Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


සීත කාලය පැමිණේවි ඒත් වසන්තය එනවා සත්තයි


2020-09-27 7816

ඈ තාරකා ඇස් ඇත්තියකි. මල් සිනා සලන්නියකි. තාරකා නෙත්වලින් ඈ උඩ බැලූ විට නෙක නෙක තරු බැබලෙන, සියොත් කැල ඉගිලෙන අහසද බිම බැලූ විට නින්දා අපහාස, ගැරහුම්වලින් පිරුණු පොළොවද දකින්නීය. පොළොවට සිනාවක් පා ඈ අහසෙහි තාරකාවක් වන්නට නොව පුන්සඳක් සේ බැබලෙන්නට තීරණය කළාය. මේ කොදෙව්වේ එක්තරා වෙරළබඩ මායිමක අග්ගිස්සට වන්නට වයස අවුරුදු 17ක දැරිවියක් ජීවත් වූවාය. සරසවි වරම් ගැන ඇගේ සම වයසේ දැරිවියන් සිහින දකිද්දි ඇයට ඇවැසි වූයේ ගුවන් නියමුවරියක් හෝ ව්‍යාපාරිකාවක් වීමටය. 

 

අට - පහ රස්සා ඇයට වහකදුරු විය. සරසවියේ වසර හතරක් කාලය කා දමන්නටද අකමැතිවන්නී, හේ කාගේ හෝ පෙරැත්ත මත රූපවාහිනී නාළිකාවක "කුමරිය" තේරීමේ තරගයට සහභාගී වන්නී, අවසන ඉන් කිරුළු පලඳීන්නීය. එදා කිරුළු පළන් නව යොවුන් තරුණිය ඉන් දශකයකුත් වසර දෙකක් ඉකුත්ව ගොස් වසර 24කට පසුව වාර්තා අලුත් කරමින් ටෙලි සම්මාන රාත්‍රිය හොඳම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මාන ද්වයම හිමි කරගන්නා බවට සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. ඈ 2019 රයිගම් Tele'es සම්මාන උලෙලෙහි හොඳම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත් ශලනි තාරකා විජයබණ්ඩාර නම් නව පරපුරේ ප්‍රතිභාපූරණ රංගන ශිල්පිනියයි. අප ඈ සොයාගෙන ගියේ ඒ අතීතයද මේ වර්තමානයද කොනක සිට හාරාවුස්සා රසමුසුතැන් ආවර්ජනය කිරීමටය.

 

එක රැයකින් සම්මාන දෙකක්. කොහොමද ඒ සතුට?

සතුට වචනවලට පෙරළන්න බැරි තරම්. මේක අනපේක්ෂිත ජයග්‍රහණයක්. ඇගයීමක්. එක සම්මානයක් හරි ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ මම. හොඳම සහ ජනප්‍රියම සම්මාන දෙකම ලැබිලා සතුට දෙගුණ වෙලා ඉන්නේ. ඒ වගේම වසර 24ක වාර්තාවක් අලුත් කරන්න ලැබුණු එක ලොකු අභිමානයක් මට. මම සම්මානේ ගන්නකොටත් මේක කිව්වා "සීත කාලය පැමිණේවි, හිම කැට සහිත සැඩ සුළං හමාවි, ඒත් වසන්තය එනවා සත්තයි" කියලා. ඇත්තටම දැන් මගේ ජීවිතයට වසන්තය ඇවිල්ලා කියලා හිතෙනවා.

 

හොඳම නිළිය සම්මානය ඔබට ලැබෙන්නේ "අඩෝ" ටෙලිනාට්‍යයේ රංගනයට. අපි "අඩෝ" ගැනත් කතා කරමු?

අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය මට විශේෂයි. ඒ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. කමනි කියන්නේ මට නුපුරුදු චරිතයක්. විවාහ වෙච්ච, මුඩුක්කු පරිසරයක ජීවත් වෙන, දරුවෝ තිදෙනෙක් ඉන්න පවුලක අම්මා කෙනෙක්. සැමියා මිය ගියා කියලා දැනගත්තාම ගැහැනිය දරුවෝ එක්ක මුහුණපාන අසරණකම්, සමාජයෙන් එන බලපෑම් එක්ක තමයි මේ චරිතය ගොඩනැඟෙන්නේ. අවසානයේ ඇය ගණිකාවක් බවට පත් වෙනවා. අඩෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායකට මම ස්තූතියිවන්ත වෙනවා. මේ මම සුපුන් අයියා එක්ක වැඩ කරපු තුන්වෙනි වතාව. මම මේ චරිතය බැහැ කියපු චරිතයක්. ඔහු මං ගැන විශ්වාස කළා. සුපුන් අයියා කියන්නේ නිදහසේ රඟපාන්න ඉඩදෙන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මං එක්ක වැඩ කරපු රංගන ශිල්පීන් සියලුදෙනාට ස්තූතියි.

 

මේ දවස්වල ඔබ දායක වෙන නිර්මාණ ගැන කතා කළොත්?

මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ගිරිදේවි, අග්නි පියාපත්, සිහින ගෙනෙන කුමාරියේ යන ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක වැඩකටයුතු කරගෙන යනවා.

 

ශලනිව අපි වැඩිපුරම දකින්නේ පුංචි තිරයේ. ඇයි රිදී තිරයේ ශලනි පේන්නෙ නැත්තේ?

මට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. පිටපතේ මට ලොකු දෙයක් කරන්න නැති නම් සහ පුංචි තිරයේ වැඩ එක්ක කාර්යබහුල අවස්ථාවල මට සිනමා නිර්මාණ අත්හරින්න සිදුවෙලා තියෙනවා. චිත්‍රපට නවයක් මම කරලා තියෙනවා. ඉන් චිත්‍රපට තුනයි මේ වෙද්දි තිරගත වෙලා තියෙන්නේ. තව චිත්‍රපට හයක් තිරගත වෙන්න තියෙනවා. "වියසිදුරු", "සීගිරි", "ඒඤමඥදබභපඥඵ ධට අඪජඬර ච්ඥඥද" ඇතුළු තව නිර්මාණ කීපයක් තිරගත වෙන්න නියමිතයි.

 

ශලනි තාරකා කියන්නේ ජීවිතේ විවිධ සිදුවීම්, හැලහැප්පීම්, දරාගැනීම්වලින් පරිණත වුණු කෙනෙක් කිව්වොත්?

හැමෝම වයසත් එක්ක පරිණත වෙනවා. මම මීට අවුරුදු දහයකට කලින් ප්‍රශ්න දැකපු විදිහට නෙමෙයි දැන් ප්‍රශ්න දිහා බලන්නේ. ජීවිතේ විවිධ අත්දැකීම් එක්ක, ඉගෙන ගත්ත දේවල් එක්ක පරිණතව හිතන්න ගන්නවා. ඒක හැමෝටම පොදු කාරණාවක්. ජීවිතේ ඉහළට යනවා, පහළට වැටෙනවා මේ හැමදෙයම දරාගෙන ආයිමත් නැඟිටින්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි පරිණත වෙනවා කියන්නේ.

 

ජීවිතේ කියන දේ දිහා ඔබ දකින්නේ කොහොමද?

අර කවියක් තියෙන්නේ "පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ" කියලා. අන්න ඒ වගේ තමයි ජීවිතේ. ජීවිතේ අපිට ඕනේ විදිහට පාලනය කරන්න බැහැ. අපි කොච්චර ජීවිතේ පාලනය කරන්න හැදුවත්, සැලසුම් කරන්න උත්සාහ කළත් වියයුතු දේයි වෙන්නේ. අපි හැමෝම මේ ජීවත් වෙන්නේ කවදාහරි මැරෙන්නනේ. එන්න ඒ තැනට යන්න දැන් ඉඳලා ඔළුව හදාගත්තාම පහසුයි.

 

ශලනි ක්ෂේත්‍රයට එනකොට දැකපු හීන මේ වෙද්දි සැබෑ වෙලාද තියෙන්නේ?

ජීවිතේ සමහර හීන තියෙනවා මේ වෙද්දි හැබෑ වුණු. සමහර දැකපු හීන තියෙනවා හැබෑ නොවුණු. ඉස්කෝලේ යන කාලේ මම හිතුවේ අවුරුදු 21 වෙද්දි විවාහ වෙන්න. අවුරුදු 19 වෙද්දි ඒ තීරණය වෙනස් වුණා. ඒත් දැන් වෙද්දි හිතෙනවා හැමෝම විවාහ වෙනවා කියලා මම විවාහ වෙන්න ඕනේ නැහැ කියලා. අපිට ජීවිතේ සමහර හීන හැබෑ වෙනවා. සමහර හීන අහිමි වෙනවා. ඒකයි ජීවිතේ හැටි. රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආවාම මගේ එකම හීනය වුණේ කවදාහරි විශිෂ්ටතම රංගන ශිල්පිනිය වෙන එක. හත් වතාවක් මම හොඳම නිළියට නිර්දේශ වෙලා තියෙනවා. අවසානයට මට ඒ සම්මානය ලැබුණා. ඒ ගැන කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ.

 

සිරස කුමරිය ලෙස කිරුළු පැලඳපු ශලනි තාරකා දැකපු හීන මොනවද?

ඒ ශලනි තාරකා අවුරුදු 16 හමාරක පොඩි කෙල්ලෙක්. ඒ කාලේ මම හරි බොළඳයි. ඒ කාලේ මම ගුවන් සේවිකාවක් හෝ ව්‍යාපාරිකාවක් වෙන්න හීන දැක්කේ. මම කැමති වුණේ නැහැ විශ්වවිද්‍යාලයට යන්න හෝ අටපහ රස්සාවක් කරන්න. රඟපෑම කියන එකත් මගේ හීනවල තිබුණු එකක් නෙමෙයි. සිරස කුමරිය වුණාට පස්සේවත් ක්ෂේත්‍ර‍යේ දුර ගමනක් යන්න හීනයක් තිබුණේ නැහැ. මට නිළියක් වෙන්න ආපු ආරාධනා ගොඩක් ප්‍රතික්ෂේප කළා. සිරස කුමරිය වුණා නිසාවත් එකක් හරි කරන්න කියලා හැමෝම කියපු නිසා මම එක ටෙලි නිර්මාණයකට දායක වෙනවා. ඒ චරිතය කරලාත් මම ගෙදර ආවේ මේ රඟපාන වැඩේ මට හරියන්නේ නැහැ කියාගෙන. මම උසස් පෙළ කරන කාලේ ශර්ලි පී. දෙලංකාවලගේ "පූජාසනය" ටෙලිනාට්‍යයට කතා කළා. ඒ කතාවට මම කැමති වුණා.

 

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු දොළහක්.

 

ඒ අවුරුදු දොළහා දිහා ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි මම දිනාගත්ත දේවල් ගැන. ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. මම ක්ෂේත්‍රයට ආවේ රංගනය ගැන හදාරලා නෙමෙයි. ඒ නිසා මම ටිකෙන් ටික රංගනය ගැන ඉගෙනගත්තා. මේ විෂය හදාරමින් තමයි ඉදිරියට ගියේ. අපිට රංගන පාසල් නැහැ. අපිට තිබුණේ වැඩමුළු. ඒවාට සහභාගි වෙලා ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඊට අමතරව හොඳ අධ්‍යක්ෂවරු, හොඳ රංගන ශිල්පීන් එක්ක වැඩ කරද්දි ගොඩක් දේවල් ඒ අයගෙන් මට ඉගෙනගන්න ලැබුණා. ඉතින් මම හිතනවා මේ වෙද්දි යම් යම් චරිත කීපයක් කරලා තියෙනවා කියලා. ඒ ගෙවුණු කාලයේ මුලට වඩා මැද සහ අග ගැන මට සතුටු වෙන්න පුළුවන්.

 

ශලනි කියන්නේ නින්දා, අවමාන, අපහාස විඳපු කෙනෙක්. දරාගන්න අමාරු මොහොතවල් දරාගත් කෙනෙක්. ඒ සියල්ල විඳදරාගත්තේ කොහොමද?

ඒ හැම මොහොතකම මට මම ගැන විශ්වාසයක් තිබුණා. මම වැරැද්දක් කළේ නැහැ කියලා මම දන්නවා. මම ගනුදෙනු කරන්නේ මගේ හෘදසාක්ෂියත් එක්ක. සමාජයේ ඉන්න අනිත් අය මට අදාළ නැහැ. ඒ අයව මට අදාළ වෙන්නේ මගේ රංගන ජීවිතය සම්බන්ධ දේවල් විවේචනය කරන්න විතරයි. මගේ පෞද්ගලික ජීවිතය විවේචනය කරන කිසිම කෙනෙක් මට අදාළ නැහැ. මගේ ජීවිතේ ගැන දන්නේ මම. මගේ ජීවිතේ කොච්චර කටුකද කියලා දන්නේ මම. අවුරුදු 17 ඉඳලා නිදහසේ ජීවත් වුණු කෙනෙක් මම. ඒ ජීවිතයේ ගොඩක් ඉගෙනගත්ත දේවල් තියෙනවා. මගේ යුතුකම් මම ඉටු කරලා තියෙනවා. කවුරු මොනදේ කළත් මම මගේ හෘදසාක්ෂිය එක්ක තමයි මම ගනුදෙනු කරන්නේ. කවුරු මට චෝදනා කළත් මම ඒ මොහොතේ ගන්න තිබුණු හොඳම, හරිම තීරණය ගත්තේ. මිනිස්සුන්ට ජීවිතයේ වැරදීම් අනන්තවත් වෙනවා. කවුරු හෝ දැනුවත්ව හෝ නැතුව ජීවිතේ කුමක් හෝ වරදක් කරලා තියෙනවා නම් ඒක හදාගන්න හොඳම තීරණය ගන්නවා. මට ඒ මොහොතේ ගන්න තිබුණු හොඳම තීරණය ගත්තා. ඒකෙදි මම වැරදි නැහැ කියන එක කතාව දන්න හැමෝම දන්නවා. මිනිස්සු එක එක කතා නිර්මාණය කරගෙන තියෙනවා. ඒක මට අදාළ නැහැ. මිනිස්සුන්ට පුළුවන් නම් ප්‍රශ්නවලින් පැනලා නොගිහින් ප්‍රශ්නවලට හරියට මූණ දෙන්න ඒක ජීවිතේ ලොකු ජයග්‍රහණයක් වේවි කියලා මම හිතනවා.

 

ශලනි ක්ෂේත්‍රයට ආපු කාලයේ තිබුණු ජනප්‍රියත්වය සහ ජනාදරය තවමත් එසේම පවත්වා ගැනීමේ රහස මොකද?

විශේෂයෙන් කියලා දෙයක් නැහැ. මම වැඩක් කරද්දි ඒක ටීම් වර්ක් එකක් කරගන්නවා. මම කැමති නැහැ කවුරුත් වෙන් වෙලා වැඩ කරනවාට. මම කැමති මං එක්ක වැඩ කරන අය ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරනවාට. මම පැත්තකට වෙලා, තනියම මගේ දෙබස් විතරක් පාඩම් කරලා ඇවිත් රඟපෑවා නම් මට මේ අවුරුදු දොළහක ගමන යන්න වෙන්නේ නැහැ. මට කාගෙන්වත් උදවුවක් ලැබෙන්නෙත් නැහැ. මට වසර දොළහක් මේ ක්ෂේත්‍රයේ වැඩ ඇතුව රැඳෙන්න හේතුවක් වුණා මම හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න එක. ජනප්‍රියත්වය කියන එක ගැන නම් මට කියන්න අමාරුයි. 2009 වසරේ ඉඳලා මේ වෙන තෙක් හැම සම්මාන උළෙලකම ජනප්‍රියම නිළියන් 10 දෙනා අතරට නොකඩවා එන්න පුළුවන් වුණා. සමහරවිට නිර්මාණවලට මම දුන් දායකත්වයට මට හැමෝම ආදරය කරනවා ඇති.

 

ශලනිගේ රංගන ජීවිතයට ප්‍රබල බලපෑමක් කරපු පූර්වාදර්ශී චරිතයක් ලංකාවේ ඉන්නවාද?

පූර්වාදර්ශ නම් ගොඩක් ඉන්නවා. මම කැමති චාන්දනී සෙනෙවිරත්න, අයිරාංගනී සේරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, කෞෂල්‍යා ප්‍රනාන්දු. මගේ අංක එක ලැයිස්තුවේ ඉන්නේ ඒ අය. මේ හැමෝමගෙන් මම ඉගෙනගත්ත දේවල් මගේ රංගනයට ලොකු පිටුවහලක් වුණා.

රංගනය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් ශලනිට ලැබුණු හොඳම ඇගයීම මොකක්ද?

ඇගයීම් කීපයක්ම ලැබිලා තියෙනවා. ලැබුණු සම්මානත් එක්ක මේ වෙද්දි නොසෑහෙන්න ඇගයීම් ලැබෙනවා. මීට වසර කීපයකට කලින් මාලිනී ෆොන්සේකා මහත්මිය මට පණිවිඩයක්ම එවලා කියලා තියෙනවා හොඳට රඟපානවා කියලා. ඒ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාව අගය කරලා තියෙනවා. ඒ වගේ ඇගයීම් ලැබීම තරම් වෙනත් භාග්‍යයක් මට නැහැ.

 

වියෝ වුණු රංග පෞරුෂ අතරින් මේ මොහොතේ හිටියා නම් වැඩ කරන්න ඔබ කැමති රංග පෞරුෂය කවුද?

ගාමිණී ෆොන්සේකා මහත්මයා. මට ඔහු එක්ක වැඩ කරන්න ලැබිලා නැහැ. ඔහු හිටියා නම් අපිට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියේවි. ඒ වගේම මම ජෝ අබේවික්‍රම මහත්මයා එක්කත් වැඩ කරන්න කැමතියි. මට ඔහුව මුණගැහිලා තියෙනවා මගේ ප්‍රථම චිත්‍රපටිය වෙන "සෙල්වම්" චිත්‍රපටයේදී. නමුත් ලොකු කාලයක් ඔහු සමඟ වැඩ කරන්න ලැබිලා නැහැ.

 

පුංචි තිරයේ හෝ රිදී තිරයේ ශලනිට පහසුවෙන් රඟපාන්න හැකි ගැළපෙනම පෙම්වතා කවුද?

වැඩිපුරම මගේ පෙම්වතා වුණේ දසුන් පතිරණ. ඊටපස්සේ සාරංග දිසාසේකර සහ කාවිංග පෙරේරා. මේ තුන්දෙනා එක්කම වැඩ කරන්න පහසුයි මට.

 

හැමෝම එක වගේ ජනප්‍රිය චරිතවලට පොරකද්දි ශලනි වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයා ඉදිරියට එනවා?

මමත් සමහර වෙලාවට ඒ ගැන කල්පනා කරනවා. සමහරුන්ගේ රංගන හැකියා බලද්දි රාමුවෙන් පිටතට ආවා නම් ඔවුන්ට ලොකු දෙයක් කරගන්න තිබුණා කියලා මටත් හිතිලා තියෙනවා. අපිට කලින් හිටපු කාංචනා මෙන්ඩිස්, පබෝධා සංදීපනී වගේ අක්කලා විවාහ වෙලා ක්ෂේත්‍රයෙන් යම්තාක් දුරකට ඈත් වුණා. ඒ අය ඒක භාර දීලා ගියේ මගේ පරපුරේ තිසුරි යුවනිකා, තාරුකා වන්නිආරච්චි වගේ අයට. මට අවුරුදු 29ක්. තව වසර කීපයකින් මගේ ජීවිතේ විවාහ වෙලා දරුවෝ ලැබිලා වෙනස්කම් වුණොත් මටත් හිතෙනවා මේක ගන්න තව නංගිලා ටිකක් හැදෙන්න ඕනේ කියලා. චරිත කරන්න පුළුවන් පිරිසක් හැදෙන්න ඕනේ. ඒ අය ජනප්‍රිය රැල්ල පස්සේ යන අය විය යුතු නැහැ. ජනප්‍රියත්වය වැරදි නැහැ. නමුත් ඊටත් වඩා එහා ගිය චරිත කරන්න පුළුවන් කීපදෙනෙක්වත් ක්ෂේත්‍රයේ බිහි වෙන්න ඕනේ. එවිටයි ක්ෂේත්‍රයේ පැවැත්ම හොඳ වෙන්නේ. මට හැමදාම කෙල්ලගේ චරිතය කරන්න බැහැ. ක්ෂේත්‍රයේ දක්ෂතා තියෙන අලුත් අය ඉන්නවා. නමුත් ඒ අයගේ උනන්දුව අඩු බවක් පේනවා. ජනප්‍රිය සම්මානවලින් ලැබෙන ජනප්‍රියත්වය කියන එක ඉතාම කෙටි කාලයක් තියෙන්නේ. නමුත් විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා හැමදාටම ජනප්‍රියයි. ඒක ලැබෙන්න නම් විවිධාකාර චරිත තුළින් මිනිස්සු ඉදිරියට යන්න ඕනේ. අපි කරන චරිත මිනිස්සුන්ට දැනිලා අපිට දෙන ප්‍රතිචාර අනුව තමයි ඇත්තටම ජනප්‍රියයිද නැද්ද කියන්න පුළුවන්.

 

ශලනි මෙතෙක් නොකරපු කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

මම ආසාවෙන් හිටියා අඳ, ගොළු, බිහිරි තුනම එකට කැටි වුණු චරිතයක් කරන්න. මට ඒ වගේ චරිතයක් ටෙලිනාට්‍යයක ලැබිලා තියෙනවා. ඒ ගැන විස්තර ඉදිරියට කියන්නම්.

 

 

ශලනි තාරකා කියන ගීත රචිකාවිය ඉන්නවාද?

එයා ඉන්නවා. එයා වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි. (සිනාසෙමින්) ඇත්තටම මට ආරාධනා ලැබිලත් තියෙනවා ගීත ලියන්න කියලා. මට ලියන්න නම් මගේ මනස පුළුවන් තරම් සංසුන් වෙන්න ඕනේ. වැඩත් එක්ක කලබලේ ලියන්න බැහැ. දැන් ගීතයක් ලියන්න තරම් මානසිකත්වයක් මට නැහැ. මම කලින් ගීත තුනක් ලිව්වා. නිරෝෂා විරාජිනී ගායනාකරන "යළි හමුවෙමු", තාරක ගුණතිලක ගායනා කරන "ඔබ මා හමුවන දිනයේ" සහ මගේ යාළුවෙක්ගේ විවාහ උත්සවයකට ගීතයක් ලිව්වා. නිරෝෂා විරාජිනි, මිනිඳු ආරියරත්නයි ඒ ගීතය ගායනා කරන්නේ. මම "මෘත" කියලා නවකතා පොතක් ලියමින් ඉන්නේ. ඒක කොටස් කීපයක් අන්තර්ජාලයේ පළ වුණා. වැඩත් එක්ක කාර්යබහුල නිසා ඉතිරි ටික ලියන්න බැරි වුණා. විවේකයක් ලැබුණු වහාම වෙන රටකට හරි ගිහිල්ලා පොතේ වැඩ ඉක්මනින් ඉවර කරන්න ඉන්නේ.

 

ක්ෂේත්‍රයේ හොඳම යාලුවෙක් ඉන්නවාද ශලනිට?

ඔව්. දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර.

 

ඒ දෙන්නා නම් විවාහ වුණා. ශලනිට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

විවාහ වෙන්න ඕනේ කියලා මම කාවහරි බඳීන්නේ නැහැ. මම විශ්වාස කරනවා විවාහ ජීවිතය කියන්නේ ජීවිත කාලයම තියෙන්න ඕනේ දෙයක්. මඟ අතහැරලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුදුසු පුද්ගලයා සුදුසු වෙලාවෙදී මුණගැහුණොත් ඒක මට දැනුණොත් මම විවාහ වෙයි.

 

එහෙම දැනිච්ච කෙනෙක් ඉන්නවාද?

තවම නැහැ. ඒක තමයි ගැටලුව. (සිනාසෙමින්) දැනුණු කෙනෙක් ඉන්නවා නම් මම යන්න දෙන්නේ නැහැ. දැනුණේ නැති අයට මම යන්න දීලා තියෙනවා. එහෙම දැනිච්ච කෙනෙක් එක්ක දවසක මම විවාහ වෙයි. එහෙම නැති නම් විවාහ නොවී ඉඳීවි.

 

ශලනි තාරකා කියන්නේ හීන දකින්න කැමති කෙනෙක්ද?

ඔව් කැමතියි. හැබැයි හීන දැක දැක ඒ ගැන හිතන කෙනෙක් නෙමෙයි. මම හීනවලට ළඟාවෙන්න උත්සාහ කරන කෙනෙක්. මට මගේ හීනවලට යන්න පුළුවන් තරම් කට්ට කනවා. මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ කට්ට කාපු නිසා. හැමෝම තියෙන ඔක්කොම කතන්දර කිව්වෙත් මට. වැඩිපුරම කතන්දර ඇහුවොත් මම. කවුරු මොනා කළත් මට කැරකිලා එනවා අන්තිමටම මොකක්හරි එකක්. ඒවා මට දැන් හරි සාමාන්‍ය දේවල්. දේවල් ඇති වෙනවා නැති වෙනවා. ඒක අවබෝධ කරගෙන වැඩ කරන්නේ. මම දෙයක් කරගත්තොත් ඒක මට කියන එක මම දන්නවා.

 

ශලනි කවදාහෝ දවසක හැබෑ කරගන්න කැමති හීනය මොකක්ද?

මම කවදත් ආස වුණේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. මට අවුරුදු දහය දොළහේදී ඉඳලා මම හීන දැක්කේ විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඒත් මට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න සුදුසු කෙනා තාම මුණගැහිලා නැහැ. මම ආදරය කරලා තියෙනවා. මැරීගෙන ආදරය කරලා තියෙනවා. මට ඒ මොහොතේදී කොච්චර ආදරය කළත් මැරෙනකල් ජීවත් වෙන්න ඒ කෙනා සුදුසු නැහැ කියලා හිතුණොත් මම ඒ කෙනා අතඇරලා තියෙනවා. මම ලේසියෙන් ආදරය කරන්නේ නැහැ. මිනිස්සු හිතනවා ශලනිට ඕනේ තරම් කොල්ලෝ ඇති කියලා. මගේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි ආදරේ කරපු මිනිස්සු ගණන. මට හැබෑ කරගන්න තියෙනවා නම් හැබෑ කරගන්න තියෙන එකම හීනය හොඳ පවුල් ජීවිතයක් තමයි.

 

(සරසවිය) 

 

 

Advertiesment