Sunday 25th of October 2020

English Tamil
Advertiesment


2025 දී දුප්පත්කම 2% ට අඩු කෙරේ


2020-09-28 1345

ආර්ථිකය ශක්තිමත් කරන මෙහෙයුම මෙන්න 

 

පෞද්ගලික අංශයට දිරි දෙන රාජ්‍ය අංශයක් 

 

ආර්ථිකය පණ ගැන්වූ "BIG PUSH" න්‍යාය

 

ලීක්වාන් යූ අනුව යමින් රාජ්‍ය අංශය ශක්තිමත් කෙරේ 

 

ආණ්ඩුව ගෙවන්නේ යහ පාලන පව්

 

ආනයන වියදමයි අපනයන අදායමයි සමන කළ හැටි

 

විදේශ ණය කියන්නේ ගෝලීය ප්‍රශ්නයක්  

 

විපක්ෂය අහන ප්‍රශ්නවලට උත්තර මෙන්න 

 

සෞභාග්‍යයේ දැක්මෙන් රට ගොඩනගන්නේ මෙහෙමයි 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කරුණු පහදයි     

 

COVID-19 වසංගතය හේතුවෙන් උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්න ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම පොදු තත්ත්වයක් වන අතර එම වසංගතය ගෝලීය වසංගතයක් බව කිව යුතුයි. එමෙන්ම මෙම COVID-19 වසංගතය සමග ලෝකය මුහුණ දී සිටින අර්බුදය ගෙවුණු අවුරුදු 100 පුරාවටම ලෝකය මුහුණ දුන් කිසිදු අර්බුදයකට සමාන කළ නොහැකියි.

එක් දහස් නව සිය තිස් ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික පරිහානිය පමණක් නොව පළමු සහ දෙවැනි ලෝක යුද්ධ හේතුවෙන් සේම 2007 වර්ෂයේ දී ලෝකයේ ඇති වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ගෝලීය ආර්ථිකය මුහුණ දුන් තත්ත්වයට වඩා COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ උද්ගත වී තිබෙන තත්ත්වය බරපතළයි.

COVID-19 වසංගතයට පෙර ලෝකයේ උද්ගත වූ, යට කී සෑම අර්බුදයකදීම ගෝලීය ආර්ථිකයේ මතු වූයේ ඉල්ලුම පැත්තෙන් ඇති වූ අඩුපාඩු පමණක් වන නමුත් COVID-19 වසංගතය හේතුවෙන් සැපයුම පැත්තෙන් ගෝලීය ආර්ථිකයේ ගැටලු මතු වී තිබෙන අතර එසේ සිදුව තිබෙන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවටයි. 

ඉල්ලුම පැත්තෙන් ආර්ථිකයේ ඇති වන ගැටලුවලට විසඳුම් ලබා දෙන අයුරින් සැපයුම පැත්තෙන් ඇති වන අර්බුදවලට විසඳුම් ලබා දිය නොහැකි අතර මේ නිසා ගෝලීය ආර්ථිකයේ සැපයුම් මට්ටම් ඉහළ නංවන තුරු මේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය ගෝලීය ප්‍රශ්නයක් ලෙස භාර ගැනීමට සියලු දෙනාට සිදු වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත මේ වන විට සිව් වැනි මට්ටමේ "LOCK DOWN" පියවර ගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල තත්ත්වයත් ඊට සමානයි. ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ලෝකයේ ප්‍රබලම සහ ලොකුම ආර්ථිකයන් සහිත රටවල්වල ආර්ථිකය දුර්වල වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ට වඩා අඩු අපේ රට ඇතුළු ලෝකයේ රටවල ආර්ථික විශාල අර්බුදයකට මුහුණ පෑම අනිවාර්යයි.

එමනිසා මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය සේම දේශීය විසඳුම් වහාම සොයා ගත යුතුව තිබෙන අතර ආනයන සීමා කරමින් අපනයන දිරිමත් කර සංචාරක කර්මාන්තයට විකල්ප සේවා අංශයක් වැඩි දියුණු කර ගැනීම ඇතුළු තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් වහාම අනුගමනය රජය ක්‍රියා කළේ ඒ අනුවයි.

COVID-19 වසංගතය හේතුවෙන් උද්ගත වී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කර රට යළි ගොඩනැගීම සඳහා රජය කඩිනමින් අනුගමනය කළ යට කී ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපනයන ආදායම සහ ආනයන වියදම සමාන වී තිබෙන බව කිව යුතුයි.

අපේ රටේ සුළු සහ මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය වෙළෙඳ පොළේ නොතිබුණා නම් මේ අර්බුදය වඩාත් තීව්‍ර වනු ඇති අතර, කෙසේ නමුත් මේ අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව ගත් ඉතාම තීරණාත්මක තීන්දු තීරණ නිසා ඒ තත්ත්වය වැළකී ගියා.

ඒ හේතුවෙන් රටේ සමස්ත බැංකු පද්ධතිය මේ අර්බුදය හමුවේ පවා ඉතා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වුණා පමණක් නොව බැංකු පද්ධතිය වගේම රක්ෂණ වෙළෙඳාම කඩා නොවැටුණු අතර ඒ සියල්ල සිදු වූයේ ඉතා සාධනීය ක්‍රමවේදයකට අනුවයි. රජය මුදල් අච්චු ගසන බවට චෝදනා කරමින් ජනතාව මුලා කිරීමට විපක්ෂය උත්සහ කළත් මුදල් අච්චු ගසන්නේ ඊට අදාළ ක්‍රමවේද යටතේ විනා ඒ රෙගුලාසි උල්ලංඝණය කරමින් නොවෙයි. 

අයථා ලෙස මුදල් අච්චු ගැසුවොත් සිදු වන්නේ සිම්බාබ්වේ මිනිස්සුන්ට එදා සිද්ධ වුණා වගේ පාන් ගෙඩියක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන පහක නෝට්ටුවක් රැගෙන යන්න ශ්‍රී ලාංකිකයින්ටත් සිදු වීම වන අතර එමනිසා කවුරුවත් නිසි ක්‍රමවේදය උල්ලංඝණය කරමින් මුදල් අච්චු ගැසීමට ක්‍රියා නොකරන බව කිව යුතුයි.

ඉන්දියාවේ නිෂ්පාදන ආර්ථිකය මේ වන විට 23% කින් කඩා වැටී තිබෙන නමුත් ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් ව ස්ථාවර වී තිබෙන අතර මේ COVID-19 අර්බුදය හමුවේ තුන් වේල කන්න බොන්න නොමැතිව ගෙවුණු හය මස ඇතුළත දී අපේ රටේ කිසිදු පුරවැසියෙකු මිය ගොස් නැහැ. එමෙන්ම ලෝකයේ දියුණු යැයි කියන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ප්‍රබල රටවල දස දහස් සංඛ්‍යාත ජනකායක් මෙම වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූ නමුත් අපේ රටේ මිය ගියේ දහතුන් දෙනෙකු පමණයි. මෙම වසංගතයෙන් ශ්‍රී ලංකාවට මේ මට්ටමෙන් ගැළවීමට හැකි වූයේ ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ, වෛද්‍ය ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය අංශ ඇතුළු සියලු පාර්ශවයන් එකට එක්ව දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුම නිසයි. 

මීට අවුරුදු හයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ හඹා ගිය "රීටා-කැතරිනා" කියන සුළි කුණාටු දෙක හේතුවෙන් ලෝකයේ ප්‍රබල ආර්ථිකයට හිමිකම් කියන ඒ රටේ මිනිසුන් 4000ක් කුස ගින්නේ මිය ගිය අතර COVID-19 වසංගතය හේතුවෙන් ලක්ෂ දෙකක පමණ ජනකායක් මේ වන විට මිය ගොස් තිබෙනවා.

වසංගත අර්බුදය හමුවේ සුභ සාධන රාජ්‍ය යළි නිර්මාණය කර ගැනීමට රටක් ලෙස අපට හැකි වූ අතර විපක්ෂය පදනම් විරහිතව සහ නිසි කරුණු අවබෝධයකින් තොරව ඊට චෝදනා එල්ල කරමින් සිටිනව බව පැහැදිළියි. පැවැති යහ පාලන රජය සිය බදු අදායම ලෙස රුපියල් ට්‍රිලියනයක අතිරේක ආදායමක් එදා උපයා ගනිමින් රාජ්‍ය ආදායම වැඩි කර ගත් නමුත් රටේ ආර්ථික වෘද්ධිය 5.05 සිට 2.09 දක්වා පහත වැටුණා. ඒ වන විට රටේ සමස්ත සේවා වියුක්තිය 4,87,000ක් වූ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන් 60,000ක් සේවා වියුක්තව සිටියා.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය අවුරුදු 11ක පාලන කාලය පුරාවටම ගත් විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක් එම යහ පාලන ආණ්ඩුව සිය අවුරුදු පහක පාලන කාල සීමාවේ දී ගෙන තිබෙන අතර හම්බන්තොට වරයා විකුණා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ලබා ගත් බව ද කිව යුතුයි.

මේ සියල්ල හමුවේ වත්මන් රජය මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ රටේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. රටේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීමට අවශ්‍ය නම් කර්මාන්තකරුවන් ධෛර්යමත් කළ යුතුයි. කර්මාන්තකරුවන් ධෛර්යමත් කිරීමට නම් ඒ අයට අඩු පොළියට බැංකු ණය ලබා දිය යුතුයි. රජය ඒ අයගෙන් බදු ලෙස අය කර ගත යුත්තේ ඒ අයගේ ලාභාංශවලින් සුළු ප්‍රමාණයක් පමණයි. එමෙන්ම දේශීය සහ විදේශීය ආයෝජකයින් තව තවත් වෙළෙඳ පොළට සම්බන්ධ කර ගත යුතුයි.

ඒ අනුව මේ අර්බුදයේ දී රට ආර්ථික වශයෙන් යළි ගොඩනැගීම සඳහා වත්මන් රජය අනුගමනය කළ ක්‍රියා මාර්ගය වූයේ "BIG PUSH" න්‍යාය හෙවත් වැඩි බලයක් යොදා ආර්ථිකය තල්ලු කිරීමේ ක්‍රියා මාර්ගයයි. නතර වී තිබෙන වාහනයකට ලොකු තල්ලුවක් දුන්නාම ඒ වාහනය ඉදිරියට යනවා වගේ රටේ ආර්ථිකය ඉදිරියට තල්ලු වූයේ එම "BIG PUSH" න්‍යාය හෙවත් වැඩි බලයක් යොදා ඊට දුන් තල්ලුව නිසයි. අවාසනාවකට වගේ COVID-19 වසංගතයට රට මුහුණ දුන්නේ ඒ අවස්ථාවේ දී වන අතර එසේ නොවුණා නම් රටක් ලෙස ආර්ථික වශයෙන් මීටත් වඩා ඉදිරියට යන්න අපට හැකියාව සහ අවස්ථාව තිබුණු බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදයේ කුඩාම ප්‍රාන්තයේ ආර්ථිකයටත් වඩා කුඩා බව කිව යුතු අතර ඒ අනුව නිසි තතු නොදත් ඇතැම් පිරිස් කියන ආකාරයට, ඒ රට සහ ඒ රටේ ආර්ථිකය සමග අපේ රටේ ආර්ථිකය සංසදය කිරීම කිසිස්ත්ම තාර්කික සහ ප්‍රායෝගික නැහැ. ඇමරිකා එක්සත් ජනපදය සිය ඉහළම ආදායම උපයන්නේ දැනුම විකිණීමෙන් වන අතර ඊට හොඳම උදාහරණ වන්නේ "facebook" සහ "twiter" ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයි.

ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන එවැනි දැනුම් ආර්ථික ආදායම් මාර්ග සහ ඊට අදාළව ආදායම උත්පාදනය කරන ලොව පුරා විසිරුණු ජාල අපේ රටට ඇත්තේ නැහැ. ඇමරිකානු චිත්‍ර පට ලෝකය පුරාම ප්‍රදර්ශනය කෙරුණත් සිංහල චිත්‍ර පට බලන ප්‍රේක්ෂකයින් ලෝකයේ සිටිනවා ද..? අපේ චිත්‍ර පට ලෝකයේ ප්‍රදර්ශනය කෙරෙනවා ද..? එමෙන්ම ඇමරිකානු රූපවහිනී නාළිකා ලොව පුරා විකාශනය කෙරෙනවා. නමුත් අපේ රටේ රූපවහිනී නාළිකා එලෙස ලෝකයේ විකාශනය කෙරෙනවා ද..? නැහැ...මේ සියල්ලෙන්ම ඇමරිකාවට ආදායම් ලැබෙනවා. 

ඒ අනුව COVID-19 වසංගතය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කළේ, කෝටියක ජනකායක් වසංගතයෙන් මිය ගියත් රටේ ආර්ථික ක්‍රියාවලිය නතර නොකිරීමේ ක්‍රියා මාර්ගයයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට බරපතළ ලෙස චෝදනා එල්ල වෙමින් පවතින්නේ ද ඔහු අනුගමනය කළ එම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනුයි.

නමුත් ශ්‍රී ලංකාව මෙහිදී අනුගමනය කළේ සියලු පාර්ශවයන් එකට ඒකාබද්ධව රටක්-ජාතියක් ලෙස වසංගතය ජය ගනිමින් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට ඇප කැප වන අතර ආර්ථිකය ශක්තිමත් කරමින් දිළිඳුකම පිටු දැකීමට ද ක්‍රියා කරන මානුෂීය ක්‍රමවේදයයි. මේ හේතුවෙන් COVID-19වසංගතයට අදාළව "NEW NORMAL" තත්ත්වයටත් මෙහා පැත්තට පැමිණීමට රටක් ලෙස අපට හැකි වී තිබෙනවා. COVID-19වසංගතය ගෝලීය වසංගතයක් නොවන විට ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ සෞභාග්‍යයේ දැක්ම මීටත් වඩා යථාර්තයක් බවට පත් කර ගනිමින් ඉදිරියටම ගමන් කිරීමට අපේ රටට හැකි වන බව පැහැදිළියි.

බැංකු පොළී අනුපාතිකය මේ වන විට තනි ඉලක්කමේ අගයට ගෙන විත් තිබෙන අතර අලුත් ආයෝජකයින්ට වෙළඳ පොළේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධවීම සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දීමට බැංකු සූදානමින් සිටින නිසා රටේ විශාල විශ්වාසයක් සේම අලුත් බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව කිව යුතුයි.

ගෙවුණු මාස හය ඇතුළත පමණක් රජය රුපියල් ට්‍රිලියනක් වියදම් කර ඇති අතර ඒ සල්ලිවලට කළේ කුමක්දැයි විපක්ෂය ප්‍රශ්න කරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම ඒ ගෙවුණු මාස හය ඇතුළත දී රජය ඒ සල්ලිවලින් නොකළේ කුමක්ද..? මෙම වසංගතය පාලනය කර ගැනීම සඳහා රජයට අය-වැය යෝජනාවලියකින් සම්මත කර ගත් අරමුදල් තිබුණේ නැහැ. එමෙන්ම බලයට පත් වුණාට පසුව අතුරු සම්මත ගිණුමක්වත් සම්මත කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයට තිබුණේ නැහැ. ඒ අනුව තමාට ව්‍යවස්ථානුකූලව පැවැරී තිබෙන බලතල ප්‍රකාරව රජයේ වියදම් සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් මාස තුනෙන් තුනට ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණා.

රජයට ආදායම් උපාය ගැනීමට තිබූ මාර්ග සියල්ල ඒ වන විට අවහිර වී තිබූ බව අප මෙහිදී අමතක නොකළ යුතු අතර ඒ කෙසේ නමුත් ජනතාව වෙනුවෙන් සිය ආයතන හරහා සුභ සාධන ජාලය පුළුල් කිරීමට ද රජයට සිදු වුණා. ඒ අනුව රට පුරා පවුල් 74,000 ක් සඳහා රුපියල් 5000 බැගින් දෙවතාවක් ලබා දීමට රජය පියවර ගත් අතර ඒ ක්‍රියා මාර්ගය ලෙහෙසි පහසු වූයේ නැහැ. ශ්‍රී ලංකාවේ සමෘද්ධි ලාභී දිළිඳු පවුල් මිලියන 1.6ක් සිටින අතර දවසකට ඇමරිකානු ඩොලරයකට වඩා අඩු ආදායම් ලබන කොපමණ පිරිසක් මේ රටේ සිටිනවා ද..?

එමෙන්ම මේ අවුරුද්දේ විදේශීය ණය වශයෙන් රුපියල් බිලියන 14ක් ගෙවීමට සිදුව තිබෙන බව ද, ඊට අවුරුද්දේ පළමු මාස හය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1000ක් එකතුවීමට නියමිත බව ද, මේ සියල්ලට හේතුව රජය සිය බදු ආදායම අඩු කර ගැනීම බව ද කියමින් විපක්ෂය පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ගෝලීය ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරවයි.

ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ තත්ත්වයක් නොව එම ප්‍රශ්නය ගෝලීය ප්‍රශ්නයක් බව කිව යුතු අතර ඊට හොඳම උදාහරණය වන්නේ රටක් ලෙස අප උපයන එක රුපියලකින් ශත 86ක් ණය ලෙස යළි ගෙවන විට ජපානය උපයන එක "යෙන්" එකකින් "යෙන්" 203ක් ණය ගෙවනවා.

මේ යථාර්තය ගැන කවුරුවත් කතා නොකරන අතර ණය ගැනීමේ සීමාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන තුනකින් වැඩි කරන ලෙස ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා එදා එරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටී බව මේ කවුරුවත් දන්නේ නැද්ද..? එහෙත් ශ්‍රී ලංකාව මේ වන තුරුත් සිය ණය ගැනීමේ සීමාවෙන් ඔබ්බට ගොස් නොමැති අතර ඒ අනුව අප සිටින්නේ හොඳ තත්ත්වයකයි.

මේ විදේශ ණය ගෙවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන විපක්ෂයට අමතක වී තිබෙන කාරණය වන්නේ හම්බන්තොට වරයා විකුණා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ලබා ගත් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය මුළු පාලන කාලයේ දී ලබා ගත් මුළු විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක් ඒ අයගේ පස් අවුරුදු පාලන කාලයේ දී ලබා ගත් බවයි. 

ඇත්තටම අද විපක්ෂයේ සිටින එදා ආණ්ඩු බලය හෙබ වූ ඒ කණ්ඩායම ඒ සල්ලිවලට කළේ කුමක්ද..? රැකියා උත්පාදනය කළා ද..? රට සංවර්ධනය කළා ද..? ඒ ගත්ත ණය පියෙව්ව ද..? මේ අනුව පැහැදිළි වන්නේ ඒ කාලයේ ආණ්ඩු බලය හෙබ වූයේ ඒ අය බව ඒ අයටම අමතක වී ඇති බවයි. ඇත්තටම විපක්ෂ සිතා ගෙන සිටින්නේ ඒ කාලයේ ආණ්ඩු බලය හෙබ වූයේත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියායි. මේ වගේ ප්‍රශ්න මතු කරමින් විපක්ෂය පදනම් විරහිත සහ අතාර්කික චෝදනා එල්ල කරන්නේ ඒ නිසයි. ඒ අයගේ පාලන කාලයේ දී රටට තීරණාත්මක, ස්ථිර සහ නිවැරදි යමක් සිදු නොවූ බව ඒ අයටම අමතකයි.

ශ්‍රී ලංකාවේ තිබෙන ලියාපදිංචි ත්‍රී රෝද සංඛ්‍යාව මිලයන 1.7ක් වනවා. එසේ නම් කුලී ත්‍රී රෝද රථ රැකියාවේ යෙදීමට අපේ රටේ තරුණයින්ට අප තව දුරටත් ඉඩ ලබා දිය යුතුද..? තරුණ තරුණියන් වෙනුවෙන් ඊට වඩා විකල්ප වෘත්තීය අවස්ථා නිර්මාණය කර දිය යුතු නැද්ද..? රටේ ලියාපදිංචි යතුරු පැදි සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී තිබීම හේතුවෙන් රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට ද මෙම යතුරු පැදි සංඛ්‍යාව වැඩිවීම බලපා තිබෙනවා.

එමනිසා රජයේ පැහැදිළි ස්ථාවරය වී තිබෙන්නේ රටට දැනට ආනයනය කර තිබෙන වාහන ප්‍රමාණය  COVID-19 වසංගතයෙන් රටක් ලෙස අප සම්පූර්ණයෙන්ම ගැළ වෙන තුරු හොඳටම ප්‍රමාණවත් බවයි. කෙසේ නමුත් රට අභ්‍යන්තරයේ නිෂ්පාදනය ක්‍රියාවලියට අවශ්‍ය කරන ලොරි, බස් රථ සහ අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමට කිසිදු බාධාවක් ඇත්තේ නැහැ. 

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මෙම අර්බුදය හමුවේ කල්පනා කරන්නේ සංවෘත්ත ආර්ථික ක්‍රමවේදයක් වෙත ගමන් කර දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. රටේ ආර්ථිකය එක පැත්තකින් ගොඩනගන අතර දිළිඳුකම පිටු දැකීමේ ප්‍රශ්නයට අනෙක් පැත්තෙන් උත්තර ලබා දීමට ජනාධිපති කාර්ය සාධන බලකාය උත්සහ කරන්නේ ඒ නිසයි.

පුරා අවුරුදු හැත්තෑ දෙකකටහ පසුවත් රටේ ජන ගහනයෙන් 23%ක් සමෘද්ධි ලාභීන් නම් ඒ ගැන රටක්-ජාතියක් ලෙස අපට සතුටු විය හැකිද..? තව තවත් වැඩි පිරිසකට සමෘද්ධි දුන්නා කියා අපට සතුටුවීමට හැකියාවක් ඇත්තේ නැහැ. රටක් ලෙස අප උත්සහ කළ යුත්තේ සමෘද්ධි ලාභීන් පිරිස ක්‍රමානුකූලව අඩු කිරීමට වන අතර රජය සැලසුම් කර තිබෙන්නේ 2025 වන විට රටේ දුප්පත්කම 2% සීමාවට ගෙන ඒමටයි.

වැඩි දුර අධ්‍යාපනය නොලැබූ තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා ලබා දීමට රජය ගත් පියවර හේතුවෙන් සිදු වන්නේ අඩු අදායම් ලාභී සෑම පවුලකටම මසකට රුපියල් හතළිස් දහසකට ආසන්න මුදලක් ලැබීම වන අතර ඒ මුදල ලැබෙන්නේ සමෘද්ධියෙන් ලැබුණු රුපියල් 3500 වෙනුවටයි. මේ අනුව එම පවුල්වල සමාජ ආර්ථික තත්ත්වය ඉහළ යන අතර එම තරුණ තරුණියන් විධිමත් වෘත්තීය පුහුණුවක් සහ දැනුමක් ද ලබා ඒ අයගේ ජීවිතවලට වටිනාකමක් ද එකතු කර ගන්නවා.

ඉතිහාසයේ පළමු වතාවට රටේ දේශපාලන ස්ථාවර භාවයක් සමග ප්‍රතිපත්තිවල ස්ථායී භාවයක් ඇති වී තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිතරම කියා සිටින්නේ සම්ප්‍රදායෙන් බැහැරව අලුතින් සිතා ක්‍රියා කළ යුතු බවයි. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම මගින් යෝජිත වැඩ පිළිවෙළ මේ වන විටත් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවෙමින් පවතින බව කිව යුතුයි.   

රජයේ අරමුණ, දර්ශනය සහ වැඩ පිළිවෙළ වී තිබෙන්නේ පෞද්ගලික අංශයට දිරිය ලබා දෙන රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීම බව කිව යුතු අතර නූතන සිංගපූරුව බිහි වී තිබෙන්නේ ලීක්වාන් යූ අගමැතිවරයා එදා එරට සියලුම රාජ්‍ය කාර්යාල වායුසමීකරණය පවා කරමින් රාජ්‍ය අංශයට තැනක් දී රාජ්‍ය අංශය මුලින්ම ශක්තිමත් කළ නිසයි.

 

 

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර -
කොළඹ විශ්ව විද්‍යාලය
ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව
පාර්ලිමේන්තු මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  

     

   

Advertiesment