය තිබෙන්නේ එහි තිබිය යුතු පිළිවෙළ හා ඒකාග්‍රතාව මුළුමනින් බිඳ වැටී සමස්ත සමාජ ක්‍රමයම අවුල් ජාලාවක් බවට පත්වූ තත්ත්වයකය. රාජ්‍යය තිබෙන්නේ ඒ හා සමාන තත්ත්වයකය. රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තිබෙන්නේ ඒවා තිබිය යුතු නිසි පිළිවෙළ බිඳ වැටී ඒවාට තිබෙන බලධාරිත්වය හා පිළිගැනීම අහිමි කරගත් තත්ත්වයකය.

මේ අපිළිවෙළ රටේ ආර්ථිකය තුළද, අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, බලශක්ති වැනි හැම අංශයකම පාහේ දක්නට තිබෙන ලක්ෂණයක් බවට පත්ව තිබේ. තේරී පත්වී සිටින නව රාජ්‍ය නායකයා හා නව පාර්ලිමේන්තු ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගද, ඒවාහි පෙනුම ඒකාධිපති රුවක් වුවත්, ඒවා සැලකිය හැක්කේ රටේ ඇතිවී තිබෙන අරාජික තත්ත්වය වර්ධනය කිරීමට හේතුවන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ලෙසය.

 

අර්බුදය ජයගැනීම

 

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය දැන් තිබෙන්නේ එක දිගට දීර්ඝ කාලයක් නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ක්‍රියාකාරීත්වය මුළුමනින් බිඳ වැටුණු තත්ත්වයකය. එසේම ප්‍රතිනිර්මාණයකින් මිස සරල ප්‍රතිසංස්කරණවලින් එම බිඳ වැටීම වෙනස් කළ නොහැකි තත්ත්වයකය. දේශපාලන හා නෛතික භාෂාවෙන් කියතොත් දැන් ලංකාව තියෙන්නේ නීතියේ හා සිවිල් අධිකාරියේ පදනම මුළුමනින් නැවත අලුතින් ස්ථාපිත කරගත යුතු ඓතිහාසික අවස්ථාවකය.

සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් හෙවත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් ඒ සඳහා යොදා ගත හැකි හොඳම මාර්ගය ලෙස සැලකිය හැකිය.

සමාජ දේශපාලන ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇතිකර ගැනීම සඳහා එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය 1986දී නිකරුගුවාවද, 1988දී උගන්ඩාව හා බ්‍රසීලයද, 1994දී දකුණු අප්‍රිකාවද, 1997 වෙනිසියුලාවද, 2002දී රුවන්ඩාවද යොදා ගත්තේය. ඒ මාදිලය ලංකාවට ගැළපෙන ආකෘතියකට හදා ගනිමින් ලංකාව සඳහාද ක්‍රමයේ වෙනසක් ඇති කර ගැනීම සඳහා යොදා ගත හැකිය.

ඒ ගැන වන වැඩිදුර කරුණු විමසීමක් ඊළඟ ලිපියෙන් කරන්නට බලාපොරොත්තු වෙමි.

 

 

 

Advertiesment